Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩ්‍රැගන් ෆෘට් ගැන දැන ගනිමු ද?

ඩ්‍රැගන් ෆෘට් කියන නම ඇහුන සැණින්ම මතක් වෙන්නේ නම් මකරව. නමුත් රෝස පැහැයෙන් යුක්ත මෙම පළතුර බැලූ බැල්මටම ලස්සන යි වගේම ප්‍රණීත බවෙනුත් හරිම ඉහළ යි. නමුත් ආහාරයට ගනු ලබන අනෙකුත් පළතුරු හා සැසඳීමේ දී  ඩ්‍රැගන් ෆෘට් වල තියෙන පෝෂ්‍ය ගුණය ගැන තියෙන්නේ අඩු අවබෝධයක්. ඒ නිසා මෙම ලිපියෙන් ඩ්‍රැගන් ෆෘට් ශාකය ගැනත්, එම පළතුරේ තිබෙන පෝෂ්‍ය ගුණය ගැනත්, එම පෝෂ්‍ය පදාර්ථ මිනිස් සිරුරට වැදගත් වන ආකාරය මෙන්ම අනෙකුත් ප්‍රයෝජන ගැනත් දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා.

http://i.ndtvimg.com – (දීප්තිමත් රතු පැහැයකින් යුත් ඩ්‍රැගන් ෆෘට්)

මෙය Cactaceae නමැති කුලයට අයත් අපිශාක ලෙස වැඩෙන බහු වාර්ෂික ශාකයක් ලෙස හැඳින්වෙනවා. මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ මෙහි සම්භවය සිදු වී තිබෙනවා. ඒ වගේම මෙය Pitaya යනුවෙනුත් හඳුන්වනු ලබනවා. වියට්නාමය, තායිලන්තය, මැලේසියාව, ඊශ්‍රායලය ආදී රටවල් රාශියක ආර්ථික බෝගයක් ලෙස වගා කටයුතු සිදු කරනු ලබනවා.

ඩ්‍රැගන් ෆෘට් ශාකය

gardenloversclub.com (වගා කරන ලද ඩ්‍රැගන් ෆෘට් යායක්)

ඩ්‍රැගන් ෆෘට් ශාකයේ මල් හට ගන්නේ රාත්‍රී කාලයට බව දැක්වෙනවා. සුදට හුරු ක්‍රීම් පැහැයක් ගන්නා එය පිපෙන විට කඩුපුල් මල් මෙන් වන බව ද වාර්තා වනවා. එහි සුවඳට කෘමීන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. මලේ තිබෙන සුන්දරත්වය හේතුවෙන් Queen of night, Moon flower, Nobal woman යන ආදී නම් වලින් හඳුන්වන බව සඳහන් වනවා.

මෙම ශාකයට රෝග හා පලිබෝධ හානි ඉතාමත් අඩු බව වාර්තා වනවා. නමුත් ඇතැම් රටවලින් දිලීර රෝග හට ගැනීම ගැන වාර්තා වනවා. ඩ්‍රැගන් ෆෘට් වල නොමේරූ ඵලයේ පොත්ත දිලිසෙන සුළු කොළ පාට පැහැයක් ගනු ලබනවා. මේරීමත් සමඟයි එය රතු පැහැයක් ගනු ලබන්නේ.

අඩංගු පෝෂණ සංඝටක

මෙම පළතුරෙහි පෝෂණ සංඝටක කිහිපයක්ම අන්තර්ගත වනවා. ඩ්‍රැගන් පෘට් ඉදුණු ඵලයේ ආහාරයට ගත හැකි කොටස් ග්‍රෑම් 100 ක, ජලය ග්‍රෑම් 82.5- 83, ප්‍රෝටීන් ග්‍රෑම් 0.159 – 0.229, මේදය ග්‍රෑම් 0.21 – 0.61, දළතන්තු ග්‍රෑම් 0.7 – 0.9, කැරොටින් මිලි.ග්‍රෑම් 0.005 – 0.012, කැල්සියම් මිලි.ග්‍රෑම් 6.3 – 8.8, පොස්පරස් මිලි.ග්‍රෑම් 30.2 – 36.1, යකඩ මිලි.ග්‍රෑම් 0.55 – 0.65, විටමින් B 1 මිලි.ග්‍රෑම් 0.28 – 0.043, විටමින් B 2 මිලි.ග්‍රෑම් 0.043 – 0.045, විටමින් B 3 මිලි.ග්‍රෑම් 0.297 – 0.43 හා විටමින් C මිලි.ග්‍රෑම් 8.0 – 9.0 වශයෙනුත් අන්තර්ගත වනවා.

ඩ්‍රැගන් ෆෘට් හා සම්බන්ධ පර්යේෂණ

ඩ්‍රැගන් ෆෘට් භාවිතා කරමින් පර්යේෂණ සිදු කරලා තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව 2010 වර්ෂයේ දී පමණ පාමකොග්නසි නමැති සඟරාවට ඇමරිකානු වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබෙන්නේ හෘද රෝගය තිබෙන රෝගීන්ට ඩ්‍රැගන් ෆෘට් ඉතාමත් ගුණදායක පළතුරක් වන බව යි. ඔවුන් එසේ ප්‍රකාශ කරනු ලැබුවේ කරන ලද පර්යේෂණයක ප්‍රථිපලයක් අනුව යි. එමෙන්ම 2011 වර්ෂයේ පිළිකා මර්දන ආසියානු පැසිෆික් සඟරාව සඳහන් කරනු ලැබුවේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන්ට ඩ්‍රැගන් ෆෘට් ඉතාමත් ගුණදායක බවයි.

පෝෂණ සංඝටක මිනිස් සිරුරට වැදගත් වන අයුරු

dreamstime.com(මිනිස් සිරුරට වැදගත් වන අයුරු)

ඩ්‍රැගන් ෆෘට් වල අසංතෘප්ත මේදය, ඔමේගා 3 සහා ඔමේගා 6 ආදී පෝෂණ සංඝටක අන්තර්ගත වන බව දැක්වෙනවා. මේ හේතුවෙන් හෘද රෝග වැළඳීමේ අවධානම අඩු විය හැකි බව වාර්තා වනවා. ඒ වගේම මෙහි තිබෙන්නා වූ ප්‍රතිඔක්සිකාරක ගුණය ද හදවත් රෝග වලින් මිදීමට සහය වෙන බව සඳහන්.

මෙම පළතුර අධික තන්තුමය ස්වභාවයෙන් යුක්ත බැවින් එය ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ද උපකාරී වනවා. තන්තුමය ස්වභාවය හේතුවෙන් ඇති වන තවත් යහපත් කටයුත්තක් වන්නේ රුධිරයේ අඩංගු සිනී මට්ටම පාලනය කිරීමට හැකි වීමයි. මිනිස් සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවයට ඩ්‍රැගන් ෆෘට්හි අඩංගු ඛනිජ ලවණ, විටමින් C, B1 හා B2 වැදගත් වනවා.

83% පමණ ජලය මෙහි අන්තර්ගත වනවා. මේ හේතුවෙන් විෂබීජ ආසාදන තත්ත්ව වලට ඔරොත්තු දීමේ හැකියාව ලැබෙන බව දැක්වෙනවා. එමෙන්ම ඩ්‍රැගන් ෆෘට් ආහාරයට ගැනීම මඟින් මිනිස් සිරුරට අවශ්‍ය කරන ජලය ලබා ගැනීමේ හැකියාව ද තිබෙනවා.

ඩ්‍රැගන් ෆෘට් ඇස් සම්බන්ධ රෝග වලට ද විසඳුමක් වනවා. මෙහි අඩංගු විටමින් සී සංඝටකය හේතුවෙන් මිනිසාගේ පෙනීම වර්ධනය කිරීමක් සිදු කරනවා. ඒ වගේම ඇස්වල දෘෂ්ටි විතාන කොටසෙහි ආරක්ෂාව රඳවා ගැනීමට ද මෙම පළතුරේ තිබෙන පෝෂණය වැදගත් බව දැක්වෙනවා. ඇසේ ලප ඇතිවීම වැනි ආබාධවලට තවදුරටත් ගුණදායක වන අතරම රාත්‍රී කාලයේ පෙනීම දුර්වල අයටද මෙම පළතුර වැදගත් වනවා.

මීට පෙර සඳහන් කළ පෝෂ්‍ය පදාර්ථ ශක්තිමත් අස්ථි පද්ධතියක් පවත්වා ගැනීමට ද උපකාරී වනවා. එමෙන්ම ඇටකටු හා දත්වල ආරක්ෂාව දිගු කාලීනව පවත්වා ගැනීම උදෙසා මෙන්ම මැදිවියේ කාන්තාවන්ට ඇතිවන සුලභ රෝගී තත්වයක් වන ඔස්ටියෝපොරෝසිස් මඟින් ඇතිවන අස්ථි වල වේදනාව තරමක් සුව කර ගැනීමට ද ඩ්‍රැගන් ෆෘට් උපකාරී වන බව වෛද්‍යවරු ප්‍රකාශ කරන බව සඳහන් වනවා.

සමට විශේෂ පෝෂණයක් ලබා දීමට ද මෙම පළතුරේ තිබෙන කුඩා ඇට වැනි බීජ උපකාරී වනවා. මෙම බීජ වල තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් දීප්තිමත් සමක් ලබා ගැනීමේ භාග්‍ය ද හිමි වෙනවා.

අනෙකුත් ප්‍රයෝජන

dreamstime.com(ඩ්‍රැගන් ෆෘට් පානය)

ඩ්‍රැගන් ෆෘට් කියන්නේ පළතුරු ශාකයක් වගේම විසිතුරු ශාකයක් ලෙසත් සැලකෙනවා. එමෙන්ම මෙම පළතුර යොදා ගෙන බොහෝමයක් නිෂ්පාදන කරනු ලබනවා. ඒ අතර ජෑම්, අයිස්ක්‍රීම්, ජෙලි, පලතුරු යුෂ හා වයින් වැනි අතුරු නිෂ්පාදන ද වනවා. එමෙන්ම ඩ්‍රැගන් පෘට් මල පිපීමට පෙර පොහොට්ටු අවස්ථාවේ ව්‍යාංජනයක් ලෙස සකස්කර ආහාරයට ගත හැකි බවත් සඳහන් වනවා.

ඒ වගේම විදේශීය වෙළෙඳ පොළේ මේ සඳහා විශාල ඉල්ලුමක් තිබෙන බවත් දැක්වෙනවා. වසරකට සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 10,0000ක පමණ  ලබා ගත හැකි බව දැක්වෙනවා. මේ මඟින් පැහැදිලි වන්නේ පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු මෙම පළතුර මිනිස් සිරුරට ඉතාමත් වැදගත් බවයි.

කවරයේ පින්තූරය: Ritely.com

Related Articles