Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිනේමාවලා (සිනමාකරුවා)

අද අපි ඔබට තොරතුරු ගෙන චිත්‍රපටය බෙංගාල සිනමා නිර්මාණයක් වෙනවා. පරන් බනාජි ( ප්‍රානබෙන්දු ), පරම්බ්‍රාටා චට්ටර්ජී (ප්‍රකාශ්), අරුන් ගුහාතර්කුර්ටා ( හොරි ) හා සොහිනි සකාර්(මෞමිටා) යන අය මෙහි චරිත නිරූපණය කරනවා. මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ කෞශික් ගංගුලි විසිනු යි. මෙහි සංගීත නිර්මාණය ඉන්ද්‍රජිත් ඩස්ගුප්තා විසින් සිදු කර තිබෙනවා. කැමරාකරණය සෞමික් හල්ඩර් විසින් කර තිබෙන අතර මෙහි සංස්කරණ ශිල්පියා ලෙස සබ්හාජිට් සිං කටයුතු කර තිබෙනවා. අතීතය තුලින් වර්තමානයට පියවර තබන්නට නොහැකි වීම තුල නැසී යන හා නැසී ගිය තවත් එක් පැති කඩක් මෙයින් නිරූපණය වෙනවා.

සිනමාපටයේ අධ්‍යක්ෂ කෞශික් ගංගුලි – indianexpress.com

කතාව

ප්‍රකාශ් කියන්නේ සෙලුලොයිඩ් චිත්‍රපට ප්‍රදර්ශනය කරන හා මත්ස්‍ය වෙළදාම පවුලෙන් උරුම වීම මත සිදු කරන ප්‍රානබෙන්ධුගේ පුත්‍රයා යි .දෙදෙනාට දෙදෙනාගේ අදහස් තරමක් එකිනෙකට පරස්පරයි. පියා තරමක් අතීතකාමී චරිතයක් වෙනවා. සිනමා පටයේ ආරම්භයේ මොවුන් දෙදෙනා වටා ගොඩනැගෙන කතාන්දරය තරමක් දුරට දිව යනවා.

ආහාර අනුභව කරමින් සිටින විට ප්‍රකාශ් ප්‍රථමයෙන්ම ප්‍රක්ෂේපණ යන්ත්‍රයකට අදාළව වෙළඳ දැන්වීමක්  දකිනවා. එහි ඩි.වී.ඩි. පෙන්වීමට පවා හැකියාව තිබෙනවා. එවිට ඔහුගේ බිරිඳ සිටින්නේ ගැබ්බරවයි. මේ අතර එම ගමේ සැණකෙළියක් තිබෙනවා. ප්‍රකාශ් එම සැණකෙළියේ දී චිත්‍රපට පෙන්වීමට අදහස් කරනවා.මේ අතර තම පියාගේ ව්‍යාපාරය වන මත්ස්‍ය ව්‍යාපාරයෙන් ඔහු ඉවත් වෙනවා. ඒ සමඟම ඔහු තම පියා හා ආරවුලක් ඇති කර ගන්නවා. ඉන්පසුව ඔහු විසින් සැණකෙළි භුමියේ සිනමා ශාලාව ඉදි කිරීම් කඩිනම් කරනවා. මේ අතර පියාව ප්‍රකාශ්ව හා සමථයකට පත් කිරීමට දියණිය විශාල වෙහෙසක් ගනු ලබනවා. මේ අතර සැණකෙළියේ සිනමා ශාලාව නිර්මාණය වෙමින් පවතින අතර එමෙන්ම ප්‍රකාශ් විසින් නගරයට ගොස් ප්‍රක්ෂේපණ යන්ත්‍රය මිලදී ගනු ලබනවා. එක් තැනක ඔහුගේ චිත්‍රපටි ප්‍රදර්ශනයට ආදාලව ටිකට්පත් මුද්‍රණය වෙනවා. මේ අතර ප්‍රකාශ්ගේ චිත්‍රපටයේ පෙර ප්‍රචාරණ කටයුතු පාර පුරා සිදු කරමින් යන අතර එය ඔහුගේ පියා විසින් දකිනු ලබනවා.

සිනේමාවලා චිට්‍රපටයෙන් – .ebela.in

නමුත් ඔහුගේ පියා ඔහු හා සමාදාන වීමට කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ. මේ අතර ඔහුගේ ප්‍රථම සිනමා දැක්මෙන්ම ශාලාව ඉතිරි යනවා. මේ අතර ප්‍රානබෙන්ධුට පන්චායත් මැතිවරණයට ඉදිරිපත් වන ලෙසට ආරාධනයක් ලැබෙනවා. ඔහු ප්‍රකාෂ්ගේ ඩි.වි.ඩි චිත්‍රපට පෙන්වීම සම්බන්ධව සිටින්නේ දැඩි තරහකිනු යි. එය ඔහු හමුවෙන්න ආ පක්ෂ සාමාජිකයා ඉදිරියේ පවා කියා සිටිනවා. ඉන්පසුව තම මිතුරා වූ හැරී සමඟ ඔහු තම පුතා වූ ප්‍රකාෂ්ගේ සිනමා ශාලාව නැරඹීමට සැණකෙළියට යනු ලබනවා. ඒ සැණකෙළිය නිමා වූ රාත්‍රියෙයි. ඔහු එය දැක ඔහුගේ පුතා හොර සිනමාකරුවෙක් වූ බව තම සගයාට පවසනවා. ඒ ඔහු විසින් ඩි.වි.ඩි. සිනමාපට ප්‍රදර්ශනය කරන  නිසයි. නමුත් ප්‍රකාෂ්ගේ බිරිඳ මෙම පිය-පුතු වෛරය නිමා කිරීමට සෑම මොහොතේම උත්සහ කරනවා.

මේ අතර ප්‍රානබෙන්ධුගේ සිනමා ශාලාව වසා දමනවා. ඒ සිනමා ශාලාවේ උපකරණ විකිණීමෙන් පසුව යි. ඉන්පසුව නිවසට පැමිණෙන පියා විසින් ප්‍රකාශ් ට ඔහු එම තැනට ආපු ආකාරය එකින් එක පැහැදිලි කරනවා. ඉන්පසු තම දේපල ඔහු ප්‍රකාශ්ට ලියා දීමට සැරසෙනවා. නමුත් ඔහු ඒවා බාර ගන්නේ නෑ. ඉන්පසුව පියාගේ පැරණි සිනමා ශාලාවේ ගොඩනැගිල්ල හා සම්බන්ධ ආරවුලකට ඔහු පැටලෙනවා. ඒ අතරවාරයේ දී ඔහුව සොයාගෙන පොලීසිය පැමිණෙනවා. නමුත් පුදුමයකට මෙන් ඔවුන් සොයන්නේ ප්‍රකාශ් නොව ඔහුගේ පියාව යි.

මේ අවස්ථාවේදී ප්‍රකාශ් විසින් තමන් සතු සියලු හොර තැටි සඟවනු ලබනවා. නමුත් පොලීසිය කියා සිටින්නේ ප්‍රානබෙන්ධුගේ සිනමා ශාලාවේ සිටි ඔහුගේ කල්‍යාන සේවකයා වූ හැරී සියදිවි නසාගෙන ඇති බවයි. මේ අවස්ථාවේදී ඔහුට හැරීගේ අතීතය සිහිපත් වෙනවා. ඉන්පසු ප්‍රානබෙන්ධු විසින් සිනමා ශාලාව ගිනි තබා සියදිවි නසා ගන්නවා. මෙය මුලින්ම දකින්නේ එතනට ඔහුට ආහාර ගෙන එමින් සිටින ප්‍රකාශ් ගේ බිරිඳ වන අතර ඇය ඔහුව බේරා ගැනීමට උත්සාහ දරණ නමුත් ඉන් පලක් වෙන්නේ නෑ. අවසාන දර්ශනය අධ්‍යක්‍ෂවරයා විසින් හරි අපූරුවට අවසානයක් වෙනුවෙන් ගොඩනංවාලීමට කටයුතු කර තිබෙන බව ඔබට මෙම චිත්‍රපටය නරඹන විට දැක ගන්න පුළුවන් වෙනවා.

සිනේමාවලා චිට්‍රපටයෙන් – .bp.blogspot.com

අවසාන පාඩම

මුල්කාලයේ බෙංගාලය ආශ්‍රිතව මෙවැනි තනි පුද්ගල චිත්‍රපට ශාලා 700 පමණ තිබී තිබෙනවා. ඒවා සෙලිලුලොයිඩ් පට ආශ්‍රිතව නිර්මාණය වූ චිත්‍රපට ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන්ව තිබුණා. නමුත් ඩිජිටල්කරණය සමඟ අද වන විට එවැනි ශාලා 250ක් වත් දකින්නට ඇත්තේ නෑ. සෙලිලුලොයිඩ් අද වන විට අතීත සිහිනයක් පමණයි. ඒ අතීතයක නිමාව හා සිනමා පටයේ නිමාවයි යනුවෙන් චිත්‍රපටය අවසානයේ එය අතීත සිනමා ශාලා හිමිකරුවන් වෙනුවෙන් පුදනු ලබනවා.

සම්මාන පිට සම්මාන

මෙම සිනමාපටය 2015 දී Fellini UNESCO සම්මානය දිනාගනු ලැබුවා. ඒ ඉන්දියානු චිත්‍රපටයක් එම සම්මානය දිනාගත් ප්‍රථම අවස්ථාවයි. අන්තර්ජාතික සිනමාපට 12ක් අතරින් මෙම සම්මානය ඔවුන් දිනාගෙන තිබුණා.

බටහිර බෙංගාල සිනමා පත්‍රකලාවේදීන්ගේ සංගමය සංවිධානය කරන ලද සිනමා සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටයට හා හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මාන දෙකම මේ චිත්‍රපටය දිනා ගනු ලැබුවා.

2017නැගෙනහිර ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී මෙය හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනු ලැබුවා.

අනාගත සිනමාව සමඟ විනාශ වී යන අතීත සිනමාව ගැනද සියලු දෙනා සිතිය යුතුය. ඒ එම අතීතය තුලින් අද මේ ඇති වර්තමානය නිර්මාණය වී ඇති නිසාය. එම නිසා ඔබත් අනිවාර්යයෙන් නැරඹිය යුතු සිනමා පට ලැස්තුවට මෙයත් ඇතුලත් කර ගන්න අමතක කරන්න එපා. ඒ වගේම බලපු අයත් තමන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න.

කවරය – ytimg.com

Related Articles