Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන Google I/O Extended

Roar Tech එකේ පළ වෙන ලිපි කියවන ඔබට ගූගල් (Google) කියන්නේ කීයටවත් අමුතු නමක් වෙන්න බැහැ. ලෝකයේ ඉහළම වටිනාකමක් තියෙන ආයතන අතර ඉහළම තැනක තියෙන ගූගල් ආයතනයේ වෙබ් අඩවි ඇතුළු අනෙකුත් සේවා අති විශාල පිරිසක් දිනපතාම ප්‍රයෝජනයට ගන්නවා. මෑතකදී ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ මාර්ග දර්ශන (Street View), සිංහල පරිවර්තන සේවාව (Sinhala Translation), සිංහල වචන ශබ්දයට හැරවීමේ සේවාව (Sinhala Text to Speech) වගේ අපේ රටට වැදගත් දේවල් බොහොමයක් අලුතෙන් හඳුන්වා දීම මගින් අන්තර්ජාලය තුළ සිංහල භාවිතය වඩාත් පහසු කරන්න ඔවුන් ක්‍රියා කරලා තියෙනවා.

අපේ ජීවිතත් එක්ක මේ තරම් බැඳිලා තියෙන ගූගල් ආයතනය වසරකට වරක් ඔවුන් ඉදිරියේදී එළි දක්වන්න නියමිත දේවල් ඇතුළුව ඔවුන්ට අදාළ බොහෝ දේවල් ගැන ලෝකයට කියන්න සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඒක හඳුන්වලා තියෙන්නේ Google I/O කියලයි. ඇමරිකාවේ පැවැත්වෙන මේ සම්මන්ත්‍රණයට සමගාමීව ලෝකය පුරා රටවල් සිය ගණනක, 600කට වැඩි ස්ථානවල Google I/O Extended කියලා සජීවී සම්මන්ත්‍රණ පැවැත්වෙන්නේ ඒ ඒ ප්‍රදේශවල ජීවත් වෙන, Google I/O වලට සහභාගී වෙන්න කැමති පිරිස් වෙනුවෙන්. තාක්ෂණයේ මහ ගෙදර කියලා හඳුන්වන්න පුළුවන් ගූගල් ආයතනයෙන් ශ්‍රී ලංකාවේදී සංවිධානය කෙරෙන Google I/O Extended වැඩසටහන 2017 දීත් පැවැත්වෙන්න නියමිතයි. අද මේ ලිපියෙන් ඒ ගැන තොරතුරු බොහොමයක් ඔබටත් දැන කියා ගන්න පුළුවන්.

ගූගල් අපේ ජීවිතයත් එක්ක බැඳිලා තියෙන තරම

අපේ ජීවිතයත් එක්ක තාක්ෂණික සමාගමක් විදිහට ලොකුම බැඳීමක් ඇති කරගෙන තියෙන ආයතන ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා, ඒ තමයි Facebook, Microsoft සහ Google. තාක්ෂණික අංශයේ මොන දෙයක් කරත් මේ ආයතන තුන කොහෙන් හෝ සම්බන්ධ වෙන්න තියෙන ඉඩකඩ ඉතා ඉහළයි.

මෙතනින් මුල් දෙක ගනිමු. දැනටත් ලංකාවේ භාවිත වෙන පරිගණක අති බහුතරයක තියෙන්නේ Windows මෙහෙයුම් පද්ධති. ඔබ Apple සමාගමේ උපාංග භාවිත කළත් නැතිවම බැරි Office පැකේජ් එක Microsoft නිර්මාණයක්. Skype කියන්නෙත් Microsoft ආයතනයට සම්බන්ධ සේවාවක්. අපි කවුරුත් වැඩිපුර භාවිත කරන Facebook, Instagram, Whatsapp, Messenger යනාදී සියලු දේ Facebook ආයතනයට සම්බන්ධයි.

මේ ආයතන දෙකට අදාළ, අපි නිතර භාවිතයට ගන්න තවත් සේවාවන්, උපාංග සිය ගණනක් තිබුණත් කලින් පරිච්ඡේදයේ ඉංග්‍රීසි අකුරුවලින් තියෙන සේවා ටික විතරක් බැලුවත් Facebook සහ Microsoft කියන ආයතන දෙක අපේ ජීවිතයට ඍජුව සහ වක්‍රව තියෙන සම්බන්ධය හිතා ගන්න පුළුවන්. නමුත් Google ආයතනය අපිට ඔය දෙකටම වඩා සම්බන්ධයි.

මුලින්ම හිතමු ඔබ මේ ලිපිය කියවන්නේ කොහොමද කියන එක. බොහෝ විට ඔබ මෙය කියවන්නේ Chrome වෙබ් බ්‍රව්සරයකින් වෙන්න ඉඩක් තියෙනවා. ඔබට බොහෝ විට තියෙන්නේ Gmail ඊමේල් ලිපිනයක් වෙන්න පුළුවන්. එහෙම නම් ඔබේ Google Drive එකේ වැදගත් දත්ත ගණනාවක් සේව් කරගෙනත් ඇති, ඒවා පරිගණකය, ජංගම දුරකථනය නැති වුණත් සුරක්ෂිතව තිබෙනවා. බොහෝ ආයතන තමන්ගේ ලිපිගොනු කටයුතු අන්තර්ජාලය හරහා කර ගන්න Google Docs සහ Google Sheets පාවිච්චි කරනවා.

අන්තර්ජාලය හරහා වීඩියෝ නරඹන ප්‍රධාන වෙබ් අඩවිය Youtube. ඔබ මොන උපාංගයක් භාවිත කරත් මාර්ගයක්, තැනකින් තැනකට දුර, වාහන තදබදය සහ යන තැන කොයි වගේද කියලා බලා ගන්න තියෙන පහසුම (සමහර විට එකම) ක්‍රමය තමයි Google Maps. අන්තර්ජාලයේ මොනවා හරි දෙයක් හොයා ගන්න පාවිච්චි කරන්නේ Google Search. ඔබ Android දුරකථන, ටැබ් හෝ ස්මාට් ඔරලෝසු / වෙනත් ස්මාට් පළඳනා පාවිච්චි කරනවා නම් ඒ සේරම බල ගැන්වෙන්නේ ගූගල් සමාගමේ සුප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධතියෙන්.

මීට අමතරව එ් තරම් ජනප්‍රිය නැති තවත් දේ බොහොමයි. නිකමට හිතලා බැලුවොත් ඔබ කාටත් වැටහේවි ගූගල් අපිට බැඳිලා තියෙන තරම.

ඉතින් Google I/O Extended අපිට වැදගත් ඇයි?

කලිනුත් කිව්වා වගේ මේ තරම් අපේ ජීවිත එක්ක බැඳිලා තියෙන ගූගල් ආයතනයේ අනාගත වැඩකටයුතු ගැන දැනගන්න අපිට තියෙන හොඳම ක්‍රමය තමයි මේ සම්මන්ත්‍රණය. Google අපේ ජීවිතත් එක්ක තවදුරටත් බද්ධ වෙන්න දරන උත්සාහයන් වගේම හඳුන්වා දෙන්න නියමිත අලුත් සේවාවන්, උපාංග ගැන හොඳ දැනුමක් ලබා ගන්න මේ තුළින් අපි කාටත් ඉඩකඩ ලැබෙනවා.

Google I/O Extended බොහෝ දුරට ඔවුන්ගේ ‘ඩිවලොපර්ස්ලා’ (සේවා/උපාංග නිර්මාණකරුවන්) ඉලක්ක කරගෙන පැවැත්වෙන එකක් වුණත් ගූගල් එකට අදාළ හැම දෙයක් ගැනම කාටත් දැන කියා ගන්නත් මේ සම්මන්ත්‍රණයෙන් පුළුවන්. නිකමට සහභාගී වෙලා බැලුවොත් අන්තර්ජාලය ඇතුලේ අධිරාජ්‍යයක් නිර්මාණය කරගෙන ඉන්න Google සමාගමේ අනෙක් පැතිවලටත් ව්‍යාප්ත වෙන හැටි දැකලා ඔබ පුදුමයට පත් වේවි.

මේ අවුරුද්දේ Google I/O තුළින් වැඩි අවධානයක් දීලා තියෙන්නේ Android ඇතුළු ඔවුන්ගේ ‘ප්ලැට්ෆෝම්ස්’ (පීඨිකා කියලා කියන්න පුළුවන්), Android අනුබද්ධ සේවා බිහි කිරීම, ජංගම දුරකථන භාවිතයෙන් ගෙවීම් කිරීම සහ Internet of Things (උපාංග එකිනෙක සම්බන්ධ වෙලා හැදෙන අන්තර්ජාලය) වගේ කාරණා ගැනයි. මීට අමතරව ගූගල් සහයකයා (Google Assistant), කෘත්‍රීම බුද්ධිය, Virtual Reality (සිංහලෙන් කියන්නේ සත්‍යාසන්න යථාර්ථය කියලයි) වගේම Google Pixel වර්ගයේ අලුත් දුරකථන ගැනත් කතා බහ කෙරෙනවා. විශේෂයෙන්ම Internet of Things, නැතිනම් උපාංග එකිනෙකට සම්බන්ධ වෙලා හැදෙන අන්තර්ජාලය කියන කාරණාව ගැන විශේෂ අවධානයක් යොමු කරන්න නියමිතයි. ස්මාට් උපකරණ තනි තනි උපාංග කියලා නොහිතා එකම ජාලයක් විදිහට සලකන එකයි මේකේ ප්‍රධාන වෙනස.

මීට අමතරව නිවෙස් එක්ක තාක්ෂණය බද්ධ කෙරෙන Google Home, VR අත්දැකීම් විඳ ගන්න ලැබෙන Daydream වගේ තාක්ෂණයන්, Android ඇප්ස් සහ Chrome මෙහෙයුම් පද්ධතිය, Android ස්මාට් පළඳනා වගේ දේවල් බොහොමයකටත් වෙලාව වෙන් කරලා තිබෙනවා. මෙවර සම්මන්ත්‍රණය කාටත් පුදුම හිතෙන දේවල්වලින් පිරී තිබෙනවාට කිසිම සැකයක් නැහැ.

කලින් වසරක ඇමරිකාවේ පැවති Google I/O වැඩසටහනක් අතරතුර. රූපය : techspot.com

ලෝකය පුරා ඉන්න වැඩි දෙනෙක්ට Google I/O එකට සහභාගී වෙන්න අපහසු වුණත් Google I/O Extended හරහා එයට සහභාගී වෙනවාට ඉතා ආසන්න අත්දකීමක් ලබා ගන්න පුළුවන්. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ  Mount View වල තිබෙන Shoreline එළිමහන් රඟහලේ පැවැත්වෙන Google I/O එක සජීවීව දැක ගන්න වගේම විවිධ රටවල සිටින තාක්ෂණික නිර්මාණකරුවන්ට එක්රැස් වෙන්නත් මේ තුලින් අවස්ථාව හිමි වෙනවා. මෙවර පැවැත්වෙන්නේ ඔවුන්ගේ 11 වැනි Google I/O වැඩසටහනයි. 2008 සිටම වසරේ මැද භාගයේදී මේ වැඩසටහන දිගටම පැවැත්වුණා.

2016 අවුරුද්දේ 600කට වැඩි ස්ථාන ගණනකදී පැවැත්වුණු Google I/O Extended 2017 අවුරුද්දෙත් ලෝකය පුරාම සංවිධානය කර තිබෙනවා. මෙවර පැවැත්වෙන්න නියමිත Google I/O සම්මන්ත්‍රණයට සමගාමීව ශ්‍රී ලංකාවේත් Google I/O Extended වැඩසටහනක් පැවැත්වෙනවා. එ් 2017 මැයි 17 හා 18 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ ශාලාවේදීයි. ශ්‍රී ලංකාවේ ගූගල් නිර්මාණකරුවන්ගේ එකමුතුව (Google Developer Group, Sri Lanka) සහ ඩයලොග් ආසියාටා ආයතනය තමයි මෙහි සංවිධායකයන්.

මේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් දැකපු ලොකුම තාක්ෂණික වැඩසටහන කියන එක ගැන සැකයක් නැහැ. ගූගල් මූලස්ථානයෙන් ලැබෙන Google I/O 2017 ‘ලයිව් ස්ට්‍රීම් එක’ (සජීවී ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රවාහය) වගේම මේ වැඩසටහනේ විනෝද වෙන්න, දැනුම ලබා ගන්න විවිධ වැඩසටහන් විශාල ගණනකුත් සංවිධානය කෙරෙනවා. තාක්ෂණික පැත්තෙන් ඉහළින්ම ඉන්න පිරිස් හමු වෙලා කතා බහ කරන්න, සබඳතා ගොඩ නගා ගන්න මේක හොඳම අවස්ථාවක්.

තාක්ෂණික අංශයේ අලුත්ම නව නිපැයුම් දැක බලාගෙන, නව අත්දැකීම් විඳගෙන පුදුමයට පත් වෙන අතරේ අතරේ ශ්‍රී ලංකාවේ වගේම ලෝකය පුරාමත් ඉන්න තාක්ෂණික අංශයේ සුපිරි වීරයන් කියලා කියන්න පුළුවන් ඉහළම දැනුමක් ඇති අය පවත්වන දේශනාවලට සහභාගී වෙන්නත් ඉඩකඩ තියෙනවා. ගූගල් සමාගමේ ලයිව් ස්ට්‍රීම් එක හරහා අනාගතයේ Google කරන්න ඉන්න වික්‍රමයන් සේරම මුලින්ම දැන ගන්න අවස්ථාව ලැබෙන්නේත් Google I/O Extended වෙත සහභාගී වෙන අයටයි. Google ආයතනයේ උපාංග, සේවා සහ නව නිර්මාණ ඇතුළු බොහෝ දේ එදාට එළි දැක්වෙන්න නියමිතයි.

රට පුරාම සිටින තාක්ෂණ ලෝලීන් 3000කට වැඩි පිරිසක් මේ වැඩසටහනට සහභාගී වෙන්න නියමිතයි.

Google I/O Extended 2017ට අදාළ වැඩිදුර තොරතුර දැන ගන්න වගේම ඒ ගැන නිතරම අවධානයෙන් ඉන්නත් ඔබ කැමති නම් දැන්මම ශ්‍රී ලංකා ගූගල් නිර්මාණකරුවන්ගේ සංගමයේ ෆේස්බුක් පිටුවත් එක්ක හරි, ඔවුන්ගේ වෙබ් අඩවියත් එක්ක හරි එකතු වෙන්න පුළුවන්. Google I/O Extended 2017 ශ්‍රී ලංකාවේ පවත්වන්න සම්පූර්ණ අනුග්‍රාහක ශක්තිය ලැබෙන්නේ ඩයලොග් සහ අයිඩියාමාර්ට් වෙතින්.

Roar tech එක්කත් දිගටම රැඳී සිටියොත් Google I/O Extended 2017 ගැන තවත් තොරතුරු දැන ගන්න පාඨක ඔබටත් පුළුවන්.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

Related Articles