Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘The Addams Family’: ජනප්‍රියත්වයේ මුදුනට පැමිණි මනඃකල්පිත පවුල

මෙම දිනවල Netflix streaming සේවාවේ වාර්තා කළඹමින් සමාජ මාධ්‍ය ප්‍රවාහ පුරා සැරිසරන කතාංගයක් වන්නේ Jenna Ortega නම් තරුණ නිළියගේ රංගනයෙන් හැඩවන ‘Wednesday’ කතා මාලාව යි. මෙහි අපූර්වත්වය වන්නේ වසර 85කට ආසන්න කාලයක් Wednesday චරිතය අයත් මෙම මනඃකල්පිත ‘ඇඩම්ස් පවුල’ පැරණි වුවත් තවමත් වාර්තා බිඳිමින් වරින් වර ජනප්‍රියත්වයේ මුදුනට පැමිණීම යි. ඉතින්, මෙතරම් විශේෂත්වයක් දරන ඇඩම්ස් පවුල ගැන විමසා නොසිටින්නේ කුමට ද? 

එන්න! ‘The Addams Family’ ගැන දැනගනිමු. 

‘The Addams Family’ පුවත්පත් කාටූනයක් – comicartfans.com

Charles Addamsගේ පුවත්පත් කාටූනය

අමෙරිකානු ජාතික කාටුන් ශිල්පියකු වන Charles Addams මෙම මනඃකල්පිත පවුල කාටූනයක් ලෙස මුල්වරට පුවත්පතකට ගෙනෙන්නේ 1938 වසරේ දී ය. 1964 දක්වා The New Yorker පුවත්පතේ පළවූ මෙම කතා මාලාව මූලික වශයෙන් එකල සාමාන්‍ය අමෙරිකානු පවුල් සංස්ථාවට හාත්පසින් ම විරුද්ධ ගතිපැවතුම් හා ආසා ඇති පවුලක චරිත හාස්‍යය උපදවන අයුරින් ඉදිරිපත් කිරීමට නිර්මාණය කර ඇත.

ත්‍රාසය හා භීතිය උපදවන, මරණය හා සබැඳි අඳුරු දෑට වැඩි ඇල්මක් දක්වන මෙම ඇඩම්ස් පවුලේ කාටුන් කතාංග පුවත්පතට පැමිණෙන්නේ තනි පැනලයක දෙබස් රහිත කාටුනයක් ලෙස  ය. මෙවැනි තනි පැනලයේ කාටුන් බොහෝ දුරට පුවත්පතෙහි ඉතිරි ඉඩ ආවරණය කිරීමට නිර්මාණය කළ අංගයක් නිසා මෙම කතංගයන්ට දෙබස් නැතුවා පමණක් නොව කාටූනයට නමක් ගමක් ද නොතිබිණි. 

Charles Addamsගේ වාසගම

‘The Addams Family’ යන නම මෙම පවුලට ව්‍යවහාර වන්නට පටන් ගැනෙන්නේ නිර්මාතෘවරයා වූ Charles Addamsගේ වාසගම එය වූ නිසා ය. මුල් පුවත්පත් කාටූනයේ චරිතවලට නම් කිසිවක් නොතිබුණු අතර පවුලේ සාමාජිකයන් වශයෙන් මේ සිටින්නේ මවයි, මේ සිටින්නේ දරුවනුයි, මේ තැනැත්තා මාමා කෙනෙක් විය යුතුයි යනුවෙන් පුවත්පත් පාඨකයා නිරීක්ෂණය මගින් හැඳින ගත්තා විනා Charles Addams නිසි ලෙස තම කාටූනයේ පවුල් ව්‍යුහය හඳුන්වා දී තිබුණේ ද නැත.

Charles Addams තම පුවත්පත් කාටූනයේ මවගේ චරිතය පිළිබඳ වරෙක අදහස් දක්වා ඇත්තේ “ලස්සන කාන්තාවක් පිළිබඳ මගේ අදහස” යනුවෙනු යි.

‘The Addams Family’ (1964) කතා මාලාවේ ඇඩම්ස් පවුල – life.com

‘The Addams Family’ රූපවාහිනී කතා මාලාව

වසර 1964 සිට 1966 දක්වා අමෙරිකාවේ ABC රූපවාහිනී සේවාවේ විකාශය වූ මෙම පුවත්පත් කාටූනයේ රූපවාහිනී අනුවර්තනය කතා මාලා දෙකකින් සමන්විත සජීවී රංගන (sitcom) කතා මාලාවකි. David Lavy හා Donald Saltzman මෙම ඇඩම්ස් පවුලේ නිර්මාතෘ වූ Charles Addams සමඟ එකතු වී මෙම කතා මාලාව නිර්මාණය කළ අතර එහි චරිතවලට නිසි පරිදි නම් හා පවුල් පසුබිම් ලබා දුන්නේ මෙම කතා මාලාවෙනි. 

එයට රංගනයෙන් Carolyn Jones, John Astin, Jackie Coogan, Ted Cassidy හා Lisa Loring ඇතුළු නළු නිළි කැළක් සම්බන්ධ වූහ. කොටස් 64කින් සමන්විත ‘The Addams Family’ කතා මාලාව අමෙරිකානු රූපවාහිනී ඉතිහාසයේ කළු-සුදු වර්ණයන්ගෙන් නිර්මාණය කළ අවසන් රූපවාහිනී නිර්මාණ අතරට අයත් වෙයි. මෙම කතා මාලාව බෙදාහැරීම සිදු කළේ MGM Television මඟිනි.

ඇඩම්ස් පවුලේ සාමාජිකයෝ..

නම් ගම් ලැබුණා නම් පමා නොවී හඳුනාගනිමු, ඇඩම්ස් පවුලේ සාමාජිකයෝ..

Gomez Addams: පවුලේ පියා වෙයි. වෘත්තියෙන් නීතිඥයෙක් වූවත් පරම්පරාවෙන් හිමි ධනය නිසා එතරම් දුරට නීතිඥ වෘත්තියෙහි නියැළීමට ඔහු කටයුතු නොකර යි. එසේ කටයුතු කළ අවස්ථාවක් වේ ද, ඔහු පෙනී සිට පරාජයට පත් නීති කෘත්‍ය පිළිබඳ ආඩම්බර වන බවයි පැවසෙන්නේ.

Morticia Addams: පවුලේ මව වෙයි. නිතර ම කළු පැහැ වස්ත්‍රයන්ගෙන් සැරසී සිටින ඇය වෙනස් පෙනුම නිසා ම අමුතු ආකර්ෂණීයත්වයක් අත් කර ගත් කාන්තාවකි. Morticia හා Gomez අතර ඇති අඹුසැමි සබඳතාව සැලකෙන්නේ ජනප්‍රිය සංස්කෘතියේ හමුවන වඩාත් සාර්ථක අඹුසැමි සබඳතාවක් වශයෙනි.

Pugsley Addams: පවුලේ පුතා වෙයි. විවිධ විකාර විද්‍යාත්මක අත්හදාබැලීම්වලට නැඹුරුවක් ඇති ඔහු අමුතු පුරුදු හා ගතිපැවතුම් ඇති දරුවෙකි. පසුව නිර්මාණය වූ චිත්‍රපටවල මෙම චරිතය බොහෝ දුරට තම සහෝදරියගේ කටයුතුවල සහායකයා ලෙස හඳුන්වා දී ඇත.

Wednesday Friday Addams: පවුලේ දියණිය වෙයි. 1964 මුල් රූපවාහිනී කතා මාලාවට අනුව පවුලේ බාල දරුවා වූ නමුත් පසුව බිහි වූ චිත්‍රපටයන්හි හා කතා මාලාවන්හි ඇය පවුලේ වැඩිමහල් දරුවා වූවා ය. මුල් කතා මාලාවේ Wednesday තම පවුලට ආදරය කරන වඩාත් ප්‍රසන්න දැරිවියක් ලෙස හඳුන්වා තිබූ නමුත් පසු අනුවර්තනයන්හි ඇය හැඟීම් රහිත, අඳුරු සිතිවිලි සහිත චරිතයක් බවට පත් කර තිබිණි.

Grandmama: පවුලේ මිත්තණිය වෙයි. පවුලේ ඉවුම් පිහුම් හා දරුවන් රැක බලා ගැනීමේ කර්තව්‍යයන්ට නිරන්තර සහාය වන්නී ඈ ය. විවිධ අනුවර්තනයන්හි ඇය Gomezගේ ද Morticiaගේ ද මව වශයෙන් වරින් වර වෙනස් වී ඇත.

Uncle Fester: වරෙක Morticiaගේ මාමා ලෙසත්, තවත් වරෙක Gomezගේ සහෝදරයා ලෙසත් විවිධ අනුවර්තනයන්ට අනුව වෙනස් සම්බන්ධතා සමඟ හමු වන මෙම චරිතය ද විකාර විද්‍යාත්මක අත්දැකීම් ප්‍රිය කරන්නෙකි. විකාර ගතිපැවතුම් ඇත්තෙකි.

Lurch: පවුලේ ප්‍රධාන සේවකයා වෙයි. සේවකයෙක් වන නමුත් පවුලේ ම සාමාජිකයකුගේ මට්ටමින් සැලකිලි ලබන මොහු වැඩි කතාබහක් නැති වැඩි ගෙරවීම් සහිත අයෙකි. 

Thing: සිරුරක් රහිත තනි අතකි. විවිධ අයුරින් ක්‍රියාකාරකම් මෙන් ම හාස්‍යය උපදවන චරිතයක් වන Thing, මුල් රූපවාහිනී කතා මාලාවේ සෑම විට ම පෙට්ටියකින් හෝ භාජනයකින් මතු විණි. (සජීවිකරණ තාක්ෂණය යොදාගැනීමට 1964 යුගයේ තිබූ අපහසුව මත මෙවැනි ක්‍රමයක් හාවිත කර ඇත.) පසුව නිර්මාණය වූ අනුවර්තනයන්හි මෙම චරිතයට ආධාරකයක් නොමැතිව තනි ව හැසිරීමේ හැකියාව ලැබී ඇත.

The New Yorker පුවත්පතේ සංස්කාරකවරයා වූ William Shawn විසින් 1964 වසරේ සිට ඇඩම්ස් පවුලේ පුවත්පත් කාටුන් පළවීම වළක්වන ලද්දේ එම වසරේ ම ආරම්භ වූ රූපවාහිනී කතා මාලාව නිසා ය.

1991 ‘The Addams Family’ සිනමාපටයේ පෝස්ටරය. පවුලේ චරිත පිළිවෙළින් – ඉහළින් : Lurch / මැද : Grandmama, Wednesday, Gomez, Morticia, Uncle Fester, Pugsley / පහළින් : Thing – imdb.com

‘The Addams Family’ චිත්‍රපටය

Barry Sonnenfeld තම කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙස 1991 වසරේ දී ඇඩම්ස් පවුලේ චරිත මුල් කර ගෙන ‘The Addams Family’ චිත්‍රපටය තිරයට ගෙන එන්නේ විවිධ බාධක රාශියක් මධ්‍යයේ ය. Orion Pictures ආයතනය මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 25ක වියදමක් චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඇස්තමේන්තුගත කළ නමුත් වරින් වර තිර පිටපත වෙනස් කිරීමත්, චිත්‍රපටයට සම්බන්ධ වූ පිරිස්වලට තුබූ සෞඛ්‍ය ගැටලුත් හේතු කරගෙන සිනමාපටයේ වැඩකටයුතු වරින් වර කල්දැමීම නිසා වියදම තවත් අමෙරිකානු ඩොලර් මිලියන 5කින් වැඩි විය.

මෙම මූල්‍ය අස්ථාවරත්වය හේතු කොටගෙන චිත්‍රපටය Paramount Pictures ආයතනයට විකුණා දැමිණි. කෙසේ නමුත් චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරු ව අමෙරිකානු ඩොලර් මිලියන 191ක ආදායමක් හිමි කර ගැනීමට සමත් වූයේ චිත්‍රපටයේ සාර්ථකත්වය පෙන්වමිනි. Anjelica Huston, Raul Julia, Christopher Lloyd, Christina Ricci මෙන් ම Carel Struycken මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක විය. අමෙරිකානු සිනමා සම්මාන උළෙලවල ද මෙම චිත්‍රපටය දස්කම් පෑ අතර Oscar සම්මාන උළෙලේ දී වස්ත්‍ර නිර්මාණය කිරීමෙහි ලා අත් කර ගත් ජය උදෙසාත්, Morticia ලෙස Anjelica Huston දැක්වූ දක්ෂතාව උදෙසා ⁣Golden Globe සම්මාන උළෙලේ දී හොඳ ම රංගන ශිල්පිනිය සඳහාත් සිනමාපටය නිර්දේශ විණි.

ආදායම් ඉපයීමෙන් දැක්වූ සාර්ථකත්වය

ආදායම මඟින් දැක්වූ සාර්ථකත්වය මුල් කර ගෙන 1993 වසරේ දී මෙම සිනමාපටයේ දෙවන කොටස ලෙස ‘Addams Family Values’ චිත්‍රපටය නිර්මාණය වී තිරගත විණි.

මුල දී මෙම සිනමාපටය අධ්‍යක්ෂණය සඳහා Tim Burton තෝරා තිබූ නමුත් එකල ඔහු ‘Batman Returns’ චිත්‍රපටය අධ්‍යක්ෂණයට යොමු වීම නිසා තිබූ කාර්යබහුලත්වය මත එම අවස්ථාව අත්හැර දැමිණි. පසුව ඔහු ඇඩම්ස් පවුල හා සම්බන්ධ වන්නේ ‘Wednesday’ කතා මාලාව අධ්‍යක්ෂණයත් සමඟිනි.

1973 ‘The Addams Family’ කාටුන් කතා මාලාවේ දර්ශනයක් – saturdaymorningsforever.com

‘The Addams Family’ රූපවාහිනී කාටුන් කතා මාලාව

1972 වසරේ දී Hanna-Barbera Productions ආයතනය ඉදිරිපත් කළ ‘The New Scooby-Doo Movies’ රූපවාහිනී කාටුන් කතා මාලාවේ එක් කොටසක Scooby-Doo ඇතුළු පිරිස අබිරහසක් විසඳීම සඳහා ඇඩම්ස් පවුල හමු වන අතර මෙය ඇඩම්ස් පවුල සජීවීකරණයට ලක්වූ ප්‍රථම අවස්ථාව වෙයි.

ඉන්පසු 1973 වසරේ දී ඇඩම්ස් පවුලට ඔවුන්ගේ ම කියා කාටුන් කතා මාලාවක් හිමි වුණු අතර Hanna-Barbera Productions නිෂ්පාදනයක් වූ එය NBC නාලිකාවේ විකාශය වූයේ කොටස් 16ක් ලෙසිනි. මෙම කතා මාලාවේ හඬකැවීම් කටයුතු සඳහා 1964 සජීවී රංගන කතා මාලාවට රංගනයෙන් දායක වූ Jackie Coogan හා Ted Cassidy පිළිවෙළින් Uncle Fester හා Lurch යන තම පූර්ව චරිතවලට ම සම්බන්ධ වීම විශේෂ කරුණකි.

1991 වසරේ ‘The Addams Family’ සිනමාපටය හිමි කර ගත් සාර්ථකත්වය මත 1992 වසරේ දී Hanna-Barbera Productions ආයතනය නැවතත් ඇඩම්ස් පවුල රූපවාහිනී කාටූනයක් ලෙස කරළියට ගෙන එන අතර එවර එය විකාශය වූයේ ABC නාලිකාවේ ය. කොටස් 21කින් සමන්විත වූ මේ කතා මාලාවේ Gomezගේ චරිතයට හඬ කැවීම සඳහා 1964 කතා මාලාවේ එම චරිතය ම රඟදැක් වූ John Astin එක් විය. අනෙකුත් චරිත සඳහා Nancy Linari, Debi Derryberry, Rip Taylor ඇතුළු පිරිසක් සම්බන්ධ ව තිබිණි.

1991 වසරේ ‘The Addams Family’ සිනමාපටය – www.youtube.com/@RottenTomatoesCLASSICTRAILERS

සජීවි රංගන (sitcom) කතා මාලාවක්

1964 රූපවාහිනී කතා මාලාවේ නැවත ආගමනයක් ලෙස සජීවි රංගන (sitcom) කතා මාලාවක් ‘The New Addams Family’ නමින් YTV හා Fox Family නාලිකාවන්හි 1998 – 1999 කාලය අතර විකාශය විණි. කොටස් 65කින් යුතු මෙම කතා මාලාව සඳහා රංගනයෙන් එක් වන්නේ Glenn Taranto, Ellie Harvie, Nicole Fugere, Michael Roberds ඇතුළු පිරිසකි.

(දැනගැනීමට යමක්:- මුල් ම රූපවාහිනී කතාමාලාවේ Gomez Addams වූ John Astin ⁣මෙම නව ආගමනයේ Grandpapa Addams යනුවෙන් පවුලේ සීයා විදිහට එකතු වන්නේ තම වයස අවුරුදු 60 පසු වූ අවධියක ය.)

ත්‍රිමාණ පරිගණක සජීවීකරණ චිත්‍රපටයක් ලෙස සිනමා තිරයට

2019 වසරේ දී Metro-Goldwyn-Mayer ආයතනය පරිගණක සජීවීකරණ තාක්ෂණය යොදා ගනිමින් ‘The Addams Family’ නමින් කාටුන් සිනමා පටයක් තිරයට ගෙන ආවේ ය.  මෙවර එම සිනමාපටය සඳහා හඬකැවීමෙන් Oscar Isaac, Charlize Theron, Chloe Grace Moretz, Finn Wolfhard හා Snoop Dogg ඇතුළු පිරිසක් දායක වූහ.

2019 ‘The Addams Family’ ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයේ පෝස්ටරය – imdb.com

අමෙරිකානු ඩොලර් මිලියන 24ක නිෂ්පාදන වියදමක් සහිත මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 150කට අධික ප්‍රමාණයක් වියදම් කොට තුබූ අතර එය MGM ආයතනය ප්‍රචාරණය සඳහා තම 007 (James Bond) චිත්‍රපට මාලාවට පසුව වියදම් කළ වැඩි ම මුදල් ප්‍රමාණය යි. මෙම සිනමාපටයේ බොක්ස් ඔෆිස් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 203ක් ලෙස සටහන් වෙයි.

ත්‍රිමාණ පරිගණක සජීවීකරණ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කළ තවත් ඇඩම්ස් පවුලේ සිනමාපට⁣යක් 2021 වසරේ තිරගත වූයේ ‘The Addams Family 2’ නමිනි.

මෙම සිනමාපටයට පෙර සජීවීකරණය කළ ඇඩම්ස් පවුලේ සිනමාපටයක් තිරයට ගෙන ඒමට Illumination Entertainment ආයතනය සැලසුම් කළේ ය. එය ද, stop-motion සජීවීකරණ ක්‍රමවේදය යටතේ Tim Burtonගේ අධ්‍යක්ෂණය යටතේ ය. කෙසේ නමුත් එම සැලසුම ක්‍රියාත්මක නොවිණි.

ජනප්‍රිය වූ ‘Wednesday’ කතා මාලාවේ Wednesdayගේ නර්තනය – menshealth.com

‘Wednesday’ – ලොවක් කැලඹූ ඇඩම්ස් පවුලේ දැරිය

Netflix streaming සේවාව ඔස්සේ 2022 වසරේ දී මුදාහැරුණු ‘Wednesday’ කතා මාලාව දිගහැරෙන්නේ ඇඩම්ස් පවුලේ සාමාජිකයන් අතරින් පවුලේ දියණිය වූ Wednesday Addams මූලික කරගෙන ය. Wednesdayගේ චරිතය සඳහා Jenna Ortega පණ පොවන අතර සෙසු චරිත සඳහා Gwendoline Christie, Jamie McShane, Emma Myers, Joy Sunday හා  Catherine Zeta-Jones ඇතුළු පිරිසක් සම්බන්ධ වෙති. 

මෙවර කතා මාලාව සඳහා ප්‍රවීණ සිනමාපට අධ්‍යක්ෂකවරයකු වන Tim Burton සම්බන්ධ වන්නේ කතා මාලාවේ පළමු කොටස් හතරෙහි අධ්‍යක්ෂවරයා ලෙසත්, කතා මාලාවේ විධායක නිෂ්පාදකවරයකු ලෙසත් ය. කතා මාලාවේ නළු නිළි කැළ පිළිබඳ වඩාත් අවධානයට ලක් වූ කරුණක් නම් 1991දී නිපද වූ චිත්‍රපටයේ Wednesdayගේ චරිතය නිරූපණය කළ Christina Ricci මෙවර කතා මාලාවේ වෙනස් මෙන් ම වැදගත් චරිතයකට පණ පෙවීම යි. වර්තමාන ප්‍රේක්ෂක ප්‍රජාව අතර ඉමහත් ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වූ මෙම කතා මාලාව සති තුනක් තුළ දෙවන ස්ථානයට වැඩි ම ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති ඉංග්‍රීසි භාෂිත Netflix කතා මාලාව බවට පත්වීම විශේෂත්වයකි. 

සමාජ මාධ්‍ය පුරා වේගයෙන් ගලා ගිය රැල්ලක් වන Wednesdayගේ නර්තනය – www.youtube.com/@Netflix

Wednesdayගේ නර්තනය

සමාජ මාධ්‍ය පුරා වේගයෙන් ගලා ගිය රැල්ලක් වන Wednesdayගේ නර්තනය Jenna Ortega ම නිර්මාණය කළ ඉදිරිපත් කිරීමකි. එහි දී දක්වන නර්තන කොටස් අතරට ඇය මුල් 1964 රූපවාහිනී කතා මාලාවේ Wednesday ලෙස Lisa Loring දැක්වූ නර්තනයක් ද ඇතුළත් කළ බව සඳහන් වේ. කෙසේ නමුත් අවසාන සංස්කරණයන්හි දී එම කොටස නර්තන දර්ශනයෙන් ඉවත්කර ඇති බවයි පැවසෙන්නේ.

 මනඃකල්පිත පවුලක් වුව ද වසර ගණනක් ගත වුව ද ඇඩම්ස් පවුල ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ම වරින් වර පැමිණීම පුදුමාකාර කරුණක් බව මින් අපට පෙනී යයි. අමතක නොකළ යුතු කරුණක් නම් මේ පවුල ද තනි පුද්ගලයකුගේ පරිකල්පනයෙන් බිහිවූවක් බව යි.

කවරයේ ඡායාරූපය : 2022 ‘Wednesday’ කතා මාලාවේ ඇඩම්ස් පවුල - conversationsabouther.com
මූලාශ්‍ර :
tvtropes.org
addamsfamily.fandom.com
imdb.com

Related Articles