ව්ලැදිමීර් පුටින් කැමති ක්‍රීඩාවන්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජූඩෝ ක්‍රීඩාවට සමත්කම් දක්වන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. නමුත් පුටින් දක්ෂතා දක්වන්නේ ඒ සඳහා පමණක් නොවෙයි. ඔහු මෑත කාලයේ විවිධ ක්‍රීඩාවන්හි නිරත වන අවස්ථා දකින්න ලැබුණා. පුටින් රුචිකත්වය දක්වන ක්‍රීඩා සහ විනෝද කටයුතු සමහරක් ගැනයි මේ විස්තරය.

ජූඩෝ

පුටින් ගැන කියද්දි ජූඩෝ ගැන නොකියා බැහැ. පුටින් කුඩා කල සිටම ජූඩෝ ක්‍රීඩාවෙහි නිරත වුණා. නමුත් ඔහුගේ පියා ඒ පිළිබඳ එතරම්ම උද්‍යෝගයක් දක්වලා නැහැ. එක් අවස්ථාවක පුටින්ගේ පුහුණුකරු වූ අනතෝලි රක්ලින්ට ඔහුගේ දෙමාපියන් හමුවීමට ගොස්, පුටින් ක්‍රීඩාවට දක්ෂ බවත්, ජූඩෝ යනු භයානක ක්‍රීඩාවක් නොවන බවත් ඒත්තු ගැන්වීමට සිදු වුණා.

පුටින් ජූඩෝ පුහුණුවකදී (Sputnik)

පුටින් ජූඩෝ පුහුණුවීම් පටන් ගත්තේ ඔහුගේ වයස අවුරුදු 11 ක් වන විට යි. ආරම්භයේ දී ඔහු විශේෂ හැකියාවන් පෙන්නුම් නොකළ දරුවකු වූ බවත් කල් යාමේ දී ඔහුගේ දස්කම් ඉස්මතු වූ බවත් රක්ලින් පවසනවා. ජූඩෝ ක්‍රීඩාවේ දී ඔහු අවසානය තෙක් සටන් කරන්නකු වූ බව රක්ලින් කියා සිටිනවා.

පුටින් වයස අවුරුදු 21 දී සාන්ත පිතර්බුර්ග් ප්‍රදේශයේ ජූඩෝ ශූරයා බවට පත් වුණා. 1999 දී “Learning Judo with Vladimir Putin” (ව්ලැදිමීර් පුටින් සමග ජූඩෝ ඉගෙනීම) නම් පොතක් ද එළි දැක්වුණ අතර 2008 දී ​”Let’s Learn Judo with Vladimir Putin” (ව්ලැදිමීර් පුටින් සමග ජූඩෝ උගනිමු) යන චිත්‍රපටයක් ද නිකුත් වුණා.

කඳුකරයේ හිම මත ලිස්සා යාම​ (Mountain Skiing)

මෙය පුටින් තරමක් මෑතක දී පටන් ගත් ක්‍රීඩාවක්. ඔහුගේ පුහුණුකරු වන්නේ කලක් රුසියානු ඔලිම්පික් සංගමයේ සභාපති වූ ලියොනිඩ් ත්‍යාගචෙෆ් පුටින් ගේ පුහුණුකරු වනවා. ඔහු කියන අන්දමට පුටින් මුල් කාලයේ එකම වරද යළි යලිත් කරන්නට පුරුදුව සිටියා. නමුත් වසර දෙකක් තුළ දී ඔහු ඉතා වේගයෙන් කන්දක් පහළට ලිස්සා ඒමට හැකි තත්ත්වයට පැමිණියා. ඔවුන් පුහුණුවීම් කළේ මධ්‍යම රාත්‍රියේ සිට පැයක හෝ දෙකක කාලයක්. අදටත් පුටින් නිතර පුහුණුවීම් කරන බව ත්‍යාගචෙෆ් කියා සිටිනවා.

පුටින් සෝචි හි හිම මත ලිස්සා යන ක්‍රීඩාවේ යෙදෙයි (AP)

අයිස් හොකී

අයිස් හොකී රුසියාවේ ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් පුටින් එහි නිරත වන්නේ මෑතක සිට යි. 2011 දී තරුණ මළල ක්‍රීඩකයන් පිරිසක් සමග වූ කතාබහක දී තමන් අයිස් මත ලිස්සා යාම ඉගෙනීමට බලාපොරොත්තු වන බව කියා සිටියා. ඔහු ඊට පෙර වරක් ඒ සඳහා උත්සාහ කර එය අසාර්ථක වී තිබුණා.

කිහිප වරක්ම ලෝක ශූරයින් වූ කණ්ඩායම්වල සාමාජිකයකු ද වූ ප්‍රකට රුසියානු අයිස් හොකී ක්‍රීඩක අලෙක්සේයි කසතොනොෆ් පුටින්ගේ පුහුණුකරු වුණා. මෙම පුහුණුවීම් ද කළේ රාත්‍රියේ යි. තමන් පුහුණු වූයේ පුටුවක් අල්ලාගෙන බව පුටින් කියා සිටිනවා.

පුටින් අයිස් හොකී ක්‍රීඩා කරන අවස්ථාවක් (LA Times)

කොහොම වුණත්, 2011 ජනවාරියේ පටන් ගත් කාර්යය එම වසරේ අප්‍රේල් වෙද්දී බොහෝ දුරට සාර්ථක කරගැනීමට පුටින් සමත් වුණා. ඔහුට ඒ වෙද්දී හොකී ක්‍රීඩා කළ හැකියි. නමුත් ඔහු ක්‍රීඩා කරද්දී අනෙක් ක්‍රීඩකයන් ඉතා ප්‍රවේශම් වනවා. ජනාධිපතිවරයා බිම හෙලන්නට කිසිවකුත් කැමැත්තක් දක්වන්නේ නැහැ.

රිය පැදවීම

පුටින් මුලින්ම පැදවූ රිය ඔහුගේ දෙමාපියන් ලොතරැයියකින් දිනූ සපොරොෂෙත්ස් (Zaporozhets) වර්ගයේ කාරයක්. නමුත් ජනාධිපති ධුරයට පත් වූ පසු ඔහු ඊට වඩා බොහෝ දියුණු රථ භවිතා කරනවා. 2006 දී ඔහු එවකට ඇමරිකානු ජනාධිපති වූ ජෝර්ජ් ඩබ්. බුෂ්ව​ 1956 වසරේ නිෂ්පාදිත GAZ-21 සෝවියට් රථයක රැගෙන ගියා. පසු කලෙක​, සෝචි නගරයේ දී, ඔලිම්පික් කමිටු සභාපතිවරයාව ඔහු ගෙනගියේ නිවා රථයක යි. මේ රථ දෙකම පුටින්ට පුද්ගලිකව අයත් රථ වනවා.

රුසියාවේ ලාඩා මෝටර් රථ විවිධ විහිළුවලට පාදක වන බව අප දන්නවා. නමුත් 2010 දී පුටින් දින හරතක​, කිලෝමීටර් 2000ක ගමනක් යාමට තෝරාගත්තේ ලාඩා කලීනා රථයක්. ඔහු එම දින හතරේ දී සයිබීරියාවේ කබරොව්ස්ක් සිට චිටා වෙත වාහනය පැදවූවා.

ලාඩා කලීනා රථය පදවන පුටින් (premier.gov.ru)

පුටින් තමන් ගේ ජනාධිපති නිල ලිමොසීන් රථය පදවන්නේ ඉතා අඩුවෙන්. නමුත් 2018 දී ඔහු ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සෝචි නගරය වටා රැගන ගියේ තමන්ම රිය පදවමින්. පුටින් ඉඳහිට ෆෝර්මියුලා වන් රථ ද පදිනවා.

දිය යට කිමිදීම​

දිය යට කිමිදීම පුටින් නිතර සිදු කරන්නක් නම් නොවේ. 2011 දී ඔහු තමාන් බොක්කෙහි පිහිටි “රුසියාවේ අත්ලාන්තිසය​” හෙවත් ෆනගෝරියා නම් වූ ඉපැරණි ග්‍රීක් නගරය වෙත කිමිදුණා. එදින පුටින් කියා සිටියේ ඒ ඔහුගේ දෙවැනි දියයට කිමිදීම බව යි. කෙසේ වෙතත් ඔහු ඉන්පසු අවස්ථා කිහිපයකම කිමිදුමෙහි යෙදී තිබෙනවා.

ඇවිදීම (Hiking)

පුටින් ඇවිදින්නට ප්‍රිය වන්නේ ටුවා ප්‍රදේශයේ බවයි කියවෙන්නේ. එය රුසියානු ආරක්ෂක ඇමති සර්ගෙයි ෂොයිගුගේ උපන් බිම යි. 2018 අගෝස්තුවේ පුටින්, ෂොයිගු සහ FSB බුද්ධි ආයතනයේ ප්‍රධානී අලෙක්සන්දර් බෝර්ට්නිකොෆ් සමග ටුවා ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරන අතර එහි කඳුකරයේ ඇවිදීමෙහි යෙදුණා.

මසුන් ඇල්ලීම​

පුටින් මසුන් ඇල්ලීමට ද වඩාත් ම ප්‍රිය කරන ප්‍රදේශයන් අතුරින් ටුවා ද එක් ප්‍රදේශයක් වනවා. 2013 දී පුටින් එම ප්‍රදේශයේදී කිලෝ 21ක පයික් වර්ගයේ මත්‍ස්‍යයකු අල්ලාගත් බව පැවසුණා. මීට අමතරව මුර්මාන්ස්ක් ප්‍රදේශය සහ අස්ත්‍රහාන් ප්‍රදේශයෙහි වොල්ගා ඩෙල්ටාව ද මසුන් ඇල්ලීමට ඔහු ප්‍රියතම ප්‍රදේශයන් වනවා.

පුටින් පවසන්නේ බිලී පිත්තක් රැගෙන හිඳගෙන සිටින අවස්ථාව ඔහුට ඉතා වටිනා, නිස්කලංක අවස්ථාවක් බවයි. ඔහුගේ තනතුර ඇතැම් විට ඔහුගේ මෙම විනෝදාංශයට උපකාර වන බව ඔහු පෙන්වා දෙනවා. එසේ නොවේ නම් ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනකු සමග එම රටේ දී මසුන් ඇල්ලීමේ අවස්ථාව ඔහුට නොලැබෙන බව ඔහු පෙන්වා දුන්නා.

Cover Image: කඳුකරයේ ඇවිදින අතරතුර පුටින් (Sputnik)

Related Articles