Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කළු ජාතිකයන් වෙනුවෙන් හඬ නැඟූ ඇමෙරිකාවේ ගාන්ධි – මාර්ටින් ලුතර් කින්ග්

මිනිසුන් වර්ග කළ යුත්තේ සමේ වර්ණය මත නොව ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත අනුව යි. ඒ ඇමෙරිකාවේ ජිවත් වූ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන්  හඬ අවදි කළ, ජනවාර්ගිකයන් පාගා දැමීමට එරෙහිව කටයුතු කළ ශ්‍රේෂ්ඨයෙක් වන මාර්ටින් ලුතර් කින්ග්ගේ ප්‍රකාශයක්.

ඇමෙරිකාවේ සිවිල් යුද්ධයෙන් පසු ව එහි ඇති වූ දරුණු ම අර්බුධය වූයේ කළු සුදු වර්ගවාදී බෙදීම යි. කළු ජාතිකයන්ට අත් වූ දුක්ඛිත ඉරණම එරෙහිව ඔහු මෙහෙයවූ සිවිල් සංවිධානවල ප්‍රබලත්වය හේතුවෙන් වර්තමානය වන විට එවැනි බෙදීම් ලෝකය තුළ බොහෝ දුරට අවසන් වී තිබෙනවා.

කළු ජාතිකයන් වහලුන් ලෙස සැලකූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ම කළු ජාතික ජනාධිපතිවරයෙක් බිහි වී අවසන්.

කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටීමට අමතර ව වියට්නාම් යුද්ධයට, දුප්පත්කමට එරෙහිව, හා මානව හිමිකම් සම්බන්ධයෙන් ද ඇමෙරිකානු රජයේ දෙනෙත් විවර කරවූ ඇමෙරිකානු ගාන්ධි ලෙස බොහෝ දෙනා හඳුන්වන මාර්ටින් ලූතර් කින්ග් පිළිබඳ ව යි මෙම ලිපියේ අන්තර්ගතය.

සුදු ජාතිකයන්ගේ හිරිහැරයට ලක් වූ මාර්ටින්ගේ කුඩා කාලය

තරුණ වියේ දී (MyAJC.com)

1929 ජනවාරි 15 වැනි දින ජෝර්ජියා හි උපත ලබන මාර්ටින් ලූතර්ගේ පියා බැප්ටිස්‌ට්‌ පූජකවරයෙකු වූ අතර, ජර්මානු පූජකවරයෙකුට ගරු කිරීමක් වශයෙන් මෙම නම ඔහුගේ පියා විසින් ඔහුට තබනවා.

ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල කළු ජාතිකයන්ට පමණක් වෙන් වූ පාසලක් වූ අතර, ඔවුන් ගමන් ගත් බස්රථවල අසුන්ගත හැකි ව තිබුණේ සුදු ජාතිකයන්ට පමණක් විය. කුඩා කාලයේ දී කළු ජාතික දරුවන් හා ක්‍රීඩා කිරීමට සුදු ජාතික දරුවන් නොපැමිණීම ද ඔහුට ප්‍රහේලිකාවක් විය.

සුදු ජාතිකයන්ට පමණක් වෙන් වූ වෙළඳ සැල් හා ආපනශාලා බොහෝ ප්‍රමාණයක් තිබූ අතර, ඔවුන්ට ඒ තුළට ඇතුළු වීම තහනම් විය.

කුඩා මාර්ටින්ගේ පියා මේ අකාරයට කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණයට එරෙහිව නොබිය ව කතා කළ අතර, ඔහු විසින් ඇට්ලන්ටාවේ කළු ජාතික රාජ්‍ය සේවකයන්ගේ වැටුප සුදු ජාතිකයන්ගේ වැටුපට සමාන කරන ලෙස බල කෙරෙමින් සිදුකරන ක්‍රියාමාර්ගයන්ට නායකත්වය සපයනවා.

තව ද, ප්‍රදේශයේ කළු ජාතිකයන්ට හා සුදු ජාතිකයන්ට වෙන වෙනම සේවා සැපයීමට එරෙහිව සිදු වූ අරගලවලට ද ඔහු මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

උසස් අධ්‍යාපනය හා පල්ලියට සම්බන්ධ වීම  

ජනතාව අමතමින් (Time Magazine)

තම පියාගේ අඩි පාරේ ම ගමන් කරමින් දේව ගැතිවරයෙක් වීමට අදහස් කරගෙන සිටි මාර්ටින් 1948 දී පෙන්සිල්වේනියාවේ වෙස්‌ටර් හි ක්‍රෝසර් දේවධර්ම විද්‍යාලයට පිවිස දේවධර්ම ශාස්‌ත්‍රය පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගන්නවා.

1955 දී බොස්‌ටන් විශ්වවිද්‍යාලයෙන් දේවධර්ම ශාස්‌ත්‍රය පිළිබඳ ව ආචාර්ය උපාධිය ලබා ගන්නවා. වයස අවුරුදු 24 වන විට මාර්ටින් ඩෙක්‌ස්‌ටර් ඇවෙනිව් බැප්ටිස්‌ට්‌ පල්ලියේ (Dexter Avenue Baptist Church) පාදිලිවරයා (pastor) බවට පත්වෙනවා. ඒ කාලයේ දී මෙවැනි තනතුරකට කළු ජාතිකයෙකු පත් වන්නේ ඉතා කලාතුරකින්.

අරගලයට පාර කැපූ මොන්ට්ගොමරි සිදුවීම

සිය පවුල සමග (VOA Learning English)

1955 දෙසැම්බර් 1 වන දා මාර්ටින් වාසය කළ මොන්ට්ගොමරි ප්‍රදේශයේ සුදු ජාතිකයන්ට පමණක් අසුන් ගැනීමට හැකි බස් රථයක හිස් ව තිබූ අසුනක කළු ජාතික කාන්තාවක් වාඩි වී, එම අසුන සුදු ජාතිකයෙකුට දීම ප්‍රතික්ෂේප කරනවා. එබැවින් ඇය වැරදිකරුවෙක් බවට පත්වෙනවා. ඒ සඳහා ඩොලර් 14ක ‌දඩයක් ද ඇයට නියම වෙනවා.

බසයක වාඩි වී ගමන් කිරීම තීරණය විය යුත්තේ හමේ පැහැය මත නොව, බසයට ගොඩ වූ අනුපිළිවෙල අනුව බව පවසමින් මෙම තීරණයට එරෙහිව කළු ජාතිකයන්ව මෙහෙයවීම සඳහා නායකත්වය ගනු ලබන්නේ තරුණ මාර්ටිනුයි. ඒ සඳහා පිහිටුවා ගන්නා සිවිල් සංවිධානයේ නායකත්වය හිමි වෙන්නේ ද ඔහුට යි.

සුදු ජාතික බස් හිමියන්ගේ බස් රථ වර්ජනය කිරීම මෙම අරගලයේ ප්‍රධාන ලක්ෂණය ලෙස දැකිය හැකි අතර, ඉන් නොනැවතෙන ඔවුන් ඒ සඳහා අධිකරණයේ සහාය පතනවා. දින 381ක් පුරාවට පැවති අරගලය නිම කරමින් අධිකරණය විසින් බසයක අසුන් ගැනීමට සමේ වර්ණය බල නොපාන බව ප්‍රකාශ කරනවා.

අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් කිරීම

අත්අඩංගුවට පත්වීමෙන් පසු ව (Missio Alliance)

ඔහු නායකත්වය ලබා දුන් පළමු අරගලය සාර්ථක වූ පසු ව සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රිස්තියානි පූජකයන් විශාල ප්‍රමාණයක් එකතු වී පිහිටුවා ගත් දකුණු ක්‍රිස්තියානු නායකත්ව සමුළුවේ සභාපතිත්වය හිමි වෙන්නේ ද (Southern Christian Leadership Conference (SCLC) මාර්ටින්ට යි.

වර්ගවාදී පදනම මත මිනිසුන් වෙන් කර, ඔවුන්ට වෙන වෙනම සැලකීම ඉතා තදින් හෙළා දුටු මෙම සංගමය, කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා. 1963 දී ඇමෙරිකානු කළු ජාතිකයන්ට දිගින් දිගටම සිදුවෙන අසාධාරණකම් වෙනුවෙන් ඇලබාමා ප්‍රාන්තයේ, බර්මින්හැම් නගරයේ සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ නමුත්, මෙහි දී මාර්ටින් ව අත්අඩංගුවට ගැනීමට සුදු ජාතිකයන් කටයුතු කරනවා.

සිරෙන් නිදහස් වී පැමිණෙන ඔහුගේ නායකත්වයෙන් 1963 වසරේ ම ලක්ෂ තුනකට ආසන්න සිවිල් වැසියන් ප්‍රමාණයක් සමග වොෂින්ටන් හි සාමකාමී විරෝධතා අරගලයක නිරත වෙනවා. එහි දී  ලින්කන් ස්‌මාරකය අසල දී “I have a dream” යනුවෙන් සිදු කළ කතාව ලොව පුරා ජනප්‍රිය වෙනවා. වර්ණභේදවාදය හා ජාතිවාදය නොමැති ලෝකයක් දැකීමට තමන් සිහින දකින බව එහි දී ඔහු ප්‍රකාශ කරනවා.

නොබෙල් සාම ත්‍යාගය හා අනෙකුත් සම්මාන

රැලියක (GreenLight Rights)

ජාතිවාදයට, ත්‍රස්තවාදයට, හා වර්ගවාදයට එරෙහිව හඬක් නැගූ මෙන්ම කළු ජාතිකයන්ට ඡන්ද අයිතිය දිනා දුන් ඔහුට, 1964 දී සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වෙනවා.

මාර්ටින් ලූතර් 1968 අප්‍රේල් 4 වැනි දින මෙම්ෆිස් හි දී අන්තවාදියෙකුගේ වෙඩි පහරින් ඝාතනය වන අතර, මරණෙන් පසු ව ඔහුට නිදහස සඳහා වූ ජනාධිපති සම්මානය හා ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් රන් සම්මානය හිමි වෙනවා. මේ අසහාය විප්ලවකරුවාගේ ජන්ම දිනය සැමරීම වාර්ෂික ව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙනවා.

 

Related Articles