Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජර්මානු සිර කඳවුරකදී ඝාතනය වූ ස්ටාලින්ගේ වැඩිමහල් පුත්‍රයා – ලුතිනන් යාකොව් ජුගෂ්විලි

දෙවන ලෝක යුධ සමයේ සෝවියට් නායකයා වූ ජෝසප් ස්ටාලින්ගේ පුත්‍රයා වූ යාකොව්, දෙවන ලෝක යුද්ධය අතරතුර ජර්මානුවන්ගේ අත් අඩංගුවට පත්වී පසුව ජර්මානු සෙබලෙකුගේ වෙඩි පහරකින් ඝාතනය විය. දෙවන ලෝක යුධ සමයේ ඉතා ප්‍රසිද්ධියට පත් ඔහුත් ඊට මුල් වූ සිදුවීමත් පිලිබඳවයි මේ ලිපිය ලියවී තිබෙන්නේ.

ස්ටාලින්ගේ ප්‍රථම බිරිදගේ වැඩිමහල් දරුවා

ජෝසප් ස්ටාලින් (Know Your Meme)

1907 වසරේදී යාකොව් ජුගෂ්විලි (Yakov Dzhugashvili) උපත ලබන්නේ ස්ටාලින්ගේ පළමු බිරියගේ දරුවා ලෙසයි. (ස්ටාලින්ගේ සැබෑ නම ඉයොසිෆ් විසරියොනොවිච් ජුගෂ්විලි ය​). යාකොව් ඉපදී මාස​ කිහිපයකින් පසුව ඔහුගේ මව මියයන අතර ඔහු හැදීවැඩෙන්නේ මවගේ මව හා මවගේ නැගණිය ළඟයි. තරුණ වියට පා තැබීමත් සමගම ඔහු උසස් අධ්‍යාපනය සදහා මොස්කව් නගරයට පැමිණෙනවා. එසේ පැමිණි තරුණ යාකෝව් පිලිබඳව නිතරම සොයා බැලීම ස්ටාලින්ගේ පුරුද්දක් වුණා.

දිවිනසා ගැනීමට තැත්කළ තරුණයා

තරුණ යාකෝව් (Foreign Policy Initiative)

මව නොමැති තම වැඩිමහල් පුතු පිලිබඳව නිතරම සොයා බලන ස්ටාලින්ට තම පුතු යුදෙව් ජාතික කාන්තාවක් සමග ආදර සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති බව ආරංචි වෙනවා. ස්ටාලින් විසින් මෙම සම්බන්ධතාවයට දැඩිලෙස විරුද්ධ වන අතර එයට හේතුව වූයේ තම පුතුගේ පෙම්වතිය විවාහක මෙන්ම දරුවන් සිටින කාන්තාවක් වීමයි. නාට්‍යංගනාවක් වූ මෙම විවාහක කත සමග තම පුතු විවාහ වීමට සූදානම් වීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ස්ටාලින් වහාම එම සම්බන්ධය නවත්වන ලෙස ඔහුට බලකර සිටිනවා.

එය කළ නොහැකි බව යාකොව් විසින් තම පියාට පවසා සිටියත් ස්ටාලින් තම විරුද්ධත්වය දිගින් දිගටම ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් තම පියා සමග උරණ වන යාකෝව් නිදි යහනේදී තම ගිනිඅවියෙන් වෙඩිතබා ගන්නේ සියදිවි නසා ගැනීමේ අරමුණෙන්. ඔහු වෙඩි තබාගත්තත් වහාම ඔහුව වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරනවා. වෙඩි උණ්ඩය පෙනහලු තුළ සිරවී තිබූ අතර එය හදවත පසාරු කරගෙන ගොස් නොතිබීම හේතුවෙන් ඔහුට නැවත ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. සුව වීමෙන් අනතුරුව 1925 වසරේදී ඔහු එම කාන්තාව විවාහ කරගන්නා අතර ඔහුට දාව දරුවන් දෙදෙනෙකු බිහිකරනවා.

මෙම සිදුවීමෙන් පසුව තම පුතු සමග පැවති සියළු සම්බන්ධතා නැවැත්වීමට තීරණය කරන ස්ටාලින් ඔහුට රිසිසේ දිවි ගෙවන ලෙසත් මින් පසු ඔහුට පියෙක් නොමැති බවත් පවසා සිටිනවා. තවද ස්‍ටාලින් විසින් යාකොව්ව හදුන්වන්නේ අවවාද නොපිලිපදින මුරණ්ඩු නමුත් ළාමක තරුණයෙක් ලෙසයි.

සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු යුධ හමුදාවේ නිළධාරියෙක් ලෙස

Battle of Smolensk (www.warhistoryonline.com)

සෝවියට් රතු හමුදාවට දෙවන ලුතිනන්වරයකු ලෙස එකතුවෙන යාකොව් නාසි හමුදාවට එරෙහිව නැගෙනහිර සටන් පෙරමුණට එකතු වෙනවා. 1941 වසරේ ජූලි මාසයේදී මොස්කව් නගරයට නැගෙනහිර දෙසින් ජර්මනිය හා සෝවියට් රුසියාව අතර හටගත් ස්මොලෙන්ස්ක් (Smolensk) සටනේදී රුසියානු කාලතුවක්කු හමුදාවේ බළඇණියකට අණදෙනු ලබන්නේ යාකෝව් විසින්. මෙම මෙහෙයුමට පෙර යාකෝව් හමුවන ස්ටාලින් තම පුතුට නියම කරන්නේ සටන් පෙරමුණේදී සතුරා ඉදිරියේ නිර්භයව සටන් කරන ලෙසයි.

ජර්මානුවන්ගේ සිරකරුවෙක් බවට පත්වීම

ජර්මානු අත්අඩංගුවට පත්වීමෙන් පසුව  (rarehistoricalphotos.com)

1941 වසරේ ජූලි 16 වනදා සටන් බිමේදී ජර්මානු භටයන් පිරිසක් විසින් යාකොව් ජීවග්‍රහණයෙන් අල්ලා ගන්නා අතර එම අවස්ථාව අල්ලා ගැනීමකටත් වඩා යටත් වීමක් ලෙසයි රුසියානු ආරක්ෂක අංශ විසින් සදහන් කරන්නේ. (අල්ලා ගැනීමක්ද ,නැතිනම් යටත් වීමක්ද යන්න නිශ්චිතව ඔප්පු වී නැත.). ජර්මානුවන්ට යටත් වීම එවකට රුසියානු සමූහාණ්ඩුවේ දැඩි දෝෂදර්ශණයට ලක් වූ අතර සතුරාට යටත් නොවී හැකි උපරිමයෙන් සටන් කර ජයගත නොහැකි අවස්ථාවකදී සියදිවි නසා ගැනීම අභිමානවත් බව සෝවියට් සංගමයේ අදහස විය.

තම පුතු ජර්මානුවන්ගේ සිරභාරයට පත්වී ඇති බව දැනගත් ස්ටාලින් යාකොව් මෝඩයෙකු බවත් ඊට පෙර ඔහුගේ අවියෙන්ම ඔහුට වෙඩි තබා ගැනීමට නොහැකිවීම පිළිබඳවත් දෝෂාරෝපණය කරනවා. මේ පිලිබඳව ඉතාමත්ම කෝපයෙන් පසු වූ ඔහු යටත් වීම ඉතා නිවට බියගුළු ලක්ෂණයක් බව දිගින් දිගටම කියා සිටිනවා.

වහා ක්‍රියාත්මක වූ නාසි මාධ්‍ය ප්‍රචාරක අංශය

ජර්මානු යුධ හමුදා (Wehrmacht) නිළධාරීන් සමග, අත්අඩංගුවට පත්වීමෙන් පසුව  (rarehistoricalphotos.com)

ස්ටාලින්ගේ වැඩිමහල්  පුත්‍රයා ජර්මානු අත්අඩංගුවට පත්වීමත් සමග ඉන් යුධ වාසි ලබා ගැනීමට නොයෙකුත් ආකාරයේ ප්‍රචාරණ දියත් කිරීමට නාසි මාධ්‍ය කටයුතු කරනවා. ඒ පිළිබඳව දන්වා අත්පත්‍රිකා විශාල ප්‍රමාණයක් මුද්‍රණය කර ගුවනෙන් විසුරුවා හරිනවා. ඔහුව අත් අඩංගුවට ගත් ජර්මන් යුධ හමුදා බළකායේ නිළධාරීන් සමග සිනාමුසු මුහුනෙන් සුහදව කතාකරන යාකෝව්ගේ ජායාරූපයක් හා එහි පිටුපස ඔහු තමන්ගේ පියාට ලිවීයැයි සැලකෙන ලියමනකින් උපුටා ගත් කොටසක් එම අත් පත්‍රිකාවේ අන්තර්ගත විය.

“ආදරණීය තාත්තේ

මම දැන් නාසි හමුදාවේ සිරකරුවෙක්. තව ටික දිනකින් ඔවුන් මාව සිරකරුවෙක් ලෙස ජර්මනියේ නිළධාරීන්ගේ කඳවුරකට යවනු ඇති.මම හොඳ සෞඛ්‍යය​ තත්වයකින් සිටිනවා. ඒ වගේම ජර්මානුවන් මට හොදින් සළකනවා. ඔබත් සනීපයෙන් ඇති කියා සිතනවා. ජය

මීට යශා”  (ස්ටාලින් විසින් තම පුතු අමතන ලද්දේ යශා නමින් )

මේ ආකාරයට මුද්‍රිත අත්පත්‍රිකා බෙදා හැරීමෙන් පසුව යටත්වන සෝවියට් නිළධාරීන්ට හා සෙබළුන්ට කිසිදු වධ බංධනයකින් තොරව මානුෂිකව සංග්‍රහ කරන බව ජර්මානු මාධ්‍ය විසින් ප්‍රකාශ කරනවා.

“දැන් ස්ටාලින් වෙනුවෙන් තම රුධිරය හෙළීම නැවත්වීමට කාලයයි . ඔහුගේ පුතාත් ජර්මානු හමුදාවට යටත් වී තම ජීවිතය රැකගත්තා. නුඹලා තවදුරටත් කරන කැපකිරීම් වල  ප්‍රතිඵලයක් නෑ.”

යනුවෙන් සටහන් කරන ලද පත්‍රිකා විශාල ප්‍රමාණයක්ද බෙදා හරිනවා.

ඉන් නොනවතින ජර්මානු ආරක්ෂක අංශ සිරකරුවන් හුවමාරුවකට ස්ටාලින්ට ආරාධනා කරනවා. ඒ යාකෝව් වෙනුවට සෝවියට් හමුදාවේ අත්අඩංගුවේ පසුවෙන ෆීල්ඩ් මාෂල් පවුලස් (Friedrich von Paulus) නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින්. නමුත් මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වන ස්ටාලින්, ෆීල්ඩ් මාෂල්වරයෙකුට ලුතිනන්වරයයෙක් හුවමාරු කිරීම යුධ නීති වලට පටහැනි බව පවසන අතර හුවමාරු  කර නිදහස් කර ගැනීමට තරම් යුධ වැදුනු මිලියන ගණනක් වූ රුසියානු තරුණයන් අතරින් තම පුත්‍රයා විශේෂ පුද්ගලයෙකු නොවන බවත් පවසා සිටිනවා.

සිර කඳවුරු භූමියකදී ඝාතනය වීම

යාකොව්ගේ මරණය පිලිබඳව විවිධ මත පළ වූ අතර එය සිතාමතා කළ ඝාතනයක් හෝ සියදිවි නසාගැනීමක් හෝ පැනයාමකට සැරසෙන විට වෙඩිතැබීමක් හෝ ලෙස අනුමාන කෙරිනි. ඒවායින් කුමක් නිවැරදිද යන්න තාමත් හරියටම හෙළිවී නෑ.

බොහෝවිට සිදුවීම මෙසේ විස්තර කරනවා. යාකෝව් කදවූරු භූමියේ සීමාවේ ඇති විදුලිවැට අසල නිරීක්ෂණය කරමින් සිටින විට තමන්ට අදාළ මැදිරිය වෙත යන ලෙස එක් ආරක්ෂකයෙකු අණ කර සිටින නමුත් එය පිළිනොගෙන යාකෝව් එම භටයා සමග වාදකර තිබෙනවා. මෙයින් කෝපයට පත් ජර්මන් භටයා ඔහුට වෙඩි තබා තිබෙනවා. මරණයට පත් වූ තවත් ආකාරයක් ලෙස දැක්වෙන්නේ සියදිවි නසා ගැනීමකට විදුලිවැට කරා දිව යාමකදී හෝ ජනේලයකින් විදුලි වැටට පැනීමේදී වෙඩි තබා මරා දමා ඇති බවයි.

මෙය ආරංචි වීමෙන් පසුව ස්ටාලින් විසින් ප්‍රකාශ කරන්නේ අවස්ථාවේ හැටියට මෙය ගෞරවණීය මරණයක් බවයි.

කවරයේ ජායාරූපය – ජර්මානු යුධ හමුදා (Wehrmacht) නිළධාරීන් සමග, අත්අඩංගුවට පත්වීමෙන් පසුව (rarehistoricalphotos.com)

Related Articles