Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් පිටියේ ඇමරිකානු කළු දියමන්තිය, කාල් ලුවිස්

ඔලිම්පික් තරග ඉතිහාසය තුළ මලල ක්‍රීඩාවේ ආධිපත්‍ය හැමදාමත් පැවතුණේ ඇමරිකානුවන් සතුව යි. එලෙස විවිධ යුගවල දී ඔලිම්පික් පිටිය වර්ණවත් කළ ඇමරිකානු මලල ක්‍රීඩකයන් අතුරින් කාල් ලුවිස්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. 1984-1996 කාල සමය තුළ පැවති ඔලිම්පික් උළෙල 4ක් නියෝජනය කළ ලුවිස්, එහි දී රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කමක් දිනාගත්තේ සිය රටට විශාල ගෞරවයක් හිමිකර දෙමින්. 

කාල් ලුවිස් ඔලිම්පික් තරගාවලිවල දී ඉසව් 4ක් යටතේ තරග වැදුණා 

ලුවිස් ඔලිම්පික් තරගාවලිවල දී මීටර් 100, මීටර් 200, මීටර් 100×4 සහාය සහ දුර පැනීම යන ඉසව් යටතේ තරග වැදී තිබෙනවා. නමුත්, ඔහු අඛණ්ඩව ඔලිම්පික් තරගාවලි 4ක දී තරග වැදුණේ දුර පැනීමේ ඉසව්ව සඳහා පමණයි.  මිටර් 100 සහ මීටර් 200 ඉසව් සඳහා 1988 ඔලිම්පික් තරගාවලියෙන් පසුව සහභාගි නොවුණු ලුවිස්, මීටර් 100×4 සහාය ඉසව්ව ඔලිම්පික් තරගාවලි 3ක දී නියෝජනය කර තිබෙනවා.

ලුවිස්, 1988 සියොල් ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages)

1984 ඔලිම්පික් තරගාවලිය ලුවිස්ගේ මලල ක්‍රීඩා දිවියට ආලෝකයක් වුණා 

1984 ඔලිම්පික් තරගාවලිය කාල් ලුවිස්ගේ මලල ක්‍රීඩා දිවියේ අමතක නොවන තරගාවලියක් බවට පත් වුණේ රන් පදක්කම් 4ක් ලබාගනිමින් දැක්වූ විශිෂ්ට දස්කම් නිසා යි. එහි දී ඇමරිකානුවන්ට වසර 16ක් තිස්සේ අහිමි වී තිබුණු රන් පදක්කම් 2ක් යළි සිය රටට ලබාදීමටත් ඔහුට හැකියාව ලැබුණා. ඒ 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලියේ සිට ඇමරිකානුවන්ට නොලැබී ගිය මීටර් 100 සහ මීටර් 200 යන ඉසව්වල රන් පදක්කම් 2 යි. එහි දී තත්පර 19.80ක කාලයකින් මීටර් 200 ඉසව්ව නිම කළ ලුවිස්, නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවනු ලැබුවා. එදා කාල් ලුවිස් අතින් බිඳ වැටුණේ ඔහුගේම රටේ ක්‍රීඩකයෙකු වුණු ටොමී ස්මිත්, 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ දී මීටර් 200 ඉසව්ව තත්පර 19.83කින් නිමකර  තබා තිබුණු වාර්තාව යි.

ලුවිස්, මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කළ අවස්ථාව (gettyimages)

ලුවිස් ලබාගත් එම පදක්කම්වලට අමතරව මීටර් 100×4 සහාය ඉසව්වෙනුත් ඔහුට රන් පදක්කමක් හිමි වුණා. එහි දී තත්පර 37.83ක කාලයකින් ඇමරිකානු කණ්ඩායම එම ඉසව්ව නිමා කළේ ඔවුන් සතුව තිබුණු ලෝක වාර්තාව යළි අලුත් කරමින්. එසේම දුර පැනීමේ ඉසව්වට සහභාගි වුණු ලුවිස්, මීටර් 8.54ක දුරක් පනිමින් රන් පදක්කම දිනාගත්තේ සුපිරි දස්කම් දක්වමින්.

මීටර් 100×4 සහාය ඉසව්ව ජයග්‍රහණය කළ ඇමරිකානු කණ්ඩායම (gettyimages)

1988 සියොල් ඔලිම්පික් උළෙලේ දී ලුවිස්ට තවත් පදක්කම් 3ක් 

1988 ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා එම අවධියේ ලෝක වාර්තාව ඉසිලූ කැනඩාවේ බෙන් ජොන්සන් සහභාගි වුණා. මූලික වටයේ තරගවල දී ඉහළ දස්කම් දැක්වූ ජොන්සන් අවසානයේ දී තත්පර 9.79ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගත්තේ නව ලෝක වාර්තාවක් පිහිටුවමින්. ජොන්සන් එලෙස රන් පදක්කම දිනාගන්නා විට තත්පර 9.92ක කාලයක් වාර්තා කළ ලුවිස්ට රිදී පදක්කම හිමි වුණා. නමුත්, 1989 වසරේ දී ජොන්සන් තහනම් උත්තේජක ලබාගත් බවට ඔප්පු වීම නිසා 1981-1988 කාල සමය තුළ ඔහු ලබාගත් ජයග්‍රහණ අවලංගු වුණා. ඒ අනුව රන් පදක්කම ලුවිස්ට ලැබෙන විට ඔහු වාර්තා කළ තත්පර 9.92ක කාලයට එම ඉසව්වේ ලෝක වාර්තාවත් හිමි වුණා.

මීටර් 100 ඉසව්වේ අවසානය (gettyimages)

දුර පැනීමේ ඉසව්වේ දී ලුවිස් සමග කරට කර සටන් කළේ ඔහුගේම රටේ මයික් පවෙල් නම් ක්‍රීඩකයා යි. මූලික වටයේ තරගයේ දී පවෙල් මීටර් 8.34ක දුරක් පනින විට ලුවිස් වාර්තා කළේ මීටර් 8.06ක දුරක් පමණ යි. නමුත් අවසන් තරගයේ දී මුල සිටම ඉදිරියෙන් සිටි ලුවිස් මීටර් 8.72ක දුරක් පනිමින් රන් පදක්කම දිනාගත්තේ මයික් පවෙල්ව දෙවන ස්ථානයට ඇද දමමින්. 

ලුවිස්, දුර පැනීමේ ඉසව්ව සඳහා තරගකරමින් (gettyimages)

1988 ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 200 ඉසව්ව තත්පර 19.79ක කාලයකින් නිමා කළ ලුවිස්ට හිමි වුණේ රිදී පදක්කම යි. එහි දී ඔහුගේම රටේ ක්‍රීඩකයෙකු වුණු ජෝ ඩිලෝච් හමුවේ ලුවිස් පරාජයට පත් වුණා. එදා ඩිලෝච් තත්පර 19.75ක කාලයක් තුළ තරගය නිමා කරමින් ලුවිස්ගේ ඔලිම්පික් වාර්තාව උදුරාගනු ලැබුවා. 1988 ඔලිම්පික් තරගාවලියේ 100×4 සහාය ඉසව්වේ දී ඇමරිකානු කණ්ඩායම නීති විරෝධී ආකාරයෙන් යෂ්ටි හුවමාරුවක යෙදුණු නිසා ඔවුන්ට අවාසනාවන්ත අයුරින් තරගයෙන් ඉවත්වීමට සිදුවුණා. එම නිසා ලුවිස්ට පහසුවෙන්ම ලැබීමට තිබුණු රන් පදක්කමක් නොලැබී ගියා.

සියොල්වල දී අහිමි වුණු රන් පදක්කම බාසිලෝනාවල දී යළි හමුවෙයි 

1992 වසරේ දී ඔලිම්පික් උළෙල පැවැත්වුණේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර යි. එහි දී ලුවිස් තරග වැදුණේ 100×4 සහාය සහ දුර පැනීම යන ඉසව්වලට පමණ යි. එහි දී 1988 සියොල් ඔලිම්පික් උළෙලේ දී ඇමරිකාවට අහිමි වුණු 100×4 සහාය රන් පදක්කම යළි ඔවුන් සතුකරගත්තේ නව ලෝක වාර්තාවක් ද සමගින්. එසේම කාල් ලුවිස්, මීටර් 8.67ක දුරක් පනිමින් දුර පැනීමේ රන් පදක්කම යළි දිනාගත්තේ ඔහුගේ සුපුරුදු ප්‍රතිවාදියා වුණු මයික් පවෙල්ව පරාජයට පත් කරමින්. එදා ලුවිස් අතින් පරාජය වුණු පවෙල් එම අවදිය වන විට දුර පැනීම ඉසව්වේ ලෝක වාර්තා ලාභියා ලෙසින් වැජඹුණු බවත් මෙහි දී සිහිපත් කළ යුතු යි.

100×4 සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ඇමරිකානු කණ්ඩායම (gettyimages)

දුර පැනීමෙන් සිව්වන වරටත් ඔලිම්පික් රන් පදක්කම හිමි වෙයි 

1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ දුර පැනීමේ ඉසව්ව සඳහා ලුවිස් ඉදිරිපත් වුණේ සිව්වන වරට යි. එදා මූලික වටයේ දී ඉහළ දස්කම් දැක්වූ ලුවිස්ට අවසන් තරගයේ දී යළිත් පවෙල් මුණගැසුණා. නමුත්, පිට පිටම තෙවන වරටත් පවෙල්ව පරාජයට පත්කරමින් ලුවිස් රන් පදක්කම දිනාගන්නා විට පවෙල්ට හිමි වුණේ 5 වැනි ස්ථානය යි. ඒ අනුව කාල් ලුවිස් පිට පිටම සිව් වරක් ඔලිම්පික් දුර පැනීමේ රන් පදක්කම දිනාගත්තේ අමරණීය වාර්තාවක් තබමින් 

දුර පැනීමේ රන් පදක්කම දිනාගනිමින්.(gettyimages)

කාල් ලුවිස් ඔලිම්පික් පදක්කම් 10ක හිමිකරුවෙකු වෙයි 

සිය ඔලිම්පික් දිවිය තුළ ලුවිස් පදක්කම් 10ක් ලබාගත්තේ රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කමක් සමගින්. එහි දී ලුවිස් දුර පැනීමෙන් රන් පදක්කම් 4ක් ලබාගන්නා විට මීටර් 100 සහ මීටර් 100×4 සහාය ඉසව්වලිනුත් රන් පදක්කම් දෙක බැගින් ලබාගත්තා. ඊට අමතරව මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත් ලුවිස්, ඔලිම්පික් ඉතිහාසයේ පාවෝ නුර්මිට පසුව වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනාගත් මලල ක්‍රීඩකයා බවට පත් වුණා.

කවරයේ ඡායාරූපය- ලුවිස්, 1984 ඔලිම්පික් තරගාවලියේ දී ලබාගත් රන් පදක්කම් සමග (gettyimages)

Related Articles