Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාමත් මුරපද කටපාඩම් කරනවද? Smart Lock හෝ LastPass තියෙනවනම් ඔහොම කරන්න ඕන නැහැ

ජීවිතේ මතක තියාගන්න අවශ්‍ය දේවල් අපිට කොතරම් තියෙනවාද කියනවානම් හුස්ම ගැනීමත් ඉබේටම සිදුවෙන දෙයක් නිසා මිසක් නැත්නම් අපිට ඒකත් අමතක වෙලා මැරිලා ගිහින් ගොඩක් කල්. ගිනි අව්ව නැතිදාට කුඩේ ගෙනියලා, වැස්ස දාට ඒක ගෙදර තියලා එන අපි කණ්ණාඩි දෙක ඇස් දෙකේම හෝ නළලේ තබාගෙන ඒක හැමතැනම හොයන්න තරම් දේවල් රැසක් ඔළුවේ තියාගෙන තමයි ඉන්නේ.

නිව්ටන්ට, අයින්ස්ටයින්ට එහා ගිය ගණන්කාරයෝ වුණු අපිට කුඩේ, පෙළපොත්, ගෙදර වැඩ දුන්නාම ඒවා කරපු පොත එහෙම අමතක වෙන්නේ නිතරම මනසින් විද්‍යාත්මක සහ ගණිතමය දේවල් ගැන මෙනෙහි කරමින් ඉන්නා නිසා නෙවෙයි කියලා ඉතින් කාටද කියන්න පුළුවන්?

(oneclickroot.com)

(oneclickroot.com)

ඉතින් මේ ආකාරයට අපිට අමතකවෙන බොහෝ දේවල් සිහි කැඳවන්නට නූතනයේ බොහෝ තාක්‍ෂණික විසඳුම් ලැබී තිබෙනවා. ඉස්සර ස්ථාවර සහ නැණවත් බවින් අඩු දුරකථන තිබෙන කාලයේ අංක මතක තියාගෙන ඇමතුම් ගන්න සිදු වුණාට දැන් දුරකථන නාමාවලිය තිබෙන්නේ දුරකථනයේමයි. එනිසා අපිට තිබෙන්නේ නම මතක තියාගන්න එක විතරයි. ඒකත් ෆේස්බුක් හෝ ඊමේල් වලින් සම්පූර්ණ නම දැකලා දැකලා මතක හිටියොත් මිසක් නම් මතක හිටින්නෙත් නෑ, ෆේස්බුක් එකෙන්ම මතක් කරනකම් හුඟක්විට කාගෙවත් උපන්දින මතක හිටින්නෙත් නෑ. වෛද්‍යවරයෙක් හමුවෙන්න තිබෙන දිනය, කාර්යාලයේ රැස්වීම් දිනයක් වැනි වැදගත් දේවල් සටහන් කරගන්නට දින දර්ශන යෙදුමක් දුරකථනයේ තිබෙන නිසා අපිට ඒවා මතක තියා ගන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.

ඒ විධියට පිළිවෙළට බලාගෙන ගියාම ඔන්න ඉතිරි වෙන්නේ මේවා සේව් කරපු සේවාවන්ට ලොග් වෙන්නට අවශ්‍ය මුරපද මතක තියාගැනීමම විතරයි. හැබැයි ඔන්න අදින් පස්සෙ ඒකත් අවශ්‍ය නෑ.

මෙය ආරක්‍ෂිතව කරගන්න නම් ඔබේ පෞද්ගලික දුරකථනය හෝ පරිගණකයම පමණක් භාවිතා කිරීම වඩාත් සුදුසු අතර මේ බොහෝ ඒවායේ තිබෙන වාසියක් නම් ඔබ මුරපදයක් යතුරු ලියනය කරන ආකාරය බලා සිට කිසිවකුටත් එය සොරා ගැනීමට නොහැකි වීමයි.

හදිසියේ හෝ වෙනත් කෙනෙක්ට ඔබේ උපාංගය ලබාදෙන්නට සිදුවුණොත් ඒ සඳහාද මේ සේවාවන්ට අගුළුලා ඔවුන්ට දිය හැකිවන නිසා ඔබේම අතපසුවීමක් හැරුණුකොට මේ සේවාවන් හරහා කිසිදු ආකාරයකින් ඔබේ වටිනා අන්තර්ජාල ගිණුම් සඳහාවූ මුරපද තෙවන පාර්ශවයකට නොලැබෙන අතර මින් ඔබේ කාලයද බෙහෙවින් ඉතුරු කර දෙනවා.

ගූගල්හි Smart Lock – නොමිලේ

(kinja-img.com)

(kinja-img.com)

ක්‍රෝම්, ඇන්ඩ්‍රොයිඩ් ආදී නිශ්පාදන නිසා ගූගල් සමාගම අපිට බෙහෙවින් සමීප සේවා සපයන්නෙක් වී හමාරයි. ඊමේල්, යූටියුබ් සමඟ වීඩියෝ අවශ්‍යතා මෙන්ම ගූගල් ඩ්‍රයිව් හරහා ගොනු හුවමාරු කරගන්නත්, මේ මොහොතේ මට මෙය ලියන්නට ගූගල් ඩොක්ස් හරහා පහසුකම් රැසකුත් සලසන ගූගල් සමාගම අපේ දත්ත සියල්ලම තබාගෙන අපිව ඇදබැඳ තබාගැනීමේ ව්‍යාපාරික අරමුණ සමඟ නොමිලේ මේ හැම දෙයකම උපරිම පහසුකම් සලසන්නට ඉදිරිපත්වී සිටිනවා.

මේවා අතරට ස්මාර්ට් ලොක් සේවාවද අඩංගු වන අතර එමඟින් ක්‍රෝම් සමඟ පරිගණකයේද, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවල මෙහෙයුම් පද්ධතිය හරහාද මුරපද මතක තබා ගැනීම සඳහා උපකාරී වෙනවා. ඔබේ දැනටමත් තිබෙන ගූගල් ගිණුම හරහාම භාවිතා කළ හැකි මෙය පරිගණකයේදී ක්‍රෝම් සඳහා Sign-In වීමෙන්ද, මාෂ්මෙලෝ මෙහෙයුම් පද්ධතිය සහිත ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ සැකසුම්වල “Smart Lock” ලෙස සෙවීමෙන් හෝ පහසුකම ඇති අනෙක්වායේ Google app එක හරහා Smart Lock වෙත පිවිස එය සබල (enable) කරගැනීම සිදුකල හැකියි.

(roar)

(roar)

මීට පෙර සිටම ක්‍රෝම් හරහා ඔබ වෙබ් අඩවියකට මුරපදය ඇතුළු කළ වහා එය මතක තබා ගන්නදැයි කරදර කළ අතර දැන් එයද Chrome වෙත Sign-In වීම හරහා ස්මාර්ට් ලොක් වෙත යවනු ලබනවා. දුරකථනයේදී ස්මාර්ට් ලොක් සඳහා සහාය දක්වන Facebook, Netflix වැනි යෙදුම් වලදී ස්වයංක්‍රීය පිවිසීම සිදුකරගත හැකි නිසා ඉන් ඒවායේ පිවිසුම් තිරයවත් ඔබට දකින්නට ලැබෙන්නේ නැහැ. අනෙකුත් ඒවායේ නම් සුරකින ලද මුරපද ඇතුලත් කරදී බලා සිටින අතර ඔබේ ස්මාර්ට් ඔරලෝසුව වැනි බ්ලූටූත් උපාංගයක් අසල තිබෙනවා නම් දුරකථනයේ ප්‍රධාන අගුළද හැරදීමට මෙය සමත් වෙනවා.

passwords.google.com හරහා මෙය ගූගල් ගිණුම සඳහා සබල කරගැනීමටත්, දැනට සුරැක ඇති මුරපද පරිගණකයෙන් වෙබ් සේවාවක් වශයෙන් බලාගැනීමටත් දැන් ඔබට හැකි වෙනවා.

LastPass – අර්ධ වශයෙන් නොමිලේ

(blog.lastpass.com)

(blog.lastpass.com)

ගූගල්හි විසඳුම නිසා අපි ක්‍රෝම් සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා කොටු වෙනවා. ඉතින් ඔබට අයිෆෝන් දුරකථනයක් හෝ පරිගණකයේදී ෆයර්ෆොක්ස් වැනි වෙනත් බ්‍රවුසරයක් භාවිතා කරන අවස්ථාවකදී ස්මාර්ට් ලොක් එකට සියළුම දත්ත ලබාදී තිබුණොත් ඒවා භාවිතයට ගන්නට නොහැකි වෙනවා. මේ නිසා ඕනෑම මෙහෙයුම් පද්ධතියකට සහ බ්‍රවුසරයකට උචිත විසඳුමක් ලෙසින් ලාස්ට්පාස් හඳුන්වා දෙන්න පුළුවන්.

මෙහි නොමිලේ ලැබෙන පහසුකම් අතර සීමාරහිතව මුරපද සංඛ්‍යාවක් මතක තබාගැනීම, ආකෘති පත්‍රවල සියළුම ක්‍ෂේත්‍ර මතක තබා ගැනීම, ආරක්‍ෂිත සටහන් සුරැකීම මෙන්ම දැන් පරිගණකය හැරුණාම දුරකථන යෙදුම හරහාද නොමිලේ එය භාවිතා කරන්නට අවස්ථාව සලසාදීම නිසා පුළුල් නොමිලේ සාමාන්‍ය වැඩකටයුතු සඳහා භාවිතා කළ හැකි උපරිමයක් ලැබී තිබෙනවා. ගූගල්හි සේවාවට අමතරව මෙහි ඇති තවත් විශේෂ දෙයක් නම්, වෙබ් අඩවියක ලියාපදිංචි වීමේදී නව මුරපදයක් ලබා දෙන අවස්ථාවේදී වඩාත් සුරක්‍ෂිත මුරපදයක් මේ හරහාම නිපදවා ඊට ලබාදිය හැකි වීමයි.

ස්මාර්ට් ලොක් සඳහා ගූගල් ගිණුමක් අවශ්‍ය වූවා සේ මෙය භාවිතා කිරීමට ද ලාස්ට් පාස් වෙබ් අඩවියේ ගිණුමක් අවශ්‍ය වෙනවා. එයට ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් දිගුව හරහා ඇතුළු විය යුතු අතර ඉන්පසු ඕනෑම වෙබ් අඩවියක් සඳහා ස්වයංක්‍රීය පිවිසුම්ද ලබා ගත හැකි වෙනවා. දුරකථන යෙදුම භාවිතයේදී ඇඟිලි සලකුණු ස්කෑනරය සහිත දුරකථනවල ඇඟිලි සලකුණ ලබාදීමෙන් හෝ අනෙක්වායේ ලාස්ට්පාස් ප්‍රධාන මුරපදය ලබාදීමෙන් හෝ පිවිසිය හැකි අතර ඉන් ඕනෑම යෙදුමකට හෝ බ්‍රවුසර හරහා අපි පිවිසෙන වෙබ් අඩවි සඳහා සුරැකි මුරපද ලබා දෙනු ලබනවා.

තවත් ඒවා තිබෙනවා

(memedroid.com)

(memedroid.com)

මේ දෙක හැරුණාම තවත් ඕනෑ තරම් මුරපද මතක තබා ගැනීමේ සේවාවන් තිබෙනවා. ඒවා අතර Enpass, KeePassX, Dashlane ආදිය දක්වන්නට පුළුවන්. ඉහළින් දක්වන ලද සේවා දෙක මම පොද්ගලිකව දැනට මාස කිහිපයක සිට භාවිතා කරන අතර ඒවා ඉතා හොඳින් සාමාන්‍ය අවශ්‍යතාවන් සපුරාලන බව කියන්නට පුළුවන්. ගූගල්හි සේවාවෙන් නොලැබෙන දේ ලාස්ට්පාස් හරහා සපුරා ගන්නා අතර මින් එකකට සීමා නොවී සිටින්නේ හදිසියේ හෝ සමාගම්වල ප්‍රතිපත්ති වෙනස්වීමක් සිදුවුවහොත් ඒකාධිපතීත්වයකට යටත් නොවී එය දෙවරක් නොසිතා අතහැර දැමීමට හැකිවීම සඳහායි.

ඉතින් මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම්ද අපිත් එක්ක බෙදාගන්නට අමතක කරන්න එපා.

මූලාශ්‍ර: LastPass.com, Google Smart Lockහි වෙබ් පිටුව

කවරයේ පින්තූරය: pandasecurity.com

Related Articles