Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චරිතයක් වෙනුවෙන් වැඩි ම කැප කිරීමක් කළ නළුවන් හය දෙනෙක්

මිනිසුන් තම ජීවිත කාලය පුරා ම විවිධ කැප කිරීම් සිදු කරනවා. ඒ කැප කිරීම් නිසා ලෝකයට විශිෂ්ට නිර්මාණ බිහි වන අවස්ථා ද තිබෙනවා. රංගන ශිල්පීන් කියන්නේත් එවැනි කැප කිරීම් හරහා ලෝකයට විශිෂ්ට නිර්මාණ නිතර ම පාහේ දායාද කරන වෘත්තිකයන් පිරිසක්.

රංගනය සැලකීමේ දී “Method Acting” සහ “Character Acting” යනුවෙන් ආකාර දෙකක් හමු වෙනවා. “Character Acting”වල දී රංගන ශිල්පීන් ශෛලිගත ප්‍රවේශයක් භාවිත කරන අතර, අදාළ මොහොතට පමණක් චරිතයට ආශක්ත වී රංගනයේ යෙදීම සිදු කරනවා. “Method Acting” යනු තරමක් සංකීර්ණ ක්‍රමවේදයක්. එහි දී රංගන ශිල්පීන් යථාර්තවාදය පදනම් කර ගනිමින් තම චරිතයට ප්‍රවේශ වන අතර, ඔවුන් වඩාත් තීව්‍ර ක්‍රම හරහා චරිතයට ගැළපෙන පරිදි මානසික සහ භෞතික වෙනස්කම් සිදු කරනවා.   

චරිතය නිවැරදි ව ප්‍රකාශ කිරීම සඳහා නිතර නිතර චරිතයට අදාළ හැඟීම් අධ්‍යයනය කිරීම සහ ඒ හැඟීම් තමා තුළ ප්‍රගුණ කිරීම, රඟ දැක්වීමට නියමිත චරිතයේ අත්‍යාවශ්‍ය භෞතික වෙනස්කම් සහ පුරුදු ඇත්නම් ඒවා තම ජීවිතය තුළ ගොඩනඟා ගැනීම, “Method Acting” තුළ සිදු වෙනවා. මෙය ඉතා දුෂ්කර කාර්යයක් වන අතර, ඇතැම් විට රංගන ශිල්පීන්ගේ ජීවිතය පවා අවදානමට ලක් වෙන්නට පුළුවන්. හොලිවුඩ් සිකමාව තුළ එවැනි අධික කැප කිරීමකින් කටයුතු කළ රංගන ශිල්පීන් සය දෙනකු ගැන තොරතුරු මෙම ලිපියෙන් ගෙන එනවා.

ඩැනියල් ඩේ ලුවිස්ගේ ලින්කන් නිරූපණය (වම) සහ සැබෑ ඒබ්‍රහම් ලින්කන් (දකුණ) – samyamondal.wordpress.com 

ලින්කන් වෙනුවෙන් ඩැනියල් ඩේ ලුවිස්

 සුප්‍රසිද්ධ අමෙරිකානු ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතය අළලා ස්ටීවන් ස්පීල්බර්ගේ අධ්‍යක්ෂණයෙන් එළි දැක්වුණු “Lincoln” චිත්‍රපටය මෑත කාලයේ බිහි වූ විශිෂ්ට සිනමා කෘතියක්. මෙහි ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතය වෙනුවෙන් පෙනී සිටියේ ඩැනියල් ඩේ ලුවිස් නමැති ප්‍රවීණ රංගධරයා යි. සැබෑ ලෙසට ම ජීවත් වූ ප්‍රසිද්ධ පෞරුෂයක් නිසා ම ලින්කන්ගේ චරිතය රඟ දැක්වීම සැබෑ අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඩැනියල් ඩේ ලුවිස්, ඒ වෙනුවෙන් කැප කිරීම් රාශියක් සිදු කළා.

 චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර ඩැනියල් ඩේ ලුවිස්, ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතය කියවමින් සහ ඔහු ගැන සිතමින් වසරක කාලයක් ගත කළා. එම කාලය අතරතුර ඩැනියල් සමඟ කිසිදු සංවාදයක නොයෙදෙන ලෙස චිත්‍රපට කාර්ය මණ්ඩලයට උපදෙස් ලැබී තිබුණා. තඒබ්‍රහම් ලින්කන් අමෙරිකානු ජාතිකයකු නිසා අමෙරිකානු ක්‍රමයට ඉංග්‍රීසි උච්චාරණයත් චිත්‍රපටයට ඉතා වැදගත් වුණා. මේ නිසා ඩැනියල් සමඟ බ්‍රිතාන්‍ය ක්‍රමයට කතා බස් නොකරන ලෙස උපදෙස් ලබා දී තිබුණා. 

ඩැනියල් ඩේ ලුවිස් – oscars.fandom.com 

චිත්‍රපටයේ ඒබ්‍රහම් ලින්කන්ගේ පුත්‍රයකු ලෙස රංගනයේ යෙදෙන ජෝසප් ගෝර්ඩන්-ලිවිට් වරෙක අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා. සාදයක් අතරතුර ඩැනියෙල් ඩේ ලුවිස් පැමිණ ඔහුට ආචාර කළ අතර, සැබැවින් ම ඔහු ඒබ්‍රහම් ලින්කන් ආකාරයෙන් ම තමාට දැනුණු බව ජෝසප් ගෝර්ඩන්-ලෙවිට් පවසා තිබෙනවා. ජනාධිපතිවරයාට ආමන්ත්‍රණය කරන අයුරින් සාදය අතරතුර “මහත්මයා” යනුවෙන් ඩැනියෙල් ඩේ ලුවිස් ඇමතීමට පවා ගෝර්ඩන්-ලෙවිට් ප්‍රවේශම් වී තිබෙනවා. ඩැනියෙල් ඒ තරමට ම ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතයට ආශක්ත වී තිබුණා.  

ක්‍රිස්ටියන් බේල් – www.denofgeek.com 

 The Machinist” වෙනුවෙන් ක්‍රිස්ටියන් බේල්

 “The Machinist” චිත්‍රපටය වෙනුවෙන් ක්‍රිස්ටියන් බේල් සිදු කළ ශරීර පරිවර්තනය අදටත් ලෝක සිනමාවේ අරුමයක් ලෙස සැලකෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇන්ඩර්සන්, අදාළ චරිතය වෙනුවෙන් ශරීර බර අඩු කර ගන්නා ලෙස ඉල්ලූ විට ඉතා දුෂ්කර දින චර්යාවක් අනුගමනය කිරීමට ක්‍රිස්ටියන් බේල් තීරණය කළා.

ඔහු මාස හතරක් පුරා ජලය, කෝපි සහ දිනකට එක් ඇපල් ගෙඩියක් වශයෙන් දැඩි ලෙස සීමා කළ ආහාර වේලකට පුරුදු වුණා.

“The Machinist” වෙනුවෙන් ක්‍රිස්ටියන් බේල් විශාල කැප කිරීමක් සිදු කළා

අවසානයේ දී සිය ශරීර බර රාත්තල් 65 කින් පමණ අවම කර ගැනීමට ක්‍රිස්ටියන් බේල් සමත් වූ අතර, ඔහු හොඳින් දන්නා කෙනකුට පවා එකවර හඳුනා ගත නොහැකි තරමට කෙසඟ ශරීරයක් ඇති තැනැත්තකු බවට පත් වුණා. කෑමට පමණට වඩා ඇබ්බැහි වීමේ අවදානම නිසා අදාළ කාලය තුළ සමාජගත වීම පවා බේල් ප්‍රතික්ෂේප කළා. තවදුරටත් ශරීර බර අඩු කර ගැනීමට ඔහු උනන්දු වුවත්, නිෂ්පාදකයන් එයට කැමති වුණේ නැහැ. 

දියවැඩියාවට අත වැනූ ටොම් හැන්ක්ස්

ටොම් හැන්ක්ස් කියන්නේ ලැබෙන චරිතයට උපරි ම සාධාරණයක් ඉෂ්ඨ කරන පරිණත ම රංගන ශිල්පියෙක්. 1993 දී නිකුත් වූ “Philadelphia” චිත්‍රපටය වෙනුවෙන් ඔහුට ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින පුද්ගලයකු ලෙස චරිත නිරූපණය කිරීමට සිදු වූ අතර, රාත්තල් 25 කින් ශරීර බර අඩු කර ගැනීමටත් සිදු වුණා. කෙසේ නමුත්, ටොම් හැන්ක්ස්ගේ කැප කිරීම් අපතේ ගියේ නැහැ. “Philadelphia” චිත්‍රපටයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඔහුට හොඳ ම නළුවාට හිමි ඇකඩමි සම්මානය පවා හිමි වුණා.

ටොම් හැන්ක්ස්, “Philadephia” චිත්‍රපටයේ දී – www.mentalfloss.com 

2000 වසරේ දී නිකුත් වූ “Cast Away” චිත්‍රපටය වෙනුවෙන් ටොම් හැන්ක්ස් නැවතත් විශ්මිත කැප කිරීමක් සිදු කළා. චිත්‍රපටයේ සංකීර්ණ භාව ප්‍රකාශනයට අමතර ව ශරීරයෙන් රාත්තල් 55 ක බරක් අහිමි කර ගැනීමටත් ඔහුට සිදු වුණා. “Cast Away” හි විශිෂ්ට රංගනය වෙනුවෙන් ඔහු නැවතත් ඇකඩමි සම්මාන උළෙලේ හොඳඩම නළුවාට හිමි සම්මානයට නිර්දේශ වුවත්, එය දිනා ගැනීමට හැකි වුණේ නැහැ.

නමුත්, ඔහුගේ චරිත නිරූපණය විචාරක පැසසුමට ලක් වුණා. මූල්‍යමය වශයෙන් ද චිත්‍රපටය අති සාර්ථක වූ නිසා සම්මානයට වඩා වැඩි යමක් “Cast Away” හරහා දිනා ගැනීමට ටොම් හැන්ක්ස් සමත් වුණා.

 2013 දී ටොම් හැන්ක්ස් අනපේක්ෂිත ලෙස දියවැඩියාවට ගොදුරු වුණා. සාමාන්‍යයෙන් වැරදි ආහාර රටා, තරබාරුකම සමඟ දියවැඩියාව බැඳී තිබුණත්, තමාගේ තත්ත්වය තරමක් වෙනස් බව ටොම් හැන්ක්ස් සඳහන් කොට තිබෙනවා.

“Cast Away” චිත්‍රපටයේ එන දර්ශනයක් – www.bbc.com 

විශේෂයෙන් ම “Philadelphia” සහ “Cast away” සඳහා ඔහු අනුගමනය කළ “yo-yo” නමැති ආහාර පාලන ක්‍රමවේදය, වසර ගණනාවකට පසු වැලඳුණු දියවැඩියාවේ හේතු සාධකය බව ටොම් හැන්ක්ස් සැක කරනවා. “yo-yo” ආහාර පාලනය යනු ශරීර බර අඩු කිරීමේ ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමෙන් පසු නැවත ශරීර බර ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය යි.

මෙය රටාවක් ලෙස අනුගමනය කළ හැකි වුවත්, සෞඛ්‍ය අවදානම ඉතා ඉහළ බව පැවසෙනවා. ටොම් හැන්ක්ස්ගේ මතයට අනුව කටුක ශරීර පරිවර්තන නිසා ඔහුගේ පරිවෘත්තීය ක්‍රියා අස්ථාවර වූ අතර, එය දිගු කාලීන සෞඛ්‍ය ගැටලුවලට අත වැනීමක් බඳු වුණා.

ගැරී ඕල්ඩ්මන්ගේ නිකොටීන් විෂ වීම

 ගැරී ඕල්ඩ්මන්ට හොඳ ම නළුවා වෙනුවෙන් ඇකඩමි සම්මානය පවා හිමිකර දුන් “Darkest Hour” චිත්‍රපටය ඔහුගේ රංගන දිවියේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි යි. එක්සත් රාජධානියේ අගමැති ධූරය හෙබ වූ වින්ස්ටන් චර්චිල්ගේ චරිතය “Darkest Hour” සඳහා පාදක වීම ඊට හේතුව යි. මේ බැරෑරුම් රංගන කර්තව්‍යය වෙනුවෙන් ගැරී ඉමහත් කැප කිරීමක් සිදු කළ බව සඳහන්. එහිදී ඔහු අත්විඳි නිකොටීන් විෂ වීමේ සිදුවීම වඩාත් කැපී පෙනෙනවා.

ගැරී ඕල්ඩ්මන් සහ “The Darkest Hour” වෙනුවෙන් ඔහු සිදු කළ චරිත නිරූපණය – www.vanityfair.com

වින්ස්ටන් චර්චිල්, එක්තරා සුරුට්ටු වර්ගයක් නිතර භාවිත කිරීමට පුරුදු ව සිටියා. චරිතයට අනුගත වීමේ දැඩි උනන්දුව නිසා ම අදාළ සුරුට්ටු වර්ගය සත්‍ය ලෙසට ම භාවිත කිරීමට ගැරී ඕල්ඩ්මන් තීරණය කළා. දිනකට සුරුට්ටු දොළහක් පමණ පානය කරමින් රංගනයේ නියුතු වූ ගැරී, අවසානයේ දී නිකොටීන් විෂ වීමකට ලක් වුණා. ඔහු පානය කළ සුරුට්ටු වල මුළු වටිනාකමත් ඩොලර් විසි දහසක් පමණ වෙනවා!

චිත්‍රපටය උදෙසා කෘත්‍රිම සුරුට්ටු පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව තිබුණත්, ස්වභාවයෙන්ම විඳිය යුතු තැන විඳීමට පුරුදු වී සිටි පුද්ගලයකු ලෙස සෞඛ්‍ය අවදානම නොතකා චරිතයේ යථාර්තය වෙනුවෙන් පෙනී සිටීමට ගැරී ඕල්ඩ්මන් තීරණය කළා. සැබෑ සුරුට්ටුවේ සහ ව්‍යාජ සුරුට්ටුවේ වෙනස ගැන ප්‍රේක්ෂකයන් නොදැන සිටියත්, ඒ කුඩා අවස්ථාව පවා අතිශය බැරෑරුම් කර්තව්‍යයක් ලෙස සැලකීමට තරම් ගැරී ඕල්ඩ්මන් ප්‍රවේශම් සහගත වුණා. අවසානයේ දී ඔහුගේ කැපවීම වෛද්‍ය උපදෙස් පැතීමට තරම් දුරදිග ගියා.

චිත්‍රපටය වෙනුවෙන් දැඩි ශාරීරික වෙහෙසක් දැරීමට ඩිකැප්‍රියෝට සිදු වුණා – theconversation.com 

අමු මාංශ අනුභව කළ ඩිකැප්‍රියෝ

ලියනාඩෝ ඩිකැප්‍රියෝ යනු හොලිවුඩයේ සිටින තවත් අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ නිර්මාණයක් එනතුරු පෙරමඟ බලා සිටින රසික පදනම ඉතා ශක්තිමත්. අභියෝග භාර ගනිමින් බැරෑරුම් චරිත නිරූපණ රැසක් ඩිකැප්‍රියෝ සිදුකර තිබුණත්, “The Revenant” චිත්‍රපටයේ දී ඔහුට අලුත් අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වුණා. චිත්‍රපටයෙන් පවසන කතාව සහ රූගත කරන පරිසරය ඉතාමත් කර්කශ වීම ඊට හේතුව යි.

හිම කාන්තාර බඳු කැනඩාවේ උතුරු ප්‍රදේශය සහ ආජන්ටිනාවේ පැටගෝනියා ප්‍රදේශය “The Revenant” හි රූගත කිරීම් සඳහා යොදා ගෙන තිබුණා. ඉතා ආන්තික පරිසරයක බොහෝ කාලයක් සිටිමින් රංගනයේ නිරත වීම පහසු කාර්යයක් නොවෙ යි. ශරීරයේ වැඩි ප්‍රමාණයක් නිරාවරණය වී තිබිය දී හිම මත ගමන් කිරීමට සිදු වීම, අධික ශීතලේ බොහෝ වේලාවක් නිසොල්මනේ සිටීමට සිදු වීම, මිදෙන උෂ්ණත්වයේ පවා ඝන ලොම් ආවරණ පමණක් පැළඳ ගෙන හිම කඳු තරණය කිරීම, ශීත ගංඟා වල පිහිනීම, වැනි ක්‍රියාකාරකම් රැසක ඩිකැප්‍රියෝට නිරත වෙන්න සිදු වුණා. මේ නිසා කිහිප වතාක් ම ඩිකැප්‍රියෝ හයිපොතර්මියාවට ගොදුරු වුණා.

“The Revenant” සම්බන්ධයෙන් වඩාත් අවධානයට ලක් වූ කරුණක් වන්නේ අමු මාංශ අනුභව කිරීමේ සිදුවීම යි. චිත්‍රපටයේ එක් තැනක ලියනාඩෝ ඩිකැප්‍රියෝ, බයිසන් සතකුගේ අමු අක්මා කොටසක් සත්‍ය වශයෙන්ම අනුභව කළ බව කියවෙනවා. චිත්‍රපටය ඔබ දැනටමත් නරඹා ඇත්නම්, දර්ශන කාලය පුරාවට ම තාත්වික රංගනයක් වෙනුවෙන් ලියනාඩෝ ඩිකැප්‍රියෝ ගන්නා වෙහෙස ගැන යම් අත්දැකීමක් ඇති. එතරම්ම විශිෂ්ට රංගනයක ඔහු නිරත වෙනවා.

සදා අමරණීය “ජෝකර්” චරිතය

ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂණය කළ බැට්මෑන් චිත්‍රපට මාලාවේ “ජෝකර්” චරිතය වෙනුවෙන් හීත් ලෙජර් කළ කැප කිරීම් අදටත් සිනමා ලෝකය සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙන්. පසු කාලීන ව “ජෝකර්” නමැති චරිතය විශිෂ්ට අන්දමින් ඉදිරිපත් කිරීමට ඇතැම් නළුවන් සමත් වුණත්, “ජෝකර්” චරිතය හීත් ලෙජර්ට ම උරුම වූ චරිතයක් ලෙස පවතිනවා.

 “ජෝකර්” නමැති චරිතය බොහොම සුවිශේෂී මානසික ව්‍යාධික ස්වභාවයකින් යුතු  දුෂ්ඨයකු ලෙස නිරූපණය වෙනවා. මේ හේතුව නිසා ම “ජෝකර්” චරිතය රඟ දැක්වීම පහසු නැහැ. චරිතයට පෙර සූදානමක් ලෙස මනස සමඟ ස්වයං ගනුදෙනුවක යෙදීමට හීත් ලෙජර් තීරණය කළේ ඒ නිසා යි.

 ලන්ඩනයේ එක්තරා හෝටල් කාමරයක මාස කිහිපයක් හුදෙකලා වූ හීත් ලෙජර්, ජෝකර්ගේ සිනහව සහ විවිධ කටහඬවල් අත්හදා බැලීම සිදු කළා. එමෙන්ම, ඔහු තමා සමඟ ම සංවාදයේ යෙදෙමින් වෙනස් ම මානසික තත්ත්වයක් තුළට ඇතුළු වීමට උත්සහ කළ බවත් පැවසෙනවා. මෙම කාලය අතරතුර ඔහු නින්ද වෙනුවෙන් ගත කළේ අවම පැය ගණනක් පමණ යි.  

හීත් ලෙජර් යනු තරමක් ගැඹුරු කටහඬක් සහිත පුද්ගලයෙක්. නමුත්, ජෝකර් චරිතය උදෙසා ඉතා අස්වාභාවික කටහඬක් ප්‍රගුණ කිරීමට ඔහු සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මුඛය නිතර වියළීමකට ලක් වූ අතර, දෙතොල් තෙත් කර තබා ගැනීම සඳහා දෙබස් පවසන අතරතුර නිතරම තොල් ලෙවකෑමක් සිදු කළා. එම ක්‍රියාව නිසා චරිතයේ දුෂ්ඨ ස්වභාවය තවත් තීව්‍ර වුණා.

“ජෝකර්” චරිත කොතෙක් බිහි වුණත්, හීත් ලෙජර්ගේ “ජෝකර්” චරිතය සදා අමරණීය යි – www.youtube.com 

හීත් ගේ මරණයට “ජෝකර්” හේතුවක් ද?

සටන් ජවනිකා රූගත කිරීමේ දී බැට්මෑන්ගේ චරිතය නිරූපණය කළ ක්‍රිස්ටියන් බේල් එල්ල කරන ප්‍රහාර සැබෑ ලෙසට ම සිදු කරන ලෙස හීත් ලෙජර් ඔහුගෙන් ඉල්ලා තිබුණා. නමුත්, ක්‍රිස්ටියන් බේල් එම යෝජනාවට කැමති වුණේ නැහැ. ඊට පිළියමක් ලෙස වේදනාව සැබෑ අයුරින් දැනෙන පරිදි අවට බිත්ති මත උවමනාවෙන්ම ගැටෙන්නට හීත් ලෙජර් කටයුතු කළා.

මේ සියලු කැප කිරීම් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වුණත්, එයින් හීත් ලෙජර්ට ලැබුණේ අනිසි ප්‍රතිඵල පමණ යි. වසර ගණනාවක් ඔහු නින්ද නොයෑමේ රෝගයකින් පෙළුණු අතර, “The Dark Knight” චිත්‍රපටයේ “ජෝකර්” චරිතය වෙනුවෙන් කළ කැප කිරීම් නිසා රෝගය වඩාත් නරක අතට හැරුණා. එයින් ශාරීරිකව මෙන් ම, මානසිකවත් ඔහුට අත් වූ හානිය විශාල යි.

චිත්‍රපටය නිකුත් වීමටත් පෙර නියම කළ ඖෂධ මාත්‍රාවක් අනිසි ලෙස භාවිත කිරීම නිසා හීත් ලෙජර් මරණයට පත් වුණා. ජෝකර් චරිතයෙන් ගොඩ නැගුණු චිත්ත පීඩනය සහ ශාරීරික වෙහෙස ඔහුගේ ඉරණමට යම් ආකාරයකින් බලපෑ බව ඇතැමුන් විශ්වාස කරනවා.

ලෝක සිනමාව තුළ මෙවැනි කැප කිරීම් තවත් රාශියක් තිබෙනවා. ලිපි‍යේ දී මූලික අවධානය යොමු කළේ හොලිවුඩ් නළුවන් කිහිප දෙනකු කෙරෙහි පමණ යි. අපගේ දේශීය සිනමාව තුළත් මෙවැනි කැප කිරීම් රාශියක් සිදු කළ ප්‍රවීණ රංගධරයන් සිටිනවා. ඔබත් මේ පිළිබඳ ව දන්නා යමක් තිබේ නම් අපත් සමඟ බෙදා හදා ගත හැකි යි.

කවරයේ ඡායාරූපය: චිත්‍රපට තුනක දී ක්‍රිස්ටියන් බේල් සිදු කළ ශරීර විපර්යාසය - www.reddit.com

මූලාශ්‍ර:

whatculture.com

whatculture.com 

economictimes.indiatimes.com

actoncamera.com 

www.macleans.ca

www.mensxp.com

Related Articles