Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ නිවුන් සොහොයුරා: කෙනාවා දූපත

පෙනුමෙන් එක හා සමාන පුද්ගලයන් හත් දෙනකු මෙලොව සිටින බවට කියමනක්  ඔබ යම් දිනෙක අසා ඇතිවාට සැක නැත. එය සනාථ කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වන විද්‍යාත්මක පැතිකඩ කෙසේ වෙතත් බැලූ බැල්මට එක හා සමාන පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. කෙසේ වෙතත්, එක හා සමාන රටවල් තිබෙන බව ඔබ යම් දිනෙක අසා තිබේ ද?

මෙම ලිපිය බැලූ බැල්මට ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් සමාන ඉන්දුනීසියානු දූපත් සමූහයට අයත් සුන්දරත්වයෙන් පිරි දූපතක් වන ‘කෙනාවා දූපත’ පිළිබඳව යි.

කෙනාවා දූපත – www.commons.wikimedia.org

කෙළවරෙහි පිහිටි තරමක් විශාල කඳු ගැටයක් ද සහිත තෘණ භූමියක් වන කෙනාවා දූපත නැරඹීමට වාර්ෂික ව සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙයි. ඉතා සුන්දර වෙරළ තීරයකින් සමන්විත එය ඡායාරුප ශිල්පීන් ද නිතර යන එන තැනකි. ඊට අමතර ව කඳවුරු බඳින්නන් ද කෙනාවා දූපතේ රාත්‍රියක් ගත කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරති.

ඉන්දුනීසියානු දූපත් සමූහය

ඉන්දියානු සහ පැසිෆික් සාගරයට අයත් ඉන්දුනීසියාව දූපත් සමූහයක එකතුවකි. එය සුමාත්‍රා සහ ජාවා වැනි දූපත් 17,500කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. ඉන්දුනීසියාව ලොව විශාලත ම දූපත් රාජ්‍යය වන අතර භූමි ප්‍රමාණය අතින් ලොව 14 වැනි විශාලත ම රට වේ. ඉන්දුනීසියාවේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1,904,569ක් ලෙස ගණන් බලා තිබේ. මිලියන 270කට වැඩි ජනගහණයක් සිටින ඉන්දුනීසියාව ලොව ජනගහණය වැඩිම රටවල් අතර සිව්වැනි ස්ථානයේ පසු වේ. ඉන් හරි අඩක් පමණ ජාවා දූපතේ ජීවත් වේ.

ඉන්දුනීසියානු දූපත්/ www.bookmundi.com

කෙනාවා දූපතේ පිහිටීම

ඉන්දුනීසියානු දූපත් සමූහයට අයත් දූපත් 17,500කට වැඩි ප්‍රමාණයෙන් පහක් භූමි ප්‍රමාණයෙන් විශාල සහ ජනාවාස බහුල ප්‍රධාන දූපත් වේ. ඊට අමතරව භූමි ප්‍රමාණයෙන් කුඩා දූපත් රැසකින් සැදුම්ලත් තවත් දූපත් සමූහ 30ක් ද ඒ අතර වේ. ඉන්දුනීසියාවට අයත් මුළු දූපත් ප්‍රමාණයෙන් 6,000ක පමණ මිනිස් ජනාවාස දැකිය හැකි ය. ඒ අතරින් එක් දූපතක් වන ‘සුම්බාවා’ දූපතට වයඹ දෙසින්, ඇලස් සමුද්‍ර සන්ධියට යාබදව කෙනාවා දූපත පිහිටා තිබේ. ඒ අවට තවත් කුඩා ප්‍රමාණයේ දූපත් කිහිපයක් ද පිහිටා තිබේ.

භූමි ප්‍රමාණය සහ භූ විෂමතාව

හෙක්ටයාර 13.8ක වපසරියකින් යුතු කෙනාවා දූපත සම්පුර්ණයෙන් ම ජනාවාසවලින් තොර ය. එබැවින් එය කිසිදු කලබලකාරී ස්වභාවයකින් තොර දූපතක් වේ. ඉහළ අහසේ සිට බලන විට  මෙම දූපතේ හැඩය බොහෝ සෙයින් ශ්‍රී ලංකාවට සමාන වුවත් එය භූමි ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාවට වඩා කුඩා ය.

දූපත පුරා දැකිය හැකි තෘණ විශේෂය – www.barakata.id

කෙනාවා දූපතේ තැනින් තැන කුඩා කඳුගැට පිහිටා තිබෙන අතර දූපතේ කෙළවරට වන්නට තරමක විශාල කඳු මුදුනක් දැකිය හැකි ය. විශාල ප්‍රමාණයේ ගස් දැකිය හැක්කේ දූපත වටා ප්‍රදේශයේ පමණි. ඒ හැරුණු විට මුළු දූපත ම වසාගෙන ඇත්තේ තරමක් උසට වැඩුණු තෘණ විශේෂයකිනි. දූපත දෙසට ගලා එන මුහුදු රළ සහ ඒ වටා ඇති සුන්දර වෙරළ තීරය එහි ඇති සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.

සංචාරක කර්මාන්තය

කෙනාවා දූපත නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් දේශීය සංචාරකයන් වේ. බෝට්ටු සේවා මගින් දූපතට බොහෝ විට  පැමිණෙන සංචාරකයන්ට බෝට්ටු නවත්වන ස්ථානයේ සිට දූපතට පැමිණීම සඳහා දැවයෙන් සකස් කළ පාලමක් සකසා තිබේ.

බෝට්ටු නවත්වන ස්ථානයේ සිට දූපතට යාමට ඉදි කර ඇති පාලම – www.baliombokadventure.com

කිසිදු බාධාවකින් තොරව මෙහි සෑම අස්සක් මුල්ලක් ම දැක බලා ගැනීමට හැකි බැවින් බොහෝ දෙනකු මෙම දූපතට පැමිණෙන්නේ එහි ඡායාරූප ලබා ගැනීමේ අරමුණෙනි. උසට වැඩුණු තෘණ පඳුරු, කුඩා කඳුගැට, මනරම් වෙරළ තීරය සහ දූපත වටා ඇති මුහුදු තීරය එහි පැමිණෙන සංචාරකයන් බොහෝ දෙනකුගේ නෙත්සිත් ඇද බැඳ ගනී.

මුහුදු තීරය – www.idetrips.com

දූපතට ළඟා වන අයුරු

ඉන්දුනීසියාවේ ‘West Nusa’ පළාතේ ප්‍රධාන නගරයේ සිට කුලී රථයකින් හෝ පොදු ප්‍රවාහන සේවා මගින් කෙනාවා දූපතට ආසන්නත ම දූපතක් වන ‘සුම්බාවා’ දූපතේ පිහිටා ඇති ‘පොටෝ ටනෝ’ නම් වරායට ළඟා විය හැකි ය. ඒ සඳහා පැය දෙකකට ආසන්න කාලයක් ගත වේ. එම වරායේ සිට කෙනාවා දූපත දක්වා කුලී බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වේ. වරායේ සිට කෙනාවා දූපතට ළඟා වීමට විනාඩි 15ක කාලයක් ගත වේ.

ඊට අමතර ව එම ප්‍රදේශයේ ජීවත් වන ධීවරයෝ ද කෙනාවා දූපත නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට බෝට්ටු සේවා සපයති. ඔවුන්ගේ බෝට්ටු කුලී පදනම මත ලබාගෙන දූපතට ළඟා විය හැකි ය. කෙසේ වෙතත් දූපතට ළඟා වීමට එවැනි ධීවර බෝට්ටුවක් ලබා ගන්නේ නම් ගොඩබිමට ආපසු යාමට බලාපොරොත්තු වන දිනය සහ වෙලාව එම බෝට්ටු හිමියන්ට නිවැරදි ව දැනුම් දිය යුතු ය.

දූපතට බෝට්ටු සේවා සපයන්නන් – www.travel.detik.com

දූපතට පැමිණෙන පුද්ගලයන් ජලය, ආහාර, ඖෂධ වර්ග සහ අනිකුත් සියලු ම අවශ්‍ය දෑ රැගෙන පැමිණිය යුතු ය. ඊට හේතුව කෙනාවා දූපතේ කිසිදු ස්ථානයක එවැනි දේ මිල දී ගත හැකි ස්ථානයක් නොවීම ය.

සංචාරකයන් සඳහා වන නීති රීති

කෙනාවා දූපතට පැමිණෙන සංචාරකයන්ට අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීම සඳහා භාවිත කළ හැකි කුඩා ඉදිකිරීම් ගණනාවක් දූපත තුළ පිහිටා තිබේ. කෙසේ වෙතත් මෙහි පැමිණෙන බොහෝ සංචාරකයන්ගේ අරමුණ වෙරළට ආසන්න ස්ථානයක කූඩාරමක් ඉදි කර ඒ තුළ රාත්‍රිය ගත කිරීම යි. ඒ ආකාරයෙන් මෙම දූපතේ කඳවුරු බඳින්නන් සඳහා දූපතේ පරිපාලනය භාර ව කටයුතු කරන ආයතන නීති රීති ගණනාවක් පනවා තිබේ.

කූඩාරමක්/ www.barakata.id

කෙනාවා දූපත පුරා වැවී ඇති තෘණ පඳුරු වියළි කාලයේ දී දැඩි ලෙස වියැළී යන බැවින් ඒ කාලය තුළ දූපතේ කිසිදු ස්ථානයක ගිනි ඇවිළවීම තහනම් ය. ඊට අමතර ව දූපත හරහා වරින් වර තද සුළං හමා යන බැවින් සුළඟට ඔරොත්තු දෙන ආකාරයේ කූඩාරම් ඉදි කළ යුතු ය. කැලිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ද කෙනාවා දූපතට පැමිණෙන සංචාරකයන් වෙත පරිපාලන ආයතන දැඩි රෙගුලාසි පනවා තිබේ.

වියළී ඇති තෘණ පඳුරු – www.merdeka.com

මෙම දූපතට පැමිණෙන සංචාරකයන් එම නීති රීති අකුරට ම පිළිපදිමින් කටයුතු කිරීම නිසා දූපතේ සුන්දරත්වයට කිසිදු හානියක් වීමට නොදී එය පවත්වාගෙන යාමට එරට බලධාරීන්ට හැකි වී තිබේ.

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් සමාන කෙනාවා දූපත - www.travel.detik.com

මූලාශ්‍ර :

www.travelingyuk.com

www.perabeats.lk

www.sumbawa.indonesia_tourism.com

Related Articles