Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉක්බාල් මාසිහ්: වහල් ශ්‍රමයට එරෙහි වූ පාකිස්තාන ළමා වීරයා

වසරක් පාසා ලෝක ප්‍රජාව කම්කරු දිනය සමරන්නේ සිය අයිතිවාසිකම් දිනා දීමට උර දුන් වීරයන් ද සිහිපත් කරමින්. කාලයේ ඇවෑමෙන් හෝ බලපෑම් හේතුවෙන් ලෝකයට අමතක ව ගිය එවන් වීරයන්ගේ මතකය නැවත ඉස්මතු කිරීමෙන් දිනා ගත් අයිතිවාසිකම් අනාගතය උදෙසා සුරක්ෂිත කර ගැනීමට හේතු වෙනවා.

ශ්‍රමය සූරා කෑම හෝ වහල් වෙළඳාමට එරෙහි ව හඬ නැඟූ වීරයන් අතර ඉක්බාල් මාසිහ් නම් චරිතයත් සිහිපත් නොකර ම බැහැ. ඔහු පෘථුල අත්දැකීම් සහිත කම්කරු නායකයෙක් නොවෙයි. ඉක්බාල් මාසිහ් යනු යන්තම් අවුරුදු දොළහක් වයසැති කුඩා දරුවෙක් පමණ යි. ඔහු ළමා ශ්‍රමයට එරෙහි ව ප්‍රබල හඬක් සහිත අරගලයක් පණ ගැන් වූ, ලොකු හිතක් ඇති පුංචි වීරයෙක්. කුඩා වයසක සිටියත්, ඉක්බාල්ට මානව අයිතිවාසිකම් සහ සමාජ විෂමතා ගැන හොඳ අවබෝධයක් සහ හැඟීමක් තිබුණා. මේ දිගහැරෙන්නේ ඔහුගේ සංවේදී ජීවිත කතාව යි. ​

ඉක්බාල් මාසිහ් – www.thefamouspeople.com 

ණය ඇපකරයක් වූ ඉක්බාල්

1983 වර්ෂයේ දී පාකිස්තානයට අයත් මුරිඩ්ක් නම් ප්‍රදේශයේ ඉනායාත් බිබී සහ සයිෆ් මාසිහ් යන දෙපළට දා ව ඉක්බාල් මාසිහ් උපත ලැබුවා. ඉක්බාල්ගේ උපතෙන් සුළු කලකට පසු ඔහුගේ පියා සයිෆ් මාසිහ්, පවුලෙන් වෙන් වන්නේ ඉනායාත් බිබී ඉමහත් දුෂ්කරතාවකට පත් කරමින්. මව රැකියාව කරන අතරතුර කුඩා ඉක්බාල් සහ අනෙකුත් සහෝදරයන්ට රැකවරණය ලබා දීමට ඔහුගේ වැඩිමහල් සොහොයුරියට සිදු වුණා.

දරිද්‍රතාවයේ පත්ලට ම වැටී සිටි මාසිහ් පවුලට එදා වේල රැක ගැනීමෙන් එපිට දෙයක් සිතන්න අවකාශ ලැබුණේ නැහැ. මේ හේතුවෙන් අධ්‍යාපනය මාසිහ් පවුලේ දරුවන් ගෙන් බොහෝ ඈතට ගොස් තිබුණා. එකල පාකිස්තානය තුළ අධ්‍යාපන පහසුකම් ඉතා අවම මට්ටමක තිබූ අතර, අනිවාර්ය අංගයක් ලෙස පැවතුණෙත් නැහැ. දුප්පත් දරුවන් ගෙන් ඉතා සුළු පිරිසකට පමණක් කියවීමේ සහ ලිවීමේ හැකියාව තිබුණා.

ඉක්බාල් මාසිහ්ට තිබුණේ ඉතා කෙටි නිදහස් ළමා කාලයක්. ඉපිද සිව් වසරකින් ඉක්බාල්ගේ සැබෑ ළමා කාලය අවසාන වූ අතර, සිය පවුලේ නොනවතින ජීවන අරගලයට උර දීමට කුඩා ඉක්බාල්ට සිදු වුණා. එතරම් කුඩා අවධියක දී පවුලට මූල්‍යමය වශයෙන් දායක වන්නේ කෙලෙසදැ යි ඔබ පුදුමයට පත් වෙනවාත් ඇති. මානුෂීයත්වය අවමයෙන් හෝ රැකිය නොහැකි දූෂිතයන් පිරිසක් පාකිස්තාන ජන සමාජය තුළ විසිරී සිටීම ඊට හේතුව වුණා.

සිව් වසරකින් අවසාන වූ ඉක්බාල්ගේ ළමා කාලය

 1986 වනවිට ඉක්බාල්ගේ වැඩිමහල් සහෝදරයෙක් විවාහ වීමේ වයසට එළඹුණා. පාකිස්තාන ජන සමාජය තුළ මංගල උත්සව ඉතා වැදගත් අංගයක් වන අතර, ආර්ථික මට්ටම කුමනාකාරයෙන් පැවතුණත්, හැකි උපරිමයෙන් මංගල අවස්ථාව සැමරීම අනිවාර්ය අංගයක් ලෙස ඔවුන් සලකනවා. පවුල හැර ගියත්, මනාලයාගේ පියා ලෙස උත්සවයේ බරපැණින් කොටසක් දැරිය යුතු බව සයිෆ් මාසිහ් දැන සිටියා. සයිෆ් සතු ව ඉතුරු කර ගත් මුදලක් තිබුණේ නැහැ. ආදායම් සහ ආපසු ගෙවීමේ හැකියාව සලකා බැලීමේ දී කිසිදු බැංකුවක් ඔහුට ණය දෙන්න ඉදිරිපත් වන්නේත් නැහැ. මෙවැනි අවස්ථාවක ඉක්බාල්ගේ පියා වැන්නවුන් ණයක් ලබා ගැනීම සඳහා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්, හාම්පුතුන් හෝ ඉඩම් හිමියන් වෙත හැරීම සුලබ ව සිදු වුණා.

 මුරිඩ්ක් හි බොහෝ දුප්පතුන් ප්‍රදේශයේ බුමුතුරුණු කම්හල් හිමියකු ගෙන් ණය ගැනීමට පුරුදු ව සිටි නිසා සයිෆ් එම කම්හල් හිමියාගේ පිහිට පැතුවා. ණය ලබා දීම වෙනුවෙන් කම්හල් හිමියා ඇපයක් ද අපේක්ෂා කරනවා. ඇපකරය සඳහා සයිෆ් මාසිහ් දුටු වටිනාම වස්තුව වුණේ ඔහුගේ ම දරුවන්!

ණයකරයට බැඳුණු වහල්කම

ඉක්බාල් උපන් ප්‍රදේශය බුමුතුරුණු කර්මාන්තයට ප්‍රසිද්ධියක් ඉසිලූ අතර, එය වේගයෙන් වර්ධනය වන ව්‍යාපාරයක් ලෙසත් පැවතුණා. මේ හේතුවෙන් කර්මාන්තය වටා අධික ශ්‍රම ඉල්ලුමක් ගොඩනැඟී තිබුණා. කම්හල් හිමියන් කිසිදු අව ම සුදුසුකමක් ශ්‍රමය ලබා ගැනීමේ දී සැලකුවේ නැහැ. ඒ අනුව සිය සහෝදරයාගේ මංගල්‍යයේ බරපැන වෙනුවෙන් මුළු අනාගතය ම අඳුරට කැප කරන්නට කුඩා ඉක්බාල්ට සිදු වුණා.

 කම්හල් හිමියාට ඉක්බාල් විකිණීම වෙනුවෙන් සයිෆ් මාසිහ්ට තැරැව්කාරකම් කළ පුද්ගලයා පාකිස්තාන රුපියල් 600 ක් ලබා ගත් අතර, ඉක්බාල්ගේ පියා (සයිෆ් මාසිහ්) ණයට ගත් මුදල්, හෙළි නොකළ පොලී මුදල් යන සියල්ල ම පියවෙන තෙක් ණයකරයකට බැඳුණු වහලෙක් (බන්ධිත ශ්‍රමිකයෙක්) ආකාරයෙන් බුමුතුරුණු කම්හලේ සේවයට බැඳෙන්න ඉක්බාල්ට සිදු වුණා.

ඔහුගේ කථිකත්වය නිසා පාකිස්තානයේ එතෙක් සැඟව පැවති සමාජ නිරුවතක් ලෝකයට හෙළිදරව් වුණා –  motivationalquotes-us.blogspot.com 

අමානුෂික පරිසරයක්..

ඉදිරි සය වසර සඳහා කුඩා ඉක්බාල්ගේ නිවස වුණේ බුමුතුරුණු කම්හල යි. යන්තම් රෙදි වියන යන්ත්‍ර විස්සක් ගබඩා කිරීමට තරම් ඉඩකඩ පවතින කාමරයක් ඔහුගේ වාසස්ථානය වූ අතර, නිෂ්පාදන අමු ද්‍රව්‍යවලට එල්ල වන කෘමි හානි වළක්වා ගැනීම සඳහා එම කාමරයේ ජනේල තදින් මුද්‍රා තබා තිබුණා. එබැවින්, කාමරය තුළට නැවුම් වාතාශ්‍රය පැමිණීම අතිශයින් සීමා වුණා. පැවති දැඩි උණුසුම හේතුවෙන් මිනිස් වාසය සඳහා කිසිසේත් ම එම කාමරය සුදුසු වුණේ නැහැ.

ආධුනිකයකු ලෙස පුහුණුව ලබා අවසාන වීමෙන් පසු ඉක්බාල් බුමුතුරුණු විවීම සඳහා සූදානම් වුණා. ඔහු සමඟ තවත් පිරිමි ළමයින් විස්සක් පමණ කම්හලේ සේවය කළා. උදෑසන හතරේ සිට සවස හත දක්වා දෛනික කාල පරාසයකින් සේවය සැපයූවත්, ඉක්බාල්ට දිනක වැටුප ලෙස ලැබුණේ පාකිස්තාන රුපියලක් පමණ යි. සිව් හැවිරිදි දරුවෙක් එක දිගට පැය දොළහකට අධික කාලයක් දිනපතා සේවය කිරීම කොතරම් අමානුෂිකදැ යි අමුතුවෙන් කිව යුතු නැහැ. වැඩ කරන අතරතුර එකිනෙකා හා කතා කිරීම පවා තහනම් ව තිබුණා. බුමුතුරුණුවලට රටා දැමීමේ දී අවධානය වෙනතකට යොමු වුවහොත්, වැරදීම් සිදු වීමේ හැකියාව අධික වීම ඊට හේතුව යි.

 කුඩා ලොම් අංශු වාතය තුළ නිරන්තරයෙන් පා වෙමින් තිබූ නිසා ඒවා ආශ්වාස වීමෙන් ඉක්බාල් ස්වසන අපහසුතාවලට නිතර මුහුණ පෑවා. මුහුණෙන් දහදිය වැගිරෙන විට කම්හල් හිමියා ගෙන් ඉක්බාල් වෙත තදබල දෝෂාරෝපණ එල්ල වුණා. දහදියෙන් පෙඟී බුමුතුරුණු අපිරිසුදු වීම ඊට හේතුව යි. වැඩ කරන අතරතුර කිසිදු හේතුවකට කම්හලෙන් පිටවීමට ළමයින්ට අවසර තිබුණේ නැහැ. අනවසරයෙන් පිට වන්නන් උතුරන තෙල් කටාරමකට ඇද දමන බව කම්හල් හිමියා ළමයින්ට තර්ජනය කර තිබුණා.

කුඩා දරුවෙක් වුණත් ඔහු සිදු කල සමාජ පෙරළිය ප්‍රබල යි – www.pinterest.com 

ශාරීරික වධ හිංසාවලින් ද අඩුවක් තිබුණේ නැහැ. මන්දගාමී ලෙස වැඩ කළහොත්, ළමයින්ගේ පිටුපසට හා හිසට පහර දීමට හාම්පුතා පුරුදු ව සිටියා. අවධානය ඉතා වැදගත් වූ අතර, එක වියමනක් හෝ වැරදුණොත්, අත්වන ප්‍රතිඵලය ළමා මනසට කොහෙත් ම ඔරොත්තු දුන්නේ නැහැ. සැබැවින්ම කම්හලේ තිබුණේ වැඩිහිටියකුට පවා එකවර ග්‍රහණය කිරීමට අපහසු සියුම් කර්තව්‍ය ගොන්නක්.

නීතියට පටහැනි බන්ධිත ශ්‍රමය

 එක්තරා දිනක අධික වෙහෙස නිසාම වැඩ කරන අතරතුර ඉක්බාල්ගේ දෑස් ඉබේ ම පියවුණා. එවිට ම ඔහු අත තිබූ තියුණු පිහිය ලිස්සා යෑමෙන් දබරැඟිල්ලේ ගැඹුරු කැපුම් තුවාලයක් සිදු වුණා.

“උඹේ අත ඔසවාගෙන ඉදපන්!”

එක්සත් ජනපදයේ සංචාරය අතරතුර – historyofyesterday.com

ඉක්බාල්ගේ රුධිරයෙන් බුමුතුරුණු විනාශවේයැ යි බිය වූ කම්හල් හිමියා එකවරම කෑ ගැසුවා. ලේ ගැලීම නැවැත්වීම සඳහා කම්හල් හිමියා ඉක්බාල්ගේ තුවාලය මතට උණු තෙල් බිඳුවක් දැමූ අතර, වේදනාවෙන් පරිපීඩිත වූ ඉක්බාල් මරහඬ දුන්නා. කෑ ගැසීමට ප්‍රතිචාරයක් වශයෙන් කම්හල් හිමියාගෙන් ඉක්බාල්ට ලැබුණේ බලවත් අතුල් පහරක්. අඩුම තරමින් කුසට සෑහෙන අහරක් වත් මේ ළමයින්ට ලැබුණේ නැහැ. ලැබෙන ආහාර සලාකය පවා ණයක් ලෙස එකතු කිරීමට කම්හල් හිමියා අමානුෂික වුණා. එයින් ඉක්බාල් ඇතුළු වහල්කමේ යෙදුණු ළමයින්ගේ සේවා කාලය තවත් දීර්ඝ වුණා.

 කොතරම් දුක් වේදනා වින්දත්, බලාපොරොත්තුවේ ගිනි සිළුවක් ඉක්බාල්ගේ හද පත්ලේ නිතර ම දැල්වෙමින් තිබුණා. ඔහු බුද්ධිමත් දරුවෙක්. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධිත ශ්‍රමය ඒ වනවිටත් තහනම් කොට ඇති බව තේරුම් ගැනීමට තරම් ඉක්බාල් බුද්ධිමත් වුණා. වයස අවුරුදු දහයේ දී නරකාදියක් සේ පෙනුණු කම්හලෙන් පලා යෑමේ උත්තේජනය ඉක්බාල්ට ලැබුණේ මේ කාරණය නිසා යි. නීතියේ පිහිට ලබාගත හැකි නම් තමාට පමණක් නොව, අනෙකුත් ළමයින්ටත් නිදහස් විය හැකි බව ඉක්බාල්ට වැටහුණා.

බුමුතුරුණු කම්හල තුළ ඉක්බාල් ගත කළේ ඉතා කටුක ජීවිතයක් – www.brandsynario.com 

ඔහු ළඟ ම ඇති පොලිස් ස්ථානයට ගොස් කම්හලේ අකටයුතුකම් සියල්ල ම පැමිණිලි කළා. එහෙත්, සිදු වුණේ ඉක්බාල් කිසිසේත් ම අපේක්ෂා නොකළ දෙයක්. ඉක්බාල් රැගෙන ගොස් කම්හල් හිමියාට ම යළි භාර දෙන්න පොලිසිය ක්‍රියා කළේ, ළමයින් පැන යාම ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙස කම්හල් හිමියාට උපදෙස් පවා ලබා දෙමින්. නමුත්, සුළු කලක් ඇතුළත කම්හලෙන් යළි පලා යන්න ඉක්බාල්ට හැකි වුණා. මෙවර ඔහු පැන ගියේ කලින් වතාවට වඩා අවට ලෝකය ගැන මනා අවබෝධයකින් යුතුව යි. ඊට අවශ්‍ය දැනුම කෙසේ හෝ එක්රැස් කර ගන්න ඔහුට හැකි වුණා. දෙවැනි වර ඔහු උපකාර පතා “බන්ධිත කම්කරුවන්ගේ විමුක්ති පෙරමුණ (BLLF)” නම් සංවිධානය වෙත ළඟා වූ අතර, එවර උත්සාහය සාර්ථක වුණා.

තම අත්දැකීම් ලෝකය හමුවට..

BLLF සංවිධානය ඉක්බාල්ට මනා සහයක් ලබා දුන්නා. වසර හතරක් මුළුල්ලේ මඟහැරී තිබූ ඉක්බාල්ගේ පාසල් අධ්‍යාපනය නැවත ලබා දීමට සංවිධානය කටයුතු කළ අතර, වසර දෙකක් ඇතුළත අදාළ අධ්‍යාපන කටයුතු නිම කිරීමට තරම් ඉක්බාල් මාසිහ් දක්ෂයෙක් වුණා. ඉක්බාල් ගෙන් ලබාගත් තොරතුරු හරහා වහල්කමට ගෙන සිටි අනෙකුත් ළමයින් නිදහස් කර ගැනීම සහ අවශ්‍ය නීතිමය කටයුතු ඇරඹීමටත් BLLF සංවිධානය උත්සුක වුණා. මේ සියලු කටයුතු අතරතුර ඉක්බාල් බොහොම අහිංසක සිහිනයක් දැක්කා. දරුවන්ගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් පෙනී සිටින අතරතුරේ දී ළමා ශ්‍රමයට එරෙහි ව කටයුතු කරන නීතිඥවරයෙක් වීම ඔහුගේ අනාගත බලාපොරොත්තුව වුණා.

චතුර කථික හැකියාවක් තිබූ නිසා ළමා වහල් ශ්‍රමය පාකිස්තාන ජන සමාජයේ මුල් බැස ඇති අන්දම මුළු ලෝකයට ම පවසන්නට ඉක්බාල්ට හැකි වුණා. එයින් ලෝකය කොතරම් කම්පනයට පත් වුණා ද කිවහොත්, සුළු කලක් ඇතුළත ලෝකය ම හඳුනා ගත් සමාජ ක්‍රියාකාරියෙක් හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංකේතයක් බවට ඉක්බාල් පත් වුණා. කිසිදා නිමා නොවන ණය වෙනුවෙන් වහල් සේවයට බැඳුණු පාකිස්තාන ළමයින් තුන්දහසක් පමණ නිදහස් කර ගැනීමට ඉක්බාල් සමත් වූ අතර, ස්වීඩනය, අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක සංචාරය කරමින් බන්ධිත හෝ ළමා වහල් ශ්‍රමිකයන් ගැන ගැඹුරු කතිකාවතක් ඇති කිරීමට ද ඔහු සමත් වුණා. ළමා ශ්‍රමයට එරෙහි ව නැඟී සිටින තවත් ඉක්බාල්ලා ලෝකය පුරා ඇති කිරීමටත් ඔහු වෙහෙසුණා. 1994 දී ලෝකයට සිදු කළ සමාජ මෙහෙවර වෙනුවෙන් පුංචි ඉක්බාල් බොස්ටන් නුවර දී “රීබොක් මානව හිමිකම් සම්මානය” පවා දිනා ගත්තා.

ඉක්බාල්ගේ ඝාතනය පුවත්පතක් වාර්තා කර ඇති අයුරු –  historyofyesterday.com 

වීරයා නික්ම යයි

 ඉක්බාල්ගේ ප්‍රබල සමාජ ව්‍යාපාරය සහ ජනප්‍රියත්වය, පාකිස්තානය තුළ මිනිස් ජාවාරමේ යෙදුණු පුද්ගලයන්ට දැඩි අභියෝගයක් එල්ල කළා. ලෝක ප්‍රජාවගෙන් ලැබුණු ආදරය තරමට ම ඉක්බාල්ට වෛර කරන පිරිසක් ද ඔහු වටා රහසේ ම සංවිධානගත වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1995 වර්ෂයේ අප්‍රියෙල් 16 වැනිදා ඉක්බාල් මාසිහ් සිය ඥාතීන් බැලීමට යන අතරතුරේ දී වෙඩි ප්‍රහාරයකට ලක් ව අවසන් හුස්ම හෙළුවා. මිය යන විට ඉක්බාල්ගේ වයස අවුරුදු 12 ක් පමණ යි. ඔහුගේ ඝාතනය පිටුපස පාකිස්තානයේ බුමුතුරුණු කර්මාන්තය හා සබැඳි මාෆියාව සිටින බව සැක පහළ වුණත්, සැකය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබුණේ නැහැ.

ඉක්බාල්ගේ ඝාතන සිදුවීම හමුවේ මනුෂ්‍යත්වය අගයන ප්‍රජාව ඉමහත් ශෝකයට පත් වූ අතර, ඔහුගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා 800 ක පමණ ජනකායක් එක් වූ බව සඳහන්. ඉක්බාල් මිය ගියත්, ඉක්බාල්ගේ පුරාවෘත්තය මිය ගියේ නැහැ. ඔහු ලෝකයට ඉතිරි කර ගිය අත්දැකීම්, ආකල්ප සහ සමාජ ක්‍රියාකාරකම් අඛණ්ඩ ව පවත්වා ගෙන යෑමට ඇතැමුන් වෙහෙසුණා.

ඉක්බාල් වෙනුවෙන් තැනූ ස්මාරකයක් – myhero.com 

ඉක්බාල් ලෝකයට ලබා දුන් දායාද

 විශාල පෙරළියක් සිදු කිරීමට තරම් මේ පාකිස්තාන ළමා වීරයා මිහිතලය මත ජීවත් නොවුණත්, ඔහු ලෝකයට කළ බලපෑම බොහෝ දේ ගොඩනැඟීම සඳහා අත්තිවාරමක් බවට පත් වුණා. එයින් කිහිපයක් කෙටියෙන් ගෙන ඒමට යි මේ සූදානම.

 “ඉක්බාල් මාසිහ් ශහීඩ් ළමා පදනම” බිහි කිරීම.

“Christian Cultural Movement” සහ “Youth Solidarity Path” යන ආයතන අප්‍රියෙල් 16 යන දිනය, එනම් ඉක්බාල් මිය ගිය දිනය ස්පාඤ්ඤයේ සහ දකුණු අමෙරිකාවේ ළමා වහල් සේවයට එරෙහි ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රවර්ධනය කිරීම.

ඉක්බාල් මාසිහ්ට ගෞරව පිණිස ඔහුගේ නමින් ඉතාලියේ අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම.

2006 දී ඉක්බාල්ගේ ජීවිත කතාව අළලා “The Little Hero: One Boy’s Fight for Freedom” නමින් පොතක් ප්‍රකාශනයට පත් වීම.

2009 දී එක්සත් ජනපද කොංග්‍රසය ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වාර්ෂික “ඉක්බාල් මාසිහ් සම්මානය” පිහිටුවීම.

කවරයේ ඡායාරූපය: ඉක්බාල් මාසිහ් යනු මනුෂ්‍යත්වයේ සංකේතයක් බඳු පුද්ගලයෙක් - thelogicalindian.com

මූලාශ්‍ර:

iqbalmasih.solidaridad.net

siffar.com 

Related Articles