Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කේතනයේ අනාගතය වූ ජාවාස්ක්‍රිප්ට් ඉගෙන ගැනීමේ වටිනාකම කුමක්ද?

කේතනයට පිවිසෙන බොහෝ දෙනෙක් ප්‍රථමයෙන් ඉගෙන ගතයුත්තේ මොන භාෂාවද, වැඩිපුර වටිනාකමක් ලැබෙන්නේ මොන පරිගණක භාෂාව ඉගෙන ගත්තාමද ආදී වශයෙන් දාහක් ප්‍රශ්ණ ඔළුවෙ තියාගෙන පාඨමාලාවක් හදාරන්න ගියාම, අවශ්‍ය භාෂාව කෙසේ වෙතත් මුලින්ම ආදි කල්පිත C හෝ Python වැනි මුල් අවධියේ භාෂාවක් තමයි ඉගෙන ගන්න ලැබෙන්නේ.

මේ භාෂා තවමත් භාවිතයේ පැවතුනත් වෙබ් සංවර්ධකයෙක් වෙන්න යත්න දරන කෙනෙක්ට ඒවා කියා දීම හරියට ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරන්න ඉගෙන ගන්න නම් කරකවා ඩයල් කළ යුතු දුරකථනයක ක්‍රියාකාරීත්වය ඉගෙන සිටීම වැදගත් කියලා කිව්වා වගේ. ඒක දැනගන්න අවශ්‍ය තමයි, ඒත් වැල්වටාරම් ඉගෙන ගෙන ඔබ රැකියාවකට යද්දී කෙස්ස පැහිලා තියෙයි.

අනෙක, රැකියාවකට ගිහින් හෝ upwork, fiverr ආදිය හරහා හෝ ඔබ ස්වයං රැකියාවක් ඇරඹුවත් ඔබ අරක දන්නවා, මේක දන්නවා කීවාට ඒක පාරිභෝගිකයාට හෝ බොසාට අදාල නෑ. ඔබට ලබා දෙන සයිට් එක හදලා දෙන්න බැරිනම් ඉතින් වනපොත් කරපුවා තියාගෙන ගෙදර ඉන්න තමා වෙන්නේ. කොහොමහරි, ඉතින් මේ ජාවාස්ක්‍රිප්ට් ඉගෙන ගන්න එහෙම විශේෂ මූලික දැනුමක් අවශ්‍ය නැහැ. මේ වන විට පාසල් විෂය නිර්දේශයේ HTML, CSS අඩංගු කර ඇති නිසා ඒවා ඉගෙන ගන්නා ඔබට JS කියන්නේ මහා ආභරණයක්.

පැරණි කථාවක් තිබෙනවානෙ තාපසවරු තුන් දෙනෙක්ට විවිධ හැකියාවන් තිබුණු බව. එක් කෙනෙක්ට පුළුවන් ඇටසැකිල්ල එක් කරන්න. දෙවැන්නාට පුළුවන් ඊට සම්, මස් ලබාදෙන්න. තෙවැන්නාට පුළුවන් ඊට පණ ලබා දෙන්න. HTML, CSS, JS තුනත් පිළිවෙළින් ඒ විධියම යි. ඉගෙනීමත් පහසුයි.

වටිනාකම සහ රැකියා වෙළඳපොළ

 

(masspay.net)

(masspay.net)

ඕනෑම දෙයක් අපි කරන්නට ඕනෑ ඉන් තේරුමක් තිබෙනවා නම් පමණයි. ඔබට රැකියාවකට පහසුවෙන් යන්න, ඉහළ වැටුපකට යන්නට හෝ ස්වයං රැකියාවක් හරහා ඉහළ ආදායමක් ලබන්නට අවශ්‍ය වෙන දෙයක් ප්‍රථමයෙන් ඉගෙන ගෙන ඉන්නට ඕන. ඔබට යම් ආර්ථික ස්ථාවරයක් ලැබුණාට පස්සේ ඕනෑම දෙයක් හොයන්න, ඉගෙන ගන්න වෙලාව තිබෙනවා. හැමදාම ගෙදරට බරක් වෙන්නට බැහැනෙ. ඒ නිසා පරිගණක භාෂාවක් ඉගෙන ගන්න කලින් එහි රැකියා වෙළඳපොළගැන හොයන්නට ඕන.

ඔබ වෙබ් අඩවි තනන්නට කැමති නම්, ඇන්ඩ්‍රොයිඩ් හෝ iOS වලට ඇප්ස් හදන්න කැමති නම් ජාවාස්ක්‍රිප්ට් ඉගෙන ගන්නට ඕන. තවත් විධියකට කිව්වොත්, ඒ ආකාරයේ නිශ්පාදන සිදුකරන සමාගම් හෝ ආයතනවල රැකියාවකට, විශේෂයෙන් වෙබ් අඩවි නිර්මාණකරණයට ඔබ ඉල්ලුම් කරනවා නම් JS අත්‍යාවශ්‍යයි. ඒ සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් මේ කාලයේ ඕනෑම රටක තිබෙන අතර අන්තර්ජාලය හරහා කාර්යාලයට නොයා නිවසේ සිටම සේවය කිරීම හෙවත් දුරස්ථ රැකියා ක්‍රමය බිහිවීමත් සමඟ “අපේ පුතා ඉන්නේ අහවල් රටේ” කියලා අම්මලාට පුරාජේරුවක් කියන්නට බැරි වුණත් වෙනත් රටක ආයතනයක් සඳහා ඉහළ වැටුපක් ලබමින් නිවසේ සිටම රැකියාව කරන්නට තරම් නූතන ලෝකය දියුණුවී හමාරයි. HTML, CSS සහ JS පිළිබඳව සාමාන්‍ය මට්ටමක දැනුමකින් ඔබට රුපියල් විසිදහස ඉක්මවූ වැටුපකට යා හැකියි.

මේ අපබ්‍රංස කියන මමත් ලේඛකයෙක් වශයෙන් හැරුණාම මෘදුකාංග සංවර්ධකයෙක් විධියට අවුරුදු ගණනක් පළපුරුද්ද ලබලා තියෙනවා. මේ වනවිට ව්‍යාපෘති කළමනාකරුවෙක්ද වශයෙන් ලැබූ ස්වයං අත්දැකීම් අනුවයි ඔබ හා දැනුම බෙදාගන්නේ. කෙටියෙන් ම කිව්වොත්, ජාවාස්ක්‍රිප්ට්වලට හොඳ අනාගතයක් සහ ඉල්ලුමක් තිබෙනවා.

ජාවාස්ක්‍රිප්ට් නැති තැනක් නැහැ

(ageorgiev.com)

(ageorgiev.com)

ක්ලයන්ට් සයිඩ් සිට දැන් සර්වර් සයිඩ් දක්වා ද පැමිණ PHPවල ද බල බිඳදමන්නට සමත්ව ඇති ජාවාස්ක්‍රිප්ට් සුවිසල් අනාගතයකට හිමිකම් කියලා හමාරයි. සර්වරයේ, බ්‍රවුසරයේ සහ ඒ සම්බන්ධීකරණයේ ජාවාස්ක්‍රිප්ට් දැන් සම්පූර්ණයෙන් ම භාවිතා වන අතර එහි වේගය ද අනිකුත් භාෂා පරයා යනවා. මේ නිසා තාක්‍ෂණික ලොව ජාවාස්ක්‍රිප්ට් සමඟ අනාගතයට පියනඟන්නට සැරසෙද්දී රැකියා වෙළඳපොළෙහි වටිනාකම ඉහළ යන්නේ හරියට අපේ රුපියල පහළ බහිනවා වගේ ම වේගෙන්.

ජාවා, ස්විෆ්ට් ආදියට සීමාව තිබුණු දුරකථන ඇප් සංවර්ධනය මේ වෙද්දී කාර්යක්‍ෂමතාව අඩු නමුත් ජාවාස්ක්‍රිප්ට් හරහා ද සිදු කෙරෙන PhoneGap, Cordova වැනි සේවාවන් මේ වන විට බිහිවී තිබෙනවා. සාමාන්‍ය වෙබ් අඩවියකට දත්ත හුවමාරු කරන්නට, ගුවන් යානා ආදී ටිකට්පත් මිලදී ගැනුම් පද්ධතියකට, දිනපතා දිරිමත් වැකි පෙන්වන යෙදුමකට හෝ සමීක්‍ෂණ යෙදුමකට මේ ක්‍රමය ඉතා සුදුසු වන අතර ඇන්ඩ්‍රොයිඩ් සඳහා ජාවා වලින් සකසා නැවතත් මුලසිට ඇපල් සඳහා ස්විෆ්ට් හරහා ඇප් එක සංවර්ධනය කරනවා වෙනුවට මේ ක්‍රමයේදී HTML, CSS සහ ජාවාස්ක්‍රිප්ට් භාවිතා කරමින් රචනා කොට ඒ වේදිකා දෙකටම එකවර නිපැයීමේ පහසුකම ලැබෙනවා.

ඉගෙනීමට පහසුයි

(jaredenderton.com)

(jaredenderton.com)

බොහෝ පරිගණක භාෂා ඉගෙන ගන්නට ගියාම අරක ඉන්ස්ටෝල් කරන්න ඕන, මේක ඉන්ස්ටෝල් කරන්න ඕන, කම්පයිලර් එක ඉන්ස්ටෝල් කරන්න ඕන ආදී වශයෙන් ටෝල්-ටෝල් කරන්න ගොඩක් තිබෙනවා. ඒත් වෙබ් සංවර්ධකයෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ දැනටමත් ඔබ අන්තර්ජාලයේ කරක් ගහන්න පාවිච්චි කරන වෙබ් ගවේෂකය විතරමයි. ක්‍රෝම්, ෆයර්ෆොක්ස් ආදී නූතන බ්‍රවුසර බොහොමයක වෙබ් පිටු මත Right Click කළා ම තිබෙන Inspect Element වෙත ගොස් එහි Console යන්න තේරූ මොහොතේ ම ඔබට ජාවාස්ක්‍රිප්ට් අත්හදා බැලීමේ පහසුව එනවා.

අඩුම තරමේ ඔබේ ම වෙබ් පිටුවක්වත් අවශ්‍ය නැහැ. ඒත් අළුතෙන් යමක් කරද්දී Notepad එක සහ බ්‍රවුසරය භාවිතා කරමින් කළ හැකි වුවත් ඔබ රැකියාවකට පිවිසෙන්න ඉගෙන ගන්නා නිසා දැන් ඉස්කෝලෙන් කියපු Notepad එක අතෑරලා දාලා Netbeans වගේ IDE එකක් එක්ක එකතුවීම හොඳයි.

ඉගෙනුම් මූලාශ්‍ර වශයෙන් ඕනෑතරම් වෙබ් අඩවි අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. උදාහරණ වශයෙන් අතලොස්සක් දක්වනවා නම් W3Schools, Codecademy, Code School, CodeCombat ඒ අතර ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේ ම IDE එකක් වැනි කිසිදු මෘදුකාංගයක් ස්ථාපනය නොකර ඔබට අත්හදාබැලීම් කිරීමට සහ ඔබ කළ නිර්මාණ අන්තර්ජාලය පුරා බෙදාහදා ගැනීම් ආදිය කරන්නට අවශ්‍ය නම් Code Pen, JSbin සහ JSFiddle ඒ සඳහා උදව් වෙන්නට සැදී පැහැදී සිටිනවා.

අමුවෙන්ම ඉගෙන ගත යුතු නැහැ

 

ජාවාස්ක්‍රිප්ට්වල මූලික සිද්ධාන්ත ඉගෙනීමෙන් පසුව ඔබට තවදුරටත් ඒ මත ම කාලය ගත කරන්නට අවශ්‍ය නැහැ. තවත් විධියකට කිව්වොත්, අඬු ඕනෑතරම් තිබියදී තවදුරටත් අත පුච්චාගන්න අවශ්‍ය නැහැ. දැන් ඔබ කෙලින් ම jQuery, AngularJS වලින් අරඹා අනතුරුව NodeJS වෙතවූ ගමන ආරම්භ කරන්න.

මුල් දෙක Frameworks හෙවත් මූලික භාෂාව භාවිතා කරමින් තැනූ වැඩ පහසු කරගැනීමේ ආයුධ වැනි ඒවායි. සඳහන් කළ පිළිවෙළට jQuery ප්‍රථමයෙන් ඉගෙන ගැනීම සුදුසු වන අතර ඒ හරහා මැජික් පෙන්වීම් බොහොමයක් කරන්න පුළුවන් නිසා ඉගෙනීමේ ආශාව සහ වෘත්තිමය දැනුම හා හැකියාව එකවර ම ලැබේවි. ඉන් අනතුරුව එය හොඳින් පොලිෂ් වුණාට පස්සේ Angular, ReactJS සහ NodeJS වැනි අනෙකුත් ඒවාට යා හැකියි. මෙහිදීද සඳහන් කළ යුතු වන්නේ, පහසුවෙන් සහ ඉක්මණින් නිශ්පාදනය පාරිභෝගිකයාට ලබාදීම උදෙසා මේවා ඉගෙන ගෙන භාවිතා කළ යුතු අතර ඔබේ පෞද්ගලික දැනුම උදෙසා පසුකාලීනව වැනිලා/අමු ජාවාස්ක්‍රිප්ට් ඉගෙන ගන්න කාලය යොදවන්න පුළුවන්.

ඔබ මේ වන විටත් ජාවාස්ක්‍රිප්ට් ඉගෙන ගන්නා හෝ භාවිතා කරන කෙනෙක් නම්, ඔබේ අදහස්නුත් කමෙන්ට් හරහා එක් කරන්න. බොහෝ දෙනෙක්ට එය වැදගත් වෙනවා මෙන් ම අපිත් මේ ගැන ඔබ දරන අදහස දැනගන්න බොහොම කැමතියි.

මූලාශ්‍ර: skilledup.com, gooroo.io

කවරයේ පින්තූරය: haeckdesign.com

Related Articles