Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

iOS 11 දාගන්න හැටි සහ එහි නවතම විශේෂාංග

පසුගිය මස පැවැත්වුණු ඇපල් සමාගමේ නිෂ්පාදන හඳුන්වාදීමේ සමුළුවේදී බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ තවත් අංගයක් තමයි iOS11 කියන්නේ. නිල වශයෙන් සැප්තැම්බර් 19 වනදා එලි දක්වන ලද මෙම ඇපල් දුරකථන මෙහෙයුම් පද්ධතියේ නවතම වෙළුම විවිධ රටවල් සඳහා ඉන් පසු දිනවලදී ලැබුණා. මෙම විශාල යාවත්කාලීනයක් සමගින් මෙතෙක් කල් iOS මෙහෙයුම් පද්ධතියේ තිබූ අඩුලුහුඬුතා රැසක් සම්පූර්ණ වනවා වගේම සිත් ඇදගන්නාසුළු නවතම ආකාරයේ විශේෂාංග රැසක්ද ඊට අඩංගු වී තිබෙනවා.

තිරය ඡායාරූප සහ වීඩියෝ ලෙස සටහන් කිරීම

(ytimg.com)

තිරය ඡායාරූප ලෙස සටහන් කිරීම මීට පෙර මෙහෙයුම් පද්ධති වල සිට පැමිණි අතර මෙම නවතම වෙලුම සමඟ, එසේ ගන්නා ලද තිර දසුනක් එවෙලේම සංස්කරණය කොට, බෙදා හදා ගැනීමට හැකි ආකාරයේ අපූරු පහසුකමක් ලබාදී තිබෙනවා. භෞතික යතුරු භාවිත කිරීම නවතාලන AssistiveTouch නමැති තිරය මත දිස්වන බොත්තම (Settings > General > Accessibility > AssistiveTouch හරහා සක්‍රීය කරගත හැකියි.) හරහා ද ලබාගත හැකි මෙම තිර දසුන් ඒවා ලබා ගැනීමෙන් පසු එහි පෙර දසුනක් වම් පස යට කෙළවරේ පෙන්වන අතර එය මත click කිරීමෙන් ඡායාරූපය සංස්කරණය කිරීම, photos වෙත යන්නට පෙර delete කිරීමත් සහ එතැනින්ම යහළුවන් සමග බෙදා හදා ගැනීමත් යන දේවල් කරගන්නට දැන් පහසුකම් සලසා තිබෙනවා.

තිර දසුන කියන්නේ අතීතයේ පටන් පැමිණි අතීතයට අයත් දෙයක්. නමුත් දැන් තිරය රෙකෝඩ් කරලා share කරගැනීම තමයි අලුත්ම ක්‍රමය. ඉතින් මේ සඳහා තෙවන පාර්ශවයේ වෙළඳ දැන්වීම් වලින් පිරීගිය නොමිලේ ලබාදෙන යෙදුමක් හෝ මුදල් ගෙවා ලබාගත් යෙදුමක් භාවිත කිරීම සිදු කරන්නට අවශ්‍ය නැහැ. දැන් එය මෙහෙයුම් පද්ධතියේම කොටසක් ලෙස ලැබෙන නිසා ඔබට කිසියම් දෙයක් යහළුවෙකුට කියා දෙන්නට අවශ්‍ය නම් එය තිරය මත ම රෙකෝඩ් කර, සැණින් ඔවුන්ට යවන්න පුළුවන්.

පාලක මධ්‍යස්ථානය

(gadgethacks.com)

ඉතා සරල සහ නවතම පෙනුමක් ලබා ගෙන ඇති control center එක පෙර වෙළුම සතුව තිබූ අඩුලුහුඬුතා රැසක් සකසාගෙන භාවිතයට වඩාත් පහසු ආකාරයේ විශේෂාංග රැසක් ලබාගෙන තිබෙනවා. එහි තිබෙන වැදගත්ම අංගයක් වන්නේ control center එක මත දිස්වන දේවල් අපට අවශ්‍ය ආකාරයට සකසා ගැනීමට හැකිවීමයි.

Settings > Control Center > Customize Controls වෙත පිවිසීමෙන් ඔබට අවශ්‍ය ආකාරයට ඒ මත දිස් විය යුතු පහසුකම් මොනවාදැයි තෝරා ලබා ලබාගැනීමට හැකිවන අතර ඒ අනුව Flashlight, කැමරා, අඩු බල භාවිත ප්‍රකාරය (Low power mode), තිර රෙකෝඩරය, ඇපල් ටීවී දුරස්ථ පාලකය ආදී දේවල් රැසක් ඔබේ ස්වකැමැත්ත අනුව එහි රඳවා ගන්නට පුළුවන්. එසේ යොදාගන්නා අයිතම දැන් long press සඳහා ද සහාය දක්වන නිසා ටෝච් අයිකනය මත ටිකක් වෙලා ඇඟිල්ල තියාගෙන ඉඳලා එහි දීප්තිය අඩු වැඩි කරන මෙනුව ලබාගන්නට පුළුවන්.

සටහන්

(cultofmac.com)

iOS සතුව ඇති සටහන් තබා ගැනීමේ ඇප් එක දැන් තවත් වැඩිදියුණු වෙලා. එයට දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ අත් අකුරු හඳුනා ගන්නටත් පුළුවන්. මේ නිසා ඔබ සෙවීමක් කරද්දී Apple Pencil එක භාවිතයෙන් තබන ලද සටහන් මෙන්ම ස්කෑන් කළ ඉංග්‍රීසි ලිපි ගොනු වල තිබෙන කරුණු හඳුනාගෙන ඒවා ද සෙවීම් ප්‍රතිඵල වලට එකතු කරන්නට ඊට හැකියාව තිබෙනවා. Evernote වැනි යෙදුම් පවා ප්‍රතිස්ථාපනය කළ හැකි විශේෂාංග සහිත මෙහි දැන් monospace වැනි අකුරු සැකසුම් ද යොදන්නට පුළුවන්.

ඒ වගේ ම දැන් ගොනු ස්කෑන් කිරීමේ පහසුකම ද මෙහෙයුම් පද්ධතියේ ම තිබෙන අතර තෙවන පාර්ශවීය ඇප් එකක් නැතිවම ගොනු ස්කෑන් කර ගබඩා කරගන්නට පුළුවන් අතර ඒවා එහි තිබෙන වචන වලින් සර්ච් කරගන්නට පුළුවන් නිසා වඩාත් පහසුවක් වෙනවා.

ගොනු

(ytimg.com)

iOS 10 සතුව තිබූ මූලික ගොනු කළමනාකරණ ඇප් එක වෙනුවට Files නමින් ඔබේ වෙනත් උපාංග හරහා ද සමමුහුර්ත(sync) වී ඇති iCloud ගොනු ද අඩංගු වන අතර ඒ හරහා ඔබේ දුරකථනයෙන් ගොනුවක කරන වෙනස්කම් අයිපෑඩ් එකේ ද සිදු වෙනවා. මෙම ගොනු බෙදාහදා ගැනීම පමණක් නොව, කිහිප දෙනෙක්ට එකවර සංස්කරණය කිරීමට ද හැකි නිසා කාර්යාලීය ගොනු සැකසීමේදී වඩාත් පහසුවක් වෙනවා.

iPad එකේ නම් ගොනු drag-n-drop කරන්නත් පුළුවන් නිසා ගොනු කළමනාකරණය, සංස්කරණය කිරීම ඉතා පහසුයි. තිරය දෙකට බෙදාගෙන එකවර වැඩ දෙකක් කරන්නට පුළුවන් නිසා සහ ඒවා අතර හුවමාරු කර ගැනීමත් කළ හැකි නිසා නවමු අත්දැකීමක් ඔබට ලැබේවි. ඒ වගේ ම Files ඇප් එකට අභ්‍යන්තර ධාරිතාව වැඩිපුර භාවිත කරන අනෙකුත් ඇප් හඳුනාගෙන ඒ ගැන ඔබට දැනුම් දෙන්නට හැකි අතර වැඩිපුර භාවිතා නොකරන යෙදුම් ඉහළින් දක්වමින් ඒවා Off Load කිරීම හෙවත් එම යෙදුම තුළ ඇති දත්ත සියල්ල මකා දමා භාවිතව තිබූ අභ්‍යන්තර ධාරිතාව නැවත ලබා ගැනීමට ඉන් අවස්ථාව සලසා දෙනවා.

වෙනත් පහසුකම්

යතුරුපුවරුව

iPhoneවල දැන් තනි අතින් ටයිප් කරන්නට හැකි ආකාරයට කීබෝඩ් එක සකසා ගන්නට පුළුවන්. කීබෝඩ් අයිකනය හරහා ලබාගත හැකි මෙම නවතම කුඩා ප්‍රමාණයේ යතුරුපුවරුව නිසා බස් එකේ තනි අතින් එල්ලිලා ඉන්න ගමන් වුණත් ටයිප් කරන්නට දැන් හැකියාව තිබෙනවා.

අඳුරු ප්‍රකාරය

සුදු වර්ණයේ දීප්තිය වැඩි නිසා දුරකථනය භාවිත කිරීමේදී දෑස්වලට එය වධයක් වෙනවා පමණක් නොවෙයි, පොදු ස්ථානවල භාවිතා කිරීමේදී වටේ ඉන්න අයට එබිලා බලන්න හිතෙන සාපේක්ෂතාවයත් බොහොම වැඩියි. ඒ වගේ ම රාත්‍රී කාලයේදී වැඩි වෙලාවක් සුදු පැහැය දෙස බලාගෙන සිටීම සහ දීප්තිය වැඩි නිසා ජනේලෙන් එපිට ඉන්න හොරුන්ට ඔබේ මුහුණ හොඳින් බලාගන්නටත් අවස්ථාව ලැබෙනවා. මේ සියළු දේවලට විසඳුමක් වශයෙන් Dark mode නමින් mode එකක් ලැබී තිබෙනවා. මෙමගින් සුදු පැහැති පසුබිම කළු පැහැ ගන්වා; අකුරු සුදු හෝ අළු පැහැ ගන්වනු ලබන අතර ඡායාරූප සහ ඇප් අයිකනවලට ඉන් වර්ණ වශයෙන් පවත්වා ගන්නවා. මෙය බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ තරම් ම නොවුණත් ආරම්භයක් වශයෙන් සෑහීමකට පත් වෙන්නට පුළුවන්.

සිරි(පාල)

(macrumors.com)

ඔක්කොම මාතෘකා සිංහලෙන් ලියපු එකේ Apple Siriටත් සිංහල නමක් ම දාමු. නම මොකක් වුණත් Siri එක්ක දැන් කතා කරන්න විතරක් නෙවෙයි, ටයිප් කරලා චැට් කරන්නත් පුළුවන්. විශේෂයෙන් අපේ ලාංකේය ගොඩෝ ඉංගිරීසි ඇක්සන්ට් එක සිරීට නොතේරෙන අවස්ථාවන් වලදීත්, අමු සිංහලෙන් කතා කරකර ඉඳලා සිරී එක්ක ඉංග්‍රීසියෙන් දොඩවන්න ගත්තාම යාළුවෝ විහිළු කරන එකටත් මේ නිසා විසඳුමක් ලැබෙනවා. ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවන්ට පරිවර්තනය කිරීමේ හැකියාවන් තිබෙන නිසා “How to say Roar in German” කියලා කිව්වාම ඒක ජර්මන් භාෂාවෙන් brüllen බව Siri අාපිට කියනවා. මේ ආකාරයට ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, ඉතාලියානු, චීන මැන්ඩරින් සහ ස්පාඤ්ඤ බස සිරිපාලට හුරුයි.

උත්ශ්‍රේණිගත කරන ආකාරය

(support.apple.com)

අලුත්ම අප්ඩේට් එකේ ප්‍රමාණය නම් ටිකක් වැඩියි. ඒ කිව්වේ ගිගාබයිට් දෙකක් විතර වෙනවා. මේ නිසා හොඳ ඉන්ටර්නෙට් පැකේජ් එකක් තිබෙන වෙලාවක, දුරකථනයේ හොඳ බැටරි මට්ටමක් තිබෙන අතරතුරදී හෝ 50% පමණ තිබියදී චාර්ජරයට සම්බන්ධ කරලා Settings > General > Software Update වෙත පිවිසෙන්න. එවිට නවතම iOS11 මෙහෙයුම් පද්ධතිය පිළිබඳ විස්තර පෙන්වන අතර ඉන් Download and Install යන්න තෝරන්න.

මෙහිදී ඔබේ දැනටමත් තිබෙන ඇප්ස් නිසා ෆෝන් එකේ ඉඩ අඩු වෙලා තිබෙනවා නම් ඒවා ඉවත් කරන්නදැයි ඔබෙන් විමසනවා. මේ ඉඩ හදලා දෙනකම් එය බාගත කරගෙන ස්ථාපනය කරගන්නට හැකි වෙන්නේ නැහැ. බාගත වුණාට පස්සේ එවෙලේම ස්ථාපනය කරන්නට හෝ රාත්‍රිය මුළුල්ලේ ස්ථාපනය වෙන්නට සකසා දෙන්නට පුළුවන්. මේ හැරුණාම iTunes හරහා පරිගණකයට සම්බන්ධ කරලා වුවත් උත්ශ්‍රේණිගත කිරීම සිදු කරගන්නට පුළුවන්. වැඩේ ඉවර වුණාම ෆේස්බුක්, ට්විටර් හැම එකේම #iOS11 හෑෂ්ටැග් එකත් එක්ක හොඳ නරක කියන්නත්, ස්ටීව් ජොබ්ස් හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ; ටිම් කුක් වැඩක් නැහැ කියලා බැනලා ස්ටේටස් අප්ඩේට් කළේ නැත්නම් ගතියකුත් නැති බවත් මතක් කරන්නට ඕන.

ඉතින් අලුත් මෙහෙයුම් පද්ධතියත් එක්ක ඔබේ අත්දැකීම් කොහොමද? බලාපොරොත්තු වුණු දේවල් හම්බවුණාද? කමෙන්ට් එකකින් ඒ ගැන කියන්න.

කවරයේ ඡායාරූපය: osxdaily.com

Related Articles