Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීන සංස්කෘතිය විදහාපාන උත්සව කිහිපයක තතු

ලෝකයේ උත්සව අතරින් චීන සංස්කෘතික උත්සවවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුනටම ආවේණික වූ සංස්කෘතික වටිනාකම් අනුව එම උත්සවයන් පැවැත්වෙන අතර, ඒ සම්බන්ධ සිරිත් විරිත් ද නැවුම් ය. මෙම ලිපියෙන් චීන ජාතිකයන් මහත් හරසරින් සමරනු ලබන උත්සව කිහිපයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කෙරේ.

වසන්ත ඍතු උළෙල

thegrovela.com

චීන ජාතිකයින්ගේ චන්ද්‍ර කැලැන්ඩරයේ නව වසර වන  මෙම උත්සවය, චීන වසන්ත ඍතු උළෙල යනුවෙන් ලොව පුරා ජනප්‍රියත්වයක් උසුලනවා. ශීත සෘතුවේ දී පැවැත්වෙන මෙම උත්සවය වසන්ත  සෘතුවේ ආරම්භය යි. චීන ජනතාවට ඉතාමත් වැදගත් උත්සවයක් වන මෙය සැමරීම සඳහා පවුලේ සාමාජිකයින් සියලුම දෙනා එකට එකතුව‍ෙනවා. චන්ද්‍ර කැලැන්ඩරයේ පළමු මාසයේ පළමු දිනයට යෙදී තිබෙන මෙහි ආරම්භය ක්‍රි. පූ. 1600 –  1100 අතර රජ කළ ‘ශැන්ග්’ රාජවංශය දක්වා දිවයනවා. පැරණි වසර අවසානයේ සහ නව වසර ආරම්භයේ දී මිනිසුන් දෙවියන්ට සහ මුතුන්මිත්තන් හට පූජා පවත්වනු ලබනවා. වසන්ත උත්සවයෙහි චාරිත්‍ර බොහෝමයක් තිබෙන අතර ඒවායින් සමහරක් වර්තමානයේ දී ද අනුගමනය කෙරෙනවා. අවුරුදු උදාවට පෙරාතුව නිවෙස් පිරිසිදු කරගැනීම, සතුට, සාමය හා ධනය ළඟා කරදීමට හේතුවන සුභ වර්ණයක් ලෙස සලකන රතු පැහැය භාවිතා කරමින් නිවෙස් සැරසීම ආදිය කැපීපෙනෙන අංගයන් විය. ආහාර සඳහා ද සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, “Jiaozi” හෙවත් ඩම්ප්ලින්ග්ස් යන ආහාරයට හා “niangao” හෙවත් රයිස් කේක්ස් නැමැති ආහාර සඳහා ප්‍රමුඛතාවයක් ලැබෙන වග දැක්වේ.

මධ්‍ය ශරත් උත්සවය

sassymamahk.com

සරත් ඍතුවේ මැද දී පැවැත්වෙන මෙය චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව අටවැනි මාසයේ පහළොස් වන දිනට යෙදී තිබේ. චීන නව අවුරුද්දට පසුව විශිෂ්ටතම ආකාරයෙන් සමරන උත්සවය වන්නේ මෙය යි. මෙය ‘චන්ද්‍ර උත්සවය’ නොඑසේ නම් ‘මූන් උත්සවය’ ලෙසද හඳුන්වන අතර, චන්ද්‍රයා ගෝලාකාර බවින් සම්පූර්ණ වීම සහ දීප්තිය මීට හේතුවෙනවා. අතීත චීන ජනතාව සඳහන් කරන්නේ  චන්ද්‍රයාගේ ගමන් කිරීම, ඍතු වෙනස් වීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන අතර කිට්ටු සම්බන්ධතාවයක් තිබෙන බවයි. මෙම චාරිත්‍රයේ ආරම්භය ක්‍රි. පූ 1046-256 අතර වකවානුව දක්වා දිවයන අතර බොහෝ විට රාජකීය පන්තිවල පුද්ගලයින් විසින් සැමරූ බව සඳහන් වෙනවා. එමෙන්ම මෙම වකවානුවේ එම සිරිත සඳහා උත්සවාකාර පසුබිමක් නොතිබුණ බවත් වාර්තාවේ. උත්සවය දිනයේ පවුලේ සාමාජිකයින් චන්ද්‍රයා හට පූජා පැවැත්වීම උදෙසා එකට එකතුවන අතර, දීප්තිමත් පූර්ණ චන්ද්‍රයා අගය කොට සලකනු ලබනවා. එමෙන්ම මූන් කේක් නමැති විශේෂිත ආහාරය රසවිඳිනු ලැබීම ද නිරතුරුවම දැකිය හැකි දසුන් ය.  

මකර බෝට්ටු උත්සවය

timeoutshanghai.com

මෙම මකර බෝට්ටු උත්සවය ‘Duanwu’ සහ ‘Tuen Ng’ ලෙස ද නම් කෙරෙනවා. වසර 2,000ක පමණ කාලයක සිට වාර්ෂිකව සමරනු ලබන මෙය ක්‍රි. පූ. 340 සිට 278 දක්වා කාලය තුළ  චීන දේශමාමක කාව්‍යකරණයේ යෙදුණ, ‘Qu Yuan’ සිහිපත් කිරීම සඳහා සමරනු ලබනවා. Wu Zixu සහ Cao E නැමැති ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ද Qu Yuan මියගිය දිනයේම මියගොස් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල ඔවුන් අනුස්මරණය කිරීම සඳහා මෙම උත්සවය පවත්වන බව සඳහන්. දකුණු දිග චීනයෙන් ආරම්භ වූ මෙම උත්සවය එහි ජියැන්ග්සු, ෆූජියාන්, ගුවෑන්ග්ඩොන්ග්, සහ ශිජියැන්ග් පළාත්වල මහත් හරසරින් සැමරීම දක්නට පුළුවන්.  පස්වැනි චන්ද්‍ර මාසයේ පස්වැනි දිනට යෙදී තිබෙන මෙහි දී ‘ශෝන්ග්ශි’ නමැති ආහාරය රසවිඳිනු ලැබීම, මකර බෝට්ටු තරග පැවැත්වීමද නිරතුරුවම දක්නට ලැබෙනවා.

කින්ග්මින්ග් උත්සවය

xinhuanet.com

මෙම උත්සවය ‘සුසානඝර අතුගෑමේ දිනය’ ලෙසද හඳුන්වනු ලබන මෙය අප්‍රේල් මස  4 හෝ 5 වන දිනට යෙදී තිබෙනවා. සාම්ප්‍රදායික චීන උත්සවයක් වන මෙහි දී සුසානඝර අතුගෑම්, මුතුන්මිත්තන් අනුස්මරණය කිරීම් ආදිය මූලික වශයෙන් දැකිය හැකියි. හන් චීන ජාතිකයන් මෙන්ම චීනයේ සුළු ජනකොටස් 55ක්  පමණ සමරන කින්ග්මින්ග් උත්සවය, 2006 මැයි මස 20 වන දින පළමු ජාතික අස්පෘශ්‍ය සංස්කෘතික උරුම අංගයක් ලෙස ලැයිස්තු ගතකරනු ලැබීම ද විශේෂ යි. මුතුන්මිත්තන් අනුස්මරණය කිරීම සඳහා මෙන්ම ඔවුන්ට තිබෙන ගරුත්වය පෙන්වීම සඳහා සොහොන් ගැබ් නැරඹීමට ගමන් කරන අතර, එහි දී ආහාර පරිත්‍යාග කිරීම, තේ හෝ වයින් තැබීම, සාම්බ්‍රානි දැවීම ආදී චාරිත්‍ර සිදුකිරීම දක්නට ලැබෙනවා. ඊට අමතරව සරුංගල් තරග, විලෝ අතු දොරටුව අසලින් තැබීම් ආදියද මෙම උත්සවය ආරම්භක වූ වකවානුවල සිට දක්නට ලැබුණ වැදගත් අංග ලෙස දැක්වෙනවා. තරුණ, මහලු දෙපාර්ශවය විසින්ම මෙම සරුංගල් යැවීම ඉතාමත් වැදගත් සිරිතක් ලෙස දිවා කාලයේ සහ සවස් කාලයේ සිදුකරනු ලැබීම නිරතුරුව දැකිය හැකි කරුණක්. මීට පෙරදින සාම්ප්‍රදායික ‘චීන සිසිල් ආහාර දිනය’ ලෙස සලකනු ලබනවා. කෙසේ නමුත් කාලය ගතවීමත් සමග, මෙම උත්සව දෙකම එකක් ලෙස සංයුක්තවීමක් සිදුවුණා. මෙහි දී ගින්දර භාවිතා නොකිරීමත්, සිසිල් ආහාර පමණක් ආහාරයට ගැනීමත් සිදුකරන බව සඳහන්. වර්තමානය වනවිට ඇතැම් ස්ථානවල ජනතාව මෙම උත්සව දිනයේ දී සිසිල් ආහාර අනුභව කිරීම සිරිතක් ලෙස සිදුකරනවා. උත්සව දිනය උදා වීමට දිනකට හෝ දෙකකට පෙරාතුව ඒ සඳහා ආහාර සකස් කිරීම චීන ජාතිකයින්ගේ සිරිතක්.

මීට අමතරව නොයෙකුත් සුවිශේෂී කරුණු පාදක කරගනිමින් චීන ජාතිකයන් සමරන තවත් උත්සව බොහෝමයක් තිබෙනවා.

කවරයේ පින්තූරය: mtlblog.com

Related Articles