Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිර ගත කළ කවි සිත: අහ්නෆ්  ජසීම්

අහ්නෆ් ජසීම් සහ මා සන්නිවේදනය කරෙන්නේ භාෂා පරිවර්තකයකු මාර්ගයෙනි. ඔහු ලියන්නේ කියන්නේ දෙමළ භාෂාවෙනි. මම දෙමළ බසින් කියවීම හෝ ලිවීම නොදනිමි. එහෙත් ඔහු මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන අයුරු මම අසා සිටිමි.

පොලිස් භාරයෙහි සිටින සමයේ තොරතුරු ඔහු ගෙන් අසන විට ඉතා සෙමෙන්, ප්‍රවේසමට පිළිතුරු බඳින ඔහු, කාව්‍ය ගැන, දේශපාලනය ගැන හා රටෙහි වර්තමාන තත්ත්වය ගැන ඔහුගේ කියැවීම කෙසේදැ යි අසන විට ඉතා හැඟුම්බරව සහ වේගයෙන් පිළිතුරු දෙයි.

“හමුදාවෙන් සිදුවන තාඩන පීඩන උතුර, දකුණ හෝ නැඟෙනහිර කියා වෙනසක් නෑ” ජසීම් පවසයි.

 “මේ සඳහා හොඳම උදාහරණය අරගලය යි. රජය හමුදාවේ ප්‍රචණ්ඩත්වය මුදා හැර අරගලය මැඬපැවැත්වූවා. දේශපාලකයන් තමන්ගේ සිතැඟි අනුව සාමාන්‍ය ජනයා ඕනෑම තැනක දී තලා පෙළා දමන්නට සූදානම්.”

දේශපාලකයන් තමන්ගේ සිතැඟි අනුව සාමාන්‍ය ජනයා ඕනෑම තැනක දී තලා පෙළා දමන්නට සූදානම්.

 

මාස ගණනක් නොනැවතී ඉදිරියට ගිය අරගලය

ඔහු නිවැරැදි ය. මාස ගණනක් නොනැවතී ඉදිරියට ගිය අරගලය, මෙතෙක් කාලයක් බලධාරීන්ගේ නොපණත්කම් ඉවසමින්, කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් නොදක්වමින් සිටි ආණ්ඩුවට එරෙහි ව නැඟී සිටින්නට බහුතර මහජනතාවට හුස්ම දුන් අතර, එය මැඬ පවත්වන්නට ආරක්ෂක අංශ ගෝඨාගෝගම වෙත පසුගිය ජූලි මස 22වැනි දා හදිසියේ කඩා වැදී සම්පූර්ණ හමුදා මෙහෙයුමක් සිදු කළේ ය. ඉන් මසකට පසුව අරගලයට සම්බන්ධ වූවන් විවිධ අභූත චෝදනා යටතේ අත් අඩංගුවට ගැනීම සිදුවෙමින් පවතියි.

ඉතා ම මෑතක දී සිදුවුණු අත් අඩංගුවට ගැනීම් ලෙස, අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ක්‍රියාකාරී ශිෂ්‍ය සංගම් සාමාජික හසන්ත ජීවන්ත ගුණතිලක සහ අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු සංගමෑයි කැඳවුම්කරු සිරිධම්ම හිමියන් අත් අඩංගුවට ගැනීම පෙන්වා දිය හැකි ය. 2022 අගෝස්තු මස 22 වැනි දා ජනපති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ඇමතිවරයා ලෙස තමන් සතු බලතල ප්‍රකා රව, මේ තිදෙනා ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් දක්වා රැඳවුම් භාරයේ තබන්නට අවසර ලබා දුන්නේ ය. ජසීම් 2020 වසරේ මැයි මස දී සිර භාරයට ගන්නටත්, මාස 19 ක් රඳවා තබා ගන්නටත් පාලකයන් භාවිත කළේ මෙම පනත යි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත

“ඔවුන්ට හෙට දිනයේ ඔබ අත් අඩංගුවට ගන්නට අවැසි නම්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මඟින් එය පහසුවෙන් සිදු කරනු ඇත” ජසීම් මට පැවසී ය. 

“එය ඔබ මා ඇතුළු සියලු ලේඛකයන්ට ද, මාධ්‍යවේදීන්ට ද අදාළ වන අතර, කුමන භාෂාවෙන් වුව ද ඇත්ත කතා කරන කා හට වුව ද එය අදාළ වනු ඇති”

2017 වසරේදී උසස් අධ්‍යාපනය හදාරන සිසුවකුව සිටිය දී ම ජසීම් සිය පළමු කාව්‍ය ග්‍රන්ථය වන ‘නවරසම්’ පළ කළේ ය. ඔහු ඉන් පසු සිය අධ්‍යාපනය සම්පූර්ණ කර, පුත්තලමේ පාසලක දෙමළ සාහිත්‍යය ඉගැන්වීම ආරම්භ කරන්නට යෙදිණි. ඉන් වසර තුනකට පසුව, 2020 වසරේ මැයි මස 16 වැනි දින, ඔහු මන්නාරමේ පිහිටි සිය නිවසේ සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධරයන් අත් අඩංගුවට ගන්නේ, ඔහු කවි මගින් ආගමික අන්තවාදය පතුරවන බවට චෝදනා එල්ල වන බැව් ප්‍රකාශ කරමිනි.

“ඒ මාස 19 ඉතාමත් අපහසු කාලයක් වුණා.” ජසීම් කියයි.

 

ඔවුන් ඔහුගේ ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය හා පොත් රාක්කය  දැඩි ලෙස පරීක්ෂා කළ අතර, පොත් රාක්කයේ වූ ‘නවරසම්’ කෘතියේ පිටපත් කිහිපයක් ඇතුළු පොත් 50 ක් පමණ ඔවුහු තම භාරයට ගත්හ. ඔවුන් ජසීම්ට පවසා ඇත්තේ දින තුනක පරීක්ෂණයකට සූදානම් වන ලෙස ය. ඔහු අත් අඩංගුවට ගන්නේ මක් නිසාද යන්න පිළිබඳ ඔවුන් ජසීම්ට නිසි ලෙස පවසා නැත. එදින රාත්‍රී 8.30 ට නිවසෙන් පිටත රැගෙන ආ ඔහුට මාස 19 ක් ගතවන තුරු නිවෙසට නැවත පැමිණිය හැකි වූයේ නැත.

“ඒ මාස 19 ඉතාමත් අපහසු කාලයක් වුණා.” ජසීම් කියයි. 

“මා තංගල්ල, කොළඹ, නාවුක බන්ධනාගාරය ආදී ස්ථාන කිහිපයකට ගෙන ගියා. එම ස්ථානවලත් මා එක ස්ථානයක දිගු කාලයක් රැඳවූයේ නැහැ. දෙවන තට්ටුව, සයවන තට්ටුව යනා දී වශයෙන් ස්ථාන මාරු කරමින්, ඒවායේ සිර මැදිරි ද මාරු කළා”

මානසික ව බිඳවන්නට සැලසුම්

ජසීම් අත් අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන් ඔහු මානසික ව බිඳවන්නට සැලසුම් කළ එකක් බැව් පෙනී ගියා යැයි ඔහු කියයි. ඔහු සිරගත ව සිටිය දී කුරාණයේ පිටපතක් ගෙන්වා ගැනීමට සමත් වූ අතර, එය දිනපතා ඔහු කියවී ය. ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධාරීන් ඔහුට කුරිරු ලෙස සලකා තිබූ අතර, නිතර ම ආහාර පාන අවම ලෙස ලබා දෙමින්, සමහර විටෙක සම්පූර්ණයෙන් ඔහු කුසගින්නේ තබන්නට ද ක්‍රියා කර තිබුණැයි ජසීම් කියයි. ජසීම්ගේ නීතීඥයා වන සන්ජය විල්සන් ජයසේකර පොලිස්පතිවරයා වෙත මැයි මස යැවූ ලිපියක “මාගේ සේවාදායකයාට ත්‍රස්ත විමර්ෂණ ඒකකය සිදුකරන මෙම කුරිරු ලෙස සැලකීම ඔහු මානසික වශයෙන් වියවුලට පත් කිරීම, දුර්වල කිරීම සහ බලහත්කාරයෙන් ප්‍රකාශන ලබාගැනීම අරබයා සිදුකරන බවට සැක කරනවා” ය යනුවෙන් සඳහන් කොට තිබිණි.

2021 වසරේ මැයි මසදී දේශීය සහ අන්තර්ජාතික සංවිධාන 13 ක් ජසීම් ඉක්මනින් ම නිදහස් කරන ලෙස පවසමින් සාමූහික ප්‍රකාශයක් සිදු කර තිබිණි. මේ සංවිධාන අතර ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් සහ පෙන් ඉන්ටර්නැෂනල්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආයතනය යන ආයතන ද වුණා. මේ අනුව 2021 දෙසැම්බර් මස ජසීම්ට ඇප ලැබිණි. නිදහස් වීමෙන් සුළු මොහොතකට පසු ඔහු සිය මාපියන් සහ සොයුරා සමඟ එකතු වූ අතර, එහිදී ගත් ඡායාරූපවල ඔහුත්, පවුලේ උදවියත් වෙහෙසට පත් ව, එහෙහෙත් හැඟුම්බර ව සිටින ආකාරයක් දිස් විය.

“2019 මහ මැතිවරණයෙන් පසු, ගෝඨාභය රාජපක්ෂ ගේ පාලනය යටතේ ජාතිවාදී ආණ්ඩුවක් බලයට පැමිණියා. පාස්කු ප්‍රහාරයට පසු ඔවුනට ‘පෙනෙන්නට යමක්’ කිරීමට වුවමනාව තිබූ අතර, අහිංසක, නිර්දෝශී මිනිසුන් කිහිපදෙනෙක් ම අත් අඩංගුවට ගත්තා, මාත් එවැන්නෙක්.” ජසීම් පවසයි.

 “ඔවුන් මේ සියලු ගැටලු ඇති කරන්නේ කවියක් නිසා නම්, සම්පූර්ණ සත්‍යය හෙළිකරන්නන්ට කුමක් සිදු වේ ද? ඔවුන් මේ රටේ නිරුපද්‍රිත ව සිටින්නේ කෙසේ ද? “

“නවරසම් මගින් කිසි ලෙසකින් අන්තවාදය ප්‍රවර්ධනය කරන්නේ නැහැ.

 

කවියෙන් දේශපාලනය කිරීම

ජසීම් කවදත් කවියෙන් විශාල කර්තව්‍යක් කරන්නට හැකි බැව් විශ්වාස කළ අයෙකි. 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් පසු දින, ඔහු එය හෙළා දකිමින් කවියක් ලිවී ය. ඉන් පසු එළැඹුණු සති කිහිපය ඇතුළත ශ්‍රී ලංකාව පුරාවට මුස්ලිම් විරෝධී රැල්ලක් ඇති වූ අතර, එම කාලයේ දී ඔහු සිය නිවසෙහි රැඳිණි. ජසීම් අත් අඩංගුවට ගත් පසු, ඔහුට බලධාරීන් පවසා තිබුණේ, පාස්කු ප්‍රහාර සිදු කළ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්, ජසීම්ගේ කවි කියවා ඉන් යම් දිරිගැන්වීමක් ලද බවට තොරතුරු ඇති බව යි. කෙසේ නමුත් මෙය ඔප්පු කරන්නට තබා, සහරාන් ජසීම්ගේ කවි කියවා තිබේ ද යන්නවත් ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් ඔවුන් සතුව තිබුණේ නැත.

“ඇත්තෙන් ම ගැටලුව තිබුණේ ‘නවරසම්’ කාව්‍ය සංග්‍රහයේ නම්, ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය එය පළ කරන්නට අවසර ලබා නොදිය යුතු ව තිබුණා. එසේත් නැතිනම් රජයට එය තහනම් කරන්නට තිබුණා.” ජසීම් කියයි. 

“නවරසම් මගින් කිසි ලෙසකින් අන්තවාදය ප්‍රවර්ධනය කරන්නේ නැහැ. එහි වූ කාව්‍ය මිනිසුන් තලා පෙළීම සහ දුප්පත්කම ඇති කිරීම හෙළා දකින අතර, එමඟින් මාර්ගය පෙන්වන්නේ සාමයට මිස යුද්ධයට නොවේ”

හොඳ දේශපාලන කියැවීමක්

ඔහුගේ මෙම කෘතියෙහි කාව්‍ය සිංහල හා ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය කර ‘ෆ්‍රී අනාෆ් ජසීම්” යන වෙබ් අඩවියේ පළ කර තිබේ. ඒවායේ ඉතා හොඳ දේශපාලනික මතවාද ගැබ් ව ඇති අතර, එහි පැහැදිලි ලෙස ම ගැබ් ව ඇත්තේ  ඉස්ලාම් ඉගැන්වීම්වල ඇති ආදර්ශ වැනි දේ යි. දිනෙක එළැඹෙන දිව්‍යමය විනිශ්චය හා සත්‍යය පසක් වීම වැනි දේ පිළිබඳ එහි ඇතුළත් ය.

ජසීම් සතු ව හොඳ දේශපාලන කියැවීමක් පවතියි.

“කාව්‍යය දේශපාලනයෙන් වෙන් කරනන්ට බැහැ. කොටින් ම සියලු කලාවන් දේශපාලනය හා මුසු වී තිබෙනවා.” ඔහු කියයි.

 “ඔබ ආදර කවියක් ලියද්දී වු වද, එය සිදු කළ යුත්තේ ඔබේ පවුල් පසුබිම, නිත්‍යනුකූලභාවය සහ රජයේ නීතිවලට අනුව යි. ඔබ මොනවා ලිව්ව ද එයට දේශපාලනික ප්‍රතිරූපයක් තිබෙනවා “

ජසීම් සිය කාව්‍යකරණයේ දී සාම්ප්‍රදායික දෙමළ සාහිත්‍යමය භාෂ විලාසය යොදා ගත්ත ද, ඔහුගේ අදහස් සහ වදන් තුළ ගැබ් ව ඇත්තේ ඉන් එහා ගිය නවීන බවකි. ඔහු අමෙරිකාව, මැදපෙරදිග සම්බන්ධව ගෙන යන කුහක ප්‍රතිපත්තිවලට සිය කවිවලින් දැඩි ලෙස පහර දී තිබෙන අතර, එලෙස ම අයි. එස්.අයි.එස් සංවිධානය ඉරාකයේ හා සිරියාවේ ගොඩ නඟන්නට වෙර දරන  ‘ඉස්ලාමීය රාජ්‍යය” සංකල්පයට ද දැඩි ලෙස පහර දී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, සෑම දෙනා ම සිදු කරන යුද කටයුතු සම්බන්ධයෙන් සමාන කෝණයකින් බලනවා ද යන්න විවාදයට බඳුන් කරන ඔහු, පලස්තීනයේ, සිරියාවේ, ඇෆ්ගනිස්ථානයේ, කාශ්මීරයේ හා මියන්මාරයේ ජනතාව විඳින දුක් ගැහැට පිළිබඳ සානුකම්පිත ව සිය කවිය මෙහෙයවා ඇත.

කාව්‍ය දිවියට පෙර මග සැපයූවෝ

ඔහු කවිචක්‍රවිර්තී කම්බන්, අව්වයියාර්, තිරුවල්ලුවර්, සුබ්‍රමනියා භරතියාර් සහ බරතිදාසන් වැනි අය සිය කාව්‍ය දිවියට පෙර මග සැපයූ බවට විශ්වාස කරයි. 

“ඔවුන්ගේ කවි, සමාජ වෙනස්කම්, දේශපාලනික බුද්ධිය සහ අවධානය මෙන්ම නිදහස පිළිබඳවත් අදහස් සපයන අතර, මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව සහ සාමය පිළිබඳ ව කාව්‍යකරණයට මා යොමු වුණා” යි ඔහු කියයි.. 

“කවියක් සමාජයට, තමන් මුහුණපාන ගැටලු පිළිබඳ ව අවධානය දැක්වීමට හුරු කරවනවා. දේශපාලනඥයන්ට එවැන්නක් සිදු වනු දැකීමට වුවමනා නැහැ. සාහිත්‍යය ලොව හොඳම කලාවයි, කාව්‍යකරණය හොඳ ම සාහිත්‍යය යි. මා එය තෝරා ගත්තේ එබැවිනු යි. හැමෝට ම කවි ලියන්නට බැහැ. “

චෝදනා ලත් මිනිසෙක්

මේ වන විට 27 හැවිරිදි ජසීම් ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය, පාලකයා සහ ඔවුන්ගේ අනුගාමිකයන් ගේ ස්වභාවය සම්බන්ධයෙන් කුරිරු සහ නරක ම අත්දැකීම ලත් අයෙකි. ඔහුගේ මාපියන් සිවිල් යුද සමයේ දී මන්නාරමෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය මඟින් එළවා දමා තිබිණි. ජසීම් උපත ලබා ඇත්තේ පුත්තලමේ දී යි. 

“මා කුඩා කල මිනිසුන් අපට සැලකුවේ සරණාගතයන් ලෙසයි. මා නිරතුරු ව අපට මෙලෙස සිදු වූයේ ඇයි ද යන්න කල්පනා කළා” ඔහු කියයි.

“දෙමළ ජාතිය සුරකින මුවාවෙන් එල්.ටී.ටී.ඊ ය අනෙකුත් ජාතීන් තලා පෙළා දැමුවා. මේ ක්‍රමය අප රටේ අදටත් ජනප්‍රිය ව තිබෙනවා “

” 2014 වසරේදී මුස්ලිම් විරෝධී කෝලාහල සිදුවූයේ අපේ නිවස ඉදිරිපිට ම යි ” ජසීම් සිහි ගන්ව යි. ඔහු බේරුවල නලීමියා ඉස්ලාම් අධ්‍යයන ආයතනයේ එවකට අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර, එකල ඇවිළ ගිය කෝලාහල බේරුවල, අලුත්ගම හා දර්ගා නුවර පුරාවට පැතිර ගියේ ය. 

“මෙම කෝලාහල මගේ ඇස් පෑදුවා. ශ්‍රී ලංකාවේ පාලකයන් සිතන්නේ සහ වැඩ කරන්නේ තමන්ගේ සුබසිද්ධිය සඳහා පමණ යි. ඔවුන් මේ සඳහා වාසි ගන්නට ජාතිවාදය, වර්ගවාදය හා ත්‍රස්තවාදය වපුරනවා” යි ජසීම් පවසයි.

2022 අගෝස්තු මස 1 වැනි දා ආරක්ෂක අමාත්‍යංශය විශේෂ ලැයිස්තුවක් එළිදැක්වී ය. පසුගිය කාලයේ රාජ්‍ය විරෝධී ව හැසිරුණු පුද්ගලයන් එහි දී නම් කර තිබූ අතර ජසීම් ගේ නම ද එයට ඇතුළත් ව තිබිණි. ඔහු නම් කර තුබුණේ ‘ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් ” කළ අයකු ලෙස යි. ඒ ඇත්තෙන් ම ඔහුට එරෙහි ව ඇති චෝදනාව විභගයට ගැනීම ආරම්භ කර නැති වටපිටාවක ය.

“මා තව දුරටත් මෙරට පුරවැසියෙක් නොවන බැව් මට හැඟෙනවා” ජසීම් පවසයි.

 

මෙම නඩුව පුත්තලම මහාධිකරණයේ 2022 අගෝස්තු මස 26 වැනි දා විභාග වීම ආරම්භ වීමට නියමිත වූ අතර, ජසීම්ට ඒ පිළිබඳ ව සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා පරීක්ෂණවලට මුහුණ දීමට සිදුවන්නේ ඉන් අනතුරුව ය. ආරක්ෂක අමාත්‍යංශය විශේෂ ලැයිස්තුවේ ජසීම්ගේ නම සඳහන් වීම නිසා ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයට වාරණයක් පැනවෙන අතර, කිසිදු රාජ්‍ය සේවයක් ලබාගැනීම සඳහා ද පිවිසිය නොහැකි වනු ඇත.

අනාගතය පිළිබඳ බියක් දැනෙනවා

“මා තව දුරටත් මෙරට පුරවැසියෙක් නොවන බැව් මට හැඟෙනවා” ජසීම් පවසයි.

“මට මගේ අනාගතය පිළිබඳ බියක් දැනෙනවා. මට කුමක් වේද යන්න මා දන්නේ නැහැ. මා මගේ දිවියේ ඉතිරි කාලය පුරාවට ම සැඟ වී ජීවත් විය යුතු ද? ” යි ඔහු විමසයි.

“මේ සියලු නිදහස් රචකයන් නිහඬ කිරීමේ කර්තව්‍යයක මූලාරම්භය යි.  ඒ වාගේ ම මින් ජනතා නැගිටීම් අහෝසි කරන්නටත්, අරගලය මර්දනය කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ” යි ඔහු කියයි.

“ශ්‍රී ලංකාව ඇතුළත මෙවන් රජයක් සහ ක්‍රමවේදයක් තිබෙන තුරු මෙරට කිසිදු නිදහස් භාෂණ හෝ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් පවතින්නට ඉඩක් නැහැ”


Roa.lk සඳහා ඉමාන් සලීම් ලියූ The Persecution Of The Poet ලිපියේ සිංහල පරිවර්තනය යි.

Graphic Design credit: Roar Media/Jamie Alphonsus

Related Articles