Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ අපි සහ තොරතුරු තාක්ෂණය

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් වෙතිනි.

ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර ඉඳිරියේදී අත්සන් තැබීමට යෝජිත ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‌ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳව සමාජයේ කථිකාවක් ආරම්භවීම සමඟම ඒහා සමගාමීවම බොහෝ වශයෙන් සාකච්ඡාවට ගැනෙන ක්ෂේත්‍රයක් තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉතිහාසය විශාල ඉතිහාසයකට හිමිකම් කියන සේවා ක්ෂේත්‍රයක් නම් නෙමෙයි. ශ්‍රී ලංකාවට අන්තර්ජාලය හඳුන්වා දී තවමත් ගෙවී ඇත්තේ දශක දෙකක් පමණක් වීමම, මෙම ක්ෂේත්‍රයට රටක් වශයෙන් අප සම්බන්ධවූ කාලය පිළිබඳ අදහසක් ගැනීමට ප්‍රමාණවත් කියලයි අපිට හිතෙන්නේ. ඒ කොහොම වෙතත් ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව කෙටි කාලයක් තුළදී විශාල දියුණුවක් ලැබූ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සහ එහි අනාගත දිශානතීන් පිළිබඳව සාකච්ඡා කිරීමටයි අපේ මේ උත්සාහය.

පසුගිය දශකයේදී සීග්‍ර වර්ධනයක්

(Sri Lankan IT-BPM Industry Review 2014)

(Sri Lankan IT-BPM Industry Review 2014)

පසුගිය දශකයක කාලයේදී ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට තමන්ගෙන් ලැබෙන දායකත්වය සීඝ්‍රයෙන් වැඩි කිරීමට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට හැකියාව ලැබී තිබෙන බව පැහැදිලි කරුණක්.

2007 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 213ක් වූ වාර්ෂික ආදායම වසර 2016 වනවිට ඇ.ඩො. බිලියන 1ක සීමාවට පැමිණීම පිළිබඳව සැළකීමෙන් මේ පිළිබඳව වඩාත් පැහැදිලි අදහසක් අපිට ලබාගන්න පුළුවනි. එවගේම ඉඳිරි වසර 6ක කාලයකින් පසුව එනම් වසර 2022 වනවිට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ජාතික ආදායම සඳහා වන දායකත්වය ඇ.ඩො. බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමට පුරෝකතනය කර තිබෙනවා.

නව රැකියා

(Sri Lankan IT-BPM Industry Review 2014)

(Sri Lankan IT-BPM Industry Review 2014)

2013 වසර වනවිට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා සම්බන්ධ සෘජු රැකියාවන් ප්‍රමාණය 75,107ක්. අද වනවිට ඒ ප්‍රමාණය 100,000කට ආසන්න අගයක් ගන්නා බවයි සඳහන් වෙන්නේ.

නමුත් 2007 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සෘජු රැකියා ප්‍රමාණය 33,000 ක ප්‍රමාණයක්. ඒ අනුව බලන විට ගතවූ වසර 9ක කාලයේදී මේ ක්ෂේත්‍රයේ රැකියා ප්‍රමාණය ආසන්න වශයෙන් තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ඉදිරි වසර 6ක කාලය තුළදී එනම් වසර 2022 වනවිට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ සෘජු රැකියා ප්‍රමාණය 200,000 (2016 ඇති ප්‍රමාණය මෙන් දෙගුණයක්) බවට පත් කරගැනීමට පුරෝකතනය කර තිබෙනවා. ඒ වගේම අලුතෙන් ආරම්භ වන ව්‍යාපාර (Start-Up) 1000කට අධික ප්‍රමාණයක් ඇතිකිරීමේ වැඩසටහන් හරහා එම ඉලක්ක සම්පූර්ණ කරගැනීමට බලාපොරොත්තු වෙනවා. (Start-Up එකක් පටන් ගන්නේ කොහොමද – වැඩිදුර කියවන්න)

(Sri Lankan IT-BPM Industry Review 2014)

(Sri Lankan IT-BPM Industry Review 2014)

සරළව ගත්විට ගතවූ 2007 වසරේ සිට 2013 දක්වා පමණක්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සියළු අංශ වලින් 100%කට අධික වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. එනම් වර්තමාන ශ්‍රී ලංකාවේ වඩාත්ම වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයක් විදියට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තම සළකුණ සටහන් කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

වෙළඳපොළ

(Sri Lankan IT-BPM Industry Review 2014)

(Sri Lankan IT-BPM Industry Review 2014)

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන වෙළඳපොලක් විදියට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන උතුරු ඇමරිකානු මහද්වීපය නම් කරන්න පුළුවනි. ඒ වගේම එක්සත් රාජධානිය සහ අයර්ලන්තය ප්‍රධාන යුරෝපය සහ දකුණු ආසියානු කළාපය අපේ අනිකුත් ප්‍රධානතම වෙළඳපොළ ලෙස දක්වන්නට පුළුවනි.

එලෙසින්ම මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව සහ ආසියා මහද්වීපය පුරාමත් අපේ වෙළදපොල පැතිරී තිබෙනවා. මෙහිදී අතිවිශේෂම කාරණාව වෙන්නේ, ඇමරිකානු මහද්වීපයේ සහ යුරෝපා මහද්වීපය තුළ ගුණාත්මක භාවයෙන් වඩාත් ඉහළ මෘදුකාංග සහ සේවාවන් සඳහා ශ්‍රී ලංකාව නම් දරා තිබීමයි.

අපනයන ආර්ථිකය සඳහා දායකත්වය

(Sri Lankan IT-BPM Industry Review 2014)

(Sri Lankan IT-BPM Industry Review 2014)

2004 වසරේදී රටේ සමස්ත අපනයනයන් සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 105ක්. එය ප්‍රතිශතයක් ලෙස 2% කටත් වඩා අඩු ප්‍රමාණයක්. නමුත් 2013 වසර වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 719ක ප්‍රමාණයක් දක්වා ප්‍රසාරණය වෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ප්‍රතිශතයක් ලෙස ගත්විට 6.45%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2015 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයන්ගේ එකතුවට ඇමරිකානු ඩොලර් බිලියන එකකින් දායකත්වය දක්වන්නට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය උත්සාහ ගනිද්දි එය ප්‍රතිශතයක් ලෙස 7% ක දායකත්වයක් ලෙස දැක්වෙනවා. මේ සියළු සංඛ්‍යාලේඛණයන් මඟින් තව තවත් පැහැදිලි කරන්නේ ඉඳිරි වසර කීපය තුළදී රටේ ආර්ථිකයෙන් විශාල වපසරියක් සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය විසින් දායකත්වය දක්වන බවට පෙරනිමිති දක්වමින්.

ලෝකය පුරා ලැබෙන පිළිගැනීම

(Sri Lankan IT-BPM Industry Review 2014)

(Sri Lankan IT-BPM Industry Review 2014)

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ව්‍යාපාරික ලෝකය තුළ තම අනන්‍යතාවය ක්ෂේත්‍ර ගණනාවකින්ම දක්වා තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරික ලෝකයේ පිළිගත් ආයතන සහ සංවිධාන විශාල ප්‍රමාණයකින් තමන්ගේ වෘත්තීය නිපුණත්වය සහ විශිෂ්ඨත්වය සඳහා නොයෙක් ඇගයීම්ද ලබාගෙන තිබෙනවා. World Economic Forum ඒ සඳහා උදාහරණයක්.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා World Economic Forum මඟින් වාර්ෂිකව පළකරන Global Competitiveness Report අනුව 2013,2014,2015,2016 වසර සඳහා දකුණු ආසියාවේ අංක 01 ස්ථානය දිනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දකුණු ආසියාවේ හොඳම e-Government ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන් රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තියෙනවා. ලෝක බැංකුව විසින් 2014 වර්ෂයේදී ප්‍රකාශ කළ Doing Business Index දර්ශකයේ දකුණු ආසියාවේ අංක 01 ලෙස නම් කළේද ශ්‍රී ලංකාවයි.

(Sri Lankan IT-BPM Industry Review 2014)

(Sri Lankan IT-BPM Industry Review 2014)

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මේ ලබාගත් අන්තර්ජාතික ජයග්‍රහණයන් සහ පිළිගැනීම් එක රැයකින් අත්කරගත් දේවල් හෝ අහම්බයන් නම් නෙමේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල සහ තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයන් විසින් බිහිකරනු ලබන ශිෂ්‍ය ප්‍රජාව මේ ජයග්‍රහණයන්හි මූලිකම පදනම විදියට පෙන්වා දෙන්න පුළුවනි.

තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතර පවත්වන අන්‍තර්ජාතික තරඟාවලියන්හීදී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනයන් සෑම වසරකදීම අඛණ්ඩව ප්‍රධාන පෙළේ ජයග්‍රහණයන් ලබාගෙන තිබීම මෙහිදී විශේෂයෙන්ම සඳහන් කිරීම වැදගත්. Microsoft Imagine Cup, Google Summer of Codes, IEEEXtreme වැනි ජාත්‍යන්තර මෘදුකාංග තරඟාවලියන්හිදී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විශිෂ්ඨ ජයග්‍රහණයන් ලබාගෙන තිබීම මෙයට උදාහරණ ලෙස දක්වන්නට පුළුවනි.

Network Readiness Index සහ ශ්‍රී ලංකාව

World Economic Forum මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ලෝක තොරතුරු තාක්ෂණ වාර්ථාව (Global Information Technology Report) හරහා ලෝකයේ රටවල් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ලෝක මට්ටමේදී අත්කරගෙන සිටිනා ස්ථානය පිළිබඳව ලොවට කරුණු ඉඳිරිපත් කරනවා.

ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ Network Readiness Index (NRI) නම්වූ දර්ශකයයි. මෙම NRI දර්ශකය නිර්මාණය කරන නිර්ණායකයන් පිළිබඳව අවධානය යොමු කිරීම මගින් ඔවුන් ඒ ආකාරයට රටවල් වර්ගීකරණය කරනා ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. NRI දර්ශකය නිර්මාණය කරනා මූලික නිර්ණායකයන් 6 පහත පරිදි සංක්ෂිප්ත කරන්න පුළුවනි.

1- රටක කටයුතු සඳහා තොරතුරු තාක්ෂණයේ බලපෑම උපරිම ලෙසම ලබාගත හැකි සහ එය නියාමනය කල හැකි ආකාරයේ රාජ්‍ය සහ ව්‍යාපාරික පරිසරයක් රටතුළ පවතීද යන්න,

2- රටක තොරතුරු තාක්ෂණ උද්‍යතාව ගණනය කරනු ලබන මූලික කාරනාවන් වන ශක්‍යතාවය, හැකියාව, යටිතල පහසුකම් යනාදිය ඉහත සඳහන් කළ බලපෑම ඇතිකිරීමට ඉවහල් වනවාද යන්න,

3- රටේ කටයුතු සඳහා තොරතුරු තාක්ෂණයේ බලපෑම උපරිම ලෙසට ලබාගැනීම සඳහා රජය, ව්‍යාපාරික ප්‍රජාව සහ පොදු සමාජය යන අංශ 3 ම ඉතා වැදගත් තීරණාත්මක කාර්‍යභාරයක නියැලෙනවාද යන්න,

4- තොරතුරු තාක්ෂණය රටේ අනෙකුත් ප්‍රධානතම ක්ෂේත්‍ර (ආර්ථික, සමාජ) කෙරෙහි වැදගත් බලපෑමක් ඇතිකරනවාද,

5- මෙම ක්‍රියාවලියේ ගාමක බලවේගයන් වන සමාජය, අවශ්‍යතාව සහ භාවිතාව යන දේවල් එකිනෙක හා බද්ධව එකිනෙකාගෙන් පෝෂණයවෙමින් නොනවතින චක්‍රීය ගමනක යෙදෙනවාද,

6- ජාලගත උද්‍යතා රාමුව (Network Readiness Framework) මගින් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මගපෙන්වීම ලබාදෙනවාද යන්න.

2016 වසර සඳහා නිකුත් කළ Global Information Technology Report හි ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව අන්තර්ගත කාරණාවන් පිළිබඳවයි අපි ඔබගේ අවධානය මීළඟට යොමු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එම වාර්තාවට අනුව ආසියානු කළාපයේ ජාලගත උද්‍යතතාව (Network Readiness) අනුව පළමු රටවල් 5 අතර ශ්‍රී ලංකාවද සිටීම අතිශය වැදගත් සහ සතුටුදායක කරුණක්. එහිදී සමස්ත වශයෙන් ආසියනු කලාපයේ Network Readiness Index දර්ශකයේ ඉහළින්ම අපත් සමඟ සිටින අනිත් රටවල් වන්නේ සිංගප්පූරුව, චීනය, තායිලන්තය සහ මැලේසියාවයි.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉහත සඳහන් කළ අනෙක් සියළුම රටවල් ඉතා දියුණු රටවල් වීම හරහාම ඔවුන් සමඟ තාක්ෂණික වශයෙන් එක පෙළට සිටීම මෙහි ඇති විශේෂම කරුණයි.

කළාපයේ තොරතුරු තාක්ෂණ ප්‍රමුඛයා

දකුණු ආසියාවේ ඇති අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව Network Readiness Index දර්ශකයේ ඉඳිරියෙන්ම සිටින රටක් වීම අපි අවධානයට යොමුකළ යුතු අනිත් කරුණයි. 2016 වසරේදී ප්‍රකාශයට පත්වූ වාර්ථාව අනුව NRI දර්ශකයේ ශ්‍රී ලංකාව සමස්ත ලකුණු 4.2ක් (උපරිම ලකුණු 7) ලබාගෙන රටවල් 139කින් 63වන ස්ථානය ලබාගෙන තිබෙනවා.

තොරතුරු තාක්ෂණය නියාමනය සහ ප්‍රතිපත්තීන් සඳහා රාජ්‍ය මැදිහත්වීම වෙනුවෙන් ලකුණු 3.8ක්ද, ව්‍යාපාර සහ නව යොදාගැනීම් වෙනුවෙන් ලකුණු 4.1 ක්ද, තොරතුරු තාක්ෂණයේ නිපුණතාවය වෙනුවෙන් ලකුණු 5.7ක්ද, රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය උපයෝගී කරගැනීම වෙනුවෙන් ලකුණු 5.0ක්ද  ආදී වශයෙන් තමයි ශ්‍රී ලංකාව මේ දර්ශකයේ ඉඳිරියට පැමිණ තිබෙන්නේ.

(Sri Lankan IT-BPM Industry Review 2014)

(Sri Lankan IT-BPM Industry Review 2014)

ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාව සන්සන්දනය කිරීමේදී එම සෑම අංශයකින්ම ඔවුන් ශ්‍රී ලංකාවට වඩා අඩු ලකුණු ලබාගෙන තිබෙන ආකාරය දැකගන්න පුළුවනි. ඒ වගේම සමස්ත ලකුණු ලබාගැනීම අනුව ඉන්දියාව සිටින්නේ NRI දර්ශකයේ ලකුණු 3.8ක් ලබාගෙන 91වන ස්ථානයේයි. ඒ අනුව සලකන විට ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවට සාපේක්ෂව ඉතා ඉඳිරියෙන් සිටින බව මේ වාර්ථාවලින් පැහැදිලි වෙනවා.

(Sri Lankan IT-BPM Industry Review 2014)

(Sri Lankan IT-BPM Industry Review 2014)

 

මෙහිදී අවධානය යොමුකළයුතු ඊළඟ වැදගත්ම කරුණ වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරට අතර තොරතුරු තාක්ෂණය හඳුන්වාදීමේදී තිබූ කාල වෙනසයි. ශ්‍රී ලංකාවට මේ ක්ෂේත්‍රය හඳුන්වාදී ගතවී ඇත්තේ තවම දශක දෙකක පමණ කෙටි කලක් වන අතර ඊට සාපේක්ෂව ඉන්දියාවට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හඳුන්වා දී දීර්ඝ කාලයක් ගතවී තිබෙනවා. නමුත් ඉතාම කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාව ඉන්දියාව අභිභවා ක්ෂේත්‍රයේ ඉඳිරියට ගමන් කිරීම ප්‍රශංසා සහගත තත්වයක්.

අපි මුලින්ම සඳහන් කල ආකාරයට ඉන්දු ලංකා ETCA ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව සමාජය තුළ බොහෝ කතාබහ ඇති වුනා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගැන වගේම තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගැනත් විවිධ ආකාරයේ අදහස් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ආකාරය ඔබත් දකින්නට ඇති. මේ සමගම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සහ එහි විභවය පිළිබඳව වඩාත් පුළුල් අදහසක් ඔබට ලැබෙන්නටත් ඇතැයි අපි සිතනවා.

ඩයලොග් - ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවාදායකයා.

ඩයලොග් – ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවාදායකයා.

කවරයේ පින්තුරය: icym.edu.my

 

Related Articles