Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිළ අපකීර්තියට ලක් කළ පන්දුව පළුදු කිරීම​

දිනය මාර්තු මස 24 වැනිදා ය. එය දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තුන්වැනි ටෙස්ට් තරඟයේ තුන්වැනි දිනය වූ අතර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුනේ දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ 45 වැනි පන්දු වාරයයි. ඒ වනවිට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව දැක්වුණේ 129/2 ක් වශයෙනි. දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 185 කින් ඉදිරියෙන් සිටින ලදී. එම අවස්ථාවේ දී තරඟයේ පිටියෙහි සිටි විනිසුරුවන් දෙපළ වූ නයිජල් ලෝංග් සහ රිචර්ඩ් ඉලින්වර්ත්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ගෙන් විමසන්නේ ඔහුගේ අතෙහි තිබෙන්නේ කුමක්ද යන්නයි. මන්ද, පිටියෙහි විශාල තිරයෙහි දිස්වුනේ බැන්ක්‍රොෆ්ට් ඔහු අතෙහි ඇති යම්කිසි දෙයකින් පන්දුව පළුදු කරන බවයි. එම අවස්ථාවේ දී බැන්ක්‍රොෆ්ට් සිය අතෙහි තිබූ දෙය විනිසුරුවන්ට නිරාවරණය කළ අතර ඒ අනුව සියලු දෑ පැහැදිලි විය. බැන්ක්‍රොෆ්ට් සිදුකර තිබුනේ කහ පැහැති වැලි කඩදාසියකින් පන්දුව පළුදු කිරීම වූ අතර එය මෑත ඉතිහාසයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල මුහුණ දුන් ලැජ්ජාශීලීම සිදුවීම වේ.

වැලි කඩදාසිය සඟවා ගැනීම (Sporting News)

දැනුවත්ව කළ දෙයක්

එදින සවස් යාමයේ දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් කියා සිටියේ ස්මිත්ගේ සහ “නායකත්ව කණ්ඩායමේ” අනුදැනුම මත බැන්ක්‍රොෆ්ට් මෙම පන්දුව පළුදු කිරීමේ සිද්දිය සිදුකළ බවයි. නමුත් ඔහු “නායකත්ව කණ්ඩායම” ලෙසින් හැඳින්වූයේ කවුරුන්දැයි ප්‍රකාශ නොකරන ලදී. තවද ස්මිත් මෙසේද ප්‍රකාශ කරන ලදී.

“මෙය කිසිසේත්ම සිදුවිය යුතුව තිබූ දෙයක් නොවේ. මා මෙම සිදුවීම පිලිබඳ ආඩම්බර වෙන්නේ නෑ. සිදු වූ දේ පිළිබඳව මම ලැජ්ජා වෙනවා” යන්නයි.

එයට පසුදින අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ස්මිත්ට එක් තරඟයක තහනමක් පනවා ඔහුගේ තරඟ මුදලින් 100% ක් දඩ වශයෙන් අයකරගැනීමට කටයුතු කරන ලදී. බැන්ක්‍රොෆ්ට්ගේ තරඟ මුදලින් 75% ක් දඩ වශයෙන් අයකරගැනීමට කටයුතු කරන ලදී.

මෙම සිද්ධිය ලැව්ගින්නක් මෙන් සමස්ත ක්‍රිකට් ලෝකය පුරා පැතිරී ගිය අතර මෙම සිදුවීම ඕස්ට්‍රේලියාවටම නින්දාවක් විය. හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාර්ක් ට්විටර් පණිවුඩයක් මඟින් පැවසුවේ “මෙය හීනයක් ද? “ යන්නයි. තවද ක්ලාර්ක් ප්‍රකාශ කළේ,

“මෙය සැලසුම් සහගත වංචා කිරීමක්. කිසිඳු කෙනෙක් මෙය අනුමත කරන්නේ නෑ” යන්නයි.

හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් පැවසුවේ,

මෙම සිදුවීම විශ්වාස කරන්නත් බෑ. මෙය විශාල ලැජ්ජාවක්. ඒ වගේම විශාල දුකක්.” ලෙසයි.

මෙම සිද්ධිය පිළිබඳව මම කනගාටු වෙනවා යැයි ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් විසින් ප්‍රකාශ කරන ලදී.

බලධාරීන්ගේ ප්‍රතිචාර​

මෙම සිද්ධිය නිසා සමස්ත ඕස්ට්‍රේලියාවම කොපමණ කැළඹීමකට පත්වී ඇතිදැයි පැහැදිලි වූයේ ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාද මෙම සිදුවීම පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළ පසුය.

මැල්කම් ටර්න්බුල් (Sky Sports)

“ සමස්ථ ඕස්ට්‍රේලියාවම මෙම සිද්ධිය නිසා කම්පනයට සහ කළකිරීමට පත්වී සිටිනවා. මම බලාගෙන ඉන්නවා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම සිදුවීමට එරෙහිව ගන්නා පියවර පිළිබද” යැයි ටර්න්බුල් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. එහිදී ඔවුන් විසින් අනාවරණය කරගනු ලැබුවේ මෙම පන්දුව පළුදු කිරීමේ සිදුවීමට කැමරන් බැන්ක්‍රොෆ්ට් සහ නායක ස්ටීව් ස්මිත් ට අමතරව උපනායක ඩේවිඩ් වෝනර්ගේද සම්බන්ධයක් ඇති බවයි. සිදුවීම පිලිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙහි ප්‍රධාන විධායක ජේම්ස් සදර්ලන්ඩ් මෙසේ ප්‍රකාශ කරන ලදී.

“මම සමාව ඉල්ලනවා සියලුම ඕස්ට්‍රේලියානුවන්ගෙන්. විශේෂයෙන්ම ක්‍රීඩකයින්ට බොහෝ ආදරය කරන කුඩා දරුවන්ගෙන්. ඒ වගේම මම සමාව ඉල්ලනවා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙන් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩා ලෝලීන්ගෙන්. මෙම සිදුවීමෙහි අඳුරු සෙවනැල්ල නොවන්නට අපිට ඉතා විශිෂ්ට තරඟාවලියක් දැකබලා ගැනීමට තිබුනා.”

වෝනර් (වමේ) සහ ස්මිත් (Reuters)

ඒ අනුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් යන තිදෙනාටම තිදෙනාටම දඩුවම් නියම කරන ලදී.

  • ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝර්නර් දෙදෙනාටම වසරක ජාත්‍යාන්තර සහ දේශීය තරඟ තහනමක්.
  • කැමරන් බැන්ක්‍රොෆ්ට්ට මාස 9 ක ජාත්‍යාන්තර සහ දේශීය තරඟ තහනමක්.
  • ස්මිත්ට වසර දෙකක ඕස්ට්‍රේලියානු නායකත්වය දැරීමේ තහනමක්.
  • වෝනර් ට ජීවිත කාලය පුරාවටම ඕස්ට්‍රේලියානු නායකත්වය දැරීමේ තහනමක්.

මීට අමතරව මෙම ක්‍රීඩකයින් තිදෙනාම දින 100 ක් ස්වේච්චාවෙන් ක්‍රීඩාව වෙනුවෙන් යමක් සිදුකළ යුතු වේ (කුඩා දරුවන්ට පුහුණු කිරීම වැනි කාර්යයන්). මෙම දඩුවම් වලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට ද මෙම සියලුම ක්‍රීඩකයින්ට හැකි අතර බොහෝදුරට ඔවුන් අභියාචනා ඉදිරිපත් කරනු ඇත. මේ අතර නවතම සිදුවීම වන්නේ ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දෙදෙනාටම ලබන මස පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බව ඉන්දීය ප්‍රිමියර් ලීගයෙහි සභාපති රාජීව් ශුක්ලා විසින් ප්‍රකාශ කිරීමය. ස්මිත් මෙවර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය දැරීමට සූදානමින් සිටි අතර වෝනර් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය දැරීමට සූදානමින් සිටියේ ය. ඒ අනුව ඔවුන් දෙදෙනාටම ඩොලර් මිලියන 1.3 බැගින් වූ මුදලක් අහිමි වනු ඇත.

ලීමන් ගැලවෙයි?

කෙසේ නමුත් මෙම සිද්ධියේ දී ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් නිවැරදිකරු වූයේ කෙසේදැයි බොහෝ ක්‍රීඩා ලෝලීන් අසන පැනයක් වේ. මාධ්‍ය හමුවේ දී ස්මිත් අදහස් කළ “නායකත්ව කණ්ඩායමේ” පුහුණුකරුද සිටිය යුතු බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මතයයි. හිටපු ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක් ද ප්‍රකාශ කළේ ඔහු නායකත්වය දරන අවධියේ දී “නායකත්ව කණ්ඩායම” යැයි සලකන ලද්දේ නායකයා, උපනායකයා සහ පුහුණුකරු බවයි. තවද බැන්ක්‍රොෆ්ට් විසින් පන්දුව පළුදු කරන දර්ශන ප්‍රථමයෙන්ම ක්‍රීඩාංගනයෙහි විශාල තිරය මත විකාශය වනවිට පුහුණුකරු ලීමන්, තරඟයේ 12 වැනි ක්‍රීඩකයා වූ පීටර් හැන්ඩ්ස්කොම්බ් ක්‍රීඩා පිටිය තුළට එවන ලදී. හැන්ඩ්ස්කොම්බ් පිටියට පැමිණියේ මෙම සිද්ධිය පිළිබඳ කවරක් හෝ බැන්ක්‍රොෆ්ට්හට පැවසීමට යැයි බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අදහසයි. ඉන් අනතුරුව බැන්ක්‍රොෆ්ට් සිය සාක්කුවෙහි සහ අතෙහි වූ වැලි කඩදාසිය සිය කලිසම තුළට හොවාගන්නා ලදී. මෙම සම්පූර්ණ සිද්ධිය බොහෝ කනගාටුදායක එකක් වූවද බැන්ක්‍රොෆ්ට් එම වැලි කඩදාසි කැබැල්ල ඔහුගේ කලිසම තුළට දමාගැනීම සියල්ලන්ටම යම් හාස්‍යයක් ගෙනදුන් සිදුවීමක් විය. මේ අනුව බැලූකළ පුහුණුකරු ඩරන් ලීමන් මෙම සිද්ධියේ දී නිවැරදිකරු දැයි නැවත වතාවක් සිතන්නට වනුඇත.

ඩැරන් ලීමන් (news.com.au)

දකුණු අප්‍රිකානු තරඟ සංචාරයෙහි තවත් එක් ටෙස්ට් තරඟයක් ඉතිරිව ඇති අතර එම ටෙස්ට් තරඟය සඳහා ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් ගෙන් හිස් වූ පුරප්පාඩු පිරවීමට ජෝ බර්න්ස්, මැතිව් රෙන්ෂෝ සහ ග්ලේන් මැක්ස්වෙල් සංචිතයට එකතු කර තිබෙන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයේ වගකීම කඩුලු රකින ටීම් පේන් ට ලබා දී තිබේ. ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන 4 වැනි ටෙස්ට් තරඟය මාර්තු 30 වනදා දකුණු අප්‍රිකාවේ ජොහෑනස්බර්ග් හී දී ආරම්භ වේ.

Cover Image: බැන්ක්‍රොෆ්ට් (මැද) සහ ස්මිත් (දකුණේ) අදාල සිද්ධිය අවස්ථාවේදී (The National)

Related Articles