Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ අපිට වීසා නැතිව යා හැකි රටවල් සහ ඒවායේ විස්තර

ඒකාකාරී ජීවිතයකට වඩා විනෝදයත් මුසු කර ගත් ජීවිතයක් විඳවනවා වෙනුවට විඳින්නට පුළුවන්. මේ සඳහා විනෝදාංශ රැසකට බොහෝ දෙනෙක් හුරුවී සිටිනා අතර සංචාරය කියන්නේත් ඒවා අතර තිබෙන හොඳ අංගයක්. ප්ලෑන් කරලා යන්න හිතාගෙන ඉන්න ට්‍රිප් වැඩ කරන්නේ නැහැ වගේම ප්ලේන් එකෙන් යන ට්‍රිප් උනත් හිතුමතේ ගිහින් එන්න ටිකක් ආමාරුයි. මොකද ඒකට පාස්පෝට් එකයි, වීසා බලපත්‍රයයි අවශ්‍ය වෙනවා. දැනගෙන හෝ නොදැනගෙන කතරගම ගිහින් වාහනේට දෙයියන්ගෙන් ඉන්ෂුවරන්ස් එකක් දාගන්නවා වගේ වෙනත් රටකට යන්න කලින් ගන්න ඕනෑ මේ දෙක ගැන, සහ වීසා නැතිව යා හැකි රටවල් හා ඒවා ගැන කෙටි විස්තරයක් මේ ලිපිය හරහා ආවරණය කෙරෙනවා.

අපේ උඩරට, පහතරට යනවා එනවා වගේ පිටරටටත් ගිහින් එන එක විනෝදයට කරන්නට පුළුවන් දෙයක්. බොහෝ විට රට යෑම රැකියා සම්බන්ධව ප්‍රචලිත දෙයක් වුණත් වෙනත් රටවල සංස්කෘතීන් ගැන අවබෝධයක් ලබා ගන්නට, නව අභියෝග වලට මුහුණ දෙන්නට, අත්දැකීම් එකතු කර ගන්නට, ඉගෙන ගන්න යනවා නම් තමන්ගේ රැකියා අයැදුම් පත්‍රයේ සඳහන්කර වැඩි වටිනාකමක් ඊට එක්කර ගන්නට මෙන්ම ළිඳේ ඉන්න මැඩියෙක් වගේ නැතිව දූපත් මානසිකත්වය නැති කරගෙන පුළුල්, විවෘත මනසක් ඇති කරගන්නට විදේශ රටකට පිවිසීම උපකාර වෙනවා.

පාස්පෝට්, වීසා කියන්නේ මොනවාද?

(webnode.cz)

(webnode.cz)

විදේශ රටකට යාමට පෙර ඔබේ අනනත්‍යාව තහවුරු කරගැනීම අත්‍යාවශ්‍යයි. ඊට හේතුව ලෝකයේ තිබෙන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, මත්‍ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ව්‍යාපාර ආදියෙන් රටේ සිටින ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා සෑම රටක්ම උනන්දු වීමයි. මෙම ක්‍රියාවලියට පහසුවක් වශයෙන් පාස්පෝට් සහ වීසා හඳුන්වාදී ඇති අතර ඉන් ඔබේ ගමන පිළිබඳ අපේ රට සම්පූර්ණයෙන්ම වග වීම සිදු වෙනවා.

පාස්පෝට් යන ඉංග්‍රීසි වචනයේ තේරුම තොටුපොළ පසුකොට යාම, නැත්නම්, සුදුසු බව පිළිගෙන සමත් වීම යන්න යි. ඒ අනුව භාවිතයේ පහසුව සඳහා පොතක් මෙන් සකසා ඇති මෙම විදේශ ගමන් බලපත්‍රයේ ඔබේ නම, ඡායාරූපයක් ඇතුළු සියළු විස්තර අඩංගු කරමින් නීත්‍යානුකූල අවසර පතක්, අනන්‍යතා පතක් ලෙස ඔබ හා රැඳෙනවා. වීසා කියන්නේ පාස්පෝට් එකේ ඌණපූර්ණය කරන අපේ ගමනෙහි හේතුව රැකියාවක් සඳහා, උසස් අධ්‍යාපනය සඳහා, සමුළුවකට සහභාගීවීම සඳහා ආදී වශයෙන් සහ ඒ සඳහා ගත කරන කාලරාමුව සඳහන් කර තිබෙනවා. බොහෝ විට මෙයත් පාස්පෝට් එකට ම අමුණනු ලබනවා.

වීසා අනවශ්‍ය රටවල්

ඔබේ නෑදෑ හිතවතෙකුගේ නිවසට යන්නට ඔබට හේතුවක් ඕනෑ නැහැ වගේ රටවල් අතරත් තිබෙන මිත්‍රශීලී ගිවිසුම් සබඳතා නිසා ආයෝජක සහ සංචාර ව්‍යාපාරයන්හි අන්‍යෝන්‍ය දියුණුව උදෙසා නිශ්චිත කාල සීමාවක් සඳහා හේතු දැක්වීමක් හෙවත් වීසා බලපතක් ගැනීමෙන් තොරව පිවිසෙන්නට ජනතාවට අවස්ථාව දී තිබෙනවා. ශ්‍රී ලංකාව සඳහාත් මෙවන් මිතුරු කැලක් ඉන්නා නමුත් ඇතැම් රටවල් පිළිබඳ බහුතරයක් දෙනා අහලාවත් නැහැ. ඕනෑම රටකට ගොසින් තිබිය යුතුය හෝ සෑම රටක්ම වැදගත් ය, සංස්කෘතීන් හැදෑරීම අත්‍යවශ්‍ය වැනි මහා විවෘත මනසක් තිබීම හැරුණා ම ඒ වගේ නොඇසූ රටකට ගිහින් වෙන කාටවත් ඉතින් ලොකුවක් කියන්නටවත් බැහැ.

ඒ හැරත් සංචාරක ආකර්ෂණය ඇති නැරඹීමට හැකි ස්ථාන, සාප්පු සවාරියකට සුදුසු හොඳ වෙළඳපොළක්, විනෝදකාමී පරිසරයක් වැනි දෙයක් නැතිව රටකට යන එකේ තේරුමකුත් නැහැ. ඒ නිසා ටිකක් වැදගත්කමක් ඇති වීසා අනවශ්‍ය රටවල් ගැන මුලින් සොයා බලමු.

1- සිංගප්පූරුව

(theinnovationenterprise.com)

(theinnovationenterprise.com)

දූපත් 63කට හිමිකම් කියන සිංගප්පූරු ජනරජය සංචාරක ආකර්ෂණයෙන් මෙන් ම ව්‍යාපාර අංශයෙන් ද ලොවෙහි ඉහළ තලයක සිටින රටක්. එනිසා විසිතුරු දේවල් නැරඹීම මෙන් ම සාප්පු සවාරියකටත් බෙහෙවින් උචිත මෙය සංචාරයක් සඳහා හොඳින් ගැලපෙනවා.

සිංහපූර් යන සංස්කෘත භාෂාමය වදනින් සිංහපුරය යන අර්ථය දරන මේ රටට ඒ නම යොදා තිබෙන්නේ සං නීලා නමැති මෙම ප්‍රදේශය සොයාගත් පුද්ගලයා සිංහයකු වැනි සත්ත්වයකු එහිදී දැකීම නිසා යි. ඇත්තෙන් ම එහි සිට ඇත්තේ මලයානු කොටියෙක් වන අතර කිසිම දිනෙක සිංහයෙක් මෙම ප්‍රදේශයේ සිට නැහැ. හැබැයි ඉතින් සිංහපුරය කියන නම කොටිපුරය කියනවාට වඩා විවිධ පැතිවලින් හොඳයි නේද?

සුන්දර වටපිටාවක්, නගර නිර්මාණකරණ ක්‍රම ශිල්පයන්ගෙන් ආඪ්‍ය පරිසරයක් සහ විනෝද වීමට අවස්ථාවන් රැසක් සලසා ඇති රටක් වශයෙන් පළමු තෝරාගැනීම ලෙසින් හැඳින්විය හැකි මේ රටේ ඔබට මාසයක් (දින 30ක්) වීසා රහිතව සැරිසරන්නට අවස්ථාව තිබෙනවා.

2- ඉන්දුනීසියාව

(nationalgeographic.com)

(nationalgeographic.com)

සංචාරකයෙක්ට අඩු වියදමකින් කල් ගෙවිය හැකි රටක් වන ඉන්දුනීසියාව හරිත පැහැයෙන් යුතු රටක් නිසා ශ්‍රී ලංකාවේ මෙන්ම සොබාදම හොඳින් විඳිය හැකි රටක්. දකුණු ආසියාවේ විශාලතම ජාතික වනෝද්‍යානය, බොරොබුදූර් වැනි ඓතිහාසික පන්සල්  ආදී නැරඹිය හැකි ස්ථාන රැසකින් යුතු මේ රට ලොව විශාලතම කටුසු වර්ගය වන කොමොඩෝ මකරුන්ට හිමිකම් කියනවා.

කුඹුරු යායන්, කිමිදුම් අත්දැකීම්, හරිත බව සහ බෞද්ධ සංස්කෘතිය නිසා ලංකාවේ ඉන්නවා වගේ ම හැඟීමක් මින් දැනවෙනවා. මෙහි ද දින 30ක් සඳහා වීසා අවශ්‍ය වන්නේ නැහැ.

3- බාහාමාස්

(zastavki.com)

(zastavki.com)

සෞම්‍ය කාලගුණයක් හැමවිටම පාහේ දරන බහාමාස් දිවයින අපේ ශ්‍රී ලංකාව මෙන්ම ලොව බොහෝ සංචාරකයන්ගේ ශීත සෘතුව ගෙවෙන තෝතැන්නක්. සිත්ගන්නාසුළු නොගැඹුරු මුහුදු තීරය, ජල ක්‍රීඩා, ලුකැයන් ජාතික වනෝද්‍යානය සහ දේශීය නිර්මාණයන්ගෙන් පිරුණු වෙළඳපොළක් ඇති බහාමාස් සමූහාණ්ඩුව අපි වගේම අතීතයේ බිත්‍රාන්‍ය පාලනයට යටත්ව තිබූ රටක්. මෙහි අපිට මාස තුනක් ම හිතුමතේ සංචාරය කරන්න පුළුවන්.

අනෙකුත් රටවල්

මේ හැරුණාම වීසා රහිතව ගත කළ හැකි තවත් රටවල් තිබෙනවා. ඒ අනුව මේ ලිපිය ලියන මොහොත වනවිට රටවල් 14ක් ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා බලපතක් නොමැතිව තම රටට ඇරයුම් කරන්නට කාරුණිකවී තිබෙනවා.

  1. බාබඩෝස් – මාස 6ක්
  2. ඩොමිනිකා – මාස 6ක්
  3. ඉක්වදෝරය – මාස 3ක්
  4. ග්‍රෙනාඩා – මාස 3ක්
  5. හයිටි – මාස 3ක්
  6. ලෙසොතෝව – මාස 3ක්
  7. මයික්‍රොනීසියාව – මාස 1ක්
  8. ශාන්ත කිට්ස් සහ නෙවිස්
  9. ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනේඩින්ස් – මාස 1ක්
  10. වැනුවාටු – මාස 1ක්

මේවායෙන් ඔබ යන්නට කැමතිම මොන රටටද? එනකොට අපූරු මතකයන් පොදියක් වගේම අපිටත් ටොපි චොක්ලට් ටිකක් ගේන්න එහෙම අමතක කරන්න එපා.

මූලාශ්‍ර: PassportIndex, Quora, telegraph.co.uk, Wikipedia, BradtGuides, LonelyPlanet, The Smart Local

Related Articles