Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Prisma සහ Pokemon GO: ඇත්තටම මේ මොනවද?

ඔබ Facebook හෝ Twitter ගිණුමක් තිබෙන කෙනෙක්නම් (කාටද මේ දවස්වල එහෙම එකක් නැත්තෙ?) පසුගිය දින කිහිපයේදී එවැනි සමාජ ජාල පරිහරණයේදී යම් යම් අලුත් දේවල් කිහිපයක් දකින්න ඇති. ඔබේ යහළුවන්ගේ ඡායාරූපවල අමුත්තක්? සාම්ප්‍රදායික සෙල්ෆිවල වෙනදා නොදුටු කලාත්මක බවක්? ඇත්තටම මේ මොකද වෙලා තියෙන්නෙ කියල හිතෙන්න ඇති නේද? එක පාරටම මේ ඔක්කොමලා දක්ෂ චිත්‍ර ශිල්පියෝ වුණාද? මේ සියලුම ප්‍රශ්නවලට කෙටිම පිළිතුර තමයි Prisma.

සමාජ ජාලවල ඔබ අපි පළකරන විවිධාකාර ඡායාරූප එක එක විදිහට effects, filters භාවිතයෙන් සංස්කරණය කරන එකත්, එහෙමත් නැත්නම් ඒ සඳහාම ඇති වෙනම camera apps භාවිතයෙන් පින්තූර ගන්න එකත් අද ඊයේ ජනප්‍රිය වූ දෙයක් නෙවෙයි. නමුත් ඔබ දැනටම දැක ඇති, නොඑසේ නම් දැනටම භාවිත කරන Prisma නමැති app එක මේ සියල්ලට වඩා වෙනස් ලෙස දකින්නේ ඇයි? අපි සොයා බලමු ඒ ගැන.

Prismaගේ  ඩිජිටල් චිත්‍ර

ඡායාරූප සංස්කරණයේ නවතම කලාව (ibtimes.co.uk)

ඡායාරූප සංස්කරණයේ නවතම කලාව (ibtimes.co.uk)

පරිගණකයක් හෝ smart ජංගම දුරකථනයක් භාවිතා කරන කෙනෙකු ලෙස ඔබ මේ වන විට  කුමක්  හෝ මෘදුකාංගයක්  යොදාගෙන කුමන හෝ ඡායාරූපයක් කිසියම් අයුරකින් සංස්කරණය කිරීමේ අත්දැකීම් ඇති. මේ සඳහා බොහෝ ජංගම දුරකථනවල පහසුකම් සපයා තිබෙනවා. වර්ණ වෙනස් කිරීම හා ඡායාරූපයේ ප්‍රමාණය නැවත සැකසීම වැනි දෑ මේවායේ ඇති සරලම ක්‍රියාවන්. වඩාත් දියුණු හා සංකීර්ණ මට්ටමේ ඡායාරූප සංස්කරණයන් සඳහා පරිගණකයේ නම් Photoshop වැනි මෘදුකාංග භාවිතා කළ හැකියි. මීට අමතරව Instagram වැනි apps වලදී ඔබට එම මෘදුකාංගය මගින් සකසා ඇති (predefined) filters හා effects භාවිතා කර ඔබේ ඡායාරූපයේ අලංකාරය වැඩිදියුණු කළ හැකියි. නමුත් මේ සියලුම සංස්කරණයන්ට පොදු එක් කරුණක් තිබෙනවා. එනම් මේ සියලු වෙනස්කම් සිදුකරනු ලබන්නේ ඒ එක් එක් අවස්ථාවලදී භාවිතා කරන ඡායාරූපයේ  විවිධ ගුණාංග වලට වීමයි. විවිධාකාර සංස්කරණවලින් පසුව ඔබට දක්නට ලැබෙන ඡායාරූපය මුල් ඡායාරූපයට හාත්පසින්ම වෙනස් ලෙස පෙනුනත් එහි ඇත්තේ පරිගණක ක්‍රියාකාරකම් ඇසුරෙන් වර්ණ ප්‍රභේද වැනි ගුණාංග වෙනස් කරන ලද මුල් ඡායාරූපයමයි. Prisma හි ඇති සුවිශේෂම ලක්ෂණය නම් සංස්කරණයෙන් පසු ඔබට ලැබෙන්නේ ඔබේ මුල් ඡායාරූපය නොවීමයි.

පෙන්නේ නම් හරිම සරලයි වගේ (ibtimes.co.uk)

පෙන්නේ නම් හරිම සරලයි වගේ (ibtimes.co.uk)

ඉහත දැක්වෙන ආකාරයට, මෙම app එක භාවිතා කිරීම ඉතා පහසුයි. මුලින්ම ඔබ කළ යුත්තේ ඔබට අවශ්‍ය ඡායාරූපය තෝරාගැනීම හෝ මෘදුකාංගය භාවිතයෙන්ම ඡායාරූපයක් ලබාගැනීමයි. ඉන්පසු ඔබට අවශ්‍ය filter එක තෝරාගෙන apply කිරීම මගින් ඔබ තෝරාගත් filter එකේ ආකාරයට සැකසුණු ඔබේ ඡායාරුපය ලබාගත හැකියි. මෙතැනින්ම එය Instagram වැනි සමාජ ජාලයක් තුළ පළකිරීමේ පහසුකමද තිබෙනවා. බැලූ බැල්මට බොහොම සරල ක්‍රියාවලියක්. නමුත් මෙම ක්‍රියාවලිය පිටුපස ඇති තාක්ෂණය නම් කිසිසේත්ම සරල නැහැ.

නුතන කලාව මෙයද?  (ibtimes.co.uk3)

නුතන කලාව මෙයද?  (ibtimes.co.uk3)

 

Prisma තම ඡායාරූප සංස්කරණ ක්‍රියාවලිය සඳහා සහය ලබාගන්නේ කෘත්‍රිම ස්නායු පද්ධතියක් (Artificial Neural Network) හා කෘත්‍රිම බුද්ධියක් මගින්. සාම්ප්‍රදායික ඡායාරූප සංස්කරණ මෘදුකාංග හා apps ලබාදෙන effects හා filters මෙන් නොව Prisma හි ඇති effects හා filters ද විශේෂයි. මේවා සකසා ඇත්තේ Picasso, Monet, Van Gogh, Munch, Levitan හා Kandinsky වැනි ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ හා DC Comics වැනි චිත්‍රකතා වල නිර්මාණ ශෛලීන් ඇසුරෙන්. ඔබේ ඡායාරූපය සඳහා ඔබ filter එකක් තෝරාගත් පසු Prisma හි කෘත්‍රිම ස්නායු පද්ධතිය හා කෘත්‍රිම බුද්ධිය මගින් තෝරාගත් filter එකට අදාළ චිත්‍ර ශිල්පියාගේ ශෛලියට අනුව ඔබේ ඡායාරූපය නැවත ඇඳීමක් සිදුකෙරෙනවා. මේ සඳහා මෙම පරිගණක පද්ධතිය මගින් ඉහත දැක්වූ චිත්‍ර ශිල්පීන්ගේ කලා කෘති විශ්ලේෂණය කර ලබාගත් දත්ත භාවිතා කෙරෙනවා. (කෘත්‍රිම බුද්ධීන්ගේ මෙවැනි ක්‍රියාවලි ගැන තවත් විස්තර මෙතැනින් බලන්න) එලෙසින් අප මුලින් සඳහන් කළාක් මෙන් සංස්කරණයෙන් පසු ඔබට ලැබෙන්නේ ඔබේ ඡායාරූපය නොව ඒ ඇසුරින් නිර්මිත අලුත්ම කලා කෘතියක්. (අපේ විකාර සෙල්ෆි නම් මේ වගේ කලා කෘති විදිහට හදන එක ගැන මේ චිත්‍ර ශිල්පියෝ දන්නවනම් මොනවා හිතෙයිද කියන එක වෙනම කතාවක්)

කන බොන එකත් එක්තරා ආකාරයක කලාවක් (thenextweb.com)

කන බොන එකත් එක්තරා ආකාරයක කලාවක් (thenextweb.com)

Prisma රුසියානු සමාගමක් වන Prisma Labs Inc. හි නිපැයුමක්. එහි  ප්‍රාරම්භක හා ප්‍රධාන විධායක නිලධාරි 25 හැවිරිදි Alexey Moiseenkov පවසන අන්දමට දැනට මෙම app එක ලබා ඇති අති විශාල ජනප්‍රියතාව ඔවුන් පවා අපේක්ෂා නොකළ දෙයක්. ඔබ Prisma භාවිත කරන කෙනෙකු නම් සමහර අවස්ථා වලදී “Prisma is over capacity” වැනි error messages දැක ඇති. මීට හේතුව මෘදුකාංගය භාවිතා කරන පිරිස අති විශාල හෙයින් එහි ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යාවශ්‍ය කෘත්‍රිම ස්නායු පද්ධතිය හා කෘත්‍රිම බුද්ධිය සහිත servers වලට දරාගත නොහැකි තරම් දත්ත ලැබීමයි. හැකි ඉක්මණින් මෙවැනි ගැටළු නිරාකරණය කිරීමට තමන් ක්‍රියාකරන බවයි Prisma නිර්මාපකයින් කියා සිටින්නේ. එමෙන්ම දැනට මෙම app එක ලබා ගත හැක්කේ Apple App Store හරහා iOS භාවිතා කරන iPhones සහ iPad උපාංග වලට පමණයි. නුදුරේදීම මෙහි Android සංස්කරණය Play Store හරහා ලබාගත හැකි බවද ඔවුන් පවසනවා.

Android වලටත් Prisma (androidauthority.com)

Android වලටත් Prisma (androidauthority.com)

මේ වන විට filters 34 කින් සමන්විත Prisma හි ජනප්‍රියතාවයේ අඩුවක් නම් දක්නට නැහැ. නමුත් Alexey ඇතුළු කණ්ඩායම එයට අලුත් features එකතු කිරීම නම් නවත්වන්නට සුදානමක්ද නැහැ. ඡායාරූප සංස්කරණය කරන ආකාරයෙන්ම video සංස්කරණය කිරීමේ හැකියාව ද ඊට එක් කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා. මේ පිළිබඳ දැක්වෙන Alexey Moiseenkov විසින් Facebook හි පළකර තිබූ video clip එකක් මෙතනින් බලන්න.

Prisma භාවිතයෙන් සංස්කරණය කළ අලංකාර නිර්මාණ කිහිපයක් ඔබට මේ සබැඳියෙන් නැරඹිය හැකියි.

Pokemon GO

දැන් කියන්න යන්නෙ මේ දිනවල ජනප්‍රියම mobile game එක ගැන. Prisma නම් ලෝකය පුරාම මෙන්ම ශ්‍රී ලංකාවෙත් දැන් අතිශයින් ජනප්‍රියයි. ඒ අතින් ගත්තම ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් Pokemon GO නම් Prismaට වඩා ජනප්‍රියතාවක් ලොව පුරා ලබා තිබෙනවා. ඉතින් අපි කල්පනා කළා ඒ පිළිබඳවත් තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට. විශේෂයෙන්ම මේ සඳහා යොදාගන්නා තාක්ෂණය පිළිබඳව.

කාටද මෙයාලව මතක? (theverge.com)

කාටද මෙයාලව මතක? (theverge.com)

Pokemon කියන්නේ 90 දශකයේ නිර්මාණය වුණු වීඩියෝ ක්‍රීඩා මාලාවක්. එහි ජනප්‍රියත්වයත් සමගම ඒ ඇසුරෙන් කාටූන් හා චිත්‍රපට පවා නිර්මාණය කෙරුණා. මේ ලිපිය කියවන ඔබ සමහර විට කුඩා කළ (මෙන්ම අදටත්) Pokemon රසිකයෙක් වන්නට ඇති. මෙය එදා මෙදා තුර එකසේ ජනප්‍රිය චරිත රැසකින් සමන්විතයි. එහි නවතම ඉදිරිපත් කිරීම තමයි Pokemon GO. මේ ක්‍රීඩාවේ යෙදෙන ආකාරය පිළිබඳ යම් අදහසක් ගැනීමට පහත video clip එක ඔබට උපකාරී වේවි.

මෙහි ඔබ දකින ආකාරයට මෙය smart ජංගම දුරකථනයකින් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාවක් වුවත් ඒ සඳහා ඔබට එක තැනකට වී වාඩිවී සිටන්නට නම් අවස්ථාවක් නැහැ. ක්‍රීඩාවේ ප්‍රධාන අරමුණු වන්නේ ඔබ අවට විවිධ ප්‍රදේශවල විසිරී සිටන Pokemon සත්ත්වයන් අල්ලා ගැනීම, ඔවුන් පුහුණු කිරීම හා ඔවුන් යොදාගෙන අනෙකුත් ක්‍රීඩකයින් හා සටන් කිරීමයි. මේ සඳහා ක්‍රීඩාව මගින් ඔබේ ජංගම දුරකථනයේ අන්තර්ජාල පහසුකම් සඳහා වන දත්ත හා GPS පහසුකම් දත්ත යොදාගනු ලබනවා. (කෙටියෙන් කියනවා නම් මේ ක්‍රීඩාවට ඔබ මහත් ඇල්මක් දක්වන කෙනෙක් නම්  ඔබේ ජංගම දුරකථන බැටරියට දෙයියන්ගෙම පිහිටයි).

ගේ ඇතුළට වෙලා phone එකෙන් සෙල්ලම් කරපු කාලෙ ඉවරයි (theverge.com)

ගේ ඇතුළට වෙලා phone එකෙන් සෙල්ලම් කරපු කාලෙ ඉවරයි (theverge.com)

මෙම Pokemon සතුන් අල්ලා ගැනීමට හා අන් සියලුම ක්‍රියාකාරකම් සඳහා ඔබ ක්‍රීඩාවේදී දුරකථනයේ දැක්වෙන සිතියම හා කැමරාව ආධාරයෙන් එම ස්ථානවලට සත්‍ය වශයෙන්ම ගමන් කළ යුතුයි. ඊට අමතරව ප්‍රධාන වශයෙන් මෙහි එන චරිත නිර්මාණය හා ඒවා සත්‍ය ලෝකයේ ස්ථාන හා වස්තූන් සමග අන්තර්ක්‍රියා කරන ලෙස භාවිතා වන්නේ ආවර්ධිත යතාර්ථ (augmented reality) තාක්ෂණයයි. කෙසේ නමුත් මෙවැනි යෙදීමක් සඳහා මෙම තාක්ෂණය භාවිතා වූ මුල්ම අවස්ථාව මෙය නොවෙයි. Pokemon GO නිර්මාණය කළ සමාගමේම තවත් නිපැයුමක් වූ Ingress ක්‍රීඩාව සඳහා මෙය මුලින් යොදා ගැනුණා. (Pokemon GO නිර්මාණයේදී අවශ්‍ය බොහෝ දත්ත ලබාගත්තේ ද කලින් Ingress ක්‍රීඩාව මගින් එක්රැස් කරගත් දත්ත ඇසුරෙන්)

මොකක්ද මේ augmented reality?

Augmented reality නොඑසේ නම් ආවර්ධිත යතාර්ථ තාක්ෂණයෙන් සිදුවන්නේ සත්‍ය ලෝකයේ ඇති වස්තූන් සමග අන්තර්ක්‍රියා කළ හැකි අතථ්‍ය (virtual) වස්තූන් පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය හා ඒ ඇසුරෙන් සත්‍ය ලෝකයේ වස්තුන්ගේ ගුණාංගවලට වෙනස් මුහුණුවරක් ලබාදීමයි. සාමාන්‍ය පරිගණක ක්‍රීඩාවල පරිසරය මුළුමනින්ම පාහේ අතථ්‍ය ලෙස නිර්මිතයි. නමුත් Pokemon GO වැනි ක්‍රීඩාවල චරිත හා සිතියම් ආදිය අතථ්‍ය ලෙසත් එහි පරිසරය සත්‍ය ලෝකයේ වස්තූන් ඇසුරෙනුත් නිර්මාණය කර තිබෙනවා.

බොහෝ දෙනෙකු මේ වන විටත් දැක ඇති Augmented reality යොදාගන්නා උදාහරණයක් ලෙස Sony සමාගම තම smart ජංගම දුරකථන බොහොමයක camera app option එකක් ලෙස එක් කර ඇති AR effect දැක්විය හැකියි.

Sony AR effect (developer.sony.com)

Sony AR effect (developer.sony.com)

මීට අමතරව මෙම තාක්ෂණය තවත් ඉදිරියට ගෙන ගිය උපාංගයක් ලෙස Microsoft Hololens හැඳින්විය හැකියි. මෙහි ක්‍රියාකාරිත්වය සඳහා augmented reality මෙන්ම hologram තාක්ෂණයද යොදාගෙන තිබෙනවා. Snapchat වැනි apps හි ක්‍රියාකාරීත්වය සඳහාද මෙම තාක්ෂණය නැතුවම බැහැ.

Microsoft Hololens (microsoft.com)

Microsoft Hololens (microsoft.com)

Prisma සහ Pokemon GO කියන්නේ මොනවාද කියන ප්‍රශ්නයට පිළිතුරක් වගේම සරල හා විනෝදජනක ලෙස මතුපිටින් පෙනුනත්, ඉතා සංකීර්ණ මෙන්ම පුදුම සහගත තාක්ෂණයන් ඇසුරෙන් ඒවා ක්‍රියාකරන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔබට යම් දැනුමක් මේ ලිපිය මගින් ලැබුණා යැයි අපි විශ්වාස කරනවා. මේ පිළිබඳ ඔබේ අදහස් පහතින් comment කරන්න. දවසම Prisma වලින් photos edit කරලා share කරන, power bank එකකුත් අරන් Pokemon GO සෙල්ලම් කරන නමුත් මේ  දේවල් ගැන නොදැන ඉන්න ඔබේ මිතුරන් එක්කත් මේ තොරතුරැ බෙදාගන්න.

මුලාශ්‍ර: What is Prisma? Behind the hip new app that turns your photos into impressionist paintings using AI – International Business Times, Prisma uses AI to turn your photos into graphic novel fodder double quickTechCrunch, Why everyone is crazy for Prisma, the app that turns photos into works of artThe Guardian, Pokémon GO | Pokémon Video Games – Pokemon GO

කවරයේ පින්තුරය: sangbadpratidin.in

Related Articles