Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුසල් ද සිල්වා: ලෝක චෙස් පිටියේ ශ්‍රී ලංකා සලකුණ

බුද්ධිමතුන්ගේ ක්‍රීඩාව ලෙසින් හඳුන්වන චෙස් ක්‍රීඩාව වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් චෙස් ක්‍රීඩාව සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. ඒ අතුරින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ වන්නේ ඔවුන් පසුගිය කාලයේ දී මෙරටට ජාත්‍යන්තර මට්ටමේ චෙස් ජයග්‍රහණ රැසක් උරුම කර දුන් නිසා යි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ චෙස් ජයග්‍රහණ හිමිකර දුන් ක්‍රීඩකයන් අතර සුසල් ද සිල්වාගේ නම ඉදිරියෙන් ම තිබෙනවා. 

තවමත් 16 හැවිරිදි වියේ පසුවන සුසල් පසුගිය මාසයේ නිමාවට පත් වුණු 44 වන ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී තරග වට 11කට සහභාගි වුණු සුසල් ජයග්‍රහණ 8ක් සමඟින් ලකුණු 9.5ක් ලබා ගෙන අපරාජිත ව තරගාවලිය නිමා කළා. එය මෙවර ඔලිම්පියාඩ් තරගාවලියේ දී යම් ක්‍රීඩකයෙක් ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

සුසල් ද සිල්වා – soshan de Silva

 

ශ්‍රී ලංකා චෙස් ඉතිහාසය තුළ බිහිවුණු ළාබාලත ම ජාතික ශූරයා වන සුසල්, මෙරටින් බිහිවුණු ළාබාලත ම චෙස් ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වයේ ක්‍රීඩකයා ද වෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩකයන් අතුරින් වැඩි ම ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම් අගයකට හිමිකම් කියන්නේ ද ඔහු යි. 

 චෙස් ක්‍රීඩාවට පිවිසුණු ආකාරය 

අනුරාධපුරයේ දී 2006 වසරේ උපන් සුසල් ද සිල්වා 5 හැවිරිදි වියේ දී අනුරාධපුර කේම්බ්‍රිජ් ජාත්‍යන්තර පෙර පාසලට ඇතුළත් කෙරුණා. ඔහුට චෙස් පුවරුවක් ත්‍යාගයක් ලෙස එහිදී ලැබුණා. ඉන්පසුයි සල් චෙස් ක්‍රීඩාවට ප්‍රිය කරන්නට පටන් ගත්තේ. ඔහුට චෙස් ක්‍රීඩාව ඉගැන්වීමට හැකි කෙනකු නිවසේ සිටියේ නැහැ. එම යුගය වන විට අනුරාධපුර ප්‍රදේශය තුළ චෙස් ක්‍රීඩාව එතරම් ජනප්‍රිය වී නොතිබුණු නිසා එම ප්‍රදේශයෙන් චෙස්  පුහුණුකරුවෙක් සොයාගැනීමත් තරමක් අසීරු කාර්යයක් වුණා.

අනුරාධපුර ඩී.ඇස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කෙරුණු විටත් සුසල් චෙස් ක්‍රීඩාව ඉගෙන ගැනීමට දැඩි උනන්දුවකින් පසු වුණා. එවැනි තත්ත්වයක් යටතේ සුසල්ගේ මව සහ පියා සිය දරුවාට චෙස් ක්‍රීඩා පුහුණුව ලබා දිය හැකි පුහුණුකරුවෙක් සෙවීමට වඩාත් උනන්දු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනුරාධපුර ප්‍රදේශයේ චෙස් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරමින් සිටි මිලින්ද රත්නායක නම් පුහුණුකරුවා ගැන ඔවුන්ට දැනගන්නට ලැබුණා. 

සුසල් එම පුහුණුකරුවා යටතේ චෙස් පුහුණුව ආරම්භ කළා. ආරම්භක අවධියේ සිට චෙස් ක්‍රීඩාව පිළිබඳ ව දැඩි උනන්දුවක් දැක්වූ සුසල් චෙස් ක්‍රීඩාව ඉගෙන ගත්තා. ඔහුට ඉතාමත් ඉක්මනින් චෙස් ක්‍රීඩාවේ මූලික නීතිරීති ග්‍රහණය කරගැනීමට හැකි වුණා. සුසල්ගේ තිබුණු එම උනන්දුව සහ දක්ෂතාව දැක ඔහු චෙස් තරගාවලි සඳහා ඉදිරිපත් කිරීම සුදුසු බව පුහුණුකරු මිලින්දගේ නිර්දේශය වුණා.

මිලින්ද රත්නායක පුහුණුකරුවා සමඟ සුසල් – Surangi Karunarathne

 

චෙස් තරගවලට සහභාගි වුණු මුල් යුගය 

2012 වසරේ දී ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ ඒකල චෙස් තරගාවලියේ අනුරාධපුර දිස්ත්‍රික් තරග සඳහා සුසල් සහභාගි වුණා. එහි දී අවුරුදු 7න් පහළ ශූරතාව දිනාගත් සුසල් සමස්ත ලංකා තරග සඳහා ද සුදුසුකම් ලබා ගත්තා.

ඔහුට සමස්ත ලංකා තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අවස්ථාව ලැබුණේ නැහැ. 

2012 දී අනුරාධපුර දිස්ත්‍රික් චෙස් ශූරතාව දිනා ගැනීමට සම්මාන ලබමින් – soshan de Silva

 

2013 දීත් ජාතික තුරුණු චෙස් ශූරතා තරගාවලියේ සහ ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ ඒකල තරගාවලියේ සිය වයස් කාණ්ඩයේ අනුරාධපුර දිස්ත්‍රික් ශූරතාවය දිනා ගැනීමට සුසල්ට හැකි වුණා. සමස්ත ලංකා තරගවල දී සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට සුසල්ට එහිදීත් නොහැකි වුණා. 2013 ජාතික තුරුණු චෙස් ශූරතා තරගාවලියේ සමස්ත ලංකා තරගවල දී ඔහු තරග 9කට සහභාගි වී ලබාගත්තේ ලකුණු 4.5ක් පමණ යි. 

අකිල කාවින්ද චෙස් පුහුණුකරුවා හමුවීම 

සුසල් සමස්ත ලංකා චෙස් තරගාවලිවල දී දිගින් දිගට ම අසාර්ථක වීම හේතුවෙන් ඔහු ඉහළ පෙළේ චෙස් පුහුණුකරුවකු වෙත යොමු කළ යුතු බවට තීරණය වුණා.   එම කාල වකවානුව වන විට ශ්‍රී ලංකාව තුළ සිටි ජනප්‍රියත ම චෙස් පුහුණුකරුවන් අතරින් අකිල කාවින්ද නම් චෙස් පුහුණුකරුවා පිළිබඳව තොරතුරු දැනගන්නට ලැබුණා. 

අකිල කාවින්ද පුහුණුකරුවා සුසල් සමඟින් – soshan de Silva

 

ශ්‍රී ලංකාවෙන් බිහි වුණු දක්ෂ චෙස් ක්‍රීඩකයෙක් වන අකිල, කලක් ජාතික චෙස් කණ්ඩායම පවා නියෝජනය කළා. ඔහු දක්ෂ චෙස් පුහුණුකරුවෙක් ලෙසින් ඒ වන විට නමක් දිනා ගෙන සිටියා. සුසල් 2013 සිට අකිල යටතේ පුහුණුවීම් කටයුතු ආරම්භ කළා. එම පුහුණුවීම්වලට  සහභාගි වීම සඳහා ඔහුට අනුරාධපුරයේ සිට කුරුණෑගලට යාමට සිදු වුණා. 

පළමු සමස්ත ලංකා ජයග්‍රහණය

අකිල කාවින්ද යටතේ පුහුණුවීම් කටයුතු කරගෙන ගිය සුසල් කෙටි කාලයක් ඇතුළත සිය හැකියා වැඩි දියුණු කර ගත්තා. චෙස් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට ඔහු තුළ තිබුණු මහත් උනන්දුව නිසා දවසකට සැලකිය යුතු තරම් පැය ගණනක් පුහුණුවීම් කටයුතුවල නිරත වුණා. එහි දී සුසල්ගේ ඉලක්කය වුණේ 2014 ජාතික තුරුණු චෙස් ශූරතා තරගාවලියේ අවසන් තරගවල දී මුල් ක්‍රීඩකයන් තිදෙනා අතරට පැමිණීම යි. 

2014 ජාතික තුරුණු චෙස් ශූරතාවය අතරතුර – soshan de Silva

 

දිගින් දිගට ම සිදු කළ පුහුණුවීම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම තරගාවලිය ආසන්න වෙද්දී සුසල් ඉතාමත් හොඳින් දස්කම් අතරට පිවිසියා.  සුසල් තරග වට 10කට සහභාගි වී ලකුණු 9ක් ලබා ගෙන ජාතික තුරුණු චෙස් ශූරතා තරගාවලියේ අවුරුදු 8න් පහළ වයස් කාණ්ඩයේ තෙවන ස්ථානය දිනා ගත්තා. එම ජයග්‍රහණයත් සමඟින් ඔහු ලෝක තුරුණු චෙස් ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

ජාතික තුරුණු චෙස් ශූරතා තරගාවලියේ අවුරුදු 8න් පහළ තෙවන ස්ථානය සඳහා පදක්කම දිනා ගත් අවස්ථාව – soshan de Silva

මුල් ම විදෙස් සංචාරය 

2014 ලෝක තුරුණු චෙස් ශූරතා තරගාවලිය දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි දී පැවැත්වුණා. සැප්තැම්බරයේ දී පැවති එම තරගාවලිය ආරම්භ වීමට මාසයකට පෙර සුසල්ට ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම් අගයක් (FIDE Chess Rating) ලැබුණා. එම අගය 1314ක් ලෙසින් සටහන් වුණා.

ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම් අගයක් හිමි ක්‍රීඩකයෙක් ලෙසින් තරගාවලිය සඳහා අවතීර්ණ වුණු සුසල් තරග වට 11කින් ලකුණු 6.5ක් ලබා ගත්තා. එම දක්ෂතාවට අනුව ඔහු ක්‍රීඩකයන් 64ක් අතුරින් 20 වන ස්ථානය දිනා ගත්තා. 

සුසල්  මුල් ම විදෙස් සංචාරයේ දී තරග වදිමින්  – soshan de Silva

 

එහි දී ඔහුට 11 වන තරග වටයේ දී ඉන්දියාවේ ඩොම්මරාජු ගුකේෂ් සමඟින් තරග වැදීමට අවස්ථාව ලැබීම සුවිශේෂී සිදුවීමක් වුණා. අද වන විට ලෝකයේ ජනප්‍රියතම චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර්වරයෙකු වන ගුකේෂ් 2726ක් තරම් ඉහළ ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම් අගයක් හිමි ක්‍රීඩකයෙක්. 

වසර 3ක් ඇතුළත විදෙස්  සංචාර කිහිපයක් 

2014-2017 කාලය තුළ පැවති සමස්ත ලංකා ඒකල චෙස් තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සුසල් සමත් වුණා. ඔහු 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ නාලන්දා විදුහලට ඇතුළත් වුණේ ද එම කාලයේ දී යි. 

සුසල් සහ ගුකේෂ් උරෙනුර ගැටුණු අවස්ථාව – soshan de Silva

මේ එම වසර 3ක කාලය තුළ ඔහු ලබා ගත් සමස්ත ලංකා ඒකල චෙස් ජයග්‍රහණ යි.

1). 2015 ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ කේවල තරගාවලිය- අවුරුදු 9න් පහළ ශූරතාව 

2). 2016 ජාතික තුරුණු චෙස් ශූරතා තරගාවලිය- අවුරුදු 10න් පහළ තෙවන ස්ථානය 

3). 2017 ජාතික තුරුණු චෙස් ශූරතා තරගාවලිය- අවුරුදු 11න් පහළ තෙවන ස්ථානය 

4). 2017 ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ කේවල තරගාවලිය- අවුරුදු 11න් පහළ අනුශූරතාව 

එලෙස ලබා ගත් සමස්ත ලංකා චෙස් ජයග්‍රහණ හේතුවෙන් විදෙස් සංචාර කිහිපයකට සහභාගි වීමේ අවස්ථාව ද සුසල්ට හිමි වුණා. ඒ අනුව ඔහු 2015 මැයි මාසයේ දී  තායිලන්තයේ පැවැත්වුණු  ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලිය සඳහා සහභාගි වුණා. එහි දී තරග වට 9ක් ක්‍රීඩා කළ සුසල් ලකුණු 5.5ක් ලබා ගෙන තරගකරුවන් 61ක් අතුරින් 16 වන ස්ථානය දිනා ගත්තා. 

2015 ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලිය අතරතුර – soshan de Silva

 

එම වසරේ ම ජූනි මාසයේ දී සිංගප්පූරුවේ පැවති ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලිය සඳහා ද සහභාගි වුණු සුසල් තරග වට 9කින් ලකුණු 5.5ක් ලබා ගෙන තරගකරුවන් 59ක් අතුරින් 15 වන ස්ථානය දිනා ගත්තා.

ඊට අමතරව 2017 දී රුමේනියාවේ පැවති ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලිය සඳහා සහභාගි වුණු සුසල් තරග වට 9කින් ලකුණු 5.5ක් ලබා ගෙන තරගකරුවන් 76ක් අතුරින් 23 වන ස්ථානය දිනා ගත්තා. 

ශ්‍රී ලංකාවේ ළාබාලත ම ෆිඩේ මාස්ටර් බවට පත්වීම 

චෙස් ක්‍රීඩාවේ දී ක්‍රීඩකයන් දක්වන දක්ෂතාවලට අනුව ඔවුන්ට විවිධ නම්බු නාම පිරිනමනවා. ග්‍රෑන්ඩ්මාස්ටර් (GM), ඉන්ටර්නැෂනල් මාස්ටර් (IM), ෆිඩේ මාස්ටර් (FM), කැන්ඩිඩේට් මාස්ටර් (CM) එම නම්බු නාම හතර යි. 2017 දී ශ්‍රී ලංකාවේ පැවැත්වුණු බටහිර ආසියානු තුරුණු චෙස් ශූරතා තරගාවලියේ 12න් පහළ ශූරතාව දිනාගත් සුසල්ට ෆිඩේමාස්ටර් නම්බු නාමය ලැබුණා. එහි දී සුසල් තරග වට 9කින් ලකුණු 6ක් ලබා ගත්තා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ ළාබාලත ම ෆිඩේ මාස්ටර් තත්ත්වයේ ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණා. 

බටහිර ආසියා චෙස් තරගාවලියේ ශූරතාව දිනාගැනීමෙන් පසුව – soshan de Silva

 

චෙස් ක්‍රීඩාවෙන් ඉහළට ම ගිය වසර 3ක් 

සුසල් ද සිල්වා ජාතික තලය තුළ වඩාත් ඉස්මතු වුණේ 2018-2020 දක්වා ගෙවුණු වසර 3ක කාලය තුළ යි. එම කාලයේ පැවති සමස්ත ලංකා ඒකල චෙස් තරගාවලිවල දී ඔහු ශූරතා කිහිපයක් දිනා ගත්තා. මේ එම ජයග්‍රහණ පිළිබඳ ව තොරතුරු යි.

1). 2018 ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ කේවල තරගාවලිය- අවුරුදු 12න් පහළ ශූරතාව

2). 2018 ජාතික තුරුණු චෙස් ශූරතා තරගාවලිය- අවුරුදු 12න් පහළ ශූරතාව  

3). 2019 ජාතික තුරුණු චෙස් ශූරතා තරගාවලිය- අවුරුදු 13න් පහළ ශූරතාව 

සුසල් චෙස් ක්‍රීඩාවෙන් ලබා ගත් ජයග්‍රහණ සමඟින් – facebook.com/Sri Lanka Chess News

 

එසේ ජයග්‍රහණ ලබා ගත් සුසල් 2019 දී ඉන්දියාවේ පැවැත්වුණු ලෝක තුරුණු චෙස් ශූරතා තරගාවලියේ දී  14 පහළ වයස් කාණ්ඩයේ තරගයට සහභාගි වී තරග වට 11කින් ලකුණු 6ක් ලබා ගෙන තරගකරුවන් 90ක් අතුරින් 35 වන ස්ථානය දිනා ගත්තා. 

 සුසල් එම කාල සීමාවේ ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගතකිරීම් තරගාවලි කිහිපයක ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. මේ 2018-2020 කාල සීමාව තුළ සුසල් ජයග්‍රහණය කළ දේශීය චෙස් තරගාවලි පිළිබඳ විස්තරය යි.

1). 2018 බුද්ධි ජාත්‍යන්තර චෙස් තරගාවලිය

2). 2019 ඇතුගල්පුර ජාත්‍යන්තර චෙස් තරගාවලිය

3). 2020 කොළඹ ජාත්‍යන්තර චෙස් තරගාවලිය

4). ජාතික අධිවේගී චෙස් ශූරතා තරගාවලිය

5). 7 වන ශ්‍රී ලංකා Grand prix චෙස් තරගාවලිය  

2020 කොළඹ ජාත්‍යන්තර චෙස් තරගාවලියේ ශූරතාව දිනා ගත් සුසල් – soshan de Silva

 

දස්කම් අතර සිටි සුසල් 2019 දී ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේ දී තරග වට 13කින් ලකුණු 8ක් ලබා ගෙන 5 වන ස්ථානය දිනා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු මුල් ම වරට ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමට තේරී පත් වුණා. ඒ වන විට 13 හැවිරිදි වියේ පසුවුණු සුසල් ජාතික චෙස් කණ්ඩාමට තේරී පත් වුණු ළාබාලත ම ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණා.

 සුසල් 2020 ජාතික ශූරතා චෙස් තරගාවලියේ දී තරග වට 13කින් ලකුණු 8ක් ලබා ගෙන තෙවන ස්ථානය දිනා ගත්තා. ඔහු පිට පිට ම දෙවන වරටත් ජාතික චෙස් කණ්ඩායමට තේරී පත් වුණා. 

ශ්‍රී ලංකාවේ ළාබාලත ම ජාතික චෙස් ශූරයා

2021 වසර ආරම්භ වෙද්දී සුසල් චෙස් ක්‍රීඩාවේ ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම් අගය 2085 දක්වා ඉහළ ගොස් තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ 2021 ජාතික චෙස් ශූරතාවලිය සඳහා තරග කළ සුසල් තරග වට 13කින් ලකුණු 11.5ක් ලබාගෙන මුල් ම වරට ජාතික චෙස් ශූරයා බවට පත් වුණා. ඒ වන විට 15 හැවිරිදි වියේ පසුවුණු සුසල් එදා මෙදාතුර ශ්‍රී ලංකාවෙන් බිහි වුණු ළාබාලතම ජාතික චෙස් ශූරයා වුණා. සුසල් 2022 ජාතික චෙස් ශූරතා තරගාවලියේ දී තරග වට 13කින් ලකුණු 10ක් ලබා ගෙන පිට පිට ම දෙවන වරටත් ජාතික චෙස් ශූරයා බවට පත් වුණා. 

2022 දී ජාතික චෙස් ශූරයා වීමෙන් පසුව (soshan de Silva)

 

මෙරටින් බිහිවුණු ළාබාලත ම චෙස් ඉන්ටර්නැෂනල් මාස්ටර් 

සුසල් 2022 බටහිර ආසියානු තුරුණු චෙස් ශූරතා තරගාවලියේ දී තරග වැදුණේ 18න් පහළ වයස් කාණ්ඩය යටතේ යි. එහි දී උස්බෙකිස්තානය, ඉන්දියාව, කසකස්තානය, කිර්ගිස්තානය, බංග්ලාදේශය වැනි රටවල්වල ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා ගිය සුසල් තරගවට 9කට මුහුණදෙමින් ලකුණු 6.5ක් ලබාගනිමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. 

2022 බටහිර ආසියානු චෙස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව – soshan de Silva

 

එහි දී ඔහු අපරාජිත ව තරගාවලිය නිමා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අයුරින් පෙන්වූ දක්ෂතාව නිසා ඔහු ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වයට පත් වුණා. ඒ අනුව ඔහු රොමේෂ් වීරවර්ධන සහ හර්ෂණ තිලකරත්න යන ක්‍රීඩකයන්ට පසුව ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වුණා 

ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ දී දැක්වූ සුපිරි දස්කම් 

2022 ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම රටවල් 188ක් අතුරින් 68 වන ස්ථානය දිනා ගත්තා. එය ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමක් චෙස් ඔලිම්පියාඩ් තරගාවලියක දී පෙන්වූ ඉහළම දක්ෂතාව යි. ඒ සඳහා ඉහළ ම දායකත්වය ලබා දුන් සුසල් තරග 11කට සහභාගි වෙමින් සිය අපරාජිත බව රැකගනිමින් ලකුණු 9.5ක් ලබා ගත්තා. සුසල් ලබා ගත් එම ලකුණු 9.5 මෙවර ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ දී යම් ක්‍රීඩකයෙක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත්වීම ශ්‍රී ලංකාවට ලැබුණු විශාල ගෞරවයක් වුණා.  

ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම – facebook.com/CFSL

කවරයේ ඡායාරූපය- සුසල් 2022 චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය අතරතුර (soshan de Silva)

මූලාශ්‍ර:

chessresults.com

fide.com

chessdom.com

සුසල්ගේ මව වන සුරංගි කරුණාරත්න 

Related Articles