Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උපත් පාලන ක්‍රම පිළිබඳව ඔබේ දැනුම කොහොමද?

උපත් පාලනය කියන්නෙ වර්තමානයේ බහුලවම සාකච්ඡා වන නමුත් එළිපිට සාකච්ඡාවට ලක්නොවන දෙයක්. පුළුල් දැනුමක් අත්කරගෙන තිබිය යුතු නමුත්, අප බොහොමයක් දෙනාට එතරම්ම දැනුමක් නැති මාතෘකාවක්.

ඉතින් මොකද්ද මේ උපත් පාලනය? මොනවද උපත් පාලන ක්‍රම? මේ බහුලවම මේ සම්බන්ධයෙන් ඇසෙන ප්‍රශ්න. මේ ලිපියේ අරමුණ වන්නේ එම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමයි.

මොකද්ද මේ උපත් පාලනය?  

මොනවද මේ උපත් පාලන ක්‍රම? (reliablerxpharmacy.com)

මොනවද මේ උපත් පාලන ක්‍රම? (reliablerxpharmacy.com)

සරලවම, උපත් පාලනය යනු අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇතිවීම වැළැක්වීමයි. මේ සඳහා උපකරණ හෝ රසායනික හා රසායනික නොවන උපක්‍රම බහුලව භාවිතා කෙරෙනු ලබනවා. එසේම, උපත් පාලන ක්‍රම අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වාලීමටම පමණක් නොව, පවුල් සැලසුම් කිරීම සඳහා ද සුලභව භාවිතා වනවා.

උපත් පාලනය ඉතා ඈත අතීතයේ සිටම බොහොමයක් සංස්කෘතීන් වල නිරීක්ෂණය කළ හැකි වුවද, ආරක්ෂිත හා ඵලදායී ක්‍රම බොහොමයක් හඳුන්වා දෙනු ලැබුවේ ඉතා මෑත කාලයේදීයි. කෙසේ වෙතත්, සදාචාරාත්මක, ආගමික, හා වෙනත් කරුණු නිසා ඇතැම් සංස්කෘතීන් විසින් අදටත් උපත් පාලන ක්‍රම භාවිත කිරීම අධෛර්යමත් කරනු ලැබීම නම් ඉතා සුලභයි.

ක‍තෝලික වෙබ් අඩවියක් මගින් උපත් පාලක පෙති භාවිතයට විරුද්ධව පළකෙරුණු පෝස්ටරයක්. (thepracticingcatholic.com)

ක‍තෝලික වෙබ් අඩවියක් මගින් උපත් පාලක පෙති භාවිතයට විරුද්ධව පළකෙරුණු පෝස්ටරයක්. (thepracticingcatholic.com)

උපත් පාලන ක්‍රම

සමාජයේ බොහොමයක් තරුණ තරුණියන් අතරේ අලුත් සහ වඩා විශ්වාස කටයුතු උපත් පාලන ක්‍රම පිළිබඳව ක්‍රමවත් දැනුමක් නැහැ. එනමුත් සමාජයේ බොහෝ කලක පටන් කටින්කට පැවැත එන, සාර්ථක යැයි විශ්වාස කරන ක්‍රම කිහිපයක් පිළිබඳව ඕනෑම කෙනෙකුට සුළු හෝ අවබෝධයක් තිබෙනවා. මින් සුලභවම ප්‍රචලිත ක්‍රම කිහිපයක් නම්,

1. විරමණය

සාම්ප්‍රදායික ක්‍රම වලින් සාර්ථකම ක්‍රමය ලෙස සැළකිය හැකි ක්‍රමය විරමණය (Abstinence). එනම්, සංසර්ගයේ නොයෙදීම. මෙය ගැබ් ගැනීමක් වැළැක්වීමට ඉතාම ප්‍රත්‍යක්ෂ උපක්‍රමයක්.  

2. ‘ඉවත් කරගැනීම’

මේ ඉතාමත්ම ප්‍රචලිත නමුත්, සාර්ථකත්වයෙන් ඉතාම පහළ ක්‍රමයක්. මෙහිදී පුරුෂයා විසින් ශුක්‍රාණු පිට කිරීමට මොහොතකට පෙර ශිෂ්ණය යෝනි මාර්ගයෙන් ඉවත් කරගනු ලබනවා. මෙම ක්‍රමය අසාර්ථක ලෙස සැලකෙන්නේ, ඉවත් කරගැනීමේ මොහොත වන විටත් යම් ශුක්‍රාණු ප්‍රමාණයක් යෝනි මාර්ගය තුළට ඇතුළුව තිබීමේ හැකියාව නිසා පිළිසිඳගැනීමක් සිදුවීමේ අවධානම ඉතා ඉහළ වීමයි.

3. කැලැන්ඩර ක්‍රමය

මෙම ක්‍රමය පිළිපැදීමට නම් කාන්තාවකගේ ආර්ථව චක්‍රය පිළිබඳව සුළු වැටහීමක් අවශ්‍යයි. කාන්තාවකගේ දින 28ක සාමාන්‍ය ආර්තව චක්‍රය සැළකිල්ලට ගතහොත්, මාසික රුධිර වහනය ආරම්භ වූ දින පටන් දින 8 – 10 පමණ ගත වන්නේ ගර්භාෂයේ ඇතුළු බිත්තියේ (අන්තෝමාතෘකය) පටක ඉවත් වෙලා නව පටක ඇති වීමට.

නව පටක ස්ථරයක් ඇතිවූ ගර්භාෂ ඇතුල් බිත්තිය පිළිසිඳගැනීමකට සූදානම් වුණත්, සාමාන්‍යයෙන් ඩිම්බයක් නිකුත් වන්නේ 12 – 16 වන දිනයන් අතරේයි. මේ දින කීපය අතරේ ලිංගික එක්වීමක් සිදු වුවහොත් ගැබ්ගැනීමේ අවධානම ඉතාමත්ම ඉහළයි. නමුත් මේ දින කීපයෙන් පසු සංසේචනය නොවූ ඩිම්බය විනාශ වී යනවා. එම නිසා නැවතත් ඊළඟ රුධිර වහනය ආරම්භ වන 28 වන දින දක්වා ගැබ්ගැනීමේ අවධානමක් නොමැති තරම්. මේ කරුණු නිසා දින 28ක චක්‍රයෙන් රුධිර වහනය ඇරඹීමෙන් පසු පළමු දින 12ත්, අවසාන දින 12ත් ‘ආරක්ෂාකාරී’ දින ලෙස සැළකීමට අප හුරුවී සිටිනවා. කෙසේ නමුත් මෙම ක්‍රමය ආරක්ෂාකාරී වන්නේ ආර්තව චක්‍රය නිසි ලෙස සිදු වන කාන්තාවන්ට පමණයි. එමෙන්ම මෙහි සාර්ථකත්වය සැළකිය යුතු තරම් පහළ බවත් කිව යුතුයි.

සාම්ප්‍රදායික ක්‍රම බැහැර කර, නවීන සහ වඩාත් විශ්වාස කටයුතු ක්‍රම පිළිබඳව සළකා බැලුවොත් එම සියළුම උපත් පාලන උපක්‍රම, ප්‍රධාන ක්‍රමයන් කීපයක් යටතට බෙදා වෙන් කරන්න පුළුවන්.

1. හෝමෝනමය ක්‍රම

 

මෙහි ප්‍රධාන ක්‍රමයන් දෙකක්, එනම්, උපත් පාලක පෙති සහ එන්නත ලෙස හඳුනාගන්න පුළුවන්. මෙයිනුත් වඩාත්ම ප්‍රචලිත ක්‍රමය උපත් පාලක පෙතියි. ඊට අමතරව හෝමෝන මුදුව සහ පැච් භාවිතා වනවා.

උපත් පාලක පෙති ලෙස සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ එස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩංගු පෙති 21 හෝ 28 කින් සමන්විත මිශ්‍ර පෙති කට්ටලයි.

මෙයින් එස්ට්‍රජන් හෝමෝන පෙති වලින් මූලිකවම සිදු කරන්නේ ඩිම්බ මෝචනය වැළක්වීමයි. ඊට අමතරව සංසේචිත ඩිම්බ අධිරෝපණයෙන් වැළැක්වීම, යෝනි ස්‍රාවයන්ගේ ඝණත්වය ඉහළ දැමීම මගින් ශුක්‍ර සෛල වල චාලක බව අවම කිරීම ආදිය ද සිදු කෙරෙන බවත් සඳහන්. ප්‍රොජෙස්ටරෝන් වලින් උපත් පාලනය සඳහා සෘජු බලපෑමක් නොමැති වුවත්, එස්ට්‍රජන් ලබාගැනීම නිසා ඇති විය හැකි අතුරු ප්‍රථිඵල මැඩ පැවැත්වීම සිදු කෙරෙනවා. උපත් පාලක පෙති වල සාර්ථකත්වය 99%ත් වඩා ඉහළයි.

කෙසේ නමුත් ඔබේ වයස අවුරුදු 40ට වැඩි නම්, දුම් පානය කරන්නේ නම්, අධික රුධිර පීඩනය, ඉහළ කොලෙස්ටරෝල් අගයන්, පිළිකාමය නොවන අක්මාව හා පිත්තාශය ආශ්‍රිත ගැටළු, පියයුරු හෝ ගැබ්ගෙල පිළිකා ඇත් නම් හෝ මව්කිරි ලබා දෙන්නේ නම් පෙති භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසුයි.

දෙවනි ක්‍රමය නම් සති 12කට වරක් ලබාගත යුතු ඩිපො-ප්‍රොවිරා එන්නතයි. මේ එන්නතෙහි අඩංගු වන්නේ ප්‍රොජෙස්ටරෝන් පමණයි. මෙය එන්නත් කරනු ලබන මාංශ පේශියේ සිට ක්‍රමයෙන් රුධිරයට නිදහස් කෙරෙනු ලබනවා. මෙහි සාර්ථකත්වය 99%ට ඉහළ වන අතර, උපත් පාලක පෙති තරමට අතුරු ආබාධ ගෙන එන්නේද නැහැ.

සම යට හෝමෝන කරල් තැන්පත් කිරීමේ ක්‍රමයකුත් උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතයට ගැනෙනවා. මෙය දිගු කාලීන ක්‍රියාකාරීත්වයක් සහිත උපත් පාලකයක්. මෙම ක්‍රමය 99%ට වඩා සාර්ථක බව කියැවෙන අතර, උපත් පාලක පෙති මෙන් නොව, වයසින් වැඩි කාන්තාවකට වුවද භාවිතයට සුදුසු ක්‍රමයක්. මෙම කරල්  භාවිතය පුහුණුව ලත් සෞඛ්‍ය නිලධාරියෙකු මගින් විෂබීජහරණය කරන ලද පරිසරයකදී සිදුකරවා ගත යුතුයි.

මෙම සියළුම ක්‍රම තාවකාලික ක්‍රමයන් වන අතර, භාවිතය අත්හළ විට සරු බව නැවත ඇතිවනවා.

2. බාධක ක්‍රම

විවිධ කොන්ඩම් වර්ග (stylecaster.com)

විවිධ කොන්ඩම් වර්ග (stylecaster.com)

 

ලංකාව පුරා සුලභවම ප්‍රචලිත, වියදම් අවම උපත් පාලකයක් වන කොන්ඩම ඇතුලත් වන්නේ මෙම ක්‍රමයන් යටතට. ඊට අමතරව ගැබ්ගෙල කැප් (cervical caps), සහ ශුක්‍රාණු නාෂක අඩංගු ස්පොන්ජ මේ යටතට ඇතුලත් වනවා. මෙම ක්‍රමයන් මගින් බහුලවම සිදු කරන්නේ භෞතික ක්‍රම මගින් ශුක්‍රාණු ගර්භාශයට ඇතුල් වීම වැළැක්වීමයි.

අනෙකුත් උපත් පාලක ක්‍රම මගින් නොලැබෙන, කොන්ඩම පැළඳීමේ වාසියක් තමයි සමාජ රෝග වලින් ආරක්ෂාවක් ලැබීමත්, අතුරු ආබාධ නොමැති තරම් වීමත්. මෙම ක්‍රමයේ සාර්ථකබව 95%ට වඩා ඉහළයි. කොන්ඩම පිළිබඳව වැඩි විස්තර ලබාගැනීම සඳහා මෙම ලිපිය කියවන්න පුළුවන්.

3. IUD (Intrauterine devices)

'ලූප' යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ IUDයි. (usnews.com)

‘ලූප’ යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ IUDයි. (usnews.com)

‘ලූපය’ යනුවෙන් සරලවම හැඳින්වෙන මේ ක්‍රමයෙන් සිදුවන්නේ ‘T’ අකුරක හැඩැති කුඩා තඹ හෝ හෝමෝන අඩංගු උපකරණයක් ගර්භාෂය තුළත ඇතුලත් කිරීමයි. මෙම උපකරණයෙන් සංසේචනය වූ ඩිම්බය ගර්භාෂ බිත්තිය මත තැන්පත් වීම වැළැක්වීම මගින් ගැබ්ගැනීම නවතා දමනවා. හොමෝන අඩංගු නොවන තඹ උපකරණයක් අවුරුදු 10ක් දක්වාත්, හෝමෝන අඩංගු levonorgestrel IUD (Mirena යන වෙළඳ නාමයෙන් ප්‍රචලිත) උපකරණ අවුරුදු 5ක් දක්වාත් පැළඳිය හැකියි. හොමෝනමය ක්‍රම වලින් ඇති කරන සංකූලතා සහ අතුරු ආබාධ කිසිවක් තඹ ලූපයෙන් ඇති කරන්නේ නැතිවා වාගේම, සාර්ථකත්වය 99%ට වඩා ඉහළ බව තහවුරු කර තිබෙනවා. කෙසේ නමුත්, තැන්පත් කිරීමෙන් පළමු පැය 24 තුළ යටි උදරයෙහි වේදනාවක් ද, පළමු සති 3 – 4 තුළ සුළු රුධිර වහනයක් ද සිදුවීම සාමාන්‍යයි. මෙම උපකරණය තැන්පත් කිරීම පුහුණුව ලත් සෞඛ්‍ය නිලධාරියෙකු මගින් සිදු කරවා ගත යුතුයි.

මෙම ක්‍රමයන් තාවකාලික වන නිසා, භාවිතය අත්හළ වහාම සරු බව නැවත ඇතිවනවා.

4. ස්ථිර වන්ධ්‍යාකරණය

ෆැලෝපීය නාල ගැටගසා කපා දැමීම ස්ථිර උපත් පාලන ක්‍රමයකි. (invitra.com)

ෆැලෝපීය නාල ගැටගසා කපා දැමීම ස්ථිර උපත් පාලන ක්‍රමයකි. (invitra.com)

ගැබ් ගැනීමට බලාපොරොත්තුවක් නොමැති නම් හෝ දරුවන් අනවශ්‍ය නම්, ස්ථිර උපත් පාලන ක්‍රමයක් සඳහා යොමු වීමටත් පුළුවන්.

මෙහිදී කාන්තාවන් සඳහා, ඔවුන්ගේ ෆැලෝපීය නාල ගැටගසා කපා දැමීම මගින් ඩිම්බයක් ගර්භාෂය වෙත ඒම වළක්වා, ගැබ් ගැනීමක් සිදුවීමේ ඉඩකඩ අහුරා දමනවා (tubal ligation). එන්නත් හැර වෙනත් ඕනෑම උපත් පාලක ක්‍රමයක් භාවිත කළ කාන්තාවකට ඕනෑම අවස්ථාවක දී වන්ධ්‍යාකරණ සැත්කමට යොමු විය හැකියි.

පුරුෂයෙකුට වන්ධ්‍යාකරණ සැත්කමක් සිදු කිරීමේ දී ශුක්‍ර ගලා එන අපසාහී වාහිණී ගැටගසා කපා දැමීමක් සිදුවෙනවා (Vasectomy). එයින් පසු ඔහුගේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු අඩංගු නොවන නිසා, සංසර්ගයකදී කාන්තාව ගැබ් ගැනීමේ ඉඩකඩ නොමැති තරම්. කෙසේ නමුත් පුරුෂයෙකු වන්ධ්‍යාකරණ සැත්කමකින් පසු මාස 3ක් යනතුරු අන් උපත් පාලකයක් භාවිතා කළ යුතු අතර සැත්කමේ සාර්ථකභාවය පරීක්ෂා කිරීමට ශුක්‍ර තරල පරීක්ෂාවක් සිදු කළ යුතුයි.

5. හදිසි උපක්‍රම

අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසු ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට මෙම ක්‍රම භාවිතා කළ හැකියි. මේවා අවශ්‍ය වන්නේ අනාරක්ෂිත හදිසි සංසර්ගයකට පසුව හෝ, භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වුවහොත් පමණයි (උදා: කොන්ඩමය ඉරී යෑම). මෙම ක්‍රමයන් කිසිසේත්ම උපත් පාලනය සඳහා වන එදිනෙදා ක්‍රමයක් ලෙස භාවිතා කිරීම නොකළ යුතුයි.

හදිසි උපත් පාලක පෙති

Postinor 2. (naijaonpoint.com)

Postinor 2. (naijaonpoint.com)

කට වහරේ දී Plan B යනුවෙනුත්, වෙළඳපොළේ Postinor යන වෙළඳ නාමය යටතේත් හඳුන්වන්නේ මේවායි. ලිංගික එක්වීමකින් පැය 72ක් දක්වා Postinor 1 පෙති 1ක් හෝ Postinor 2 පෙති දෙකක් පැය 12ක පරතරයක් අතර ලබාගැනීම මගින් 80%ක් පමණ පිළිසිඳගැනීම් වළක්වා ගත හැකියි.

මෙහි අඩංගු වන Levonorgestrel හෝමෝනය මගින් ඩිම්බ සෛල පිටවීම වැළැක්වීමත්, සංසේචනය වූ සෛලයක් තැන්පත් වීමට නුසුදුසු සාධක ගර්භාෂය තුළ ඇති කිරීමත් සිදු කරනවා. කෙසේ නමුත් මෙමඟින් ගබ්සා වීමක් සිදුවන්නේ නැහැ.

උපත් පාලක පෙති අධිමාත්‍රාව (Yuzpe method)

සාමාන්‍ය උපත් පාලක පෙති අධිමාත්‍රාවක් ගැනීම මෙමගින් සිදුවෙනවා. අනාරක්ෂිත සංසර්ගයකින් පසු හැකි ඉක්මනින් උපත් පාලක පෙති 8ක් 4 බැගින් පැය 12ක පරතරයක් ඇතුලත ගැනීම සිදු කළ යුතුයි. පැය 72කට පසු ගැනීමෙන් මෙයින් ප්‍රථිඵල අත් නොවෙන්නට පුළුවන්. මෙය ක්‍රියා කරන්නේත් Levonorgestrel පෙති ක්‍රියාකරන ආකාරයටමයි.

මෙම පෙති ක්‍රමයන් දෙකෙන්ම ඇතැම්විට පැය 120 දක්වා ආරක්ෂාව සලසාගත හැකි බව ඇතැම් පර්යේෂකයින් වාර්තා කරනවා.කෙසේ නමුත් මේවායේ ඇති අධික හෝමෝන සාන්ද්‍රණය නිසා සංකූලතා ඇති වීමේ හැකියාව ඉතා ඉහළ නිසා එදිනෙදා භාවිතයට නම් ඉතාම නුසුදුසුයි.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම අනාරක්ෂිත ගැබ් ගැනීම් වළක්වාගැනීමට කටයුතු කළ යුතු වුව ද, මේ පිළිබඳව වැඩිපුරම අවධානය කළ යුතු වන්නේ ස්ත්‍රී පාර්ශවය බවට අප විශ්වාස කරනවා. මේ විශ්වාසයට ප්‍රධානතම හේතුව නම්, සංසර්ගය දෙදෙනෙකු අතර සිදු වුවද අවසන ගැබ් ගන්නේ ස්ත්‍රීය වීමයි.

උපත් පාලන ක්‍රම පිළිබඳව දැනුවත්ව සිටීම හෝ භාවිතා කිරීම කිසිසේත්ම ලැජ්ජාවට කරුණක් හෝ අපහාසයට ලක් වන කරුණක් නොවෙයි. ලැජ්ජාවට සහ අපහාසයට කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ දැනට දිනකට නීති විරෝධී ගබ්සා කිරීම් 40ක් පමණ සිදු වන බවයි. එම නිසා ගැබ් ගැනීමක් වැළැක්විය යුතු සියළු අවස්ථාවන් වලදී උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම අපගේ පුරවැසි වගකීමක් බවට සිහිතබා ගනිමු.

 

Related Articles