Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තාවන්ගේ කාමය වඩවන රතිකම් බලිය

අද සමාජය කෙතරම් දියුණු වී සංකීර්ණව පැවතියත්, පුරාණ වත්පිළිවෙත්, ශාන්තිකර්ම ගැන තවමත් අසන්නට ලැබෙනවා. ඒ අතරින් අප සිත් තුළ කුතුහලය වඩවන සබරගමුවේ කෙරෙන බලියාග කිහිපයක් ගැන කියන්න යි මේ උත්සාහය. ඒ අතරින් එකක් තමයි රතිකම් බලිය. කාමාසාව අඩු කාන්තාවනගේ කාම රාගය වර්ධනය කරවා, ඔවුන්ට දරු සම්පත් ලබාදෙන විවාහ දිවියක් උරුමකර දීම මේ බලි තොවිලයේ අරමුණ යි. අදටත් සබරගමුවේ ගම්මානවල මේ බලිය කෙරෙන බව අපට දැනගන්න ලැබුණා. මේ බලිය කරන්නෙත් ගමේ අනෙක් අයට හොර රහසේ කාටවත් නොදැනෙන විදිහට යි. මේ බලිතොවිල් පිටුපස ලිංගික මනෝවිද්‍යාත්මක පසුබිමක් තිබෙන බවත් පැහැදිලියි.

බලි කියන්නේ මොකක්ද?

බලි තොවිලයක අවස්ථාවක්- serendip.btoptions.com

“බලි” යන ශබ්දය වැඩිපුර භාවිතා කෙරෙන්නේ දෙවියන්ට හා යකුන්ට දෙන පිදේනිය යන අර්ථයෙන්. ඒ අනුව “බලිය” යනු ග‍්‍රහ දේවතාවුන්, යකුන් ආදින්ට ආරාධනා කොට මිනිසුන්ගේ අරමුණු ඉටකර දෙන ලෙස අයැදිමින් පවත්වන පුදපූජා යාගකර්මයක්. මේ ශාන්තිකර්මයේ දී කපුමහත්වරුන් බලි රූපයක් අඹා එය ඉදිරිපිට ආතුරයන් තබාගෙන තමයි තොවිලය කරන්නේ.  

මහාචාර්ය විනී විතාර සඳහන් කරන්නේ “බලි යාගය මෙන්ම ඇඹීම ද ආරම්භ කරන්නේ තෙරුවන් සිහි කිරීමෙනි. බලි රඟමඬලක්‌ වනාහි යම්තාක්‌ ප්‍රමාණයකට පිරිත් මණ්‌ඩපයක අනුකරණයකැ යි තිරසරව පිළිගත හැකිය” කියල යි (විනී විතාරණ – බලි යාගය).

දරුඵල නැති අයට බලිතොවිල්

බලිය ඉදිරිපිට කරන ශාන්ති කර්මය- youtube.com

පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත් පිළිබඳව තම දර්ශනපති පශ්චාත් උපාධිය සඳහා පර්යේෂණයක් කළ සෞන්දර්ය විශ්වවිද්‍යාලයයේ සබරගමු නර්තන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් කුමාරතුංග මේ ගැන මෙසේ පවසනවා: 

අදටත් දරුඵල නැතිවුණාම කාන්තාවන් බලිතොවිල්වලට යනවා. අද විශේෂත්වය නම් බටහිර ප්‍රතිකාරවලින් ප්‍රතිඵල නොලැබුණහම මෙම දේශීය යාග ක්‍රමවලට පෙළඹවීම යි. ඒවායින් ප්‍රතිඵල ලැබුණු රාශියක් අපට මෙම අධ්‍යයනය කරගෙන යාමේ දී හමුවුණා. දරුඵල ලබාගැනීමට අවශ්‍ය හෝර්මෝන ක්‍රියාකාරීත්වයේ (ඊස්ට්‍රජන්/ ප්‍රොටෙස්ටරෝන්) තිබෙන විකෘතිතාවයක් නිසා තමයි, කාන්තාවකට දරුඵල නොපිහිටන්නේ. මේ යාගවලින් කරන්නේ ඒ හෝර්මෝන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්කිරීමට සහයෝගය දැක්වීම යි. නමුත් යාගය කරන ඇදුරො නම් දන්නෙ නැහැ හෝර්මෝන ක්‍රියාකාරීත්වයක් ගැන. නමුත් එම යාගවලින් සිදුවන්නේ ආතුරයා මානසිකව වර්ධනය කර ඉහත ක්‍රියාකාරීත්වයට උදව් කිරීම යි.

දරුඵල නැතිවීම සහ ගබ්සාවීම වගේ අවස්ථාවල දී සබරගමු පළාතේ “කටිනා බලිය” නම් ශාන්තිකර්මය සිදු කරනවා. එහිදී බලි රූපය වශයෙන් අඹන්නේ ස්ත්‍රී රූපයක්. එහි කාන්තාව මැද ඉන්නා අතර, දෙපස දරු දෙන්නෙක් ඉන්නවා. ආතුර කාන්තාවට ඒ බලි රූපය ඉදිරිපිට හිඳගෙන ඉන්න සලස්වනවා. පැය 12ක් තිස්සේ ඒ දරු දෙදෙනා දිහාම බලාගෙන ඉන්න කොට දරුවන් පිළිබඳ ඇගේ මානසික ස්වභාවය වර්ධනය වෙන බව සහ ඇය තුළ දාරක ස්නේහය ක්‍රමයෙන් ඉහළ යන බව කියැවෙනවා.

රතිකම් බලිය 

කාන්තාව තෙරපවාගෙන පිරිමියා පිටුපස සිටින රතිකම් බලි රූපය- Saman Kumaratunga 

සබරගමුවේ පවත්වන රතිකාම බලිය අප තුළ කුතුහලය වඩවන ශාන්තිකර්මයක්. රතිකාම යනු සංසර්ගයට ඇති අධික ආශාව යි. ස්ත්‍රීන්ට හටගන්නා යෝනි ස්‍රාව හා ප්‍රදාහ ආශ්‍රිත රෝග මැඩලීමට මේ බලිය පැවැත්වෙන බව පැවසෙනවා. රතිකාම බලි රූපය අඹන්නේ දකුණතේ පුන්කලසක් සහ වමතේ කුකුළෙක් දරා සිටින, උඩුකය නග්න වූ රූමත් ස්ත්‍රියක් පුරුෂයකුගේ උකුලේ සිටින විලාසයෙන්. කාන්තාව පසුපස සිටින පිරිමියාත් ඇයගේ උදරය තදින් අල්ලාගෙන ලිංගික ඉරියව්වකින් සිටින බවක් පෙනෙනවා. යාගය පවත්වන්නේ බලි කවි ගායනා කරමින්: 

රතිකම් බලි                 වීදියට

එන්ඩ රතිකම් යකුනි     එළියට

දුන් පුද                     ලබන්නට

වරෙන් රතිකම් යකුනි  කෙළියට

දරුවන් ලැබීමට කැමැත්ත තිබුණත් සමහර ස්ත්‍රීහු සංසර්ගයට බියක් දක්වනවා. ඒ කෙරෙහි උදාසීන වෙනවා. යෝනි ප්‍රදාහයන් සමග හටගන්නා රෝග නිසා භීතිය, ක්ලාන්තය, රතු, කළු මිනිසුන් සමග සිහිනෙන් ලිංගිකව හැසිරීම, ඔක්කාරය, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ පවා හටගන්නා බව පැවසෙනවා. මෙවැනි රෝග ලක්ෂණ පහළ වූ විට ඖෂධ හා මන්ත්‍ර ප්‍රතිකාර ලබා දී ඒවායින් පූර්ණ සුවයක් නොලැබුණොත්, රතිකම් බලි යාගයක් පැවැත්වීම සබරගමුවේ ඇතැමුන් සිදුකරනවා. එමඟින් යහපත් අඹුසැමි සබඳතාවයක් පවත්වාගෙන යාමට මඟපෑදී සාර්ථකව දරුඵල ලබාගත හැකි බවට විශ්වාස කෙරෙනවා.

 දෙකන තෝඩු පත් දෙක බබලන්නේ

දෙතන මඩල රන් කුඹුසේ දිලෙන්නේ

කොතන ගියත් යකු එළි බැසපන්නේ

යහන සරා රති ලිය සැත     පෙන්නේ

(රතිකාම බලි කවි- පුරාණ සබරගමුවේ දාරක වත් පිළිවෙත්- සමන් කුමාරතුංග)

මදන යක් බලිය

කාන්තාව මත තාපස රුවක් නැග සිටින මදන යක්ෂ බලි රුව- Saman Kumaratunga

මදන, මද ආදී පදවලින් ඇඟවෙන්නේ තරුණ තරුණියක් අතර ලිංගිකත්වය පදනම් කරගෙන ඇතිවන හැඟීම් ධාරාවන්. “මේකට මදන යකා ගහල ද කොහෙද” කියලා ගම්මානවල තරුණයන් ගැන අපහාසයෙන් පවසනු අදත් අහන්න පුළුවන්.

රති මදන, මති මදන, මල් මදන, පිස්සු මදන ආදී වශයෙන් මදන යක්ෂණියන් 16 දෙනෙක් පිළිබඳව සබරගමු බලි ශාන්තිකර්මවල සඳහන් වෙනවා. සබරගමුවේ දාරක වත්පිළිවෙත්වල එක් අංගයක් වන්නේ මදන යක් බලිය යි. මදන යක් බලියේ විශේෂත්වය එය පවත්වන්නේ පිරිමින්ට වීම යි. 

පිරිමි අයටත් දරුඵල හටගැන්වීමේ දායකත්වයට ප්‍රශ්න මතුවෙනවා, ක්ෂණික ශුක්‍ර මෝචනය, ලිංගික අප්‍රාණිකත්වය, ලිංගික සංසර්ගයට දක්වන අකමැත්ත, ස්ත්‍රීන්ට ඇති අකමැත්ත, ලිංගිකත්වය කෙරෙහි බියවීම වගේ ප්‍රශ්න ඔවුන්ටත් තිබෙනවා. ඒ ලිංගික ගැටළු ඇතිවන්නේ මදන යක්ෂණින්ගේ බැල්ම නිසා බවත්, මදන යක්ෂණියන් පිරමින්ට හීනෙන් පෙනී ඔවුන් සමග රතිසැප විඳ කය කුල්මත් කර ශුක්‍ර මෝචනය කරවන බවත් බලි ශාන්තිකර්මවල සඳහන් වෙනවා. බලි තොවිලයෙන් ඒ යක්ෂ බැල්ම ඉවත්කරන බව යි විශ්වාස කෙරෙන්නේ. මේ බලියෙන් කරන්නේ රාගය පිළිබඳව උකටලී බවක්, කාම සම්භෝගයට අකමැති බවක් ඇති අයට ඒ සඳහා පෙළඹවීම ඇති කිරීම යි. ඉන් ලිංගික උත්තේජනයක් ලබාදෙනවා.

බලි ශාන්ති කර්මයක නර්තනයක් – Dailynews.lk

මෙහිදී අඹන බලි ප්‍රතිමාවේ මුඛය රාක්ෂ විලාසයක් දරන ස්ත්‍රී රූපයක් ද, ඊට ඉහළින් තවුස්දම් පුරන තාපස රුවක් ද, නිරූපණය කෙරෙනවා.

මේ බලියේ පුරාවෘත්තයක් ද පවතිනවා:

පුරාණයේ ඉසිලිංග නමින් හඳුන්වන ලද වනාන්තරයක නුග රුකක් මුල අගස්ති නම් තාපසයෙක් තවුස්දම් පුරමින් විසුවේ ය. දොළොස් වසරක් තපස් ශීලය රැකි ඔහුගේ ශීලය පරීක්ෂා කිරීමට ශක්‍ර දේවේන්ද්‍රයා සිතුවේ ය. ඔහු රූමත් ස්ත්‍රී රුවක් මවාගෙන පැමිණියේ ය. තවුස් දැහැන ක්ෂණිකව බිඳී ගියේ ය. ක්‍රමයෙන් එම ස්ත්‍රී රුව මැහැලියක බවට වෙනස් විය. රූමතිය අහිමිවීමෙන් රාගයෙන් මත්ව සිටි තවුසාට වේදනාවක් හට ගැනිණි. ඔහු සිත් තැවුලෙන් රෝගී විය. තවුසා මරණයට පත්වෙතැ යි සිතූ ශක්‍රයා රූමත් ස්ත්‍රීන් සත් දෙනකු මවා ඔහු වෙත යැවීය. එයින් තවුසාගේ රාගය සංසිඳිණි. ශක්‍රයා මවන ලද ස්ත්‍රීන් හත්දෙනා රතිකාම, මදනකාම, අන්දකාම, හන්දකාම, මතීකාම, පුළුටුකාම, රීරිකාම නම් වේ. එම ස්ත්‍රීන්ගේ නායකයා මදන යක්ෂ නම් විය. ඔවුන් සියලුදෙනා නරලොව මිනිසුන්ට මදන රෝග පමුණුවා පීඩාවට පත් කරති.

(පුරාණ සබරගමුවේ දාරක වත් පිළිවෙත්- සමන් කුමාරතුංග)

තොවිලයෙන් පසු ලිංගිකත්වය කෙරෙහි පුරුෂයන් තුළ පවතින මනෝභීතිකාව තුරන් වී යහපත් අඹුසැමි සබඳතාවයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවට විශ්වාසයක් තිබෙනවා. ඒ මදන යක් බලි තොවිලයේ දී කියන කවියක:

මදන කාම පරුවතේ වෙසෙන්නේ

විඳින කාමයට සිත   පොළඹන්නේ

අදින මෙමා දෙන මේ පුද  ගන්නේ

මදන කාම යක්ෂණී    වරෙන්නේ 

බලි ඇඹීම

ඇදුරන් විසින් බලි රූපයක් අඹමින්- Saman Kumaratunga

බලි නිර්මාණයට ක්‍රම දෙකක් අප රටේ භාවිතා වෙනවා. ඒ කඩ බලි හා රූප බලි ලෙසට යි. කඩ බලි යනු රෙදි කඩක චිත්‍රයක් ඇඳ සකසා ගන්නා බලිය යි. රූප බලි යනු මැටියෙන් අඹා පින්තාරු කර සාදා ගන්නා ඇඹුම් බලිය යි. රතිකම් බලිය වගේම මදන යක් බලියත්  මැටියෙන් රූප අඹා පවත්වන ශාන්තිකර්මයක්. 

ඒ සඳහා ආතුරයාගේ නිවසට උතුරු දෙසින් පිහිටි තුඹසක් තෝරා ගන්නවා. අවට කැලෑව සුද්ධ පවිත්‍ර කර තුඹස වටා ගොස් රැහැන් ඇද ගෙන එය පේකිරීම නම් චාරිත්‍රය පවත්වනවා. ඊට පසු හඳුන්කිරිපැන්, මල් වර්ග, තුඹස වටා ඉසිනවා. එහි පහන් කපුරු දල්වා වැඳ නමස්කාර කර තුඹසෙන් මැටි බිඳගැනීම කරනවා. ඊට පසු මැටි නිවසට ගෙන යන්නේ කෙසෙල් පත්‍ර ඇතිරූ භාජනයක තබාගෙන යි. මේ සියලු වැඩ කරන්නේ නිශ්ශබ්දව යි. ඊට පසුව මැටි පදමට අනා බලි රූපය නිර්මාණය කර ගන්නවා. 

බලි වර්ණ ගැන්වීමේ දී පළමුව බලි රූප මත හා මැටි පුවරුව මත සුදු මකුළු මැටිවලින් පින්තාරු කරනවා. මකුළු පින්තාරුව හා වර්ණ ගැන්වීම සිදුකරනුයේ අඹන ලද රූප සහ බලි පුවරුවේ මැටිවල දිය ගතිය මඳක් වියළී යාමෙන් පසුව යි. බලිය පවත්වන දිනයට දින දෙකකට පමණ පෙර සිට බලි ඇඹීම ආරම්භ කළේ නම් එසේ කිරීමට අවකාශ ලැබෙනවා. බලි රූපයට ආලේප කරන වර්ණ සාදාගනු ලබන්නේ අවටින් සොයා ගනු ලබන ස්වභාවික අමු ද්‍රව්‍යවලින්. කළු, කොළ, කහ, රතු, සුදු, තැඹිලි, දුඹුරු යන වර්ණ මෙහිදී බහුලව යොදාගැනෙනවා.

බලි රූප

යක්ෂ යුවලක් දැක්වෙන රීරි බලිය නම් බලි රූපය- Saman Kumaratunga

බලි රූප නිර්මාණය කරන්නේ බලි ඇඹුම් කවිවල සඳහන් අංගලක්ෂණ පිහිටන ලෙස යි.

කන්‍යා රූපය වටම                 අඹන්නේ

සුරතේ පුන් කලසක්              දරපන්නේ

දෙපා සළඹලූ මිනි නස            දෙන්නේ

සියොළඟ සුදු පාටින්            බබලන්නේ

අපේ පුරාණ මනෝ චිකිත්සා ක්‍රම හෙළිකරන මේ බලියාග අදටත් සබරගමුවේ බලංගොඩ ආශ්‍රිතව සිදුකෙරෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

පුරාණ සබරගමුවේ දාරක වත් පිළිවෙත්- සමන් කුමාරතුංග

http://www.culture.cp.gov.lk

cover- යක්ෂගිරි නම් බලිරූපය- Saman Kumaratunga

Related Articles