Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පර්සියාවේ කොසැක් බ්‍රිගේඩය

කොසැක්වරුන් පිළිබඳ අසන විට සාමාන්‍යයෙන් අපගේ මතකයට එන්නේ රුසියාව යි. මෙම සටන්කාමී අසරුවන් රුසියන් හමුදාවන් හි වැදගත් කොටසක් වුණා. යුරෝපයම ඔවුන් පිළිබඳ දැන සිටියා. එමෙන්ම, ඔවුන්ගේ සටන්කාමීත්වය පිළිබඳ බියෙන් පසුවුණා.

කොසැක්වරුන් වැනි සටන්කාමී අශ්වාරෝහක හමුදා නිර්මාණය කිරීමට ඇතැම් රටවල්වලට අවශ්‍ය වුණා. එක් රටක් ඒ සඳහා රුසියාවේ සහාය ඉල්ලා ගත්තා. එය ඉරානය හෙවත් පර්සියාව යි.

එවකට පර්සියාවේ පාලකයා වූ නසර් අල්-දින් ෂා කජාර්, කොසැක්වරුන්ව මුලින්ම දුටුවේ 1878 දී යෙරවාන් වෙත කරන ලද සංචාරයක් අතරතුර යි. ඔවුන්ගේ රණකාමීත්වය සහ යුධ සංවිධානය දුටු නසර් අල්-දින් ෂා කජාර්, ඉතාම පැහැදීමට පත් ව, එවැනි අශ්වාරෝහක හමුදාවක් සිය රටෙහි ස්ථාපිත කරන්නට රුසියාවේ සහාය පැතුවා. රුසියාවේ දෙවන අලෙක්සන්දර් අධිරාජයා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නා.

රුසියාවට මෙවැනි අවස්ථාවක් කිසි ලෙසකින්වත් අපතේ යැවීමට අවශ්‍ය වූයේ නැහැ. මෙකල රුසියාව සහ බ්‍රිතාන්‍යය මෙම කලාපයේ බලය පිළිබඳ තරගයක පැටලී සිටියා. පර්සියාවේ විශේෂ අශ්වාරෝහක බල ඇණියක් ස්ථාපිත කිරීමට ලද අවස්ථාව මෙහි දී රුසියාව ලද වැදගත් ජයග්‍රහණයක් වුණා.

මේ අනුව ලුතිනන් කර්නල් අලෙක්සේයි දොමන්තෝවිච් සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් පර්සියාව වෙත යවන ලද්දේ පර්සියානු කොසැක් බ්‍රිගේඩය පිහිටුවීම උදෙසා යි. 

මේ අනුව 1880 වන විට පර්සියානුවන් 200 දෙනෙකුගෙන් මෙම නව බ්‍රිගේඩය සමන්විත වුණා. එහි නිලධාරීන් වූයේ රුසියානුවන්.

බ්‍රිගේඩයේ සංවිධාන ව්‍යුහය

පර්සියානු කොසැක් බ්‍රිගේඩයට අණ දුන්නේ රුසියානු නිලධාරියකු විසින්. ඔහුට පර්සියාවේ උසස් ම සම්මානයන් ප්‍රදානය කෙරුණා. එමෙන්ම බ්‍රිගේඩයේ කටයුතු පැවතියේ ඔහුගේ යටතේ යි. පර්සියානු ෂා වරයා කිසිදු අවස්ථාවක පර්සියානු කොසැක් බ්‍රිගේඩයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන්නට උත්සාහ කළේ නැහැ. ඔහු තනිකරම ගනුදෙනු කළේ අණදෙන නිලධාරියා සමග යි.

පර්සියානු කොසැක් බ්‍රිගේඩය 1909 දී (Public Domain)

මුල්කාලීනව පැවති කුඩා බ්‍රිගේඩය පසුව විශාල වුණා. එයට පාබල බල ඇණියක් මෙන්ම කාලතුවක්කු කණ්ඩායමක් ද ඇතුළත් වුණා.

පර්සියානු කොසැක් බ්‍රිගේඩය ෂා වරයා හා වෙනත් ප්‍රභූන්ට මෙන්ම අමාත්‍යාංශ හා තානාපති කාර්යාලවලටත්, බැංකුවලටත් ආරක්ෂාව සැපයීමෙහි යෙදුණා.

හොඳම බ්‍රිගේඩය

රුසියාව මෙම බ්‍රිගේඩයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද කොටසක් සැපයුවා. එමෙන්ම, මෙම බ්‍රිගේඩයට සාමාන්‍යයෙන් හොඳම යුධ ආයුධ හා වෙනත් පහසුකම් ලැබුණා. කෙසේ වෙතත්, ඉරාන පාලකයින් ඇතමෙක් පර්සියානු කොසැක් බ්‍රිගේඩය පිළිබඳ ප්‍රසාදයට පත් වෙද්දී, ඇතමෙකු ඊට දැක්වූයේ අඩු සැලකිල්ලක්.

කෙසේ වෙතත්, පර්සියානු කොසැක් බ්‍රිගේඩය යටතේ වෙනම ශිෂ්‍ය භට පාසැලක් ද විවෘත කෙරුණා. පර්සියානුවන්ව පුහුණු කර ඊට බඳවාගැනීම එයින් සිදුකෙරුණා. මෙහි දී බොහෝ පාඨමාලා රුසියන් බසින් සිදුකෙරුණා. ඇතැම් දක්ෂ පර්සියානුවන් නිලධාරීන් ලෙස ද පත් කෙරුණා.

1914 දී පළමු ලෝක යුද්ධය ඇරඹෙන අවස්ථාව වනවිට පර්සියාවේ වූ හොඳම සේනාංකය, මෙම කොසැක් බ්‍රිගේඩය යි.

පර්සියාවේ අභ්‍යන්තර කටයුතු

විසිවන සියවසෙහි ආරම්භය වන විට පර්සියාවේ දෙව්ශපාලන අර්බුදයක් මෝදු වෙමින් තිබුණා. එය පුපුරා ගියේ 1905 ව්‍යවස්ථා විප්ලවය සමග යි.

පාර්ලිමේන්තුව හෙවත් මජ්ලිසය හා ෂා වරයා අතර බල අරගලය දිගටම පැවති අතර, එහි වැදගත්ම සිදුවීමක් වූයේ 1908 දී කොසැක් බ්‍රිගේඩය විසින් මජ්ලිසයට පහර දීම යි. එයින් පසු කෙටි කලකට ෂා වරයා ප්‍රබල ස්ථානයක සිටියා. එහෙත්, 1909 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදීන් නැවත ටෙහෙරානයට ඇතුල් වුණා.

පර්සියන් කොසැක් බ්‍රිගේඩය (Brooklyn Museum)

මේ කලබගෑනිවලින් ද පසු කොසැක් බ්‍රිගේඩය පර්සියාවේ ප්‍රබලම හමුදා සේනාංකය ලෙස පැවතියා.

පළමු ලෝක යුද්ධය ඇරඹුණ අවස්ථාවේ පර්සියාව මධ්‍යස්ථභාවය ප්‍රකාශයට පත් කළා. එහෙත්, තුර්කිය හා රුසියාව අතර සටන් ඇති වූ අවස්ථාවේ එය පර්සියාව දෙසට ද පැතිර ගියා. මෙහි දී පර්සියානු කොසැක් බ්‍රිගේඩය හේතුවෙන් රුසියාවට වාසියක් සිදුවුණා. කෙසේ වෙතත්, පර්සියානු ජාතිකවාදීන් උතුරුදිග කඳුකරයේ රුසියන් හමුදාවන්ට එරෙහිව සටන් වැදුණා.

අවසානය

1917 දී සිදු වූ රුසියන් විප්ලව හේතුවෙන් එරට සහ පර්සියානු කොසැක් බ්‍රිගේඩය අතර සබඳතා බිඳවැටුණා. නමුත්, බ්‍රිගේඩයේ රුසියන් නිලධාරීන් දිගටම පර්සියානු හමුදාව වෙනුවෙන් සේවය කළා. කලක් බෝල්ෂවික්වරුන් පර්සියාව වෙත පැමිණීම වැළැක්වීම සඳහා පර්සියානු බ්‍රිගේඩය උපකාර වුණා.

1921 දී බ්‍රිගේඩයේ රුසියන් නිලධාරීන් 120 දෙනාම ඉවත් කෙරුණා. ඒ වෙනුවට ස්වල්ප කලක් එහි අණදෙන නිලධාරියා ලෙස එවකට බ්‍රිගේඩියර් ජෙනරාල්වරයකු වූ රෙසා ෂා පත් කෙරුණා. රෙසා ෂා, පසු කලෙක ඉරානයේ බලය අල්ලාගත්තා.

කෙසේ නමුත්, පර්සියානු කොසැක් බ්‍රිගේඩය 1921 දී ම විසුරුවා හරිනු ලැබුණා. නමුත් එවකට පර්සියාවේ වූ හොඳම හමුදා නිලධාරීන් ලෙස සැලකුණේ, එම බ්‍රිගේඩයේ සේවය කළ අය යි. එහෙයින්, පසුකාලීනව පර්සියානු යුධ හමුදාව නිර්මාණය වීම කෙරෙහි එම බ්‍රිගේඩයේ විශාල බලපෑමක් තිබුණා.

Related Articles