Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මල්ලව පොර පිටියේ ‘මෘගයා’

ඔබ මල්ලවපොර (wrestling) රසිකයෙක් නම් බ්‍රොක් ලෙස්නර් (Brock Lesnar) ගැන හොඳින්ම දන්නවා ඇති. වෘත්තීය මල්ලව පොර ක්‍රීඩකයකු මෙන්ම සටන් ශිල්පියෙකුද වන ඔහු කිසි ලෙසකින් හෝ පරාජය පිළි නොගන්නකු මෙන්ම දරුණු පළිගන්නකු ලෙසටද මල්ලව පොර වළල්ල තුළ ප්‍රසිද්ධියක් අත්  කරගෙන සිටිනවා. ඔහුගේ හැසිරීම නිසාම ‘මෘගයා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ලෙස්නර් මල්ලව පොර ඉතිහාසයේ සිටි ශූරතම ක්‍රීඩකයකු ලෙසටද ඉතිහාසයට එක්ව සිටිනවා.

wordpress.com

යුද සෙබලෙකු වීමට සිහින මැවූ ලෙස්නර්

මේ වනවිට 40 හැවිරිදි වියේ පසුවන ඔහුගේ සම්පූර්ණ නම බ්‍රොක් එඩ්වර්ඩ් ලෙස්නර් යන්නයි. ඇමරිකානු ජාතිකයකු වන ලෙස්නර් උසින් අඩි 6 අඟල් 3ක් වූවෙක්. ඔහු සතු අසාමාන්‍ය කාය ශක්තිය ලෙස්නර්ගේ අනන්‍යතාවයක් ලෙස සැලකෙන අතර නිරන්තරයෙන් කෝපයෙන් සිටින ඔහුගේ මුහුණේ සිනහවක් දුටු කාලයක් ප්‍රේක්ෂකයන්ට මතක නැති බවට සැකයක් නැහැ.

සිවු දෙනෙකුගෙන් යුතු ගොවි පවුලක තෙවැන්නා වන ලෙස්නර් කුඩා කල සිට කැමැත්ත දක්වා ඇත්තේ ඇමරිකානු යුද සෙබලෙකු බවට පත් වීමටයි. පුපුරන ද්‍රව්‍ය සමග කටයුතු කිරීමට දැඩි කැමැත්තක් දැක්වූ ලෙස්නර් ඒ හේතුවෙන්ම හමුදාවට එක්වීමට උත්සාහ කළ නමුත් ඔහු ඊට සුදුසුකම් නොලැබුවේ තෝරා ගැනීමේ පරීක්ෂණයේ ලිඛිත කොටසක් අසමත් වීම හේතුවෙනුයි. පසුව කලක් ඉදි කිරීම් සමාගමක සුලු  සේවකයකු ලෙසටද අතිරේක රක්ෂාවක් කළ ලෙස්නර් සිය පාසලේදී පාපන්දු සහ මල්ලව පොර යන ක්‍රීඩා වලට විශේෂ දක්ෂතා දක්වුවකු ලෙසටද ප්‍රකටව සිටියෙක්.

pinterest.com

සිය පාසල් සමයේදීම මල්ලව පොර ශුරතා කිහිපයක් දිනු ලෙස්නර්ට ඒ හේතුවෙන්ම මිනසෝටා විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් හිමි වුණේ මල්ලව පොර ක්‍රීඩාව හැදෑරීම සඳහායි. එවකට ඔහු සමග එකම කාමරය බෙදා ගත්තේ පසු කලෙක දක්ෂ WWE මල්ලව පොර ක්‍රීඩකයකු බවට පත් වුණු ෂෙල්ටන් බෙන්ජමින් වීමත් විශේෂත්වයක්.

වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවට යොමු වීම

ලෙස්නර් 2000 වසරේදී වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවට යොමු වූ අතර මුලින්ම ගිවිසුම් ගත වුණේ WWE තරඟ සඳහායි. මුලින්ම ඔහු එහි ආධුනික තරග සඳහා යොමු කෙරුණු අතර එහිදීද ෂෙල්ටන් සහ ලෙස්නර් එකම කණ්ඩායමක ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. එම තරඟාවලිය ලෙස්නර්ට තවත් අතකින් වැදගත් වුණේ ඔහුගේ දිගුකාලීන කළමනාකරු වූ පෝල් හෙය්මන් ද හඳුනා ගැනීමට හැකි වූ බැවිනුයි.

grantland.com

ලෙස්නර් පළමුවරට WWE මලවපොර රුපවාහිනී තරග සඳහා එක්වුණේ 2002 වසරේදීයි. සුප්‍රකට raw තරගාවලියේ දුෂ්ටයකු ලෙස මුලින්ම ලෙස්නර් දැක ගැනීමට හැකි වූ අතර ඒ සියල්ල පසුපස සිටියේ ඔහුගේ ශූර කළමනාකරුවා වූ පෝල් හෙය්මන් වීම විශේෂත්වයක්. හෙය්මන් විසින් ලෙස්නර්ට අන්වර්ථ නාමයක් ද හඳුන්වා දුන් අතර එමගින් අර්ථ දැක්වුණේ මල්ලව පොර පිටියේ මීළඟ විස්මය ඔහු බවයි.

දරුණු ගැටුම්

WWE නව තරඟාවලියේදී ලෙස්නර් සමග පළමු ප්‍රතිවාදියා බවට පත් වුණේ The Hardy Boyz කණ්ඩායම වූ අතර ලෙස්නර් එම තරගය පහසුවෙන් ජය ගත්තේ එහි නායක ජෙෆ් හාඩි ට සිහිසුන් වනතුරු පහර දෙමිනුයි. ඉන් පසුදින ජෙෆ් ගේ සොයුරු මැට් හාඩි ලෙස්නර් සමග ගැටුණු අතර ඔහුට අත් වුණේද සිය සොයුරා මුහුණ පෑ ඉරණමයි. ඉන්පසු The Hardy Boyz සහ ලෙස්නර් නයි මුගටි පොරය ඇරඹුණු අතර දෙපාර්ශවයම තවමත් මල්ලව පොර පිටියේ සතුරන් ලෙස සැලකෙනවා.

ඉන්පසු ලෙස්නර් නවතාලීම ලෙහෙසි පහසු කාරියක් නොවූ අතර මල්ලව පොර පිටියේ දක්ෂයන් ලෙස විරුදාවලිය ලැබූ බුකර් ටී, රොබ් වෑන් ආදීන්ටද අත් වුණේ දරුණු පරාජයන් රැසක්.

dailyddt.com

2002 වසරේ අගෝස්තුවේ ලෙස්නර් සහ හලක් හෝගන් මල්ලව පොර පිටියේදී ඇවිලුණු අතර එහි ප්‍රතිපලය වූයේ රෙස්ලින් පිටියේ අසමසම වීරයකු ලෙස සැලකුණු හලක් හෝගන් පරදා නැවක් ලෙස්නර් ජය ලැබීමයි. එම ජයත් සමග ඔහු WWE අපරාජිත ශූරතාව දිනාගත් අතර එවන් දස්කම කළ ළාබාලතමයා ලෙස ඉතිහාසයටද එක්වුණා. ඉන්පසු එළඹුණේ මල්ලව පොර පිටියේ ලෙස්නර් යුගයයි.

ලෙස්නර් යනු මල්ලවපොර පිටියේ දරුණුතම ශූරයකු බව ඔහු මුළු ලොවටම පෙන්වූයේ වරක් දෙවරක් නොවේ. ලෙස්නර් සහ අන්ඩටෙකර් අතර දීර්ගකාලීනව පැවතුණු කෝන්තරය ඒ අතරින් එකක් පමණයි. වරින්වර දෙදෙනාම ජයගත් එම ගැටුම දෙදෙනාම දරුණු ලෙස තුවාල කිරීමට සමත් වූ බවත් ප්‍රකට කරුණක්.

netdna-ssl.com

බිහිසුණු චරිත ස්වභාවය

මල්ලව පොර පිටියේ ලෙස්නර්ගේ ප්‍රබලතම ප්‍රතිවාදීන් අතර බිග් ෂෝ, ජෝන් සීනා, රේ මිස්ටීරියෝ සහ ට්‍රිපල් H ට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. ඔවුන් අතර මල්ලව පොර පිටියේ පැවතුණු සටන් ලොව වටා මල්ලව පොර රසිකයන් ගේ දැඩි අවධානයට ලක් වුණේ ලෙස්නර්ගේ සමාව නොදෙන බිහිසුණු චරිත ස්වභාවය හේතුවෙනුයි.

swaggyimages.com

ලෙස්නර් හට මල්ලව පොර පිටියේ මිතුරන් නොමැති බව ප්‍රකට කරුණක්. යම් තරමකින් හෝ ඔහු සමග ගැටුමකින් තොරව ක්‍රීඩා කළේ කර්ට් ඒන්ජල් පමණක් බවත් ප්‍රකට කරුණක්. ඔහු සිය කළමනාකරු වන පෝල් හෙය්මන් සමගද ගැටුම් ඇති කරගත්තේ වරක් දෙවරක් නොවේ. තිර පිටපතකට අනුව WWE මල්ලව පොර තරග සිදුවන නමුත් ලෙස්නර් එම පිටපත ඉක්මවා සිය ප්‍රතිවාදීන් සමග ගැටුම් ඇති කරගත් අවස්ථාද මල්ලව පොර ඉතිහාසයේ සඳහන්ව තිබෙනවා.

මල්ලව පොර ක්‍රීඩකයකු ලෙසට අමතරව සටන් ශිල්පියකු සහ පාපන්දු ක්‍රීඩකයකු ලෙසටද කටයුතු කරන ලෙස්නර් ඒ හේතුවෙන් වාර ගණනාවකදී ආබාධ වලටද ලක්වුණා. ලෙස්නර් මේ වන විට විවාහ වී සිටින්නේ රේනා ග්‍රීක් සමග වන අතර එම විවාහයෙන් ඔවුනට දරුවන් දෙදෙනකු සිටිනවා. එමෙන්ම ඊට පෙර පෙම්වතිය නිකොලේ මැක්ලින්ටද ලෙස්නර් ට දාව දරු දෙදෙනෙකු සිටිනවා.

cdn.mmaweekly.com

මල්ලවපොර යනු ඉතාම වේදනාබර ක්‍රීඩාවක් නිසාම එම වේදනාව අමතක කිරීමට ලෙස්නර් දිනපතාම වේදනා නාශක විශාල ප්‍රමාණයක් භාවිත කරන බව පැවසෙනවා. ඒ හේතුවෙන් මේ වන විට ඔහු අමතක වීම ඇතුළු මානසික රෝග කිහිපයකටද ගොදුරුව සිටින්නේ ඉතා ශෝකජනක අයුරිනුයි.

cover- onehdwallpaper.com

මූලාශ්‍ර

tvtropes.org

www.famousfix.com

www.usatoday.com

Related Articles