Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඩ හෝරාවකින් අවසන් වූ බ්‍රිතාන්‍ය – සැන්සිබාර් යුද්ධය

විවිධ හේතු මත රටවල් දෙකක් හෝ කිහිපයක් අතර, එසේත් නැත්නම් එක ම රටක ප්‍රදේශ දෙකක් හෝ කිහිපයක් අතර ඇති වන යුදමය තත්ත්වයන් පිළිබඳ ව ඔබ අසා ඇති. එවැනි බොහෝ යුදමය තත්ත්වයන් යම්කිසි අවසානයක් කරා ළඟා වූයේ දශක ගණනාවකට පසුව ය. 

එවැනි පසුබිමක මිනිත්තු කිහිපයකට පමණක් සීමා වූ යුද්ධයක් පිළිබඳ තොරතුරු නැඟෙනහිර අප්‍රිකාවේ සැන්සිබාර් රාජ්‍යයෙන් වාර්තා වේ. 1896 දී සැන්සිබාර් රාජ්‍යය සහ මහා බ්‍රිතාන්‍ය අතර ඇති වූ, මිනිත්තු 38කට සීමා වූ මෙම යුද්ධය ලොව මෙතෙක් සිදු වූ කෙටි ම යුද්ධය ලෙස ද සැලැකේ.

දූපත් රාජ්‍යයක් වන සැන්සිබාර් වර්තමාන ටැන්සානියාවට අයත් වේ – www.climbkilimanjaroguide.com

සැන්සිබාර් රාජ්‍යය

නැඟෙනහිර අප්‍රිකාවට අයත් දූපත් රාජ්‍යයක් වන සැන්සිබාර් වර්තමාන ටැන්සානියාවට අයත් වේ. 1499 දී මෙම දූපත අත්පත් කරගත් පෘතුගීසිහු සියවස් දෙකකට ආසන්න කාලයක් තිස්සේ එහි පාලනය ගෙන ගිය හ. කෙසේ වෙතත් 1698 දී පෘතුගීසි ජාතිකයන් සමඟ සටන් කළ ඕමානයේ සුල්තාන්වරුන් පිරිසක් සැන්සිබාර් දූපත අත්පත් කරගෙන තිබේ. 

ටික කලකට පසු, සැන්සිබාර් ඕමානයෙන් නිදහස් වී වෙන ම රටක් ලෙස කටයුතු කිරීමේ වුවමනාව පිළිබඳ ව එරට ජනතාව අතර සංවාදයක් ඇති විය. 1858 දී සැන්සිබාර් ඕමානයෙන් නිදහස් රටක් බවට පත් විය. එතැන් පටන් වෙන ම සුල්තාන්වරයෙක් යටතේ පාලනය වූ එහි කටයුතුවලට මහා බ්‍රිතාන්‍ය ද යම් යම් අවස්ථාවල මැදිහත් විය.

සුල්තාන් අලි බින් – www.wikimedia.commons.org

ජර්මනිය සහ බ්‍රිතාන්‍ය

19 වැනි සියවස වන විට සැන්සිබාර් ඇතුළු නැඟෙනහිර අප්‍රිකානු රටවල වෙළෙඳ කටයුතු සිය පාලනය යටතට ගැනීමට බ්‍රිතාන්‍ය සහ ජර්මනිය වරින් වර උත්සහ කර තිබේ. මේ හේතුවෙන් 1888 සිට 1890 දක්වා සැන්සිබාර් හි සුල්තාන්වරයා ලෙස කටයුතු කළ සායිඩ් කලීෆා එවකට සැන්සිබාර් රාජ්‍ය යටතේ පැවැති වර්තමාන  කෙන්යාවේ ඉඩම් අයිතිය බ්‍රිතාන්‍යයටත්, තවත් ප්‍රදේශ කිහිපයක ඉඩම් අයිතිය ජර්මනියටත් ලබා දී තිබිණි.

1890 දී අලි බින්, සැන්සිබාර් හි සුල්තාන් පදවියට පත් වීමත් සමඟ එහි පාලන කටයුතුවල විශාල වෙනසක් සිදු විය. බ්‍රිතාන්‍යන්ගේ උපදෙස් පරිදි දේශීය වහල් වෙළෙඳාම තහනම් කළ ඔහු සැන්සිබාර්, බ්‍රිතාන්‍යට අයත් ආරක්‍ෂිත රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය. ඔහු සිය අමාත්‍ය මණ්ඩලයට නායකත්වය දීම සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලොයිඩ් මැතිව්ස් පත් කළේ ය. අනාගත සුල්තාන්වරුන් පත් කිරීමේ කටයුතුවලට බ්‍රිතාන්‍යට මැදිහත් විය හැකි වන ආකාරයේ නීති සකස් කිරීමට ද ඔහු කටයුතු කළේ ය.

ලොයිඩ් මැතිව්ස් – www.britannica.com

හමාඩ් බින් තුවයිනි

අලි බින් 1893 දී මිය යාමෙන් පසු හමාඩ් බින් තුවයිනි නව සුල්තාන්වරයා ලෙස පත් විය. ඔහු ද බ්‍රිතාන්‍යය සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ ය. බ්‍රිතාන්‍යය සෙබළුන් 1,000ක ගෙන් සමන්විත ආරක්ෂක බළ ඇණියක් ස්ථානගත කිරීමට ඔහුට අවසර දුන්නේ ය. එම ආරක්ෂක බළ ඇණියේ මූලික කාර්යභාරය වූයේ සුල්තාන්වරයාගේ මාලිගාව ආරක්ෂා කිරීම වේ. කෙටි කලක් ඇතුළත එම බළ ඇණියේ සාමාජිකයන් සහ බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් අතර නිරන්තර ගැටුම් වාර්තා විය. ඔවුන් සැන්සිබාර් හි ජීවත් වූ බ්‍රිතාන්‍ය සහ වෙනත් යුරෝපා ජාතිකයන්ට හිරිහැර කිරීමේ සිදුවීම් ද වාර්තා විය.

යුද්ධයක පෙරනිමිති

සුල්තාන් හමාඩ් බින් තුවයිනි 1896 අගෝස්තු 25 වැනි දින අනපේක්ෂිත ලෙස මිය ගියේ ය. සුල්තාන්වරයාගේ අභාවයෙන් පසු ඔහුගේ ඥාති පුත්‍රයෙක් වූ 29 හැවිරිදි කලීඩ් බින් බර්ගාෂ් තමන් අභිනව සුල්තාන්වරයා ලෙස ප්‍රකාශයට පත් කළේ ය. ඔහු සුල්තාන් මාලිගය වෙත ගිය නමුත් – සැන්සිබාර් හි සුල්තාන්වරයා පත් කිරීමේ දී බ්‍රිතාන්‍යය සම්බන්ධ කරගත යුතු බවට අලි බින් සහ බ්‍රිතාන්‍ය අතර ඇති කරගත් ගිවිසුම අනුව යමින් – ඔහු ඒ සඳහා බ්‍රිතාන්‍යයෙන් අවසර ලබාගෙන තිබුණේ නොමැත.

කලීඩ් බින් බර්ගාෂ් – www.wikipedia.org

බර්ගාෂ් වෙනුවට තමන්ට වඩාත් පක්ෂපාතිව කටයුතු කළ හමුද් බින් මුහම්මද් සුල්තාන්වරයා ලෙස පත් කිරීමට බ්‍රිතාන්‍යයට අවශ්‍ය විය. එවකට සැන්සිබාර් හි බ්‍රිතාන්‍ය කොන්සල්වරයා වූ බැසිල් කේව් සහ මැතිව්ස්, මාලිගයෙන් පිටවන්නැයි බර්ගාෂ්ට අනතුරු ඇඟවීමක් සිදු කළහ. එය සැලකිල්ලට නොගත් බර්ගාෂ් මාලිගය වටා සහ ඇතුළත ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවන ලෙස ආරක්ෂක බළ ඇණියේ ප්‍රධානියා වූ කපිතාන් සාලේට නියෝග කළේ ය.

සීමිත අවි ආයු

අගෝස්තු 25 වැනි දා පස්වරුව වන විට ආරක්ෂක බළ ඇණියේ සාමාජිකයන් 700කින් සහ සිවිල් වැසියන්ගෙන් සමන්විත 2,800ක පමණ බළ ඇණියක් මාලිගයේ ආරක්ෂාව සඳහා යෙදවීමට ඔහුට හැකි විය. සුල්තාන්වරයාගේ ආයුධ ගබඩාවේ තිබූ මැක්සිම් මැෂින් තුවක්කු කිහිපයක්, ගැට්ලිං තුවක්කුවක්, 17 වැනි සියවසේ නිෂ්පාදිත ලෝකඩ කාලතුවක්කුවක් සහ ජර්මානු අධිරාජ්‍යයෙක් ත්‍යාගයක් වශයෙන් දුන් රාත්තල් 12 කාලතුවක්කු දෙකක් සැන්සිබාර් වරායේ නැංගුරම් ලා තිබූ බ්‍රිතාන්‍ය නෞකා දෙසට වන්නට ස්ථානගත කර තිබිණි.

සුල්තාන් මාලිගය – www.historyofyesterday.com

මාලිගයෙන් පිටව යන්නැයි බ්‍රිතාන්‍යයෙන් පණිවිඩ

කේව්, දිගින් දිගට ම කාලිඩ් වෙත පණිවිඩ යවමින් ඉල්ලා සිටියේ සන්නද්ධ හමුදා ආපසු කැඳවා, මාලිගයෙන් පිටව යන ලෙස යි. එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කාලිඩ්, කේව් ඇතුළු බ්‍රිතාන්‍ය නිලධාරීන්ට දැනුම් දුන්නේ එදින (අගෝස්තු 25) පස්වරු 3ට තමන් සුල්තාන් පදවියේ වැඩ භාරගන්නා බව යි.

එය කැරලිකාරී ක්‍රියාවක් බවත්, ඔහු සුල්තාන්වරයා ලෙස පත් වීම බ්‍රිතාන්‍ය රජය පිළිනොගන්නා බවත් කේව් දැනුම් දුන්නේ ය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජයේ අවසරයකින් තොර ව මාලිගයට පහරදීමට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට හැකියාවක් නොවී ය.

බ්‍රිතාන්‍ය හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් දැව යොදාගෙන ඉදිකළ මාලිගයේ වැඩි කොටසක් විනාශ විය – John Kirk/Royal Geographical Society via Getty Images

තමන් සුල්තාන්වරයා ලෙස පත් වූ බව පිළිගන්නා ලෙස කාලිඩ්, සැන්සිබාර් හි අමෙරිකානු කොන්සල්වරයාගෙන් ඉල්ලීමක් කළ නමුත් ඔහුගේ පිළිතුර වූයේ “එවැනි පත්වීමක් මහා බ්‍රිතාන්‍ය රජය තහවුරු කර නැති බැවින් ඔබට පිළිතුරු දීමට හැකියාවක් නැත” යන්න යි.

කාලිඩ් සුල්තාන්වරයා ලෙස පිළිනොගන්නා ලෙස කේව් අනිකුත් රටවල කොන්සල්වරුන්ගෙන් කළ ඉල්ලීමකට ද ඔවුහු එකඟතාව පළ කළහ. එදින පස්වරු 2.30ට තුවයිනි ගේ දේහය මිහිදන් කළ අතර, පස්වරු 3ට කාලිඩ් සැන්සිබාර් හි නව සුල්තාන්වරයා ලෙස වැඩ භාර ගත්තේ ය.

බැසිල් කේව් – www.pinterest.com

අවසන් අනතුරු ඇඟවීම

කාලිඩ් නව සුල්තාන්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව තමන් ගත යුතු ඉදිරි පියවර විමසමින් කේව් බ්‍රිතාන්‍ය රජයට පණිවිඩයක් යොමු කළේ ය.

“සාමකාමී විසඳුමකට එළඹීම සඳහා දරන සියලු උත්සාහයන් ව්‍යර්ථ වන අවස්ථාවක මාලිගය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට අපට අවසර තිබේ ද?” යනුවෙන් එහි සඳහන් විය.

ඊට පිළිතුරු ලෙස “ඔබට අවශ්‍ය සහ සුදුසු යැයි හැඟෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට අවසර ඇත. එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා අධිරාජිනියගේ සහ රජයේ සහය ලැබෙනු ඇත. එසේ වුවත්, මූලික අරමුණ සාර්ථක ලෙස සාක්ෂාත් කරගැනීම සඳහා උපකාරී නොවන ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීමට උත්සහ නොකරන්න” යනුවෙන් සඳහන් ටෙලිග්‍රෑම් පණිවිඩයක් ඔහුට ලැබිණි.

තවදුරටත් සාකච්ඡා මාර්ගයෙන් සහ සාමකාමි ව ගැටලුව විසඳා ගැනීමට උත්සහ කළ කේව් කාලිඩ් වෙත තවත් පණිවිඩ කිහිපයක් යොමු කරමින් දැනුම් දුන්නේ මාලිගයෙන් ඉවත් වන ලෙස යි. කිසිදු ඉල්ලීමක් සඳහා ඔහුගෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් කේව්, කාලිඩ් වෙත අවසන් නිවේදනයක් යොමු කළේ ය. එහි සඳහන් වූයේ අගෝස්තු 27 වැනි දා උදෑසන 9 වන විට මාලිගයෙන් පිටව නොයන්නේ නම් මාලිගයට ප්‍රහාර එල්ල කරන බව යි. යුදමය තත්ත්වයට පෙර සූදානමක් වශයෙන් වරායේ නැංගුරම් ලා තිබූ සියලු වෙළෙඳ නෞකා පිටත් කර හැරීමටත්, බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් සහ ළමයින් වෙනත් ස්ථානවලට පිටත් කර හැරීමටත් කේව් කටයුතු කළේ ය.

තීරණාත්මක පණිවිඩ හුවමාරුවක්

අගෝස්තු 27 වැනි දින උදෑසන 8ට කේව් වෙත පැමිණි කාලිඩ්ගේ පණිවිඩකරුවෙක්, කාලිඩ් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දැනුම් දුන්නේ ය. ඊට පිළිතුරු වශයෙන් කේව් දැනුම් දුන්නේ තිබෙන එකම විසඳුම ඔහු ඒ වන විටත් දැනුම් දී තිබූ කොන්දේසිවලට එකඟ වීම පමණක් බව යි. උදෑසන 8.30ට පැමිණි පණිවිඩකරුවෙක් “මාලිගයෙන් පිටව යාමට හෝ ධජය පහත හෙළීමට අපගේ කිසිදු බලාපොරොත්තුවක් නැත. ඔබ මාලිගයට ප්‍රහාර එල්ල කරතැයි අපි නොසිතමු” යනුවෙන් සඳහන් පණිවිඩයක් කේව්ට භාරදුන්නේ ය. “ප්‍රහාර එල්ල කිරීමට අපට අවශ්‍ය නැති නමුත් ඔබ අපගේ කොන්දේසිවලට යටත් නොවන්නේ නම් අනිවාර්යයෙන් ම එසේ කිරීමට සිදු වනු ඇත” යනුවෙන් ඔහු කාලිඩ්ට පිළිතුරු දුන්නේ ය.

යුද්ධය ඇරඹේ

නැවත පණිවිඩයක් නොලැබුණු බැවින් මාලිගයට පහරදීමට සූදානම් වන්නැයි මැතිව්ස් සහ කේව් උදෑසන 8.55ට බ්‍රිතාන්‍ය හමුදාවට දැනුම් දුන්හ. උදෑසන 09.02ට මාලිගයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ විය. ඒ වන විට මාලිගය තුළ ආරක්ෂකයන්, මෙහෙකරුවන් සහ වහල් සේවකයන් ඇතුළු 3,000කට වැඩි පිරිසක් සිට ඇත.

ප්‍රහාර එල්ල කිරීමට වික්ටෝරියා රැජනට අයත් “Racoon”, “Thrush” සහ “Sparrow” යන නෞකා යොදාගෙන ඇත. එල්ල කළ පළමු ප්‍රහාරයෙන් සුල්තාන්වරයාට ජර්මානු අධිරාජ්‍යයාගෙන් ලැබුණු කාලතුවක්කුවලින් එකක් සම්පූර්ණයෙන්ම විනාශ විය.

ප්‍රහාරක නැව් ස්ථානගත කර තිබූ ආකාරය – www.history.com

යුද්ධය අවසන් වෙයි

මාලිගයට අමතර ව සුල්තාන්වරයාට අයත් නෞකාවකට ද බ්‍රිතාන්‍ය හමුදා දී ඇත. ප්‍රහාර හේතුවෙන් දැව යොදා ගෙන ඉදි කළ මාලිගයේ සහ ඊට අයත් ගොඩනැඟිලිවල වැඩි කොටසක් විනාශ වූ අතර, සුල්තාන්වරයාට අයත් නෞකාව ගිනි ගෙන මුහුදුබත් විය. මාලිගයේ ආරක්ෂක බළ ඇණි ප්‍රතිප්‍රහාර එල්ල කළත් ඒවායෙන් බ්‍රිතාන්‍ය නෞකාවලට සැලකිය යුතු හානියක් සිදු නොවීය.

මාලිගයේ ආරක්ෂක බළ ඇණි ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නවතා දැමූ බැවින් සහ සුල්තාන්වරයාගේ ධජය පහත හෙළා තිබූ බැවින් උදෑසන 9.40ට ප්‍රහාර එල්ල කිරීම නවතා දැමීමට බ්‍රිතාන්‍ය හමුදාව තීරණය කළේ ය. මිනිත්තු 38කට සීමා වූ සටනින් මාලිගය තුළ සිටි පුද්ගලයන් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව හෝ මිය ගිය බව කියැවේ.

බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාරවලින් පසු සුල්තාන් මාලිගය – www.pinterest.com

යුද්ධය අතරතුර නගරයේ ජීවත් වූ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාවට අයත් නිවාස කොල්ලකෑමේ සිදුවීම් ගණනාවක් ද වාර්තා විය. එම සිදුවීම් අතරතුර පුද්ගලයන් 20කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මාලිගයට ප්‍රහාර එල්ල කිරීම අවසන් වී ඉතා කෙටි කාලයක් තුළ නගරය වටා 150කින් සමන්විත බ්‍රිතාන්‍ය හමුදා ඛණ්ඩයක් යෙදවීමට මැතිව්ස් සහ කේව් ක්‍රියා කළහ. සටන සමඟ ඇති වූ කලබලකාරී තත්ත්වය කෙටි කාලයක් තුළ සමනය කිරීමට හැකි විය. එදින ම පස්වරුවේ බ්‍රිතාන්‍ය රජයට ළැදි බින් නව සුල්තාන්වරයා ලෙස පත් විය. තවත් එවැනි සිදුවීමක් ඇති වීම වලක්වා ගැනීමේ අරමුණින් බ්‍රිතාන්‍ය රජය නව සුල්තාන්වරයාගේ බලතල විශාල වශයෙන් කප්පාදු කළේ ය.

පලා ගිය කාලිඩ්

බ්‍රිතාන්‍ය හමුදා මාලිගයට පහර දෙන අතරතුර කාලිඩ් මාලිගය තුළ සිටි සාලේ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද සමඟ පලා ගොස් ඇත. පළමු කාලතුවක්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඔහු පලා ගිය බවට සමහර වාර්තාවල සඳහන් වන අතර තවත් සමහර වාර්තාවල සඳහන් වන්නේ ඔහු යුද්ධය අවසන් වීමට ආසන්න වන තෙක් මාලිගය තුළ රැඳී සිටි බව යි. පලා යාමෙන් පසු වෙනත් ප්‍රදේශවල ස්ථානගත කර සිටි ජර්මානු හමුදා රැකවරණය ඉල්ලා සිටි කාලිඩ් ඇතුළු පිරිස ඔක්තෝබර් මාසයේ දී ජර්මානු හමුදා රැකවරණය යටතේ වර්තමාන ටැන්සානියාවට අයත් ඩාර් එස් සලාම් නගරයට පිටත් කර ඇත.

බ්‍රිතාන්‍ය හමුදා සෙබළු සිය ප්‍රහාරවලින් විනාශ වූ සුල්තාන්වරයාට අයත් කාලතුවක්කුවක් අසල – www.historyguild.com

පළමු ලෝක සංග්‍රාමය අතරතුර, එනම් 1916 දී ඔහු බ්‍රිතාන්‍ය හමුදා භාරයට පත් විය. ඉන් අනතුරු ව ඔහු සීෂෙල්ස් රාජ්‍යයටත්, එහි සිට ශාන්ත හෙලේනා දූපතටත් පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කළේ ය. සීෂෙල්ස් සහ ශාන්ත හෙලේනාහි බ්‍රිතාන්‍ය හමුදා භාරයේ සිටි ඔහුට නැවත නැඟෙනහිර අප්‍රිකාව වෙත යාමට බ්‍රිතාන්‍ය රජය පසු ව අවසර දුන්නේ ය. නැඟෙනහිර අප්‍රිකාවේ වර්තමාන කෙන්යාවට අයත් මොම්බාසා නගරයට පිටත් ව ගිය ඔහු මිය යන තෙක් එහි ජීවත් විය. අසනීප තත්ත්වයකින් ද පීඩා විඳිමින් සාමාන්‍ය පුරවැසියකු ලෙස ජීවත් වූ ඔහු 1927 දී මිය ගියේ ය.

කවරයේ ඡායාරූපය - ප්‍රහාර එල්ල කිරීමට වික්ටෝරියා රැජනට අයත් "Racoon", "Thrush" සහ "Sparrow" යන නෞකා යොදාගෙන ඇත - www.wikipedia.org
මූලාශ්‍ර :
www.britannica.com
www.history.com
www.historyofyesterday.com
www.theafricanhistory.com

Related Articles