Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මියන්මාරය ගිනියම් කරන රොහින්ජා අර්බුදය​

මේ දිනවල සමස්ථ ලෝකයේම අවධානය යොමු වී ඇති රටක් ලෙස මියන්මාරය දැක්විය හැකියි. ඒ, එම රටේ එක් ප්‍රාන්තයක දිවිගෙවන රොහින්ජා මුස්ලිම් ජන කණ්ඩායම සහ එරට බහුතර බෞද්ධාගමිකයන් අතර ඇවිලෙමින් පවතින ගැටුම් නිසායි. මෙහිදී මියන්මාර් රජය සහ රජයේ හමුදා ද රොහින්ජාවරුන්ට විරුද්ධ ස්ථාවරයක් ගෙන තිබෙනවා.

මේ ලේ වැකි ගැටුම් නිසා මේ වන විට දහස් ගණනක් වූ රොහින්ජා වැසියන් සරණාගතයන් ලෙස මියන්මාරයෙන් පලා යමින් සිටින අතර, දෙපාර්ශවයේම තවත් දහස් ගණනක් ජීවිතවලින් වන්දි ගෙවා අවසන්.

මියන්මාරයට පමණක් නොව සමස්ථ ආසියාවටම බලපෑමක් එල්ල කර ඇති ‘රොහින්ජා’ අර්බුදය පිළිබඳ පාඨක ඔබට මූලික දැනුමක් ලබා දීම මෙම ලිපියේ අරමුණයි.

හැඳින්වීම

පෙර පැවසූ පරිදි වර්තමානය වන විට දහස් ගණනක් වූ රොහින්ජා ජනතාව බෝට්ටුවලින් අසල්වැසි රටවල් කරා පළා යමින් සිටිනවා. තවත් බොහෝ පිරිසක් අසල්වැසි බංග්ලාදේශ දේශ සීමාව පැන එරටට ඇතුළු වීමට උත්සාහ දරණවා. මෙම වැසියන් රැගත් බෝට්ටුවක් මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා මුහුදු සීමාවටත් පැමිණි බව ඇතැම් විට ඔබට මතක ඇති.

ඉන්දුනීසියාව, මැලේසියාව, සහ තායිලන්තය යන රටවලට බෝට්ටුවලින් ඇතුළු වීමට උත්සාහ කළත් ඒ රටවලින් මොවුන් කෙරෙහි එතරම් සැලකිල්ලක් දක්වන බවක් තවමත් පෙනෙන්නට නම් නැහැ.

රොහින්ජාවරුන් පළා යාමට උත්සාහ කරන මාර්ග (cfr.org)

1970 වසරේ සිටම මියන්මාර රජය විසින් රොහින්ජාවරු කෙරෙහි අනුගමනය කළ ‘කුඩම්මාගේ සැලකිලි’ සහිත වූ ප්‍රතිපත්ති හේතුවෙන් අළු යට ගිණි පුපුරු සේ තිබූ මෙම අර්බුදය පුපුරා ගියේ 2012 වසරේදීයි. ඒ මෙම සුළුතර ජන කොටස වෙසෙන රඛිනේ ප්‍රාන්තයේ විසූ බෞද්ධාගමික දැරියක රොහින්ජාවරු පිරිසක් විසින් ලිංගික අතවරයට ලක් කිරීම නිසායි.

මේ හේතුව නිසා ප්‍රකෝපකාරී වූ බෞද්ධාගමිකයන් සහ රොහින්ජා මුස්ලිම්වරුන් අතර දින ගණනක් දරුණු ගැටුම් ඇවිළුණා.

එතැනින් පසුව වරින් වර මෙම දෙපාර්ශවය අතර ලෙයින් කෙළවර වූ ගැටුම් ඇතිවුණා. ආසන්නම සිදුවීම වූවේ මීට සති කිහිපයකට පෙර අවිගත් කුඩා රොහින්ජාවරුන් කණ්ඩායමක් එම ප්‍රාන්තයේ තිබූ පොලිස් මුරපොලවල් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමයි.

මේ නිසා එම අවිගත් කණ්ඩායම් වැටලීම පිණිස හමුදා බලඇණි රඛිනේ ප්‍රාන්තයට අනියුක්ත කිරීමට මියන්මාර රජය කටයුතු කළා. එසේ ඇරඹුන ගැටුම් මේ වනවිටත් ඇවිලෙමින් පවතින අතර මියගිය, තුවාල ලැබූ සහ උන්හිටි තැන් අහිමි වූ රොහින්ජාවරුන්ගේ සංඛ්‍යාවන් ගැන හරියාකාර තොරතුරු මෙතෙක් මාධ්‍ය වෙත ලැබී නැහැ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මියන්මාරයෙහි නිල සංචාරවල​ යෙදීමට​ සැලසුම් කර ඇත්තේ මෙවන් පසුබිමක් තුළයි.

රොහින්ජාවරුන්ගේ ඉතිහාසය

මියන්මාරයේ රඛිනේ ප්‍රාන්තයෙ බටහිර දිග පෙදෙසේ වාසය කරන මෙම ජන කොට්ඨාසය සුන්නි ඉස්ලාම් බැතිමතුන් වන අතර ඔවුනගේ ඇදහිලි සූෆි විශ්වාසයන්ගෙන් පෝෂණය වී තිබෙනවා.

රඛිනේ ප්‍රාන්තය තුළ මොවුන් මිලියනයක් පමණ වෙසෙන බවට ගණන් බලා ඇති අතර එය එම ප්‍රාන්තයේ සමස්ථ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වනවා. මියන්මාරයට අමතරව රොහින්ජාවරුන් බංග්ලාදේශයේ සහ සෞදි අරාබියේද ජීවත්වනවා.

රොහින්ජාවරුන්ගේ සම්භවය පිළිබඳ අදහස් දක්වන විද්වතුන් පවසන්නේ එය 15 වන ශතවර්ශය තෙක් දිව යන බවයි. ඒ අනුව එවකට තිබූ අරකාන් අධිරාජ්‍යයේ සිට සංක්‍රමණය වූ දහස් ගණන් වූ මුස්ලිම්වරුන් අතරට මේ රොහින්ජාවරුන්ද ඇතුළත් වන බව ඔවුන් පවසනවා.

මොවුන්ගෙන් තවත් සමහරුන් මියන්මාරයට සංක්‍රමණිකය වී ඇත්තේ 19 වන සියවසේ සහ 20 වන සියවසේ මුල භාගයේදියි. එවකට රඛිනේ ප්‍රාන්තය සහ බෙංගාලිය පාලනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින්.

රොහින්ජා සරණාගතයින් පිරිසක් (Getty Images)

කෙසේ නමුත් 1948 දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව නම් කරන ලද බුරුම රජය මෙන්ම 1989 වසරේ එරට මියන්මාරය ලෙස නම් කිරීමෙන් අනතුරුවද මෙම රොහින්ජා වැසියන් මියන්මාරයේ ජන කොටසක් ලෙස පිළිගැනීම පැවති රජයන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔවුන් විසින් රොහින්ජා වැසියන් හඳුන්වනු ලබන්නේ නීතිවිරෝධී බෙංගාලි සංක්‍රමණිකයන් ලෙසටයි.

එම රජයන් සහ බහුතර බෞද්ධාගමික කොටස් මෙම වැසියන් ‘රොහින්ජා’ ලෙස වෙනම නමකින් හැඳින්වීම පවා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

නීතිමය තත්වය

රොහින්ජා වැසියන්ට මියන්මාරයේ පුරවැසිබව ප්‍රදානය කිරීම එරට රජයන් සියල්ලම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එරට බහුතරය වන ජන කොටසේ බලපෑමත් මෙසේ වීමට ප්‍රධානතම හේතුව බව කිව යුතුයි.

මේ නිසා රොහින්ජා වැසියන් සතුව නීතිමය වශයෙන් වලංගුවන කිසිදු ලියැවිල්ලක් නැහැ. ඔවුන් දිවි ගෙවන්නේ භූමියක් අහිමි පිරිසක් ලෙසටයි.

1948 නිදහසෙන් පසුව පැවති පුරවැසි බව සම්බන්ධ නීති රීතී රොහින්ජාවරුන්ටත් අදාළ වූවත් එරට පාලනය කළ​ මිලිටරි ජුන්ටාව විසින් 1982 දී නව පුරවැසිබව​ සම්බන්ධ නීතියක් හඳුන්වාදෙමින් රොහින්ජා වැසියන්ට සම්පූර්ණයෙන්ම මියන්මාරයේ පුරවැසිබව ලැබීමට තිබූ හැකියාව අහෝසි කර දමනු ලැබුවා.

ඒ අනුව එම වැසියන් වෙනුවෙන් ‘white card’ ලෙස හැඳින්වූ තාවකාලික හැඳුනුම්පත් ලබා දී තිබූ අතර ඒවායින් පුරවැසියන් වෙනුවෙන් සපයන යම් යම් සේවාවන්ට කොන්දේසි සහිතව ප්‍රවේශ වීමට රොහින්ජාවරුන්ට හැකියාව ලැබුණා. මෙම හැඳුනුම්පත රොහින්ජාවරුන් නොවන සමහර මුස්ලිම් ජනයා වෙනුවෙන්ද නිකුත් කළ අතර මෙය නීතිය ඉදිරියේ වලංගු ලියවිල්ලක් ලෙස පිළිගත්තේ නැහැ.

2014 වසරේදී එක්සත් ජාතීන්ගේ සහය ලබා කෙරුණ ජනසංගණයේදී රොහින්ජාවරුන් යනු වෙනම ජන කොටසක් ලෙස පිළිගැනීමට රජය කටයුතු කළත් ජාතිකවාදීන්ගේ දැඩි විරෝධය මත රොහින්ජාවරුන්ගේ නම් ජනසංගණයේදී ලියාපදිංචි කළ හැක්කේ ඔවුන්ට බෙංගාලි ජාතිකයන් ලෙස ලියාපදිංචි වී ඇත්නම් පමණක් ලෙස ප්‍රකාශ කළා.

රොහින්ජාවරුන්ට එරෙහිව මියන්මාරයේ ජාතිකවාදීන් පෙළපාලි යති (frontiermyanmar.net)

මේ ආකාරයටම දියත් වූ විරෝධතා නිසා රොහින්ජාවරුන්ට නිකුත් කළ ‘white cards” අහෝසි කිරීමට 2015 වසරේදී මියන්මාර රජය තීරණය කළා. ඒ අනුව එම කාඩ්පත් ක්‍රමය 2008, 2010 වසරවල්වලදී ඡන්දය භාවිත කිරීමට හිමිකම තිබූ මේ වැසියන්ගේ ඡන්ද අයිතිය අහෝසි වී ගියා.

එමෙන්ම රජයන් විසින් පනවා ඇති නීතිරීතිවලට අනුව අධ්‍යාපනය ලැබීම, රැකියාවක නිරත වීම, විවාහ, පවුල් සැලසුම්, සංචාරය කිරීම් සහ ආගම ඇදහීම යන කාරණාවලදී මියන්මාරයේ බහුතරයට හිමි වී ඇති අයිතීන් මෙම ජන කොටසට හිමිවන්නේ නැහැ.

ගැටළුව විසඳිය හැක්කේ කෙසේද??

මේ ආකරයෙන් මුහුණ දෙන නිමක් නැති ගැටළු සහ නිරතුරුවම අනෙක් බහුතර ජන කොටස්, හමුදාව සහ පොලිසිය සමඟ ඇතිවන ගැටුම්, ඝාතනයන්, ස්ත්‍රී දූෂණ ආදී සිදුවීම් නිසා රොහින්ජා ජනයා මේ වන විට පසුවන්නේ අන්ත දුක්ඛිත තත්වයක බව සහන සේවා කණ්ඩායම් සහ මානව හිමිකම් සංවිධාන පවසනවා.

මේ නිසාම කුඩා කණ්ඩායම් සෑදී අවි ගැනීමට එම ජනයාගෙන් ඇතැමුන් පෙළඹී සිටිනවා. පසුගියදා පොලිස් මුරපොලවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ද එවන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද්දක්.

මන්දපෝෂණය, කුසගින්න මෙන්ම විවිධාකාර සෞඛ්‍ය ගැටළු රාශියකට මුහුණ දී සිටින මොවුන්ගේ තත්ත්වය පිළිබඳ මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් සංවිධාන ද දැඩි කණස්සල්ල ප්‍රකාශ කර සිටිනවා.

එම සහන සේවා කණ්ඩායම් පවසන්නේ මෙම ගැටළුව විසඳීමට මියන්මාර රජයේ උනන්දුව අත්‍යාවශ්‍ය වුවත් රජය ඒ පිළිබඳ සැලකිල්ලක් නොදක්වන බවයි.

මෙහිදී වරක් නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලද මියන්මාර නායිකා අවුන් සාන් සුකීගේ ක්‍රියා කලාපය පිළිබඳවත් දැඩි විවේචනයන් එල්ල වනවා. ඇය විසින් රඛින් ප්‍රාන්තයේ සිදුවන සැබෑ සිදුවීම් හිතාමතාම ලොවට වසන් කරන බවයි එම විවේචනකරුවන් පවසන්නේ. ඇගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළ ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන කර්තෘ බොබී ඝෝෂ් 2017 ජූනි මස 13 වනදා පළ කළ ලිපියකින් කියා සිටියේ ඇගේ නොබෙල් සාම ත්‍යාගය අහෝසි කිරීමට පියවර ගත යුතු බවයි.

අවුන් සාන් සුකී (EPA)

රඛින් ප්‍රාන්තයේ සිදුවන්නේ ජන කොටසක් අතුගා දැමීමක් බව මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරන අතර 2017 මුලදී එක්සත් ජාතීන් ද ප්‍රකාශ කළේ රොහින්ජා වැසියන්ට මියන්මාරයේදී ඉතා කුරිරු ලෙස සළකන බවයි. කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන සුකී පවසා සිටියේ මියන්මාරය තුල වාර්ගික අර්බුදයක් නොමැති බවයි.

එමෙන්ම රොහින්ජා ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන් විසින් කැඳවන ලද සාකච්ඡාවලට සහභාගී වීමත් මියන්මාර රජය ප්‍රතික්ෂේප කළා.

මෙම ගැටළුව විසඳිය හැක්කේ මියන්මාර රජයට පමණක් බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. නමුත් ඒ සඳහා එම රජයට ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑමක් එල්ල කළ යුතු බව ඔවුන් පවසනවා.

Cover Image: දොලොස් හැවිරිදි ඔමා සලේමා සහ ඇගේ එක් හැවිරිදි සහෝදරයා වන අයුබ් ඛාන් මියන්මාරයේ සිත්වේ හි රොහින්ජා කඳවුරක​ (Tomas Munita / The New York Times)

Related Articles