Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාවෙන් වැඩියෙන්ම බැටකන්නේ ඇමරිකාව ද?

කොරෝනා වසංගතය නිසා මේ වන විට රටවල් රැසක ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. එහි දී ඇමරිකාවෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය සහ වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වන විට, යුරෝපය ද කොරෝනාවෙන් බැටකමින් සිටිනවා. කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය සහ කොරෝනා මරණ ප්‍රමාණය යන ඉලක්කම් අතින් ගත් කල ඇමරිකාව ඉදිරියෙන් සිටියත් ඇත්තටම ඇමරිකාව කොරෝනා වසංගතයෙන් වැඩියෙන්ම බැට කන රට ද යන්න සොයා බැලිය යුතු කරුණක් වනවා. 

කොරෝනාවෙන් වුණු හානියට රටේ ජනගහනය සමග සැසඳීම 

මෙවැනි වසංගත අවස්ථාවක දී බොහෝ දෙනෙකු වසංගතයෙන් එක් එක් රටට වුණු බලපෑම ගැන කතා කිරීමට වසංගතය නිසා එම රටේ මියගිය රෝගීන් ගණනත් වාර්තා වුණු ආසාදිතයින් ප්‍රමාණයත් ගෙනහැර දක්වනවා. නමුත් මෙවැනි අවස්ථාවක දී යම් රටකට වුණු හානිය ගණනය කිරීම සඳහා එම රටේ ජනගහනය නැමැති සාධකය පිළිබඳවත් සලකා බැලිය යුතු වනවා. ඒ අනුව අප මුලින්ම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මිලියනයකට වඩා වැඩි ජනගහනයක් සිටින රටවල් අතුරින් දරුණුම ලෙසින් කොරෝනාවට ගොදුරුව සිටින රටවල් පිළිබඳව යි.

ජනගහනය මිලියනයකට වැඩි රටවල් 

ලොව පුරා රටවල් 195ක් අතුරින් රටවල් 156ක පමණ මිලියනයකට වැඩි ජනගහනයක් සිටිනවා. එම රටවල් 156 පිළිබඳව සලකා බැලීමේ දී පහත රටවල් කිහිපය කොරෝනාවෙන් වැඩිම බැට කෑමකට ලක්ව තිබෙනවා.

ආසාදිතයන් ප්‍රමාණය අනුව

ජනගහනය මිලියනයකට වඩා වැඩි රටවල් පිළිබඳව සලකා බැලීමේ දී ජනගහනය අනුව වැඩිම ආසාදිතයින් පිරිසක් සිටින රට බවට පත්ව තිබෙන්නේ කටාර් රාජ්‍යය යි.  කටාර් රාජ්‍යයට අමතරව ස්පාඤ්ඤය, බෙල්ජියම, අයර්ලන්තය, සහ ඇමරිකාව යන රටවල් මෙම ලැයිස්තුවේ පෙරමුණේ පසුවනවා.

කටාර් රාජ්‍යය

කටාර් රාජ්‍යය තුළ වර්තමානය වන විට 2,881,053ක ජනගහනයක් ජීවත් වනවා. එම ජනගහනයෙන් 37,097 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වුණා. ඒ අනුව කටාර් රාජ්‍යයෙන් මිලියනයකට වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 13,503 ලෙසින් සටහන් වුණා. නමුත් කටාර් රාජ්‍යයෙන් වාර්තා වුණු මරණ ප්‍රමාණය 16ක් තරම් පහළ අගයක් ගැනීම සැනසිලිදායක කරුණක් වුණත් තවමත් රෝගීන් 30,481ක් ප්‍රතිකාර ලබාගැනීම අවදානම් සහගත තත්ත්වයක් වනවා. ඒ අනුව ඉදිරි දිනවල දී සුවය ලබන රෝගීන්ගේ ප්‍රමාණය අනුව කටාර් රාජ්‍යයේ කොරෝනා තත්ත්වය පිළිබඳව නිගමනයකට එළඹීමට හැකිවනු ඇති.

අයර්ලන්තය

යුරෝපා මහද්වීපයට අයත් රටක් වන අයර්ලන්තය ද සීඝ්‍රයෙන් කොරෝනාවට ගොදුරු වෙමින් සිටින රටක බවට පත්ව තිබෙනවා. 4,937,786ක් තරම් කුඩා ජනගහනයක් සිටින අයර්ලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 24,315ක් හමුවී තිබෙනවා. ඒ අනුව එරටින් මිලියනයකට වාර්තා වුණු කොරෝනා රෝගීන් ප්‍රමාණය 4,941ක් ලෙසින් සටහන් වනවා.

ස්පාඤ්ඤය

කොරෝනා වසංගතයේ බලපෑම දැඩි ලෙස දැනුණු රටවල් ගැන කතා කරන විට ස්පාඤ්ඤයේ නම ඉදිරියෙන්ම කියවුණා. 46,754,778ක ජනගහනයක් සිටින ස්පාඤ්ඤයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 232,555ක්. එහි දී ස්පාඤ්ඤයෙන් මිලියනයකට වාර්තා වුණු කොරෝනා රෝගීන් ප්‍රමාණය 4,935ක් ලෙසින් සටහන් වුණා.

බෙල්ජියම

යුරෝපා මහද්වීපයට අයත් රටක් වන බෙල්ජියමත් කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටිනවා. 11,589,623ක ජනගහනයක් ජීවත් වන බෙල්ජියමෙන් මේ වන විට කොරෝනා රෝගීන්  55,983ක් වැනි විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව බෙල්ජියමෙන් මිලියනයකට වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 4,858ක් බවට පත්ව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය

කොරෝනා වසංගතය ගැන කතා කරන විට බොහෝ දෙනෙකුගේ මතකයට එන රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. ඒ එරටින් හමු වුණු අධික කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය නිසා යි. නමුත් එම කොරෝනා ආසාදිතයින් 1,581,903 හමු වුණේ 331,002,651ක් තරම් අධික ජනගහනය අතුරින් නිසා ඇමරිකාවෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා රෝගීන් ප්‍රමාණය සටහන් වන්නේ 4,800ක් ලෙස යි.

කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය වැඩි වුණු ආකාරය (worldometer)

මරණ ප්‍රමාණය අනුව

ජනගහනය මිලියනයකට වඩා වැඩි රටවල් පිළිබඳව සලකා බැලීමේ දී ජනගහනය අනුව වැඩිම මරණ ප්‍රමාණයක් සිදු වුණු රට බවට පත්ව තිබෙන්නේ බෙල්ජියම යි. බෙල්ජියමට අමතරව ස්පාඤ්ඤය, ඉතාලිය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය යන රටවල් මෙම ලැයිස්තුවේ පෙරමුණේ පසුවනවා.

බෙල්ජියම

බෙල්ජියමේ ජනගහනය 11,589,623ක් බව ඉහත පරිච්ඡේදය තුළ දී සඳහන් කරනු ලැබුවා. එම ජනගහනයෙන් 9150ක ප්‍රමාණයක් කොරෝනා වසංගතය නිසා මරණයට පත් වුණා. ඒ අනුව බෙල්ජියමෙන් මිලියනයකට වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය 790ක් තරම් ඉහළ අගයක් වුණා.

ස්පාඤ්ඤය

බෙල්ජියම සේම කොරෝනාවෙන් බැටකන ස්පාඤ්ඤයේ සිටින 46,754,778ක ජනගහනය අතුරින් 27,888ක් කොරෝනාවට ගොදුරු වී මරු වැළඳගත්තා. එම මියගිය ප්‍රමාණය සහ රටේ සිටින සමස්ත ජනගහනය ගැන සලකා බැලීමේ දී මිලියනයකට වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය 596ක් ලෙසින් සටහන් වනවා.

ඉතාලිය

කොරෝනා වසංගත ගැන කතා කරන විට ඇමරිකාවට පෙර බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් රට බවට පත්ව තිබුණේ ඉතාලිය යි. ඒ කොරෝනා වසංගතය යුරෝපයට ඇතුළු වීමෙන් පසුව ඉතාලියෙන් වාර්තා වුණු අධික මරණ ප්‍රමාණය නිසා යි. 60,461,826ක් තරම් අධික ජනගහනයක් සිටින ඉතාලියෙන් කොරෝනා මරණ 32,330ක් වාර්තා වුණා. ඒ අනුව එරටින් මිලියනයකට වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය 535ක් බවට පත් වුණා.

එක්සත් රාජධානිය 

එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියට අයත් රටවල් වනවා. ඒ අනුව 67,886,011ක සමස්ත ජනගහනයක්  එක්සත් රාජධානිය තුළ සිටිනවා. මේ වන විට එක්සත් රාජධානියෙන් කොරෝනා මරණ 35,704ක් වාර්තා වී තිබෙන්නේ යුරෝපයෙන් ඉහළම මරණ ප්‍රමාණය සටහන් වුණු රට බවට පත්වෙමින්. එලෙස එක්සත් රාජධානිය තුළින් වාර්තා වුණු මරණ ප්‍රමාණය එරට ජනගහනය සමග සංසන්දනය කිරීමේ දී මිලියනයකට සිදු වුණු මරණ ප්‍රමාණය 526ක් බවට පත්ව තිබෙනවා.

ප්‍රංශය

වර්තමානය වන විට ප්‍රංශයේ 65,273,511ක ජනගහනයක් ජීවත් වනවා. ඒ අතුරින් 28,132 දෙනෙකු කොරෝනා වසංගතය නිසා මරණයට පත් වුණා. එලෙස සිදු වුණු මරණ ප්‍රමාණය එරට ජනගහනය සමග සංසන්දනය කිරීමේ දී මිලියනයකට ප්‍රංශ වැසියන් 431 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බෙල්ජියමේ කොරෝනා මරණ ප්‍රමාණය වැඩි වුණු අයුරු (Worldometer)

කොරෝනාවෙන් බැට කන කුඩා රටවල් 

ජනගහනය මිලියනයකට අඩු රටවල් 40කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතුරින් රටවල් 4ක් කොරෝනා වසංගතයට දරුණු ලෙස ගොදුරු වී සිටිනවා. එම රටවල් 4ම යුරෝපා මහද්වීපයට අයත් රටවල් වනවා.

සැන් මැරීනෝ

සැන් මැරීනෝ රාජ්‍යය තුළ සිටින්නේ 33,931ක් තරම් කුඩා ජනගහනයක්. ඒ අතුරින් 656 දෙනෙකු කොරෝනා රෝගයට ගොදුරු වන විට ඉන් 41ක් දෙනෙකු මරණයට පත් වුණා. එලෙස සැන් මැරීනෝ රාජ්‍යයෙන් වාර්තා වී ඇති කොරෝනා දත්ත අනුව එම රටෙහි කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් 1.97%ක් වැනි අගයක් වනවා. එය එම රටෙහි ජනගහනය මිලියනයක් වූයේ නම් රෝගීන් ගණන 19,338ක් වනවාට සමාන යි. 

එසේම එහි මරණ ප්‍රතිශතය වන 0.123%, ලොව ඉහළම කොරෝනාවෛරස මරණ ප්‍රතිශතය ද වනවා. එය මිලියනයකට මරණ 1,209ක් වැනියි. ඒ අනුව සැන් මැරීනෝ රාජ්‍යය දැඩි කොරෝනා අවධානමකට ලක්ව තිබෙනවා.

ඇන්ඩෝරා රාජ්‍යය

දකුණු යුරෝපයට අයත් රටක් වන ඇන්ඩෝරා රාජ්‍යය තුළ 77,265ක පමණ ජනගහනයක් ජීවත් වනවා. එම ජනගහනය අතුරින් 762ක් කොරෝනාවට ගොදුරු වන විට මරණ 51ක් වාර්තා වුණා. ඒ අනුව ඇන්ඩෝරාවේ රෝගී ප්‍රතිශතය 0.95%ක් වන අතර ජනගහනය මිලියනයක් සිටියා නම් වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය 9,864ක් වනු ඇති. එසේම එහි මිලියනයකට වාර්තා වන මරණ ප්‍රමාණය 660ක් වනු ඇති.

ලක්සම්බර්ග්

625,978ක ජනගහනයක් ජීවත් වන ලක්සම්බර්ග් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 3,971ක ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. එවිට එරටින් මිලියනයකට වාර්තා වනු ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 6,356ක් ලෙසින් සටහන් වනවා. නමුත් ලක්සම්බර්ග් රාජ්‍යයේ මරණ ප්‍රතිශතය ඉහළ මට්ටමක නොපැවතීම සැනසිලිදායක කරුණක්.

අයිස්ලන්තය

උතුරු යුරෝපයට අයත් රටක් වන අයිස්ලන්තයේ 341,243ක ජනගහනයක් ජීවත් වනවා. ඉන් 1,803 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට පත්ව තිබෙනවා. ඒ අනුව එරටින් මිලියනයකට වාර්තා වනු ඇති කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය 5,278ක් වනු ඇති.

කවරයේ ඡායාරූපය- hpnonline.com

මූලාශ්‍රයයන්- worldometer

සැලකිය යුතු යි- මෙම ලිපිය ලිවීම සඳහා භාවිතා කර තිබෙන්නේ මැයි 21 වන විට කොරෝනා වසංගතය පිළිබඳව නිකුත්ව තිබුණු දත්ත යි.

Related Articles