ලෝකය වටා

විනාඩි 3 ක කියවීමක්

විටින් විට මතුවන ලෙනින්ගේ සිරුර වළ දැමීම පිළිබඳ විවාදය

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

Chamara Sumanapala

Staff Writer

රුසියාවේ බෝල්ශවික් විප්ලවයේ සියවන සංවත්සරය සැමරීමට සමගාමීව දශක ගණනක් පැරණි විවාදයක් නැවත මතුවී තිබෙනවා. ඇත්ත වශයෙන්ම කිවහොත් මෙම විවාදය මෙම වසරේ මින් පෙර කිහිප අවස්ථාවකදීම මතු වුණා. එම විවාදය නම් බෝල්ශවික් විප්ලවයේ නායක ව්ලැඩිමීර් ලෙනින්ගේ ගේ සිරුර වැළලිය යුතු ද නැද්ද යන්නයි.

ලෙනින් සොහොන

1870 දී සිම්බර්ස්ක් (වර්තමාන උල්යානොව්ස්ක්) නගරයේදී උපන් ව්ලැඩිමීර් ඉලීච් උල්යානොව් (ලෙනින් යනු ඔහුගේ අන්වර්ත නාමයයි) රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ බෝල්‍ෂවික් (බහුතර ) කණ්ඩායමේ නායකත්වයට පැමිණ 1917 දී සිදු වූ විප්ලවයෙන් රුසියාවේ බලය අල්ලා ගත්තා. (මෙම විප්ලවයේ සංවත්සරය නොවැම්බර් 7 වනදා යෙදෙන නමුත් එකල රුසියාවේ භාවිතා වූ පැරණි දින දර්ශනය අනුව එදින ඔක්තෝබර් 25 වනදා වූ හෙයින් මීට ඔක්තෝබර් විප්ලවය යයි කියනු ලබනවා). ලෙනින් අභිනව සෝවියට් රුසියාවේ නායකයා වූ අතර 1922 දී තවත් සෝවියට් සමූහාණ්ඩු කිහිපයක් එක් වීමෙන් සෝවියට් දේශය පිහිටුවා ගැනුනා.

ලෙනින් 1924 ජනවාරි 21 වනදා මිය ගියා. ඔහුගේ දේහය සෝවියට් විද්‍යාඥයින් වූ බොරිස් ස්බාර්ස්කි සහ ව්ලැඩිමීර් වොරොබියොව් විසින් එම්බාම් කරනු ලැබුණා. එම දේහය මොස්කව්හි ක්‍රෙම්ලිනය අසළ රතු චතුරශ්‍රයේ තැනූ සොහොන් ගැබක තැන්පත් කෙරුණා. මුලින් දැවයෙන් නිමවූ මෙම සොහොන වෙනුවට 1930 දී ස්ථිර සොහොන් ගෙයක් ඉදි කොට අවසන් කෙරුණා.

ලෙනින් සොහොන (W Balach/Wikimedia Commons)

දෙවන ලෝක යුධ සමයේදී ලෙනින්ගේ සිරුර කෙටි කලකට මොස්කව් නගරයෙන් ඉවත් කළ අවස්ථාවේ හැරුණ විට මේ දක්වාම එය තැන්පත් කර තිබෙන්නේ ලෙනින් සොහොනෙයි.

සිරුර පිළිබඳ විවාදය

සෝවියට් යුගයේදී ලෙනින් සොහොන සම්බන්ධයෙන් සෝවියට් ජනතාව කිනම් ආකාරයේ අදහසක් දැරීද යන්න පිළිබඳ සමීක්ෂණ වාර්තා ආදිය කිසිවක් නැහැ. සත්‍ය වශයෙන්ම , 1980 දශකයේ අගභාගයේදී මිහායිල් ගොර්බචොව් විසින් හඳුන්වා දුන් පෙරස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වූ සමයේ පටන් ලෙනින්ගේ සිරුර පවතින ස්ථානයෙන් ඉවත් කර භූමිදානය කිරීමේ අදහස විටින් විට ඇති වුණා. විශේෂයෙන්ම ලෙනින්ගේ අභාවය සිහි කෙරෙන ජනවාරි මාසයේදීත්, බෝල්ශවික් විප්ලවයේ සංවත්සරය සැමරෙන නොවැම්බරයේදීත් මෙම විවාදය මතු වනවා.

මළවුන් පිදීම

ලෙනින්ගේ සිරුර වළ දැමිය යුතු බවට තර්ක කරන ප්‍රබල පුද්ගලයකු වන්නේ රුසියාවේ සංස්කෘතික කටයුතු ඇමති ව්ලැඩිමීර් මෙඩින්ස්කියි. 2012 සිට එම ඇමති ධුරය දරන මෙඩින්ස්කි ඊට පෙර සිටම ලෙනින්ගේ සිරුර පිළිබඳ සිය අදහස් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කියා සිටියා. 2011 දී ඔහු සඳහන් කළේ, කෙතරම් ශ්‍රේෂ්ඨයකු වුවද, මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් රටේ අගනුවර පිහිටි වැදගත්ම ස්ථානයක තබා සැමරීම පැරණි මළවුන් පිදීමේ චාරිත්‍රයක් සිහි ගන්වන බවයි.

ව්ලැඩිමීර් මෙඩින්ස්කි (Getty)

ලෙනින් ද සිය සිරුර මේ ආකාරයෙන් තබාගෙන වැඳ පුදා ගැනීම බලාපොරොත්තු නොවූ බවත් මෙඩින්ස්කි තර්ක කරනවා. ඔහු කියා සිටින්නේ ලෙනින්ගේ පවුලට අවශ්‍ය වූයේ ඔහුගේ සිරුර සාන්ත පීටර්ස්බර්ග් නගරයේ ඔහුගේ මවගේ සොහොන අසළින් වළ දැමීම බවත්, සෝවියට් නායකත්වය එම කැමැත්තට පිටුපෑ බවත්. එමෙන්ම අද රුසියාවේ කොමියුනිස්ට් නායකත්වයට ද අවශ්‍යව ඇත්තේ ලෙනින් ජේසුස් වහන්සේ මෙන් ප්‍රතිරූපයක් බවට පත් කිරීම බවයි ඔහු චෝදනා කරන්නේ.

රුසියාවේ මානව හිමිකම් ක්‍රියාධරයකු වන ආර්සෙනි රොගින්ස්කි ද මෙම අදහසට එකඟතවය පළ කරනවා. ඔහු කළකට පෙර සඳහන් කළේ ලෙනින් යනු ඒකාධිපති පාලන තන්ත්‍රයක නිර්මාපකයා බැවින් ඔහුගේ සිරුර රුසියාවේ අගනුවර මැද මෙසේ තබා තිබීම පිළිගත නොහැකි බවයි. ඔහු සිය තර්කය තවත් ශක්තිමත් කිරීමට රුසියානු සම්ප්‍රදාය ද ගෙනහැර දක්වමින් කියා සිටින්නේ, රුසියානු චාරිත්‍ර අනුව මේ ආකාරයේ සොහින් ගැබක සිරුරු තැන්පත් කිරීම සිදු නොවූ බවයි.

පුටින් සිටින තුරු ලෙනින් ද සිටියි

රුසියාවේ කොමියුනිස්ට් ඉතිහාසය සම්බන්ධව එරට තුළ ඇත්තේ තරමක ව්‍යාකූල අදහස් යයි කිව හැකියි. කොමියුනිස්ට් පාලන තන්ත්‍රයේ ඒකාධිපති ලක්ෂණ හේතුවෙන් එය විවේචනය කළත්, අනෙක් අතට එකල රුසියාව ලෝක බලවතකු වීමත්, එහි වූ සුබසාධන ආර්ථිකයේ යම් යම් සාධනීය ලක්ෂණත් පිළිබඳ රුසියානුවන් සැළකිය යුතු පිරිසක් තුළ පැහැදීමක් තිබෙනවා. එම නිසා බොහෝ රුසියානු නායකයන් පැරණි සෝවියට් නායකයින් විවේචනය කිරීමට පෙළඹෙන්නේ නැහැ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද මෑතක් වනතුරු පැරණි සෝවියට් නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් වැළකී සිටි අතර 2016 ජනවාරියේදී පළමු වරට ඔහු ලෙනින්ව දැඩි විවේචනයකට ලක් කළා.

නමුත් ලෙනින්ගේ සිරුර සම්බන්ධයෙන් සිය සංස්කෘතික ඇමතිවරයාට වඩා වෙනස් ස්ථාවරයක පුටින් සිටින බවයි පැවසෙන්නේ. රුසියාවේ කොමියුනිස්ට් පක්ෂ නායක ගෙනඩි සියුගනොව් ප්‍රකාශ කරන්නේ තමන් ජනාධිපති ලෙස සිටින තුරු ලෙනින්ගේ සිරුර පවතින ස්ථානයෙන් ඉවත් නොකරන බවට පුටින් ඔහුට ප්‍රතිඥා දුන් බවයි.

පුටින් (වමේ) සහ ගෙනඩි සියුගනොව් (kremlin.ru)

ලෙනින්ගේ සිරුර වළ දැමිය යුතු බවට යෝජනා කෙරෙන පාර්ලිමේන්තු පනතක් මෙම වසරේදී රුසියානු රජය විසින් ප්‍රතික්ෂේප කෙරුණා. මෙය ඉදිරිපත් කළේ පාලක එක්සත් රුසියා පක්ෂයේ සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින්. කෙසේ වෙතත් රජය එය ප්‍රතික්ෂේප කළේ නෛතික කරුණක් මතයි. රජය සඳහන් කළේ ලෙනින්ගේ සිරුර වෙනත් ස්ථානයකට ගෙන යෑම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකසා ගන්නා අන්දම මෙම පනතෙන් පැහැදිලි නොකෙරෙන බවයි.

ජනාධිපතිවරණ පොරොන්දු

රුසියාවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක සහ පුටින්ගේ රජය විවේචනය කරන්නියක වන ක්සෙනියා සොබ්චැක් 2018 මාර්තු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මෑතකදී ප්‍රකාශ කළා. ඇය පවසන්නේ තමන් ජනාධිපති ධූරයට පත් වුවහොත් ලෙනින්ගේ සිරුර රතු චතුරශ්‍රයෙන් ඉවත් කරන බවයි.

ක්සෙනියා සොබ්චැක් (The Telegraph)

මේ අතර , 2017 අප්‍රේල් මාසයේදී සිදු කරන ලද සමීක්ෂණයකදී රුසියානුවන් සියයට 58ක් දෙනා ලෙනින්ගේ සිරුර නිසි ආකාරයෙන් වළ දැමිය යුතු බවත්, ඔහුගේ සොහොන් ගැබ පවතින ස්ථානයේම තිබිය යුතු බවත් සඳහන් කොට තිබුණා. ලෙනින්ගේ සොහොන් ගැබ කෞතුකාගාරයක් බවට පත් කළ යුතු බවට යෝජනා මතුව තිබෙනවා.

  • ලෙනින්ගේ සිරුර ඉවත් කළ යුතු ද ? ඔබේ අදහසත් කමෙන්ට් එකකින් දක්වන්න .

Cover Image: ලෙනින්ගේ සිරුර (AP)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්