Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අයි.එම්.එෆ්. කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන

වර්තමානයේ ඉතා දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී ඇති ශ්‍රී ලංකාවට, ඒ මූල්‍ය අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ඇති ප්‍රධාන මාර්ගයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් අයි. එම් එෆ් ආයතනයේ සහාය පැතීම පෙන්වා දිය හැකියි. අප බොහෝ දෙනෙක් මේ අයි.එම්. එෆ් යන නාමය අසා ඇති මුත්, එය කුමක් අරබයා ඇති කර ගන්නා ලද්දක්ද? එහි ඉතිහාසය කුමක්ද? එහි වැඩ කටයුතු සිදුවන ආකාරය හෙවත් කාර්යයභාරය කුමක්ද? යන්න පිළිබඳ ව එතරම් දැනුම්වත් නැහැ. 

ශ්‍රී ලාංකික පාලකයන් ඔවුන්ගෙන් ණය ආධාරයක් ගැනීම සහ ගත් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වර්තමානයේ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඒවා සිදුවන ආකාරය සහ, වර්තමානය වන විට එහි සාර්ථකත්වය පිළිබඳ දැනගන්නටත් බොහෝ දෙනෙක් උනන්දුවෙන් සිටිනවා. 

මේ ලිපිය වෙන්වන්නේ ඒ කාරණා පිළිබඳව යම් දැනුමක් ඔබ වෙත ගෙන එන්නට යි.

 අයි. එම් එෆ් ආයතනය- Newsfirst.lk

 

අන්තර්ජාතික මූල්‍ය අරමුදල යනු කුමක්ද?

අන්තර්ජාතික මූල්‍ය අරමුදල හෙවත් අයි.එම්.එෆ්. ආයතනය ඔවුන්ගේ සාමජික රටවල් වන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 190 හි තිරසාර සංවර්ධනයට සහ සශ්‍රීක භාවයට අදාළ මූල්‍ය සහාය වීම ලබා දෙනවා. මෙම කර්තව්‍යය ඔවුන් සිදුකරන්නේ යම් රටක මූල්‍ය ස්ථායීතාව සහ අන්තර්ජාතික ව මූල්‍ය සහයෝගීතාව ඇති කර ගැනීමට අදාළ උපදෙස් සහ, අවශ්‍ය වූ විට මූල්‍ය ආධාර ද ලබා දෙමිනු යි. මෙම සහාය ඒ ඒ රටවල මූල්‍ය පද්ධතියේ යහ පැවැත්මටත්, පලදායීතාව වැඩි කර ගැනීමටත්, නව රැකියා උත්පාදනයටත් මහෝපකාරී වෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවත්වාගෙන යන්නේ එහි සමාජික රටවල් 190 හි ම සහයෝගයෙනු  යි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රධාන වශයෙන් මෙහෙයුම් ත්‍රිත්වයක නිරත වෙනවා. අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීම, ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආර්ථික වර්ධනය දිරිගැන්වීම සහ ඒවාට හානි කරන ප්‍රතිපත්ති අධෛර්යයමත් කිරීම එම ත්‍රිත්වය යි. මෙම මෙහෙයුම් ත්‍රිත්වය සාර්ථක කර ගැනීම සඳහා එහි සාමාජික රටවල් එකාවන් ව, එකිනෙකාට උපකාර කර ගනිමින්, සහයෝගයෙන් කටයුතු කරන අතර, ඒ සඳහා අනෙකුත් අන්තර්ජාතික සංවිධානවල සහායත් ඔවුන් ලබා ගන්නවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල 1945 වසරේ දෙසැම්බර් මස 27 වැනි දා ඇරැඹුණු අතර, මෙහි මූලස්ථානය අමෙරිකා එක්සත් ජනපදයෙහි වොෂිංටන් නුවර ස්ථාපිත කර තිබෙනවා. වර්තමානයෙහි මෙහි කළමනාකාර අධ්‍යක්ෂ වන්නේ ක්‍රිස්ටලිනා ජෝජියේවා යි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ වැඩසටහන් සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රගතිය – ඉන්ෆොග්‍රැෆික්: publicfinance.lk

 

ශ්‍රී ලංකාව හා අයි.එම්.එෆ්

ශ්‍රී ලංකාව මීට පෙරත් කිහිප වතාවක්ම ආර්ථික වශයෙන් අපහසුතාවලට ලක් වූ අවස්ථාවන්හි දී අයි. එම්. එෆ් ආයතනයේ සහය පතා තිබෙනවා. 1950 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන් 16කට සම්බන්ධ වී තිබානවා. ඉන් මූල්‍යාධාර ගෙන එම අවස්ථා  කළමනාකරණය කර ගෙනත් තිබෙනවා. කෙසේ නමුත් විශේෂත්වය වන්නේ ඒ සියලු අවස්ථාවන්හී දී වර්තමානයේ රට පත් වී ඇති තත්ත්වයට පත්වීමට පෙර එය කළමනාකරණය කරගන්නට ඒ ඒ රජයන් සමත් වී තිබීම යි. මෙවර බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් ආයතනය වෙත ගියේ බොහෝ ප්‍රමාද වී බව යි. විද්වතුන් කිහිප දෙනෙක් ම පසුගිය වසර මුල සිට ම ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් සහය පැතිය යුතු බවට ප්‍රකාශ කර සිටියත්, කුමක් හෝ කාරණාවක් නිසා එය සිදු වූයේ නැහැ. 

ඒ හා සමගාමී ව ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව අනුව 2021 වසර වන විට රාජ්‍ය ණය මෙරට දල දේශීය නිෂ්පාදනයටත් වඩා වැඩි වී තිබෙන බවත්, එය තිරසාර නොවන බවත්, වහා ම ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් කළ යුතු බවත් ප්‍රකාශ වුණු අතර, ඒ කිසිවක් අදාළ බලධාරීන් නිසි කාලයට ක්‍රියාත්මක කිරීමට සමත්කම් නොදැක්වීම නිසා, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණපාන අපහසුතාවලට පාර කැපුණා. 2021 වසර වන විට රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිත මෙන් 117% ක් ලෙස සටහන් ව තිබුණා. මේ සමගාමී ව සිදු වූ රසායනික පොහොර තහනම, බදු අඩු කිරීම, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ආයාසයෙන් ස්ථාවර ව තබාගැනීමට උත්සාහ කිරීම, අපනයනය වැඩි නොකිරීම වැනි කාරණා හමුවේ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු ව තිබූ ඩොලර් සංචිත සිඳී ගියා. ඒ අනුව බංකොලොත් වීම හෙවත්, ලබාගත් ණයවලට අදාළ ණය වාරික ගෙවිය නොහැකි වුණා. ලබා ගත් ණයවලට අදාළ ණය වාරික ගෙවීම අත්හිටුවීමට වත්මන් මහබැංකු අධිපතිවරයා මෑතක දී තීරණය කළේ ඉන් අනතුරුව යි. ශ්‍රී ලංකාව අයි. එම්. එෆ් සහය පැතීම ආරම්භ කළේ ඉන් පසුව යි.

 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවෙන් ගිය දූත කණ්ඩායමඅයි එම්. එෆ් සාමාජිකයන්  වොෂිංටනයේදී හමු වී මූලික වටයේ සාකච්ඡා සිදු කරමින්- adaderana.lk 

 

රටකට අයි. එම්. එෆ් ආධාර ලැබෙන අකාරය

යම් රටක් අයි.එම්.එෆ් ආයතනයෙන් යම් මූල්‍යාධාරයක් ඉල්ලූ පසු, ඉල්ලූ වන ම එය ලැබෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඔවුන් සිදු කරන්නේ හුදු ණය ලබා දීම නොව, යම් රටක ආර්ථිකයක් නිසි මඟට ගෙන, එය නැවතත් තමන් ගත් ණය ගෙවිය හැකි මට්ටමට හෙවත් බංකොලොත් භාවයෙන් මුදා ගෙන, ඉන් අනතුරු ව කෙමෙන් කෙමෙන් ආර්ථික ස්ථාවරත්වයට පත්වන්නට අත්වැලක් සැපයීම යි. මේ සඳහා මූලිකව අවශ්‍ය වන මූල්‍ය ආධාරත් ඔවුන් ලබා දෙනවා. මෙහිදී මෙම ආධාර අවශ්‍ය ම අවස්ථාවන් හී දී කඩින් කඩ හෝ ලබා දීම සිදු කෙරෙන අතර, ඒවා ලබා දීමට ප්‍රථම එම  මූල්‍ය ආධාර යොදා ගන්නා ආකාරය පිළිබඳ ව දැක්වෙන ප්‍රතිපත්තියක් එම රට ඉදිරිපත් කළ යුතුයි. 

ඒත් සමඟ ම අදාළ රට ණය ලබා ගත් පාර්ශව සමඟ සාකච්ඡා කොට, එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම, එනම් පොළී අඩු කරගැනීම, ගෙවන කාලය පමා කර ගැනීම හෝ ගෙවන වාරික ගණන වැඩි කොට, එක් වාරිකයකට ගෙවිය යුතු මුදල අඩු කර ගැනීම එම රට සාර්ථක ව සිදු කර ගත යුතු අතර, ලබා දෙන මූල්‍යාධාර සොරකමකින් හෝ දූෂණයකින් තොරව, හුදු ආර්ථිකය ගොඩනැංවීම සහ සමාජ සුබසිද්ධියට පමණක් යොදා ගන්නා බවට විශ්වාසනීය සහතිකයකුත් ඔවුන් වෙත සැපයිය යුතු යි. අපේක්ෂිත ණය ආධාර හිමිවන්නේ ඉන් පසුව යි. මේ නිසා රටකට අයි.එම් එෆ්  වෙතින් මේ ණය ලබා ගැනීමට යම් කාලයක් ගත විය හැකි යි.

අයි. එම්. එෆ්. ක්‍රියාවලියේ ශ්‍රී ලංකාව සිටින තැන

2022 වසරේ ආරම්භ කළ ශ්‍රී ලංකා – අයි.එම් එෆ් සාකච්ඡා මේ වන විට යම් ප්‍රගතියක් ලබා තිබෙනවා. අයි. එම්. එෆ්. නියෝජිත පිරිසක් මෙරටට පසුගියදා පැමිණි අතර, එහිදී තාක්ෂණික සාකච්ඡා අවසන් කිරීමෙන් පසු අයි. එම්. එෆ්. ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

 ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී ජනතාව මුහුණපාන දුෂ්කරතා පිළිබඳව් අයි. එම්. එෆ් නියෝජිතයන්ගේ අවධානය යොමු වී තිබෙනවා- EPA 

 

ශ්‍රී ලංකාවට පැමිණි අයි. එම්. එෆ් දූත පිරිස ජනපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් හමුව සාකච්ඡා කර තිබූ අතර, එහිදී දීර්ඝ කාලීන ණය ප්‍රතිපත්තියකට යාමට පෙර, පැහැදිලි ලෙස මහජන ණය තිරසාර මට්ටමකකට රැගෙන වුත්, මූල්‍යාධාර සපයන අයට එම ණය ආධාර අපතේ නොයා නැවත අය කරගැනීමට හැකි බවට වන සහතිකය ළඟා කර ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ ව සාකච්ඡා වී තිබුණා. මෙහිදී අයි. එම්. එෆ් නියෝජිතයන් ශ්‍රී ලංකාව වර්තමානය වන විට ණය තිරසාර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳ අගය කර තිබූ අතර, ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ, තවමත් රාජ්‍ය ණය සම්පූර්ණයෙන් තිරසාර මට්ටමකට පැමිණ නැති බව යි. විවිධාකාරයේ බදු වැඩි කිරීම වැනි දේ මඟින් හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ශ්‍රී ලංකාවට ඉක්මනින් ම තිරසාර මට්ටමකට ළඟා විය හැකි බැව් තමන්ට පෙනෙන බැව් ඔවුන් ප්‍රකාශ කළ මුත්, දැඩි ලෙස ඉහළ යන උද්ධමණය නිසා මෙරට අඩු ආදායම්ලාභී, දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවට අපහසුවක් ඇති නොවන පරිදි එය සිදු කළ යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබුණා. 

දැඩි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය

රට තුළ පවතින දැඩි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය පිළිබඳත් ඔවුන්ගේ අවධානය යොමු වී තිබුණා. 2022 ජුනි මස 20 සිට 30 වනදා දක්වා තිබූ මේ සාකච්ඡා වටයේ දී ඔවුන් තව දුරටත් පවසා තිබුණේ හැකි ඉක්මනින් තම සංවිධානයේ ප්‍රතිපත්තිවලට අනුකූල ව ක්‍රියා කොට ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන ගැටලුවලින් ඔවුන් මුදා ගැනීමේ උනන්දුවක් සහ කැපවීමක් තමන් තුළ පවතින බව යි. 

මීට පෙර මැයි මස පැවති සාකච්ඡාවලදී අයි. එම්. එෆ් නියෝජිතයන් පවසා තිබුණේ තම ණය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ පැවතීම ද අත්‍යවශ්‍ය කරුණක් බව යි.

රට තුළ පවතින ඉන්ධන හිඟය – Ishara S. Kodikara /AFP/gettyimages.com.

 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දුෂණ මැඩලීම සඳහා ශක්තිමත් පියවර ගැනීමට සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමට ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බව අමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පවසා තිබුණු බව මෙරට ජනමාධ්‍ය වාර්තා කර තිබුණා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යාම සඳහා ණය තිරසරභාවය සහ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම පමණක් ඉලක්ක කර ගනිමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ප්‍රමාණවත් නොවන බව ද එහිදී අමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පවසා තිබුණා.

එසේ වුවහොත් සිදුවන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් දුර්වල කළමනාකරණයට ලක්වීම සහ පාලනය කළ නොහැකි ණය ප්‍රමාණයකට ගොදුරු වීම පමණක් බවත් ඔවුන් සඳහන් කළා.

අයි. එම්. එෆ් ආයතනයෙන් ලැබෙන දීර්ඝ කාලීන ණය වැඩසටහනින්, නැවත නැඟී සිටීම සඳහා ශ්‍රී ලංකාවට යම් උපකාරයක් ලැබෙනු ඇති. එහෙත්, මෙරට නැවත තිරසාර තැනකට ගෙන ඒමට ජනතාව බුද්ධිමත්, අපක්ෂපාතී මෙන් ම, ස්ථානෝචිත ප්‍රඥාවෙන් කාලීන තීරණ ගත යුතු බැව් විද්වත් මතය යි. ඒ මෙරට පරමාධිපත්‍ය ඇත්තේ ජනතාවට නිසා යි. එනයින් මෙරට අනාගතය තීරණය වනු ඇති.

කවරයේ ඡායාරූපය - අයි.එම්.එෆ්. කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන - orfonline.org

මූලාශ්‍ර:

Imf.org

Orfonline.org

Adaderana.lk

Lankadeepa.lk

Related Articles