Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

EGOT Winners: අමෙරිකා කලාවේ සිවු දිග ජය ගත්තෝ

ඔබ දන්නවා ද, අමෙරිකානු විනෝදාස්වාද කර්මාන්තයේ ඉහළ ම සම්මාන හතර ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ කලාකරුවන් 17දෙනෙක් පමණක් බව?  ඔබ මෙම සම්මානලාභීන් EGOT Winners ලෙස හඳුන්වන බව දැන සිටියා ද? මෙම ලිපිය මගින් අද ඔබට  EGOT සම්මාන හඳුගැනීමට මෙන් ම එම සම්මානලාභීන් ද හඳුනාගත හැකි යි.

EGOT සම්මාන යනු මොනවා ද?

EGOT යනු අමෙරිකානු විනෝදාස්වාදන කර්මාන්තයේ ඉහළ ම සම්මාන උළෙල හතර එකට හඳුන්වන කෙටි පදයකි. ඒ, Emmy, Grammy, Oscar සහ Tony සම්මාන උලෙළු ය. මෙම සම්මාන උළෙල හතර විනෝදාස්වාදන කර්මාන්තයේ ක්ෂේත්‍ර හතරකට පිරිනැමෙයි. මෙම සම්මාන උලෙළු හතරෙන් ම සම්මාන හිමි කර ගැනීමට සමත් වූ විශිෂ්ටයන් EGOT Winners ලෙස හැඳින්වේ. මෙම සම්මාන උලෙළ හතර කුමන ක්ෂේත්‍ර සඳහා සම්මාන පිරිනමන්නේ ද යන්න හා එම සම්මාන උලෙළවල ඉතිහාසය ගැන අපි කෙටියෙන් විමසා බලමු.

Emmy සම්මාන උලෙළ:- අමෙරිකානු රූපවාහිනී ක්ෂේත්‍රයේ කලාත්මක හා තාක්ෂණික අංශවලින් අත්කරගත් කුසලතා උදෙසා ඇගයීම් පිරිනැමෙන මෙම සම්මාන උලෙළෙහි ඉතිහාසය වර්ෂ 1949 දක්වා දිව යයි. මෙම සම්මාන උත්සවය සංවිධානය කිරීම එකිනෙකට සම්බන්ධ, එහෙත් වෙන ම පවතින සංවිධාන ත්‍රිත්වයක් වන Academy of Television Arts and Sciences (ATAS), National Academy of Television Arts and Sciences (NATAS) හා International Academy of Television Arts and Sciences (IATAS)එක්ව සිදු කරයි.

Grammy සම්මාන උලෙළ:- මුල දී Gramophone Award ලෙස හැඳින්වූ මෙම සම්මානය අමෙරිකානු සංගීත ක්ෂෙත්‍රයේ විශිෂ්ටතා උදෙසා පිරිනැමෙන සම්මානයකි. National Academy of Recording Arts and Sciences (NARAS) සංවිධානය වර්ෂ 1959 සිට මෙම සම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානය කරයි. 

Oscar සම්මාන උලෙළ:- Academy of Motion Picture Arts and Sciences (AMPAS) සංවිධානය 1929 වසරේ සිට සෑම වසරක ම සංවිධානය කරන මෙම උලෙළේ දී අමෙරිකාවේ මෙන් ම ජාත්‍යන්තර මට්ටමින් සිනමා කර්මාන්තයේ පෙන්වූ දස්කම් උදෙසා සම්මාන පුද කරයි. Oscars යන නාමයෙන් මෙම සම්මානය ජනප්‍රිය වුව ද, එහි නිල නාමය වන්නේ Academy Awards යන්න යි.

Tony සම්මාන උලෙළ:- අමෙරිකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය උදෙසා සම්මාන පිරිනැමෙන මෙම සම්මාන උලෙළ වර්ෂ 1949 සිට වාර්ෂිකව පිරිනැමෙයි. American Theatre Wing සහ The Broadway League යන සංවිධාන, Tony සම්මානය පිරිනමන අතර මෙහි නිල නාමය වන්නේ Antoinette Perry Award for Excellence in Broadway Theatre යන්න යි.

Emmy, Grammy, Oscar හා Tony සම්මාන පිළිවෙලින්
Emmy, Grammy, Oscar, Tony සම්මාන පිළිවෙළින් – portablepress.com

EGOT සම්මාන හා බැඳි කතන්දර කිහිපයක් 

1) Emmy සම්මාන උළෙලට එම නම ලැබී ඇත්තේ පැරණි රූපවාහිනී කැමරාවල අඩංගුව තිබූ image orthicon tube යන අංගය නොනිල වශයෙන් හැඳින්වූ “immy” යන නම ඇසුරෙනි.

2) Grammy සම්මාන වැඩි ම ප්‍රමාණයක් ජයග්‍රහණය කළ තැනැත්තා ලෙස Georg Solti හැඳින්වෙන අතර ඔහු ඔ⁣පෙරා හා බටහිර සම්භාව්‍ය සංගීතය ආශ්‍රයෙන් සිදු කළ නිර්මාණ උදෙසා Grammy සම්මාන 31ක් හිමි කර ගෙන ඇත. කාන්තා කලා ශිල්පීන් අතුරෙන් Grammy සම්මාන වැඩි ම ප්‍රමාණයක් හිමි කර ගෙන ඇත්තේ Beyonce වන අතර එම සම්මාන ප්‍රමාණය 28කි.

3) පළමුවෙනි Oscar සම්මාන උලෙළ පවත්වා ඇත්තේ විනාඩි 15ක කාලයක් පමණක් වන අතර Oscar ඉතිහාසයේ පළමුවරට සම්මානයක් දිනා ගත් තැනැත්තා වන්නේ පළමු හොඳ ම රංගන ශිලපියාට හිමි සම්මානය දිනා ගත් Emil Jannings නම් ජර්මානු ජාතික රංගන ශිල්පියා ය. ඒ, ඔහුට සම්මාන උලෙළ පැවැත්වෙන දිනයට පෙර යුරෝපයට පිටත් වීමට සිදුවූ නිසාත්, එවිට Academy සංවිධානය උත්සවයට පෙර ම සම්මානය ලබා දීමට එකඟ වූ නිසාත් ය.

4) Tony සම්මාන සඳහා එම නම ලැබී ඇත්තේ අමෙරිකානු වේදිකා නාට්‍ය රංගන ශිල්පිණියක්, නිෂ්පාදකවරියක් හා අධ්‍යක්ෂවරියක වූ Antoinette “Tony” Perryගේ නමිනි.

EGOT ජයග්‍රාහකයෝ

ඉහත දැක්වූ Emmy, Grammy, Oscar සහ Tony යන සම්මාන උලෙළ සතරෙන් ම සම්මාන දිනා ගැනීමට සමත්වූවන් හැඳින්වෙන්නේ EGOT ජයග්‍රාහකයන් නමිනි. EGOT යන පදය මෙම ජයග්‍රහණය සඳහා පළමුවරට ව්‍යවහාර කළේ Philip Michael Thomas නම් රංගන ශිල්පියා යි. ඒ, ඔහුට එම දස්කම වසර 5ක් තුළ දැක්වීමට තිබූ ආශාව නිසා ය.

කෙසේ නමුත් මෙම සම්මාන සතරෙන් කිසිදු සම්මානයකට ඔහුගේ නම යෝජනා නොවුණු අතර මෙම පදය පොදු ජනයා අතර වඩාත් ජනප්‍රිය වූයේ  “30 Rock” නම් රූපවාහිනී කතා මාලාවේ Tracy Jordan නම් ප්‍රබන්ධ චරිතය මෙම සම්මාන හතර ම ලබා ගැනීමට සිහින මැවීමේ කතාංගය මූලික කර ගෙන ය. මෙවැනි EGOT ජයග්‍රාහකයන් 17දෙනෙක් සම්මාන ඉතිහාසය තුළ සිටින අතර තවත්⁣ බොහෝ පිරිසක් මෙම සම්මාන අතරින් තුනක් පමණක් හිමි කර ගෙන සිටිති. පහත දැක්වෙන්නේ සම්මාන ඉතිහාසයේ හමුවන EGOT ජයග්‍රාහකයන් 17දෙනා ය.

  1. Richard Rodgers
  2. Helen Hayes
  3. Rita Moreno
  4. John Gielgud
  5. Audrey Hepburn
  6. Marvin Hamlisch
  7. Jonathan Tunick
  8. Mel Brooks
  9. Mike Nichols
  10. Whoopi Goldberg
  11. Scott Rudin
  12. Robert Lopez
  13. Andrew Lloyd Webber
  14. Tim Rice
  15. John Legend 
  16. Alan Menken
  17. Jennifer Hudson

මෙම ජයග්‍රාහකයන් අතරින් විශේෂ කිහිපදෙනෙක් ගැන අපි විමසා බලමු.

සංගීත අධ්‍යක්ෂක Richard Rodgers
සංගීත අධ්‍යක්ෂ Richard Rodgers – sheetmusiclessons.it

Richard Rodgers

සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන Richard Rodgers සම්මාන ඉතිහාසයේ පළමුවරට EGOT සම්මාන සතර ම සම්පූර්ණ කර ගැනීමට සමත් වූ තැනැත්තා ය. ඔහුට මේ සඳහා වසර 17ක කාලයක් ගතවූ අතර ඔහු මෙම අංශ හත⁣රෙන් සම්පූර්ණ වශයෙන් සම්මාන 10ක් හිමිකරගෙන ඇත.

Richard Rodgers ලබා ගත් EGOT සම්මාන හතර:

Emmy:- 1962: විශිෂ්ටත ම රූපවාහිනී සංගීත අධ්‍යක්ෂණය – Winston Churchill: The Valiant Years

Grammy:- 1960: හොඳ ම වේදිකා නාට්‍ය සංගීත ඇල්බමය – The Sound of Music

Oscar:- 1945: හොඳ ම චිත්‍රපට ගීතය – State Fair චිත්‍රපටයේ “It Might as Well Be Spring” ගීතය

Tony:- 1950: හොඳ ම සංගීතමය වේදිකා නාට්‍යය, වේදිකා නාට්‍ය සංගීතය – South Pacific 

රංගන ශිල්පිනි Helen Hayes
රංගන ශිල්පිනි Helen Hayes – wmky.org

Helen Hayes

EGOT සම්මාන සම්පූර්ණ කර ගැනීමට සමත් වූ පළමු කාන්තාව බවට Helen Heyes පත්වුණු අතර ඇය සම්පූර්ණ සම්මාන ඉතිහාසයේ දෙවෙනියා ද වෙයි. වෘත්තියෙන් රංගන ශිල්පිනියක වන ඇයට එම සම්මාන හතර සපුරා ගැනීමට වසර 45ක කාලයක් ගතවුණු අතර එනිසා ම ඇය EGOT ජයග්‍රාහිකාවක් වන්නට වැඩි ම කාලයක් ලබා ගත් තැනැත්තිය ද වෙයි.

Helen Heyes ලබා ගත් EGOT සම්මාන හතර:

Emmy:- 1953: හොඳ ම රංගන ශිල්පිනිය – Schlitz Playhouse of Starsහි “Not a Chance” කතාංගය

Grammy:- 1977: හොඳ ම ප්‍රකාශිත පද පටිගත කිරීම – Great American Documents 

Oscar:- 1932: හොඳ ම ප්‍රධාන රංගන ශිල්පිනිය – The Sin of Madelon Claudet

Tony:- 1947: හොඳ ම රංගන ශිල්පිනිය, නාට්‍යමය – Happy Birthday 

සංගීත අධ්‍යක්ෂක Robert Lopez
සංගීත අධ්‍යක්ෂ Robert Lopez – masterworksbroadway.com

Robert Lopez

අමෙරිකානු සම්මාන ඉතිහාසයේ EGOT ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ පළමු ආසියානු සම්භවයක් ඇති තැනැත්තා Lopez වන අතර ඔහු වෘත්තියෙන් ගී පද රචකයෙක් හා සංගීතඥයෙකි. අඩු ම වයසක දී සම්මාන හතර ම සම්පූර්ණ කිරීමට ද Lopez සමත් විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 39කි. එපමණක් නොව, අඩු ම කාලයක දී EGOT ජයග්‍රාහකයෙක් වීමට ඔහුට හැකිවුණු අතර ඒ සඳහා ගතවූ කාලය වසර නවයකි. සම්මාන ඉතිහාසයේ සම්මාන උලෙළ හතරෙන් ම සම්මාන ද්විත්වය බැගින් ලබා ගනිමින් “Double EGOT” නම පට බැඳ ගැනීමට සමත් වුණු එක ම තැනැත්තා වන්නේ ද Robert Lopez ය.

Robert Lopez ලබා ගත් EGOT සම්මාන හතර:

Emmy:- 2008: විශිෂ්ටත ම රූපවාහිනී සංගීත අධ්‍යක්ෂණය හා නිර්මාණය – Wonder Pets!

Grammy:- 2012: හොඳ ම වේදිකා නාට්‍ය සංගීත ඇල්බමය – The Book of Mormon: Original Broadway Cast Recording 

Oscar:- 2013: හොඳ ම චිත්‍රපට ගීතය – Frozen චිත්‍රපටයේ “Let It Go” ගීතය

Tony:- 2004: හොඳ ම වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය – Avenue Q

රංගන හා ගායන ශිල්පිනි Jennifer Hudson
රංගන හා ගායන ශිල්පිනි Jennifer Hudson – oggi-notizie.it

Jennifer Hudson

ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් හා නිෂ්පාදකවරියක් වන ඇය මෑතක දී ම EGOT ජයග්‍රාහක ලැයිස්තුවට ඇතුළත් වීමට වරම් ලැබූ තැනැත්තිය වෙයි. මෙම ජයග්‍රාහණය අඩු ම වයසක දී අත්පත් කරගත් කාන්තාව වන්නේ ද ඇය යි. ඇයට මෙම ජයග්‍රහණය සම්පූර්ණ කර ගැනීමට වසර 16ක කාලයක් ගත වී ඇත.

Jennifer Hudson ලබා ගත් EGOTසම්මාන හතර:

Emmy:- 2021: දිවා රූපවාහිනී වැඩසටහනක් සඳහා වන විශිෂ්ටත ම අන්තර් සබඳතා මාධ්‍යය – Baba Yaga

Grammy:- හොඳ ම R&B ඇල්බමය – Jennifer Hudson 

Oscar:- හොඳ ම සහය රංගන ශිල්පිනිය – Dreamgirls

Tony:- හොඳ ම සංගීතමය වේදිකා නාට්‍යය – A Strange Loop

EGOT ජයග්‍රාහකයන් හා බැඳි කතා කිහිපයක් 

1) EGOT ජයග්‍රාහකයන් 17 අතරට අයත්වන්නේ තරගකාරී කාණ්ඩවලින් ජයග්‍රහණය කොට සම්මාන ලබා ගත් ජයග්‍රාහකයන් පමණක් වන අතර විශේෂ හා ගෞරවනීය (තරගකාරී නොවන) සම්මාන ද ඇතුළත්ව EGOT ජයග්‍රහණය කළ සම්පූර්ණ ගණන 21කි. ඔවුන් හැඳින්වීමට (SH)EGOT යන පදය ද යෙදෙයි.

2) PEGOT යනුවෙන් හැඳින්වෙන ජයග්‍රහණ විශේෂ⁣යක් පවතින අතර මෙහි “P” අක්ෂරය හඳුන්වන්නේ Peabody සම්මානයට ද, Pulitzer සම්මානය⁣ට ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතතාවකි.

3) දිවා හා රාත්‍රී රූපවාහිනී වැඩසටහන් සඳහා Daytime Emmy හා Primetime Emmy යනුවෙන් වෙන්ව සම්මාන උලෙළ දෙකක් පැවැත්වෙන අතර EGOT සඳහා සලකා බලනුයේ Primetime Emmy සම්මාන පමණක් යනුවෙන් ද මතයක් පවතියි. එසේ වුවත්, ඉහත ලැයිස්තුවේ දැක්වෙන තිදෙනෙක් Daytime Emmy සම්මානයක් පමණක් ලබා ගෙන EGOT සම්මාන සපුරා ඇත.

4) දැනට ජීවත්ව සිටින අය අතුරෙන් 14දෙනෙක් සඳහා EGOT සම්පූර්ණ කිරීමට එක් සම්මානයක් පමණක් අඩුව පවතින අතර ඒ අතරට ප්‍රවීණ ගායන ශිල්පී Elton John, රංගන ශිල්පිනී Julie Andrews, සංගීත අධ්‍යක්ෂ John Williams මෙන් ම ගී පද රචක හා රංගන ශිල්පී Lin-Manuel Miranda ද වෙති.

කවරයේ ඡායාරූපය- ජෙනිෆර් හඩ්සන් 2022 පැවති 75 වැනි වාර්ෂික ටෝනි සම්මාන උලෙළේ දී - gettyimages.com

මූලාශ්‍ර:
mentalfloss.com
thewrap.com
emmys.com
grammy.com
oscars.org
tonyawards.com

Related Articles