Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු දෙසතියේ උණුසුම් වුණු එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු පිටිය

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ 3 වැනි සතියේ තරග අවසන් වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වුණේ ලිවර්පූල් කණ්ඩායම යි. එලෙස ලිවර්පූල් කණඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන විට එහි දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ පසුගිය වසරේ ශූරයන් වුණු මැංචෙස්ටර් සිටි කණ්ඩායම යි. එම නිසාම පසුගිය වසරේ දී මෙන්ම මෙවරත් එංගලන්ත ප්‍රිමියර් ලීග් කිරුළු සඳහා මෙම කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් දැනටමත් නිර්මාණය වී තිබෙනවා. 

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු බිමේ දෙවන සතියේ තරග තොරතුරු  

තරගාවලියේ දෙවන සතිය යටතේ පැවති තරගවල දී කිසිදු කණ්ඩායමකට විශාල ජයග්‍රහණය ලබාගැනීමට නොහැකි වීම කැපීපෙණෙන සිදුවීමක් වුණා. නමුත් ලිවර්පූල්, නොරිච් සිටි, එවර්ටන්, බෝර්න්මවුත්, ආසනල් සහ ෂෙෆීල්ඩ් යුනයිටඩ් යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වුණේ ප්‍රසාද ලකුණු සටහනට ලකුණු 3 බැගින් එකතු කරගනිමින්. 

නොරිච් සිටි 3-1නිව්කාසල් 

වසර 4කට පසුව මෙවර එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය සඳහා එක්වුණු නොරිච් සිටි කණ්ඩායම මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ නිව්කාසල් කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජය කරමින්. එහිදී නොරිච් සිටි කණ්ඩායමේ ගෝල මැෂිම වන ටීමූ පුක්කි 32, 63, සහ 75 විනාඩිවල ගෝල ලබාගත්තේ තරගාවලිය තුළ වාර්තා වුණු දෙවන ත්‍රිත්ව ගෝලයේ උරුමකරු වෙමින්. 

පුක්කි ගෝලයක් ලබාගැනීමේ සතුට සමරමින් (gettyimages)

ලිවර්පූල් 2-1 සදම්ප්ටන් 

ලිවර්පූල් සහ සදම්ප්ටන් අතර පැවති මෙම තරගයේ දී ලිවර්පූල් ක්‍රීඩකයන්ට පහසුවෙන් ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. එම නිසාම තරගයේ 45 වැනි විනාඩිය අවසන් වන විටත් ලකුණු තත්ත්වය සටහන් වුණේ 0-0ක් ලෙස යි. නමුත් පළමු භාගයේ දී ලැබුණු විනාඩියක අතිරේක කාලයෙන් ප්‍රයෝජන ගත් සාඩියෝ මානේ සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත්වුණේ ලිවර්පූල් කණ්ඩායම පෙරමුණේ තබමින්. ඉන් පසුව දෙවන භාගයේ දී ලිවර්පූල් ක්‍රීඩකයන් සටන්කාමී තරග රටාවක නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙස රොබාර්ටෝ ෆර්මිනෝ මානේගේ සහාය ඇතිව ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලයත් වාර්තා කළා. එලෙස ලිවර්පූල් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස තරගයේ පෙරමුණ ගත් අවස්ථාවේ සදම්ප්ටන් ක්‍රීඩක ඩැනී ඉන්ග්ස් ගෝලයක් වාර්තා කළත් තරගයේ ජය ගෝල 2-1ක් ලෙසින් හිමිවුණේ ලිවර්පූල් කණ්ඩායමට යි.

මානේ ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

ආසනල් 2-1 බර්න්ලි 

ආසනල් සහ බර්න්ලි යන කණ්ඩායම් අතර පැවති තරගයේ 13 වැනි විනාඩිය වන විට ආසනල් කණ්ඩායම තරගයේ පෙරමුණ ලබාගත්තේ ඇලෙක්සැන්ඩර් ලැකසෙට් ලබාගත් ගෝලය නිසා යි. ආසනල් කණ්ඩායම එලෙස ඉක්මනින්ම ගෝලයක් ලබාගත්තත් ඉන් නොසැලුණු බර්න්ලි කණ්ඩායමේ ඈෂ්ලි බාන්ස් 43 වැනි විනාඩියේ දී ගෝලයක් ලබාගත්තේ පළමු භාගය අවසන් වන විට ගෝල තත්ත්වය 1-1 බවට පත්කරමින්. පළමු භාගය අවසානයේ දී කරට කර සටනක් බවට පත්ව තිබුණු තරගය 64 වැනි විනාඩියේ දී ආසනල් කණ්ඩායම දෙසට හැරවූ අයුබාමේයැන්ග් ජයග්‍රාහී ගෝලය වාර්තා කළා. 

අයුබාමේයැන්ග් ජයග්‍රාහී ගෝලය ලබාගත් අවස්ථාව  (gettyimages)

බෝර්න්මවුත් 2-1 ඇස්ටන් විලා 

මෙම තරගයේ පළමු විනාඩියේ දී ඇස්ටන් විලා දැල් රකින ක්‍රීඩක ටොම් හීට්න් විසින් බෝර්න්මවුත් ක්‍රීඩක කැල්ම් විල්සන්ට අනිසි බලපෑමක් කිරීම නිසා ඔවුන්ට දඬුවම් පහරක් හිමිවුණා. එම දඬුවම් පහර සාර්ථක කරගත් ජෝෂුවා කිං බෝර්න්මවුත් කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. ඉන් අනතුරුව තරගයේ 12 වැනි විනාඩියේ දී හැරී විල්සන් බෝර්න්මවුත් කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත්වුණු නිසා පළමු භාගය නිමාවුණේ බෝර්න්මවුත් කණ්ඩායම 2-0ක් ලෙස පෙරමුණේ තබමින්. නමුත් දෙවන භාගයේ දී ක්‍රියාත්මක වුණු ඇස්ටන් විලා ක්‍රීඩක ඩග්ලස් ලුයිස් 71 වැනි විනාඩියේ දී ගෝලයක් ලබාගත්තත් තරගය ගෝල 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේ බෝර්න්මවුත් කණ්ඩායම යි. 

හැරී  විල්සන් ගෝලය ලබාගැනීමෙන් අනතුරුව (gettyimages)  

එවර්ටන් 1-0 වැට්ෆෝර්ඩ් 

වැට්ෆෝර්ඩ් කණ්ඩායම සමග පැවති තරගයේ 10 වැනි විනාඩියේ දී එවර්ටන් කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී  ගෝලය වාර්තා කළේ ආරක්ෂක පෙළ ක්‍රීඩක දිග්නේගේ සහාය ඇතිව මැදපෙළ ක්‍රීඩක බර්නාඩ් විසිනු යි. ඔවුන් දෙදෙනා එක්ව ලබාගත් එම ගෝලයෙන් පසුව දෙපිලම ගෝල ලබාගැනීමට උත්සාහ කළත් ඊට අවස්ථාවක් නොලැබුණු නිසා තරගය 1-0ක් ලෙස ජයග්‍රහණය කළේ එවර්ටන් කණ්ඩායම යි.

ෂෙෆීල්ඩ් යුනයිටඩ් 1-0 ක්‍රිස්ටල් පැලස් 

ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝදෙනෙකු අපේක්ෂා කළා. නමුත් තරගයේ  47 වැනි විනාඩියේ දී ෂෙෆීල්ඩ් යුනයිටඩ් ක්‍රීඩක ජෝන් ලුන්ඩ්ස්ට්‍රාම් ලබාගත් ගෝලය නිසා තරගයේ ජය ගෝල 1-0ක් ලෙසින් හිමිවුණේ ෂෙෆීල්ඩ් යුනයිටඩ් කණ්ඩායමට යි.

ඉහත තරග 6ට අමතරව දෙවන සතියේ දී තවත් තරග 4ක් පැවැත්වුණා. එම තරග 4ම අවසන් වුණේ ජය පැරදුමෙන් තොරව යි.

මැංචෙස්ටර් සිටි සහ ටොටන්හැම් හොට්ස්පර්  – 2-2 

බ්‍රයිටන් සහ වෙස්ට් හැම් යුනයිටඩ්  – 1-1

මැංචෙස්ටර් යුනයිටඩ්  සහ වොල්වර්හැම්ප්ටන් වොන්ඩර්ස් – 1-1

චෙල්සි සහ ලෙස්ටර්ෂයර්  – 1-1

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු බිමේ දෙවන සතියේ තරග තොරතුරු  

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන සතියේ දී විශාලම පෙරළි 2ක් සිදුවුණා. එහිදී නිව්කාසල් කණ්ඩායම හමුවේ ටොටන්හැම් කණ්ඩායම ගෝල 1-0 ලෙසින්  පරාජය වන විට ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම හමුවේ මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ගෝල 2-1ක පරාජයක් ලැබුවා. එහිදී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ මැංචෙස්ටර් යුනයිටඩ් සහ ටොටන්හැම් යන කණ්ඩායම් එම තරගවල සත්කාරක කණ්ඩායම ලෙසින් කටයුතු කිරීම යි.

ලිවර්පූල් 3-1 ආසනල් 

තරගාවලිය සඳහා එක්වී සිටින ප්‍රබල කණ්ඩායම් දෙකක් වන ලිවර්පූල් සහ ආසනල් යන කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු මෙම තරගයේ පළමු භාගය නිමාවුණේ ලිවර්පූල් කණ්ඩායම ගෝල 1-0 ලෙස පෙරමුණේ තබමින්. එහිදී ආරක්ෂක පෙළ ක්‍රීඩක ජොයෙල් මැටිප් විසින් 41 වැනි විනාඩියේ දී එම ගෝලය ලබාගත්තේ තවත් ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකු වුණු ඇලෙක්සැන්ඩර් ආනෝල්ඩ්ගේ සහායෙන්. ඉන් පසුව ආරම්භ වුණු දෙවන භාගයේ 48 වැනි විනාඩියේ දී ආසනල් ආරක්ෂක පෙළ ක්‍රීඩක ඩේවිඩ් ලුයිස් දඬුවම් සීමාවේ දී මොහොමඩ් සලාට කළ අනිසි බලපෑම නිසා ලිවර්පූර් කණ්ඩායමට දඬුවම් පහරක් හිමිවුණා. එලෙස ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගත් සලා ඉන් නොනැවතී 58 වැනි විනාඩියේ දී ත් ගෝලයක් වාර්තා කළේ ගෝල 3-1ක් ලෙස ලබාගත් ජයග්‍රහණයේ නියමුවා වෙමින්. 

සලා ගෝලයක් ලබාගැනීමේ සතුට සමරමින් (gettyimages)  

මැංචෙස්ටර් සිටි 3-1 බෝර්න්මවුත් 

ප්‍රබල මැංචෙස්ටර් සිටි කණ්ඩායම මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට ගෝල 2-1ක් ලෙසින් ඉදිරියෙන් පසුවුණේ ඇගියුරෝ සහ ස්ටර්ලිං ලබාගත් ගෝල නිසා යි. ඔවුන් දෙදෙනා මැංචෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් ගෝල ලබාගන්නා විට හැරී විල්සන් බෝර්න්මවුත් කණ්ඩායම ලබාගත් එකම ගෝලයේ හිමිකරුවා බවට පත්වුණා. ඉන් අනතුරුව ආරම්භ වුණු තරගයේ දෙවන භාගයේ 64 වැනි විනාඩියේ දී නැවතත් ක්‍රියාත්මක වුණු ඇගියුරෝ සිය දෙවන ගෝලය ලබාගත්තේ මැංචෙස්ටර් සිටි කණ්ඩායම ගෝල 3-1ක ජයග්‍රහණයක් කරා රැගෙන යමින්.

ඇගියුරෝ ගෝලයක් ලබාගත් අවස්ථාව (gettyimages)  

වෙස්ට් හැම් යුනයිටඩ් 3-1 වැට්ෆෝර්ඩ් 

වෙස්ට් හැම් යුනයිටඩ් සහ වැට්ෆෝර්ඩ් අතර පැවති තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිලම ගෝල 1 බැගින් ලබා සිටියා. එහිදී වෙස්ට් හැම් ක්‍රීඩක මාක් නෝබල් දඬුවම් පහරක් මඟින් 3 වැනි විනාඩියේ දී ගෝලයක් ලබාගන්නා විට වැට්ෆෝර්ඩ් ක්‍රීඩක ඇන්ඩ්‍රේ ග්‍රේ 17 වැනි විනාඩියේ දී ගෝලයක් ලබාගත්තා. එලෙස කරට කර පැවති තරගය දෙවන භාගයේ දී වෙස්ට් හැම් කණ්ඩායම දෙසට හැරවූ සෙබස්තියන් හේලර් 64 සහ 73 විනාඩිවල දී ගෝල ලබාගත්තේ ගෝල 3-1ක් ලෙසින් ලබාගත් ජයග්‍රහණයේ නියමුවා වෙමින්.

සෙබස්තියන් හේලර් ගෝලය ලබාගැනීමේ සතුට සමරමින්  (gettyimages) 

 චෙල්සි 3-2 නොරිච් සිටි 

මුල සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරතවුණු මෙම තරගයේ 30 වැනි විනාඩිය අවසන් වන විට දෙපිලම ගෝල 2ක බැගින් ලබාගෙන සිටියා. එලෙස තියුණු සටනක් පැවති මෙම තරගයේ ඉරණම විසඳූ ගෝලය 68 වැනි විනාඩියේ දී ලබාගත්තේ චෙල්සි කණ්ඩායමේ ටැමී ඒබ්‍රහම් විසින්. එම නිසා අවසානයේ දී තරගයේ ජය 3-2ක් ලෙසින් හිමිවුණේ චෙල්සි කණ්ඩායමට යි.

ඒබ්‍රහම් ජයග්‍රාහී ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)  

ඉහත තරග 4ට අමතරව තෙවන සතියේ දී පැවති ඉතිරි තරගවල ප්‍රතිඵල සටහන් වුණේ මෙසේ යි.

ඇස්ටන් විලා සහ එවර්ටන්  2-0

බ්‍රයිටන් සහ සදම්ප්ටන්  0-2

මැංචෙස්ටර් යුනයිටඩ් සහ ක්‍රිස්ටල් පැලස්  1-2

ෂෙෆීල්ඩ් යුනයිටඩ් සහ ලෙස්ටර්ෂයර්  1-2

ටොටන්හැම් හොට්ස්පර් සහ නිව්කාසල් යුනයිටඩ්  0-1

වොල්වර්හැම්ප්ටන් වොන්ඩර්ස් සහ බර්න්ලි  1-1

තෙවන සතිය අවසන් වන විට තරගාවලියේ පෙරමුණේ සිටින කණ්ඩායම් 4

1) ලිවර්පූල් – ප්‍රසාද ලකුණු 9

2) මැංචෙස්ටර් සිටි – ප්‍රසාද ලකුණු 7 

3) ආසනල් – ප්‍රසාද ලකුණු 6 

4) ලෙස්ටර්ෂයර් – ප්‍රසාද ලකුණු 5

ප්‍රසාද ලකුණු සටහනේ 5 සිට 14 දක්වා ස්ථාන ලබා සිටින කණ්ඩායම් ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටියි.

තෙවන සතිය අවසන් වන විට වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයන් 

1) රහීම් ස්ටර්ලින් (මැංචෙස්ටර් සිටි) – 5

2)ටීමෝ පුක්කි  (නොරිච් සිටි) – 5

3) සර්ජියෝ ඇගියුරෝ  (මැංචෙස්ටර් සිටි) – 4

4) ඈෂ්ලි බාන්ස් (බර්න්ලි) – 4

5) මොහොමඩ් සලා (ලිවර්පූල්) – 3

කවරයේ ඡායාරූපය - ලිවර්පූල් කණ්ඩායම දස්කම් දක්වමින් (gettyimages)  

Related Articles