Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘ සුරතලී’: දිය ඇල්ලකට නම දුන් සිංහල චිත්‍රපටය

සිනමා හෝ ටෙලි නාට්‍ය නිර්මාණයකට ඇල්ලක, ගංගාවක නැත්නම් කඳු වැටියක නමක් යෙදීම අසාමාන්‍ය නොවේ. එහෙත් කලා නිර්මාණයකට භාවිත කළ නමක් සොබාදහමේ නිමැයුමකට භාවිත කිරීම නම් අතිශයින් ම දුර්ලභ සිදුවීමකි. කොළඹ – බදුල්ල මහා මාර්ගයේ හල්පේ ප්‍රදේශය ආසන්න ව පිහිටි ‘ සුරතලී ‘ ඇල්ලට ඒ නම දායාද වූයේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පනහ දශකයේ රූ ගත වුණු ‘ සුරතලී’ නම් චිත්‍රපටයක් නිසා ය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පොදු ජනතාව අතර වඩාත් ම ජනප්‍රිය ගායකයා වන එච්.ආර් ජෝතිපාල චිත්‍රපට ගායනයට පිවිසෙන්නේ ද එම චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනා කරමිනි.

සුරතලී ඇල්ල
සුරතලී ඇල්ල – sab.ac.lk

 

රුසිරු කොමල දියඇලි

ගිරිහෙල් හා කඳු අතරින්, කඩා හැලෙනා දිය ඇල්ල සිතට නෙතට ගතට ලබා දෙන මිහිර, රසස්වාදය හා චමත්කාරය වදන් වැලකින් චිත්‍රණය කිරීම අසීරු ය. ඒ සමීපයට ම ගොස් සොබා දහමේ අසිරිය, ආශ්චර්යය, වින්දනය කළ යුතු ම ය. ශ්‍රීලංකාවට ද, මෙවන් දිය ඇලි 380 පමණ සොබා දහම නොමසුරුව දායාද කර ඇත.

මෙරට දිය ඇලි අතරින් බහුතරයක් පිහිටා තිබෙන්නේ, රත්නපුරය,නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ය. මෙම දිය ඇලි සඳහා නම් ලැබීමේදී අපූර්ව, රසවත් කතන්දර ද පසුබිම් වී ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රීලංකාවේ දිය ඇලි අතරින් උසින් හතර වෙනි ස්ථානයේ තිබෙන මාපනාන දිය ඇල්ලට ඒ නම ලැබී තිබෙන්නේ අතීතයේ දී මාපා නම් ප්‍රභූවරයකු නිති පතා මෙම ඇල්ලෙන් දිය නෑම නිසා බව ඇතැම් ලේඛනවල සඳහන් ය.

සුරතලී ඇල්ල තවත් ඇසකින් – praja.lk

 

රත්නපුර දිස්ත්‍රික්කයේ, සමනළ කඳු වැටිය ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා ඇති උසින් මීටර 114 පමණ වන ලිහිණි හෙළ ඇල්ල අසල දී ‘ සිරි පතුල’ වන්දමාන කිරීමට යන බැතිමතුන් ‘ලිහිණි අක්කා’ කියමින් හඬ නැඟීම ද සුවිශේෂ වූවකි. මීටර 63 ක උසකින් යුක්ත වන දුන්හිඳ ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය පසුබිම් කරගෙන අශෝක හඳගම, ‘දුන්හිඳ අද්දර’ නමින් ටෙලි නිර්මාණයක් එණි දැක්වී ය. ඒ අනුව ඇල්ලේ නම ටෙලි නාට්‍යයට ලැබී ඇති බව පැහැදිලි ය.

සුරතලී ඇල්ලට නම දායාද කළ “සුරතලී” 

පනහ දශකයේ පමණ මෑත අතීතයේ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය පේන තෙක් මානයේ පිහිටි සොඳුරු දිය ඇල්ලක්, එක් ශ්‍රී ලාංකේය චිත්‍රපටයක පසුතල දර්ශන සඳහා යොදා ගැනිණි. මෙම චිත්‍රපටය නිර්මාණය කළ පනහේ දශකයේ මෙරට විධිමත් චිත්‍රාගාර පහසුකම් නොවී ය. එබැවින් මදුරාසියේ “වාහිනි” චිත්‍රාගාරය තුළ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුවිය. හින්දි සිනමාවේ සුපිරි තරුවක් ලෙස වැජඹුණු රාජ් කපූර්ගේ “බාර්සාන්” සිනමාපටය ආශ්‍රිත ව සිංහල සිනමාපටයේ තිරනාටකය, දෙබස් රචනය මෙන්ම සහය අධ්‍යක්ෂණයේ ද, වගකීම නිෂ්පාදකයා පැවරුවේ සිරිල් .පී අබේරත්නට ය. ඒ අනුව සුරතලී යනුවෙන් චිත්‍රපටය නම් කරනු ලබන්නේ අබේරත්න ය.
සුරතලී ඇල්ලට නම දායාද කළ එම චිත්‍රපටය “සුරතලී” ය.

චිත්‍රපටයේ දර්ශනයක්
රවීන්ද්‍ර රූපසේන (සුදත්) හා ඇල්.ඇම්.පෙරේරා (පොඩියන්) සුරතලී චිත්‍රපටයේ දර්ශනයක -www.films.lk

 

තරුණියන් ගේ දිය කෙළිය

සුරතලී චිත්‍රපටය ආරම්භ වන්නේ පිටිසර ගමක නව යොවුන් රූමත් යුවතියන් පිරිසක් කවට කෙළි කතා හා ඕපාදූප දොඩමින්, දිය කෙළිමින් දිය ඇල්ලක් පාමුල ස්නානය කරමින් සිටින දර්ශනයකිනි. පැරණි ඉන්දීය මියුරු ගීයක තනුවකට අනුව එකල ප්‍රසිද්ධ ගායිකාවක වන ස්වර්ණා අබේරත්න ගායනා කරන කන්කළු ගීයක් ඒ පසුබිමින් ඇසුණු අතර එයින් ජවනිකාව තවත් විචිත්‍රවත් කර තිබිණි.

තරුණියන් ගේ මේ දිය කෙළිය සිදුවෙමින් පැවතියදී දිය ඇල්ලට යාබද මාර්ගයේ මොරිස් මයිනර් වර්ගයේ මොටෝ රියකින් ගමන් ගන්නා කඩවසම් තරුණයන් දෙදෙනකු චිත්‍රණය වේ. ස්වල්ප මොහොතක් පවස නිවා ගනු රිසියෙන් සහ සුන්දර දිය ඇල්ලේ චමත්කාර සුවයෙන් සියොළඟ සන්තර්පනය කරගැනීමේ අභිලාෂයෙන්ද යුතු ව තරුණයන් දෙදෙනා මෝටර් රථයෙන් බැස සමීපයෙහි පිහිටි ගල් තලාවක් දෙසට පිවිසෙති.

ඒ සමඟම වාගේ එක් තරුණයෙක් වන සුසිල් (ආනන්ද ජයරත්න) ගේ උර හිස මත මඩ ගුලියක් පතිත වේ. දිය නෑමෙහි යෙදී සිටි තරුණියක, (සිරිමතී රසාදරී) තම යෙහෙළියකට දමා ගැසූ මඩ ගුලිය එලෙස ඉලක්කය වැරදී සුසිල්ගේ උරහිසේ වැදෙනු දුටු තරුණිය, මානෙල් තැති ගත්තා ය. එම මඩ ගුලිය සුසිල් – මානෙල් යුවළට නම් මල් හී සරයක් වූවා සේ ය. ඒ කාලයේ චිත්‍රපට කතාන්දර බහුතරයක මූලික බීජය වූයේ දුප්පත් පෝසත් ප්‍රේමය යි. වර්තමානයේ මෙන් දවස් පතා යාවත්කාලීන වන සන්නිවේදන යාන්ත්‍රණයක් තබා රූපවාහිනිය වත් එකල නොවී ය.

ආනන්ද ජයරත්න (සුසිල්) එල්.එම්.පෙරේරා (පොඩියන්) හා සුදත් (රවීන්ද්‍ර රූපසේන) සුරතලී චිත්‍රපටයේ –  www.lankadeepa.lk

 

වට්ටෝරු තිරනාටකය

ප්‍රාථමික තාක්ෂණයකින් යුතු ගුවන් විදුලි යන්ත්‍රයක් පවා භාවිත කළේ සීමිත පිරිසකි. එබැවින් එකල පොදු ජනතාවගේ ප්‍රධාන විනෝද මාධ්‍යය වූයේ සිනමා හලකට ගොස් චිත්‍රපටයක් නැරඹීම යි. ඉහත සඳහන් කළ නිර්මාණය සෙලෝලයිඩ් පටයේ සිත්තම් කිරීම සඳහා විවිධ ප්‍රයෝග සහ දහංගැට රාශියකින් සමන්විත වට්ටෝරුව තිරනාටකය යනුවෙන් හඳුන්වයි. සින්දු දුසිමක් හමාරක්, විකට ජවනිකා, සටන් ජවනිකා, නැටුම් වැනි අංග උපාංග මෙම වට්ටෝරුවට අඩංගු ය. ඇතැම් විචාරකයන් ඒ වට්ටෝරුව හැඳින්වූයේ ‘ සාම්බාරුව’ වශයෙනි.

කෙසේ හෝ සුසිල් හා මානෙල් පෙම්වතුන් බවට පත් වූ අතර සුසිල්ගේ මිත්‍රයා වූ සුදත් (රවින්ද්‍ර රූපසේන) ගේද අනාගත සහකාරිය මේ පිටිසර ගමේදී ම හඳුනා ගන්නට ලැබේ. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය, සුරතලී ( ලීනාද සිල්වා) ය . සුදත් හා සුරතලීගේ ප්‍රේමයට ද බාධක, හිරිහැර අප්‍රමාණව සිදුවේ. මේ සෑම බාධකයක් ම අවසානයේ පෙම් යුවළ එක් කිරීම චිත්‍රපටකරුවා සිදු කළ යුතු වන්නේ ය.

සුරතලී හරහා පැමිණි ජෝති

‘සුරතලී” චිත්‍රපටය හරහා ආනන්ද ජයරත්න නම් වූ රංගන ශිල්පියා මෙන් ම එච්. ආර්. ජොතිපාල නම් අසාහය ගායකයා ද සිනමාවට හඳුන්වා දීම ද සුවිශේෂ සිදුවීමකි. ජෝතිපාල ගායන ශිල්පියා, ආනන්ද ජයරත්න වෙනුවෙන් ‘ සුරතලිය’ සඳහා ගැයූ සිය මුල් ම චිත්‍රපට ගීතය ‘ සිරියමෙ සාරා’ ගීතයේ ජනප්‍රියතාව දශක හයකටත් අධික කාලයක් තිස්සේ රැඳී පවතී.

එච්.අර් ජෝතිපාල
එච්.ආර් ජෝතිපාල -www.ft.lk/FT-Lite

ඉන්දීය ජාතික ටී.ආර් යාපා සුරතලී සිනමා පටයේ සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අතර, ගීත රචනා කළේ ඩබ්ලියු . විල්ෆ්රඩ් පෙරේරා ය. ධර්මදාස වල්පොල, රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න, සුරතලී චිත්‍රපටයේ අසංගු සෙසු ගීත එකොළහ ගැයූහ.චිත්‍රපටයේ අවසානයේ සුසිල් (ආනන්ද ජයරත්න) මානෙල් ට ව්‍යාජ ආදරයක් මවා පෙන්වා ඇය මුළා කර කොළඹට පලා යයි.

කොළඹ දී බටහිර පන්නයට හැඩ ගැහුණු තරුණියක සමඟ ( ප්‍රමිලා කුරුප්පු) සුසිල් හාද වේ. සුසිල් එන තුරු මාස ගණනක් පෙර මඟ බලා සිටින මානෙල්, නගරයේ තරුණියක හා හාද වී ඇති බව දැන ගෙන සංතාපයට පත් වේ. ඇල්ල අසලට වී විරහ ගීයක් ගයන මානෙල් ඇල්ලට පැන සිය දිවි හානි කර ගැනීමට තීරණය කරයි. එලෙස ඇය ඇල්ලට පනිනවාත් සමඟ ම සුසිල් පැමිණ ජලාශයට පැන ඇගේ දිවි ගලවා ගනී. අවසානයේදී සුරතලී – සුදත් යුවළ හා මානෙල් සුසිල් යුවළ ද මොටෝ රියක නැග මධුසමය සඳහා පිටත්ව යන සුඛාන්තයකින් ‘සුරතලී’ චිත්‍රපටය අවසන් වන්නේ ය.

 

චිත්‍රපටයේ පෙර පුහුණුවක්
සිරිමතී ,ආනන්ද,ලීනා,රවින්ද්‍ර සහ අධ්‍යශක අබේරත්න පෙර පුහුණුවක යෙදෙමින්-www.films.lk

 

සැබෑවක් වූ සිනමා කතාව

සුරතලී චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ රවින්ද්‍ර රූපසේන හා ලීනා ද සිල්වා සැලෝලයිඩ් පටය තුළ පමණක් නොව ඔවුන්ගේ සැබෑ ජීවිත යෙහි ද පෙම්වතුන් බවට පත් ව යුග දිවියට පිවිසීම ද, චිත්‍රපටය අත්පත් කර ගත් තවත් සුන්දර සිහිවටනයකි. සුරතලී චිත්‍රපටයේ අඩංගු වූ ලියතඹරා මුද්‍රා නාට්‍යයෙහි නැටුම් අධ්‍යක්ෂණය කළ ශේෂා පලිහක්කාර 1955 දී මාතලන් චිත්‍රපටයේ කළ ද්විත්ව රංගනය නිසා ජනප්‍රියත්වයට පත් ව සිටියේ ය.

1956 අප්‍රේල් 12 වැනි දා ලංකාවේ හතරවන අග්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකයන් ඉදිරියේ දිවුරුම් දී පදවි ප්‍රාප්ත වූ එස් .ඩබ්ලියු. ආර්. ඩී බණ්ඩාරනායක මහතා සහ එම මැතිනිය 1956 සැප්තැම්බර් 12 වැනි දා, කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා හලේ පැවති සුරතලී චිත්‍රපටයේ මංගල දර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වී ඇත.

එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක මහතා
එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක -www.ft.lk

 

සුරතලී ඇල්ල තවමත් එසේමයි 

1956 වසරේ තිරගත වූ සුරතලී චිත්‍රපටයට සම්බන්ධ වූ ශිල්පීන් බහුතරයක් මේවන විට ජීවිත සිනමාවෙන් සමුගෙන ය. චිත්‍රපටය හැඳල, විජය චිත්‍රාගාරයේ සංරක්ෂණය වෙමින් පැවති අතර 1983 කළු ජූලිය නිසා චිත්‍රාගාරය ගිනි තබා විනාශ කළ අතර ‘සුරතලිය’ ද ඒ සමඟින් විනාශ විය. ඒ කෙසේ වුවද සුරතලී චිත්‍රපටය ආභාසයෙන් එම නම ලද ‘සුරතලී ඇල්ල’ නම් තවත් බොහෝ කාලයක් ඒ නමේ කීර්තිය ද රැක ගනිමින් ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් රසවතුන්ගේ පවස නිවමින් ගලා හැලෙන බවනම් පැහැදිලි ය.

කවරයේ ජායාරූපය - සුරතලී ඇල්ලේ දසුනක් -tripadvisor.co.uk

මූලාශ්‍ර : 

තරුණයා- 2009.5.14 

amazinglanka.com

www.films.lk

ඉරිදා ලංකාදිප - 2018.11.8 

Related Articles