ඔබ ගන්නා ආහාරයේත් අපමිශ්‍රක අඩංගු ද?

ආහාර කියන්නේ මිනිසගේ මූලික අවශ්‍යතාවයක්. අපි ඒ මූලික අවශ්‍යතාවය නිසියාකාරව සපුරා ගන්නේ කෙසේ ද යන්න ගැන සැළකිලිමත්වීම වැදගත්. නමුත් පිරිසිදු, නැවුම්, සහ සෞඛ්‍යයට හිතකර ආහාර වේලක තිබෙන වැදගත්කමට වඩා, ආහාරයක් පිළියෙල කිරීම වෙනුවෙන් වැයවන කාලය ගැන වධ වෙන්න අද සමාජයට සිදුවෙලා. මේ හේතුවෙන් කෘතිම ආහාර, ක්ෂණික ආහාර, සහ එතරම් ගුණාත්මක අමුද්‍රව්‍ය නොයෙදූ පිසූ ආහාර මිළ දී ගැනීම අද අප අතර ප්‍රචලිත යි. අපි දෛනිකව පරිභෝජනය කරන ආහාරවල තිබෙන ගුණාත්මකභාවය ගැන තරමක ගැටලුවක් අද වන විට රට තුළ ඇති වෙලා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ, අප දැනුවත්ව හෝ නොදැනුවත්ව ආහාරවල තිබිය හැකි තවත් අහිතකර දෙයක් ගැන සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි “ආහාර අපමිශ්‍රක”.

ආහාර අපමිශ්‍රණය සමාජය තුළ මුල්බැස ඇති අන්දම පිළිබඳව ඇත්තේ අපැහැදිලි චිත්‍රයක්/ sundayguardianlive.com/

මොනවද මේ ආහාර අපමිශ්‍රක?

ආහාර ද්‍රව්‍යවලට ආගන්තුක ද්‍රව්‍යයන් එකතු කිරීමෙන් එම ආහාරයේ ගුණාත්මකභාවය අඩු කිරීම “ආහාර අපමිශ්‍රණය” වශයෙන් හඳුන්වනු ලබනවා. මෙසේ ආහාරවලට එකතු කරන ආගන්තුක ද්‍රව්‍ය “ආහාර අපමිශ්‍රක” වශයෙන් හඳුන්වනවා. කිරි නිෂ්පාදන, ධාන්‍ය වර්ග, මස්, එළවළු, පළතුරු, තෙල්, බීම වර්ග ඇතුළු අප එදිනෙදා භාවිතා කරන ආහාර වර්ග රාශියක මේ අපමිශ්‍රක අඩංගු වෙන්න පුළුවන්.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර අපමිශ්‍රණය වැඩි වශයෙන් දැකිය හැකියි. උදාහරණයක් ලෙස, කිරි ප්‍රමාණය වැඩි කිරීම සඳහා ජලය එකතු කිරීමේ ක්‍රියාවලිය ආහාර අපමිශ්‍රණය ලෙස හඳුන්වන්න පුළුවන්. එමෙන්ම කිරිවල ඝනත්වය නැවත යථා තත්ත්වයට ගෙන ඒම සඳහා පිෂ්ඨය එකතු කිරීමක් ද සිදු කරනු ලබනවා.

ආහාර අපමිශ්‍රණය සිදු කරන්නේ ඇයි?

ආහාර කර්මාන්තය තුළ අපමිශ්‍රණය සිදුවන්නේ මූල්‍යමය වාසි තකා බව පැහැදිලිවම පෙනී යන්නක්. නමුත් මේ වාණිජ අරමුණුවලට අමතරව, වෙනත් ආහාර නිෂ්පාදනයක් අනුකරණය කිරීමට යාමේ දීත් ආහාර අපමිශ්‍රක එකතු කිරීමට මිනිසුන් පෙළඹෙන්න පුළුවන්. තවත් විටෙක, නිසි ආහාර පරිභෝජනය පිළිබඳව දැනුවත්කමක් නොමැතිවීම නිසාත් මේ අපමිශ්‍රක ආහාරවලට එකතු කෙරෙනවා.

වේගයෙන් වර්ධනය වන ජනගහනයක් තිබීම තුළ මිනිස් අවශ්‍යතාවලට සරිලන සැපයුමක් ලබාදීම අද බොහෝ කර්මාන්තවලට ගැටලුවක් වෙලා. ආහාර නිෂ්පාදන කර්මාන්තවලට මේ ගැටලුව තදින්ම බලපානවා. එහිදී, අමුද්‍රව්‍යවල මිල හෝ අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුව මත ආහාර අපමිශ්‍රක එකතු කිරීමේ අවදානමක් තිබෙන්න පුළුවන්. අනෙක් අතට කුඩා ආයෝජනයකින් වැඩි ලාභ ලැබීමේ අරමුණත් මේ භයානක ක්‍රියාවලිය පිටුපස තිබෙනවා.

ආහාර අපමිශ්‍රකවලින් සුලභ ලෙස තත්ත්වය බාල කෙරෙන ද්‍රව්‍යයක් තමයි කුළුබඩු/twosleevers.com/

අපමිශ්‍රක ආහාරවලට එකතු කළ හැකි විවිධාකාර ක්‍රමයන් තිබෙනවා. පළතුරු වේගයෙන් ඉදවීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කිරීම, දිරාපත් වූ එළවළු සහ පළතුරු හොඳ තත්ත්වයේ පවතින එළවළු සහ පළතුරු සමග මිශ්‍ර කිරීම, පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ආහාරවලට හානිකර රසායනික වර්ණක එකතු කිරීම, මැටි, ගල්කැට, වැලි වැනි ආගන්තුක ද්‍රව්‍ය ධාන්‍ය සහ වෙනත් වියළි ආහාර සමග මිශ්‍ර කිරීමෙන් බර වැඩි කිරීම ඇතුළුව තවත් ක්‍රම රාශියක් තිබෙනවා.

ඉහළ සෞඛ්‍යමය අවදානමක්

අපමිශ්‍රක එකතු කළ ආහාරවලට, ආකාර කිහිපයකින් අපගේ සෞඛ්‍යයට බලපෑම් ඇති කළ හැකි යි. ඇතැම් විට මේ අපමිශ්‍රක මිනිසාට විෂ විය හැකි අතර, ආහාරයක් පරිභෝජනය කිරීමෙන් අප බලාපොරොත්තු වන පෝෂණමය ප්‍රතිලාභ ද මේවා නිසා අහිමි වෙනවා. දෛනිකව පරිභෝජනය කරන ප්‍රධාන ආහාරයක් දිගු කලක් තිස්සේ අපමිශ්‍රණ‍ය වීමේ හැකියාව පවතිනවා නම්, පෝෂණ ඌණතාවයක් වුවත් ඇතිවීමේ අවදානම තිබෙනවා. අයහපත්ම කරුණ වන්නේ, මෙවැනි ආගන්තුක ද්‍රව්‍යවලින් දූෂ්‍ය වූ ආහාර නිසා රෝග අවදානම පවා වැඩි වීම යි. අපමිශ්‍රක සහිත ආහාර දිගු කලක් තිස්සේ පරිභෝජනය කළ ගර්භනී මව්වරුන්ගේ කළල ගබ්සා වීම, කළල වර්ධනයට බාධා ඇතිවීම් මෙන්ම ළදරුවන් ප්‍රසූත කිරීමේ දී මව්වරුන් මියයෑමේ අවස්ථා පවා ලෝකය තුළ වාර්තා වී තිබෙනවා.

ක්ෂණික ආහාර සංකල්පය සහ මාර්ගගත ක්‍රමවලින් ආහාර ඇණවුම් කිරීමේ ක්‍රමවේදය ප්‍රචලිතවීමෙන් පසු, ආහාරවල තත්ත්වය බාල කිරීම උදෙසා ආගන්තුක ද්‍රව්‍ය එකතු කිරීමේ අවදානම තවත් වැඩිවී ඇති බව “The Times of India” වෙබ් අඩවියේ පළ වූ ලිපියකින් පෙන්වා දෙනවා. පාරිභෝගිකයන් ආහාරයේ ගුණාත්මකභාවයට වඩා නියමිත වේලාවට තම ඇණවුම නිවසේ දොරකඩ අසලට පැමිණීම ගැන අවධානය යොමු කරන නිසා, පාරිභෝගිකයාගේ අලසකමින් ප්‍රයෝජන ගන්නා බොහෝ අවන්හල් හිමියන් ආහාරයේ ගුණාත්මකභාවය වෙනුවෙන් කරදර වෙන්නේ නැහැ. නියමිත වේලාවට සේවය සැපයීම පමණින් සේවයේ ගුණාත්මකභාවය මැනීමට පාරිභෝගිකයන් පෙළඹෙන නිසා ආහාර සම්බන්ධයෙන් වූ බොහෝ අවදානම් සහගත කාරණා මඟ හැරී යා හැකියි.

ආහාර වලට ආකර්ෂණීය පෙනුමක් ලබාදීමට අනුමත නොකළ වර්ණක භාවිතා කිරීම සෞඛ්‍ය ගැටලුවලට අත වැනීමක්/nomilavat.com/

අපි සුලභව පරිභෝජනයට ගන්නා ආහාර, සහ ඒවාට යොදන අමුද්‍රව්‍යවලට එකතු කරන අපමිශ්‍රකත්, ඒවායේ සෞඛ්‍යමය අවදානම් කිහිපයක් ද පහත දැක්වෙනවා.

  1. කෝපි කුඩු සමග කුඩු කළ සියඹලා බීජ එකතු කිරීමෙන් සිදුකරන අපමිශ්‍රණය. මෙමඟින් අතීසාරය වැනි සෞඛ්‍යමය අවදානම් ඇතිවිය හැකියි.
  2. තේ කොළවලට එකතු කරන කෘතිම වර්ණකාරක නිසා අක්මාවේ සංකූලතා ඇති වෙනවා.
  3. කහකුඩු සඳහා සියුම් ලී කුඩු, ඊයම් ලවණ, මැටනිල් යෙලෝ වැනි ආගන්තුක ද්‍රව්‍ය එකතු කිරීම. මෙම අපමිශ්‍රක මඟින් පිළිකා අවදානම සහ ආමාශයේ සංකූලතා ඇති වෙනවා.
  4. අයිස්ක්‍රීම් යනු වැඩි වශයෙන් ආගන්තුක ද්‍රව්‍ය එකතු කිරීම නිසා ගුණාත්මකභාවය අහිමි යා හැකි ජනප්‍රිය ආහාරයක්. එතිල් ඇසිටේට්, බියුටයිරැල්ඩිහයිඩ්, නයිට්‍රේට් රසායනිකයන් ලෝකය පුරා අයිස්ක්‍රීම්වලට එකතු කරන අපමිශ්‍රකයන් බව අනාවරණය වී තිබෙනවා. මෙහි දී ආහාරයක ප්‍රමාණය වැඩි කිරීමේ උත්සාහය පමණක් නොව, ආහාරයේ රසය, වර්ණය, ලාක්ෂණික ගතිගුණ සඳහා යොදන අමුද්‍රව්‍යවල මිල අධික බව නිසා යොදන බාල වර්ගයේ ආදේශකයන් ලෙසත් අපමිශ්‍රක භාවිතා වන බව සැළකිය යුතු යි. අයිස්ක්‍රීම්වල දී අපමිශ්‍රක බොහෝවිට භාවිතා වෙන්නේ ඒවායේ රසය, වර්ණය, සහ ඇතැම් ලාක්ෂණික ගතිගුණ ඉලක්ක කරමින්. මීට අමතරව මිරිස් කුඩුවලට ගඩොල් කුඩු එකතු කිරීම, ගස්ලබු ඇට මිශ්‍ර කළ ගම්මිරිස්, යූරියා එකතු කළ කිරි, සහල් පිටි යෙදූ මිරිස් කුඩු සහ කහ කුඩු ලංකාව තුළත් සුලභ ලෙස වාර්තා වූ අපමිශ්‍රකයන් වෙනවා.

නිවසේ දී ආහාර අපමිශ්‍රක හඳුනාගත හැකිද?

සාමාන්‍යයෙන් විද්‍යාගාර තුළ ආහාරවල ගුණාත්මකභාවය නීර්ණය කරන පරාමිතීන් අතර, ආහාර අපමිශ්‍රක හඳුනාගැනීම සඳහා එක් එක් ආහාරවලට වෙන වෙනම පරීක්ෂණ මාලාවන් තිබෙනවා. අප එදිනෙදා භාවිතා කරන ආහාර හෝ ආහාරවලට යොදන අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසියම් සැකයක් තිබේ නම් විද්‍යාගාරයකට නියැදියක් ලබා දීමෙන් ඔබට එම සැකයෙන් මිදිය හැකියි. නමුත් මේ පරීක්ෂණ සඳහා අධික ගාස්තුවක් ගෙවන්න ඇතැම් විට සිදු වෙනවා. ඒ නිසා ගෘහස්ථව අපට ආහාරයක තිබෙන අපමිශ්‍රක හඳුනාගත හැකි නම් එය ඉතා ප්‍රයෝජනවත්. ලිපියේ මෙම කොටසින් ඇතැම් ආහාර අපමිශ්‍රක නිවසේ දීම හඳුනාගත හැකි සරල ක්‍රම කිහිපයක් ඔබට ගෙන එනවා.

 

කිරි

ඔප දැමූ බෑවුම් මතුපිටකට කිරි බිංදුවක් දැමීමෙන් කිරිවලට ජලය අපමිශ්‍රකයක් ලෙස එකතු වී ඇතිදැ යි පිරික්සීමට හැකියාව තිබෙනවා. ඉතා පිරිසිදු කිරි නම්, බෑවුම් මතුපිටේ සුදු පැහැ මාර්ගයක් ඇති කරමින් කිරි බිංදුව සෙමෙන් ගලා යනවා. කිරිවලට ජලය මිශ්‍ර කර ඇත්නම්, එවැනි සුදු පැහැ මාර්ගයක් ඇති කරමින් කිරි බිංදුව බෑවුම් මතුපිට දිගේ ගලා යන්නේ නැහැ. එමෙන්ම ජලය මිශ්‍ර කිරි ඝනත්වයෙන් අඩු නිසා වේගයෙන් ගලා යනවා. 

පොල්තෙල් 

පිරිසිදු පොල්තෙල් හඳුනාගන්නේ කොහොමද?/DailyNews 

පොල්තෙල් ස්වල්පයක් කුඩා බෝතලයකට දමා එම බෝතලය ශීතකරණය තුළ සැළකිය යුතු කාලයක් තැබීමෙන් පොල්තෙල් සමග වෙනත් තෙල් වර්ගයක් කලවම් වී ඇත්දැයි සොයාගත හැකියි. අඩු උෂ්ණත්වය හමුවේ පොල්තෙල් සම්පූර්ණයෙන්ම ඝන වන අතර, අපමිශ්‍රක තිබේ නම්, ඒ තෙල් වෙනම ස්ථරයක් ලෙස පොල්තෙල්වලින් වෙන් වෙනවා.

කහ කුඩු 

කහ කුඩු සම්බන්ධයෙන් තිබෙන වැදගත්ම අපමිශ්‍රකය තමයි මැටනිල් යෙලෝ නම් වර්ණකය. මෙම වර්ණකයේ සැළකිය යුතු සෞඛ්‍යමය අවදානමක් තිබෙනවා. නමුත් මැටනිල් යෙලෝ හඳුනා ගැනීමට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අවශ්‍ය වන නිසා මෙම පරීක්ෂණය නිවසක සිදුකිරීම එතරම් ප්‍රායෝගික නැහැ. නමුත් ඔබට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සොයාගත හැකි නම් සහ සාන්ද්‍ර අම්ල භාවිතයේ දී අනුගමනය කරන ආරක්ෂිත ක්‍රමවේද ගැන දැනුමක් තිබේ නම් පමණක්, ඔබේ පහසුව තකා එම පරීක්ෂණය මෙහි සඳහන් කරනවා. කහ කුඩු ග්‍රෑම් එකක ප්‍රමාණයක් පරීක්ෂණ නලයකට හෝ විද්‍යාගාරවල භාවිතා වන කුඩා බීකරයකට ගෙන, එයට ජලය මිලිලීටර 5ක් සහ සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් බිංදු කිහිපයක් එක් කරන්න. අම්ලය එක් කිරීමේ දී කහකුඩු මත රෝස/දම් පැහැයක් ඇති වී, ජලය මිශ්‍ර කරද්දී නැතිවී යන්නේ නම් නම් එම කහ කුඩු පිරිසිදු ය. කහ කුඩු සාම්පලය මැටනිල් යෙලෝ වර්ණකය අපමිශ්‍රිත නම් මෙම වර්ණය ජලය සමග තනුක කිරීමේ දී අතුරුදහන් නොවේ.  

අන්ත්‍රාව යි! සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පිළිස්සීම් ඇතිකරයි! අම්ලය හැසිරවීමට නියමිත පුහුණුව ලබා නැත්තවුන් මෙම පරීක්ෂණය සිදුකිරීමෙන් වළකින්න!

මිරිස් කුඩු 

වතුර වීදුරුවකට මිරිස් කුඩු තේ හැන්දක් එකතු කර මඳ වේලාවක් නිසොල්මනේ තැබීමෙන් එම මිරිස් කුඩුවලට කිසියම් වර්ණකයක් එක් කර ඇත්දැ යි සොයාගත හැකියි. මිරිස් කුඩු කෙමෙන් පතුළේ තැන්පත් වෙද්දී ජලයේ පැහැය අඩුවනමුත්, වර්ණකය ජලයේ දියවෙන නිසා වර්ණකවලින් සිදුවූ අපමිශ්‍රණය හඳුනාගත හැකි වෙනවා. එමෙන්ම වීදුරුවේ තැන්පත්ව ඇති අවසාදිතය කූරක් භාවිතයෙන් සෙමෙන් ඇතිල්ලීමේ දී රළු බවක් දැනේ නම් එම මිරිස්කුඩු සාම්පලය ගඩොල් කුඩුවලින් අපමිශ්‍රිත බව නිගමනය කළ හැකියි.

තේ කොළ

තේ කොළ කියන්නේ අපමිශ්‍රකවලින් සුලභ ලෙස ගුණාත්මකභාවය අඩු කිරීමට ලක්වෙන තවත් නිෂ්පාදනයක්. මෙහිදී තේ කොළවලින් නියමිත කහට ගතිය ලැබෙන බවට පාරිභෝගිකයන් මුලා කිරීම පිණිස වර්ණක එකතු කිරීමේ වංචනික ක්‍රියා සිදුවෙනවා. නමුත් මෙයත් නිවසේ සිටම පරීක්ෂා කළ හැකියි. පෙරහන් කඩදාසියක තේ කොළ ස්වල්පයක් විසුරුවා, ඒ මතට ජලය ඉසින්න. එවිට තේ කොළවල වර්ණක අඩංගු වේ නම් එම පෙරහන් කඩදාසිය මත ඉක්මණින් තද පැහැ පැල්ලම් ඇති වෙනවා. පෙරහන් කඩදාසිය ගලා යන වතුරෙන් සෝදා පිරිසිදු කරගත් පසු ආලෝකයට එදිරිව පරීක්ෂා කිරීමෙන් මෙම පැල්ලම් පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්.

ප්‍රශ්නය කොතරම් බැරෑරුම් ද?

ඔබ ගන්නා ආහාර ගැන සැළකිලිමත් වෙන්න/India Today 

ලාභ ප්‍රයෝජන තකා හානිකර ද්‍රව්‍යයන් භාවිතයෙන් ආහාරවල තත්ත්වය බාල කිරීමේ ක්‍රියාදාමය අපි හිතනවාට වඩා සමාජය තුළ මුල්බැස ගෙන තිබෙන්න පුළුවන්. මහා පරිමාණයේ සිට කුඩා පරිමාණයේ ආහාර නිෂ්පාදකයන් දක්වා මේ වංචනික ක්‍රියා පැතිරගොස් තිබීමේ අවදානමක් වර්තමානයේ තිබෙනවා. මේ ලිපියෙන් පවා විස්තර කළේ කලක පටන් සුලභ ලෙස අපමිශ්‍රණය වන ආහාර සහ අපමිශ්‍රක ද්‍රව්‍ය කිහිපයක් ගැන පමණ යි. ආහාරයේ ස්වභාවය මත, විවිධ ක්‍රමවලින් ආහාරවල ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක බව ව්‍යාජ ලෙස වැඩි කිරීමට හානිකර අපමිශ්‍රක භාවිතා කිරීමේ අවදානම තිබෙනවා. ඒවා අනාවරණය කර ගැනීමට තිබෙන ක්‍රමවේද ඉතා දුෂ්කර වන්නේ, මෙම සමාජ ගැටලුව පැතිර පවත්නා පරාසය ගැන හරිහැටි චිත්‍රයක් අපට නොමැති නිසා යි. කෙසේ නමුත්, තත්ත්ව සහතික ලැබූ ආහාර නිෂ්පාදන මිළට ගැනීමෙන් සහ විශ්වාසනීය වෙළඳුන්ගෙන් සහ ආයතනයන්ගෙන් පමණක් ආහාර ද්‍රව්‍ය මිළට ගැනීමෙන් මේ ගැටලුව අවම කරගන්නට අපට හැකියි.

ඔබටත් මේ ගැටලුව සම්බන්ධයෙන් විවිධාකාර අත්දැකීම් තිබෙන්න පුළුවන්. ඒ නිසා ඔබත් අප සමග එම අත්දැකීම් බෙදා හදා ගන්නවා නම් බොහොම වටිනවා.

Cover: setu.in

Related Articles