Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අල්-බග්දාදිගෙන් පසු ISIS සංවිධානයට කුමක් වෙයි ද​?

ඇමරිකා එක්සත් ජනපදය සඳහන් කරන පරිදි ඔක්තෝබර් 26 වනදා සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමක දී ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබුබකර් අල්-බග්දාදි මරණයට පත් වුණා.

කියවන්න​: ISIS නායක අල්-බග්දාදි මරා දැමූ ඇමරිකන් මෙහෙයුම

මේ සමග​, ISIS ත්‍රස්ත සංවිධානයේ අනාගතය පිළිබඳ විවිධ අදහස් මතු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, මීට ස්වල්ප කලකට පෙර ද ISIS ත්‍රස්ත සංවිධානයේ අනාගතය පිළිබඳ කතිකාවතක් නිර්මාණය වුණා. ඊට හේතු වූයේ ඔවුන් යටතේ පාලනය වූ ඊනියා කලිෆාතයට අයත් භූමිය මෙම වසරේ මාර්තු මාසයේ දී මුළුමනින්ම මුදවා ගැනීම යි. අල්-බග්දාදිගේ මරණය ද එවැනිම පරාජයක් විය හැකියැ යි ඇතැම් විටෙක සිතන්නට පුළුවන්. තම පාලන ප්‍රදේශ අහිමි වුව ද, ISIS සංවිධානය තවමත් ඉරාකයේ සහ සිරියාවේ සැලකිය යුතු තර්ජනයක්ව පවතිනවා. අල්-බග්දාදි මියගිය ද, ISIS ත්‍රස්ත සංවිධානය සහමුලින්ම පරාජය වේයැ යි සිතීමට අපහසු යි.

කියවන්න​: ISIS ත්‍රස්තයින් සතු අවසන් ප්‍රදේශයේ සටන් දිගටම

සාමාන්‍යයෙන් ත්‍රස්ත සංවිධානයක් කඩා බිඳ දැමීමට හැකි එක් ක්‍රමයක් වන්නේ එහි නායකත්වය විනාශ කිරීම යි. එම නායකයා අදාළ සංවිධානයට කෙතරම් වැදගත් වේ ද යන කරුණ මත නායකයකු සටන් බිමෙන් ඉවත් කිරීමේ බලපෑම තීරණය වනවා. ඇතැම් සංවිධාන රඳා පවතින්නේ එහි නායකයා වටා ගොඩනැගුණ මෙහෙයුම් ක්‍රියාවලියක් සහ මතවාදයක් ඔස්සේ යි. එවිට නායකයා ඉවත් කළ විට සංවිධානය කැඩී විසිරී යාම කඩිනම් වනවා. එවන් අවස්ථාවකට ඇති හොඳම උදාහරණයක් වන්නේ 1992 දී පේරු රටේ සෙන්දේරෝ ලුමිනෝසෝ නායකයා අල්ලාගත් අවස්ථාව යි.

කියවන්න​: පේරු රාජ්‍යය භීතියට පත් කළ “දිදුලන මාවත​”

අල්-බග්දාදි ISIS සංවිධානයේ මෙහෙයුම් ක්‍රියාවලිය හා කෙතරම් සම්බන්ධ වූයේ ද යන්න අපැහැදිලි යි. එහෙත් ඔහුගෙන් සිදුවූයේ මතවාදී මෙහෙවරක් මිස, හමුදාමය මෙහෙවරක්යැ යි සිතීමට ඇති ඉඩකඩ සීමා සහිත වනවා. ඔහුගේ අතීතය දෙස බැලූ විට පෙනී යන්නේ අල්-බග්දාදි ඉස්ලාම් ධර්මය අධ්‍යයනය කළ පුද්ගලයකු විනා හමුදාමය පසුබිමක් තිබූ අයෙකු නොවන බව යි.

ISIS සංවිධානය විසින් පිහිට වූ ඊනියා කලිෆාතය බිඳවැටීමත් සමග එහි කටයුතු ඒ ඒ ප්‍රදේශයන් හි ක්‍රියාත්මක කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරන තත්ත්වයක් පෙන්නුම් කෙරෙනවා. මේ අනුව ප්‍රධාන නායකත්වයේ හමුදාමය වැදගත්කම යම් ප්‍රමාණයකට අඩු වීම ස්වාභාවිකව ම සිදුවනවා.

ඊනියා කලිෆාතය​

ISIS සංවිධානයේ මතවාදයට අබුබකර් අල්-බග්දාදි වැදගත් වූයේ ඔහු ඔවුන් විසින් නිර්මාණය කළ ඊනියා කලිෆාතයේ නායකයා වූ නිසා යි. එහෙත් ඔහුගේ මරණයට පෙර ඔවුන් විසින් ගොඩනැගූ ඊනියා කලිෆාතය විනාශ කරන ලද හෙයින්, එම අර්ථයෙන් ද​ ඔහුගේ වැදගත්කම ද යම් ප්‍රමාණයකට අඩු වූයේයැ යි සිතන්නට පුළුවනි.

2014 දී පාලන ප්‍රදේශ (CNN)

අල්-බග්දාදිගේ මරණය ISIS සංවිධානයේ සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යයට දැඩි පහරක් වනවා. ඊටත් වඩා, ISIS සංවිධානය දුර්වල වෙමින් පවතින බවට පිටත සිට බලා සිටින නිරීක්ෂකයන්ට හැඟවීමක් වනවා. එවිට එම සංවිධානයට විශේෂයෙන්ම විදේශයන් හි පිරිස් බඳවා ගැනීම අපහසු වනවා. 2013 – 2016 පමණ සමයේ ඔවුන් විදේශයන් හි සාමාජිකයන් බඳවා ගත්තේ සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශයක් හරහා පැතිරුණු ඊනියා කලිෆාතය වෙත එන ලෙස කියමින්. නමුත් එම කලිෆාතය කඩා වැටීමත් සමග එම ප්‍රචාරණය ද සැලකිය යුතු පසුබෑමකට ලක් වුණා. අල්-බග්දාදිගේ මරණය එම ප්‍රචාරණ කටයුතු සඳහා තවත් පහරක් වනු ඇති.

නව නායකත්වය​

මේ අතර ISIS සංවිධානය තම නව නායකයා ලෙස අබු ඊබ්‍රහිම් අල්-හෂෙමි අල්-කුරෂි නම්කර තිබෙනවා. මේ පුද්ගලයා කවරකුදැ යි හරිහැටි පැහැදිලි නැති අතර, මෙම නම ද ආරූඪ කරගත් නමක් ලෙස සැලකෙනවා. එක් මතයක් වන්නේ මොහු ද අල්-බග්දාදි මෙන්ම ආගමික විද්‍යාර්ථියකු වන බව යි. නමුත්, තවත් අනුමානයක් වන්නේ මොහු අබ්දුල්ලා කර්දේෂ් විය හැකි බව යි. ඔහු සදාම් හුසේන් පාලන සමයේ දී ඉරාක හමුදාවේ නිලධාරියකු වූ අයෙක්.

අල්-බග්දාදි පෙනී සිටි අවසන් වීඩියෝව​ (Video Screengrab)

අල්-කුරෂි යනු කර්දේෂ් ම නම්, අල්-බග්දාදි මෙන් නොව​, හමුදාමය පසුබිමක් ඇති අයකු ISIS සංවිධානයේ නායකයා බවට පත්ව තිබීම වැදගත් සිද්ධියක් සේ ගත හැකියි. මෙය හිතාමතා සිදුකළ දෙයක් ද​, එසේත් නැත්නම් අල්-කුරෂි, අල්-බග්දාදිගේ අනුප්‍රාප්තිකයා ලෙස මුල සිටම නම් කරන ලදුව තිබුණි ද යන්න පැහැදිලි වන්නේ නැහැ.

නව නායකයා කර්දේෂ් යයි උපකල්පනය කළහොත්, තවත් වැදගත් යමක් නිරීක්ෂණය කළ හැකියි. ඉරාක ජාතිකයකු නායකයා ලෙස පත් වීමෙන් පෙනී යන්නේ ISIS සංවිධානය සිය ඉරාක මූලයන් ඔස්සේ තවමත් ගොඩනැගෙන බව යි. පසුගිය සමයෙහි ඔවුන් වැඩි අවධානය යොමු කළේ සිරියාව කෙරෙහි වුව ද, (ඔවුන් සිය අගනුවර ලෙස නම් කළේ ද සිරියානු නගරයක්) එහි මූලයන් ඇත්තේ ඉරාකයේ යි. ඉරාකයේ කටයුතු ඔවුන් කිසි ලෙසකින්වත් අමතක කර නොමැති බවට එය ද එක් සාක්ෂියක් වනවා.

ලොව වටා

ISIS සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ සාර්ථක වීමත් සමග වෙනත් ප්‍රදේශයන්වල ක්‍රියාත්මක මූලධර්මවාදී සුන්නි ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම් ඊට සිය අවනතභාවය ප්‍රකාශ කළා. එහෙත් ඒවා ක්‍රියාත්මක වූයේ එකිනෙකින් ස්වාධීනව බව යි පෙනී යන්නේ. ISIS සංවිධානය විසින් තම සහයෝගය පිළිගැනීම එම සංවිධාන දුටුවේ අන්තවාදී ඉස්ලාමීය කඳවුර තුළ තමන්ට ලැබුණ පිළිගැනීමක් ලෙස යි.

ISIS සංවිධානය ද මෙම පරිවාර පිරිස්වල සහයෝගය ඇතිව වඩා පුළුල් ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වූයේයැ යි විශ්වාස කළ හැකියි. නමුත් ඔවුන් විසින් ගොඩනැගූ “රාජ්‍යය​” කඩා වැටීම හේතුවෙන් එය සිදුකළ නොහැක්කක් බවට පෙනී යනවා.

මේ අනුව​, ISIS සංවිධානය අනාගතයේ දී ද ත්‍රස්ත සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති අතර, එය පරාජය කිරීම සිතන තරම් පහසු නොවනු ඇති. එහෙත් ඊනියා කලිෆාතයක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි වේයැ යි සිතන්නට අපහසු වනවා.

Related Articles