Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අත්ලාන්තික් සයුරේ පාරාදීසය – කැනරි දූපත්

අත්ලාන්තික් සාගරය ලොව දෙවැනියට විශාලම සාගරයයි. බටහිරින් උතුරු හා දකුණු ඇමෙරිකා මහාද්වීප දෙකටද, නැඟෙනහිරින් යුරෝපීය හා අප්‍රිකා මහාද්වීප දෙකටද මැදිව පිහිටා ඇති මේ සාගරය පුරාවටම පාහේ ලොකු කුඩා දූපත් රාශියක්ම පිහිටා තිබෙනවා. විශේෂයෙන් ඇමෙරිකානු මහාද්වීප ආසන්නයට වන්නට පිහිටා ඇති කැරිබියානු දූපත් සමූහයත්, ඊට උතුරට වන්නට පිහිටි බර්මියුඩාවත් මේවා අතරින් නිතර කතා බහට ලක්වෙන දූපත් කිහිපයක්. නැපෝලියන් අධිරාජ්‍යයා සිර ගත කොට රඳවාගෙන සිටි ශාන්ත හෙලේනා දූපතත් පිහිටා තිබෙන්නේ අත්ලාන්තික් සාගර සීමාවේයි.

අත්ලාන්තික් සාගරයට අප්‍රිකා මහාද්වීපය හමුවන බටහිර වෙරළ තීරය සැළකීමේදී සමකාසන්න ගිනියා බොක්ක හා ඒ අවට ප්‍රදේශය ඉතා තෙතබරිත හා ඝණ වනාන්තරවලින් ගහන බිම් කඩක් වුණත් අනෙක් ප්‍රදේශ එසේ හැඳින්වීමේ හැකියාවක් නැහැ. ඊට උතුරින් පිහිටි සහරා කතර නිසා අත්ලාන්තික් සාගරය හරහා අප්‍රිකා මහාද්වීපයේ උතුරු දෙසට යාත්‍රා කරන්නෙකුට නිසරු හා දැඩි උෂ්ණත්වයකින් යුත් කාන්තාරික බිම් කඩක් සහිත වෙරළක් හමු වීමේ සම්භාවිතාවය ඉහළයි.

ඊටත් මඳක් උතුරෙන් පිහිටි අත්ලාන්තික් සාගරය හා මධ්‍යධරණී මුහුද වෙන් වන ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරන්නෙකුට ඒ ආසන්නව හමු වෙන කැනරි දූපත් සමූහය වියළි නමුත් ඊට වඩා සෞම්‍ය දේශගුණයක් දරනවා. නිරන්තරයෙන්ම පාහේ එහි ඇති සොබා සෞන්දර්යය නැරඹීමට මෙන්ම හිරු රැස් විඳගැනීමට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙම දූපත් පිරී පවතිනවා. විශේෂයෙන්ම මේ දූපත් සමූහයට අයත් ටෙනරිෆ් දූපත ‘Island of the eternal spring’ හෙවත් සදාකාලික වසන්තය සහිත දූපත ලෙස ව්‍යවහාරයේ තිබෙනවා.

කැනරි දූපත්වල පිහිටීම

කැනරි දූපත්වල භූගෝලීය පිහිටීම (thinkgeoenergy.com)

ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් සමුච්ඡයට දූපත් 7ක් ඇතුළත් වෙනවා. ස්පාඤ්ඤට නිරිත දිගින් හා මොරොක්කෝවට බටහිරට වන්නට පිහිටි මේවායේ සමස්ත වපසරිය වර්ග සැතපුම් 2,875 ක්. මේ දූපත් ස්පාඤ්ඤයේ පරිපාලන පළාත් දෙකක් ලෙස වෙන් කර ඇති අතර ඉන් සැන්ටා කෲස් ඩි ටෙනරිෆ් පළාත ටෙනරිෆ්, පැල්මා, ගොමේරා හා හියෙරෝ යන දූපත්වලින් සැදුම්ලත් අතර ලා පැල්මා පළාතට ග්‍රෑන් කැනරියා, ලන්සරෝටේ හා ෆුඑර්ටෙවෙන්ටුරා යන දූපත් ඇතුළත් වෙනවා.

කැනරි දූපත්වල ඉතිහාසය

ඈත අතීතයේ රෝමන්වරු කැනරි දූපත් හඳුන්වන ලද්දේ ‘වාසනාවේ දූපත්’ ලෙසයි. කැනරි දූපත්වලට වර්තමාන නාමය පටබැඳී තිබෙන්නේ එහි වාසය කළ විශාල බල්ලන් නිසා බව කියැවෙනවා. අතීතයේ පටන් Guanch නම් ස්වදේශික ජන කොටස මෙහි ජීවත් වී තිබෙනවා.

බටහිර ලෝකය වෙනුවෙන් කැනරි දූපත් මුලින්ම සොයාගත්තේ ක්‍රි.ව පළමුවන සියවසේ රජ කළ ජුබා රජු විසින්. ක්‍රි.ව 14 වන සියවසේ සිට ස්පාඤ්ඤ, ප්‍රංශ හා පෘතුගීසි ජාතීන් අතර හුවමාරු වුණු මෙහි හිමිකාරීත්වය අවසානයේ සම්පූර්ණ වශයෙන් ස්පාඤ්ඤයට ලැබුණා. ක්‍රි.ව 15-18 සියවස් අතර කාලයේදී කැනරි දූපත් බටහිර ජාතීන් අතර වෙළඳ මධ්‍යස්ථානයක් හා තොටුපොළක් ලෙස ඉතා ප්‍රසිද්ධව තිබුණා.

භූ විෂමතාව හා කාලගුණය

භෞතික වශයෙන් සැළකූ විට කැනරි දූපත්වල භූමි පිහිටීම කොටස් දෙකකට වෙන් කරන්නට පුළුවන්. මෙහි බටහිර කොටස ටෙනරිෆ්, ග්‍රෑන්ඩ් කැනරියා, ලා පැල්මා, ලා ගෝමෙරා හා ෆෙරෝ යන දූපත්වලින් සමන්විත අතර මේවා කෙලින්ම මුහුදු පත්ලෙන් පැන නැඟි කඳු මුදුන් ලෙස ගත හැකියි. ලන්සරෝටේ, ෆුඑර්ටෙවෙන්ටුරා හා තවත් කුඩා දූපත් 6 කින් සමන්විත නැඟෙනහිර කොටස අර්ධ වශයෙන් සාගරයේ ගිලී පවතින එකම භූ ස්කන්ධයක් ලෙස දැක්විය හැකියි.

කැනරි දූපත්වල භූ විෂමතාව (photos4travel.com)

කැනරි දූපත් මීට වසර මිලියන ගණනකට පෙර මුහුදු පත්ලේ ඇති ගිනිකඳු කිහිපයක පිපිරීම නිසා හට ගත් ඒවා ලෙස සැළකෙනවා. බටහිට කොටසට අයත් සියළු දූපත්වල උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 4,000 ඉක්මවන අතර මේ සියල්ලන්ගෙන්ම උස්ම ස්ථානය වන Teide නම් කඳු මුදුන අඩි 12,198ක උසකින් යුක්තයි. මෙය පිහිටා ඇත්තේ ටෙනරිෆ් දූපතේ. මේ කඳු මුදුන කැනරි දූපත්වල පමණක් නොව ස්පාඤ්ඤයට අයත් භූමියක පිහිටා ඇති උසම ස්ථානය ද වෙනවා.

Teide කඳු මුදුන (walktenerife.com)

සමස්ථයක් වශයෙන් ගත් විට කැනරි දූපත්වල පවතින්නේ උප නිවර්තන දේශගුණයක්. සාමාන්‍යයෙන් මෙහි උණුසුම් දේශගුණයක් ඇති අතර ඉතා සුළු වශයෙන් ඍතුමය වෙනස්කම් පෙන්වනවා.

අගෝස්තු මස දිනයක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ක් පමණ අගයක් ගන්නා අතර ජනවාරි මාසයේදී එය සෙල්සියස් අංශක 21ක පමණ අගයක් ගන්නවා. නොවැම්බර් හා දෙසැම්බර් මස මේ දූපත්වලට අනෙක් මාසවලට සාපේක්ෂව වැඩි වර්ෂාවක් වැටෙන අතර, වර්ෂයේ සෙසු කාලය පුරාම වියළි කාලගුණයක් පවතිනවා. කැනරි දූපත්වල වර්ෂාපතනය වැඩිම උතුරු ප්‍රදේශවලට වාර්ෂිකව මිලිමීටර් 750 ක පමණ වර්ෂාපතනයක් ලැබෙන අතර අනෙකුත් ප්‍රදේශ වල වර්ෂයකට මිලිමීටර් 250 ඉක්මවන්නේ කලාතුරකින්.

බෝග වගාව

කැනරි දූපත්වල පලතුරු වර්ග හොඳින් වැඩෙනවා (pixabay.com)

ගිනිකඳු ප්‍රභවයකින් සෑදුණු සාරවත් පසත්, සාමාන්‍යයෙන් උණුසුම් කාලගුණයත්, උන්නතාංශ වෙනසත් නිසා කැනරි දූපත්වල විවිධාකාරයේ ආර්ථික බෝග හොඳින් වැවෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 1300 දක්වා උසකින් යුත් ප්‍රදේශ අර්ධ ශුෂ්ක ලක්ෂණ පෙන්නුම් කරන අතර, හොඳින් ජල සැපයුම ලබා දුන්නොත් කෙසෙල්, දොඩම්, කෝපි, ඉඳි, උක් හා දුම්කොළ වැනි බෝග වගා කළ හැකියි. අඩි 1300 – 2400 අතර උසකින් යුත් ප්‍රදේශ මධ්‍යධරණී ලක්ෂණ පෙන්නුම් කරන අතර ධාන්‍ය, අල වර්ග සහ මිදි වැනි භෝග හොඳින් වැඩෙනවා. අඩි 2400 ට වඩා උස් භූමි වල ඇත්තේ කඳුකර දේශගුණයක්.

සංචාරක කර්මාන්තය

කැනරි දූපත් හි සංචාරක කර්මාන්තය දියුණු වූයේ 1950 දශකයෙන් පසුවයි. වර්තමානය වන විට මෙහි සංචාරක හෝටල් කර්මාන්තය හා ප්‍රවාහනය හොඳින් දියුණු වී ඇති අතර හිරු රශ්මිය විඳීමට මෙන්ම සොබා සෞන්දර්යය නැරඹීමටද හැකි ස්ථාන රාශියක් මේවායේ පිහිටා තිබෙනවා.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සැන් ක්‍රිස්ටොබල් ඩෙ ලා ලගුනා නඟරය අතීතයේ ටෙනරිෆ් හි අගනුවර ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙහි 17 හා 18 වන ශතවර්ෂවල ගෘහ නිර්මාණ ශිල්පයෙන් පොහොසත් දේවස්ථාන හා වෙනත් ගොඩනැඟිලි බොහොමයි. මෙහි ටෙනරිෆ් හි සාහිත්‍ය හා සංස්කෘතිය සම්බන්ධ කෞතුකාගාරයක්ද පිහිටා තිබෙනවා.

සැන් ක්‍රිස්ටොබල් ඩෙ ලා ලගුනා (hellocanaryislands.com)

ලා පැල්මා ඩෙ ග්‍රෑන්ඩ් කැනරියා හි වෙරළ තීරය ඉතා රමණීය, සංචාරකයින්ගේ අවධානය තදින් දිනාගත් එකක්. සුන්දර වෙරළ තීරයත්, ඈතින් පෙනෙන කඳු පන්තිත් ගෙන එන්නේ ගෙන එන්නේ දිව්‍යමය සුන්දරත්වයක්. මේ නඟරය අයත් වන්නේ ග්‍රෑන්ඩ් කැනරියා දූපතට වන අතර එම දූපතේ අඩක්ම ජෛවගෝල රක්ෂිතයක් ලෙස යුනෙස්කෝව මඟින් නම් කර තිබෙනවා.

ලා පැල්මා ඩෙ ග්‍රෑන්ඩ් කැනරියා (expedia.com)

ලා පැල්මා දූපතේ පිහිටි මනස්කාන්ත කැල්ඩෙරා ඩෙ ටබුරියෙන්තෙ ජාතික උද්‍යානයත් දුටුවන්ගේ සිත් පැහැර ගැනීමට සමත් වෙනවා. මේ උද්‍යානය තුළට යන්නෙකුට මනස්කාන්ත දිය ඇලි, පසුබිමින් පෙනෙන උස් කඳු මුදුන් හා ගල් සහිත මුහුදු වෙරළක් දැකිය හැකියි.

කැල්ඩෙරා ඩෙ ටබුරියෙන්තෙ ජාතික උද්‍යානය (365imagenesbonitas.com)

මීට අමතරව සැන්ටා කෲස් ඩෙලා පැල්මා නඟරය, ලා ඔරොටාවා උද්‍යානය, ෆුඑර්ටෙවෙන්ටුරා දූපතේ මනස්කාන්ත වෙරළ තීර ඇතුළු තවත් වැදගත් හා සිත් ඇදගන්නා ස්ථාන රාශියකටම පාරාදීසයක් බඳු කැනරි දූපත් උරුමකම් කියනවා.

කවරයේ පින්තූරය: (w-dog.net)

Related Articles