Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උපතේ දී දිවි ගලවා ගත් පළමු පස් නිවුන් දරුවෝ

විවිධ පුද්ගලයන් මුදල් ඉපයීම සඳහා කුඩා දරුවන් යොදා ගැනීමේ සිදුවීම් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලින් වාර්තා වේ. දරුවන් සිඟමනේ යෙදවීම සහ මෙහෙකාර සේවයේ යෙදවීම වැනි නිත්‍යනුකූල නොවන කටයුතු හරහා මුදල් උපයන එවැනි වංචනිකයන් නීතියේ රැහැනට හසු වූ අවස්ථා ඕනෑ තරම් තිබේ.

එවැනි පසුබිමක දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට බැඳී ඇති රජයක් මුදල් ඉපයීම සඳහා දරුවන් යොදා ගන්නේ නම් එය කොතරම් අවාසනාවන්ත තත්ත්වයක් ද? 1930 දශකයේ දී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ උපන් නිවුන් දරුවන් පස් දෙනෙක් එම ප්‍රාන්ත රජයේ ක්‍රියකාරකම් හේතුවෙන් එවැනි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්හ.

මේ ඔවුන්ගේ කතාන්දරයයි.

පස් නිවුන් දරුවෝ ඉවෝන්, ඇනට්, සිසිලි, එමිලි, සහ මේරි යන නම් ලැබූහ – www.time.com

ඩියෝන් පවුල

ඔලිවර් එඩ්වඩ් ඩියෝන් සහ එල්සි ඩියෝන් කැනඩාවේ, ඔන්ටාරියෝහි, කෝබයිල් ගම්මානයේ ජීවත් වූ විවාහක යුවළක් විය. 1925 සැප්තැම්බර් 15 දින විවාහ වූ ඔවුන් එතැන් පටන් එම ප්‍රදේශයේ පිහිටි ගොවිපොළක ජීවත් වූහ. ප්‍රංශ භාෂාව කතා කළ යුවළක් වූ ඔවුන්ට අර්නස්ට් (1926-1995), රෝස්මේරි (1928-1995), තෙරේසා (1929-2021), ඩැනියල් (1932-1995), පෝලීන් (1933-2018) සහ ලියෝ යනුවෙන් ගැහැනු සහ පිරිමි දරුවන් හය දෙනෙක් විය.

1933 දී නැවත ගැබ්ග ත් එල්සි 1934 මැයි 28 දින ගැහැනු දරුවන් පස් දෙනෙක් ප්‍රසූත කළාය. එවකට පැවති දත්ත අනුව උපතේ දී දිවි ගලවා ගත් පළමු පස් නිවුන් දරුවන් ලෙස ඔවුන් සැලැකේ. මේ දරුවන් ඉවෝන්, ඇනට්, සිසිලි, එමිලි, සහ මේරි යන නම් ලැබූහ. ඔවුන් අතරින්, එමිලි, මේරි සහ ඉවෝන් පිළිවෙළින් 1954, 1970 සහ 2001 වසරවලදී මිය ගිය අතර, ඇනට් සහ සිසිලි තවමත් ජීවතුන් අතර සිටී. පස් නිවුන් දරුවන්ට බාල සහෝදරයන් තිදෙනෙක් ද සිටි අතර ඔවුන් ඔලිවර් (1936-2017), වික්ටර් (1938-2007) සහ ක්ලෝඩ් (1946-2009) නම් විය.

උපත ලබා දින කිහිපයකට පසු අදාළ ප්‍රදේශයේ නගරාධිපතිවරයා සමඟ -www.wikipedia.org

පස් නිවුන් දරුවන්ගේ උපත

1934 වන විට 24 හැවිරිදි වියේ පසු වූ එලිසා විශ්වාස කළේ ඇයට නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබීමට නියමිත බව යි. ගැබ් ගෙන මාස තුනක් ගත වූ පසු එලිසා යම්කිසි හඳුනා නොගත් යමක් ඇගේ යෝනි මාර්ගය හරහා බැහැර කර තිබූ අතර, වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ ඇය ඒ අයුරින් බැහැර කර ඇත්තේ සයවැනි කළලය බව යි. එම දරුවා කළලයක් අවධියේ මිය නොගියේ නම් එලිසා ප්‍රසූත කරන නිවුන් දරුවන් ගණන හයකි.

ඇලන් රෝයි නම් වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ එලිසා දරු ප්‍රසූතිය සිදු කළ අතර, ඩොනල්ඩා සහ බෙනොයිට් ලේබල් නම් වින්නඹුවන දෙදෙනෙක් ඇයට සහාය දැක්වූහ. උපත ලැබූ අවස්ථාව වන විට දරුවන්ගේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 6.7ක් විය. ඔවුන්ගේ බර වෙන වෙනම ගණනය කර නොමැත. තමන් දරුවන් පස් දෙනෙක් ප්‍රසූත කළ බව දැනගෙන එලිසා පැය දෙකකට ආසන්න කාලයක් කම්පන තත්ත්වයක පසු වූවා ය.

පස් නිවුන් දරුවන්ගේ පාසල් විය දැක්වෙන සිතුවමක් – www.pinterest.com

අසීමිත රැකවරණය

අසල්වැසියන්ගෙන් ඉල්ලා ගත් කූඩයක තැබූ නිවුන් දරුවන් ඝන ඇතිරිලිවලින් ආවරණය කර උණුසුම්ව තැබීමට පවුලේ ඥාතීහු යුහුසුළුව ක්‍රියා කළහ. දරුවන්ගේ සිරුරේ ඔලිව් තෙල් ගලවා සම්බාහනය කරන ලෙස වෛද්‍යවරයා උපදෙස් දී තිබිණි. පළමු දිනය තුළ සෑම පැය දෙකකට වරක් ඔවුන්ට ඉරිඟු සිරප් වර්ගයක් මිශ්‍ර කළ ජලය පොවා ඇත. දෙවැනි දිනය වන විට දරුවන් තැබීමට තරමක් විශාල බේසමක් ලබා දීමට අසල්වැසියන් කටයුතු කළ අතර උණුසුම් ජලය දැමූ බෝතල් කිහිපයක් එම බේසම වටා තබා ඔවුන් උණුසුම්ව තැබීමට ද මව්පියන් සහ ඥාතීහු කටයුතු කළහ.

බොහෝ දෙනාගේ අවධානයට

පස් නිවුන් ලැබීම සුවිශේෂී සිදුවීමක් බව සිතූ දරුවන්ගේ පියාගේ සහෝදරයෙක් මෙම දරු උපත පිළිබඳ ව දැන්වීමක් පළ කිරීමට  අයකරන මුදල කොපමණදැයි එක්තරා පුවත්පතක කතුවරයකුගෙන් විමසීමක් කළේ ය. එතැන් පටන් මෙම දරු උපත පිළිබඳ පුවත රට පුරා පැතිර ගිය අතර, බොහෝ දෙනෙක් දරුවන්ට සහ මව්පියන්ට විවිධාකාරයෙන් සහාය දැක්වීමට ඉදිරිපත් වූහ.

සමරු ලේන්සුවක් – www.cbc.ca

ප්‍රදේශයේ පිහිටි රෝහලක් දරුවන් රැක බලාගැනීමට සේවිකාවන් දෙදෙනෙක් නිවසට එවීමට කටයුතු කළේ ය. කිරිදෙන මව්වරු දරුවන්ට අවශ්‍ය මව්කිරි සපයා දුන්හ. එම කාන්තාවන්ට කිරි අවුන්සයකට ශත දහය බැගින් මුදල් ගෙවීමට අනුග්‍රාහකයන් ඉදිරිපත් වූහ. ප්‍රදේශය හරහා ගමන් කළ දුම්රියක් මගින් දිනපතා කිරි අවුන්ස 28ක් මෙම දරුවන්ට එවීමේ වගකීම ප්‍රදේශයේ රෝහලක් භාර ගත්තේ ය.

රතුකුරුසයට පැවරුණු දරුවන්ගේ භාරකාරත්වය

1934 ජූලි 27 දින පස් නිවුන් දරුවන්ගේ භාරකාරත්වය වසර දෙකක කාලයක් සඳහා රතුකුරුස සංවිධානයට පවරා දෙන ගිවිසුමකට ඔලිවර් සහ එලිසා අත්සන් තැබූහ. එම ගිවිසුම අනුව අදාළ වසර දෙකක කාලය තුළ දරුවන් රැක බලාගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම, දිනපතා ප්‍රමාණවත් මව්කිරි සැපයීම සහ දරුවන් වෙනුවෙන් වෙන් වූ රෝහලක් ඉදිකිරීම යන වගකීම් රතුකුරුස සංවිධානයට පැවරිණි.

දරුවන් එළිසබෙත් රැජන (දෙවැනි එළිසබෙත් රැජනගේ මව) හමුවීමෙන් අනතුරුව – www.wikipedia.org

1935 පෙබරවාරි මාසයේ “ලෝක ප්‍රසිද්ධ දරුවන්ගේ මව්පියන්” ලෙස ඔලිවර් සහ එලිසා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයට ගෙන්වා මහජනයාට ප්‍රදර්ශනය කිරීමට එක්තරා සංවිධානයක් කටයුතු කළේ ය. ඩියෝන් යුවළගේ එම සංචාරය පිළිබඳ ව අවධානය යොමු කළ ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය, පස් නිවුන් දරුවන් භාවිත කර යම් යම් පාර්ශව මුදල් උපයන බවත්, එවැනි ක්‍රියාකාරකම් නැවත්වීමට පියවර ගත යුතු බවත් අවධාරණය කළේ ය.

ඩියෝන් පස් නිවුන් දරු පනත සහ භාරකාර මණ්ඩලය

ඔන්ටාරියෝ රජය 1935 මාර්තු මස “ඩියෝන් පස් නිවුන් දරු පනත” හඳුන්වා දුන් අතර ඒ හරහා දරුවන්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වන තුරු ඔවුන්ගේ භාරකාරත්වය එරට රජයට පැවරිණි. දරුවන්ගේ පියා, උපත අධීක්ෂණය කළ වෛද්‍යවරයා, ජෝසප් වෙලින් සහ සුබසාදන කටයුතු භාර අමාත්‍ය ඩේවිඩ් ක්‍රෝල් ගේ සාමාජිකත්වයෙන් යුතු භාරකාර මණ්ඩලයක් ස්ථාපිත කිරීමට ද රජය කටයුතු කළේ ය.

පස් නිවුන් දරුවන් ගීතිකා ගායනා කරමින් – www.thecanadianencyclopedia.ca

භාරකාර මණ්ඩලයේ කාර්යභාරය වූයේ මසකට වරක් හමු වී දරුවන්ගේ සුබසාධනය සඳහා අවශ්‍ය තීරණ ගැනීම විය. කෙසේ වෙතත්, පියා හැර ඉතිරි සාමාජිකයන් තිදෙනා පස් නිවුන් දරුවන් රූපවාහිනී වෙළෙඳ දැන්වීම්, පුවත්පත් දැන්වීම් සහ චිත්‍රපට රූගත කිරීම් වැනි දෑ සඳහා ලබා දී විශාල මුදලක් උපයා ගත හැකි බව සිතූ බැවින් ඔවුන් දරුවන්ගේ භාරකාරත්වය විවිධ ව්‍යාපාරික අරමුණු සඳහා යොදා ගත්හ.

චිත්‍රපට රූගත කිරීම්

පස් නිවුන් දරුවන් පිළිබඳ ව ලොව පුරා ජනතාව විශාල අවධානයක් දක්වන බව වටහා ගත් භාරකාර මණ්ඩලය දිගින් දිගට ම ව්‍යාපාරික අරමුණු සඳහා දරුවන් යොදා ගත්තේ ය. මෙම කාලයේ 1936 දී නිෂ්පාදනය කළ  “The Country Doctor” සහ “Reunion”, සහ 1938 දී නිෂ්පාදනය කළ “Five of a Kind” යන චිත්‍රපටවල රූගත කිරීම් සඳහා මෙම දරුවන් යොදා ගෙන තිබේ. පස් නිවුන් දරුවන් එකිනෙකා සමඟ කෙළිදෙලෙන් කාලය ගත කරන අයුරු එම චිත්‍රපටවල නිරූපණය විය. චිත්‍රපටවලට අමතර ව කෙටි චිත්‍රපට සහ ප්‍රවෘත්ති විකාශ ගණනාවක මෙම දරුවෝ පෙනී සිටියහ.

චිත්‍රපටවලට අමතරව කෙටි චිත්‍රපට සහ ප්‍රවෘත්ති විකාශ ගණනාවක මෙම දරුවෝ පෙනී සිටියහ – www.amusingplanet.com

පවුලට නැවැත එක් වූ නිවුන් දරුවෝ

1939 වන විට දරුවන්ගේ උපත අධීක්ෂණය කළ වෛද්‍යවරයා භාරකාර මණ්ඩලයෙන් ඉල්ලා අස් විය. ඒ වන විට ඔලිවර්ට ආපසු දරුවන්ගේ භාරකාරීත්වය ලබා ගැනීමට කතෝලික සභාව ඇතුළු පාර්ශව ගණනාවක සහය ලැබෙමින් පැවතිණි. දිගින් දිගට ම ඔන්ටාරියෝ රජයට එල්ල වූ බලපෑම් හමුවේ අනාවරණය වූයේ රජය සමග අදාළ ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේ දරුවන් සිය භාරකාරිත්වයෙන් ඉවත් කිරීමට ඔලිවර් සහ එලිසා එකඟ වී නොතිබූ බව යි.

එල්ල වූ බලපෑම් හමුවේ දරුවන්ගේ භාරකාරීත්වය ආපසු ඔවුන්ගේ මව්පියන්ට භාරදීමට රජයට සිදු විය. භාරකාර අරමුදලට ලැබුණු පරිත්‍යාග සහ දරුවන් රූගත කිරීම් සඳහා සහභාගී කරවා උපයාගත් මුදල්වලින් ඩියෝන් පවුලට කාමර 20කින් යුතු නිවසක් ඉදිකිරීමට රජය කටයුතු කළේ ය. 1943 දී එම නිවසේ ඉදිකිරීම් අවසන් වූ අතර, එය දුරකථන සම්බන්ධතා, විදුලිය සහ උණු ජලය වැනි පහසුකම්වලින් සමන්විත විය.

පස් නිවුන් දරුවන් තරුණ වියේදී මව්පියන් සහ පූජකවරයෙක් සමග – www.nytimes.com

වැඩිහිටි විය

වයස අවුරුදු 18 සම්පූර්ණ වන විට පවුල හැර ගිය පස් නිවුන් දරුවන් එතැන් පටන් පවුලේ අය සමඟ පැවැත්වූයේ සීමිත සම්බන්ධතාවකි. ඔවුන්ගෙන් තිදෙනෙක් විවාහ වී දරුවන් ලැබූහ. මේරි දියණියන් දෙදෙනකුගේ මවත්, ඇනට් පුතුන් තිදෙනකුගේ මවත්, සිසිලි නිවුන් දරුවන් දෙදෙනෙක් ඇතුළු දරුවන් පස් දෙනකුගේ මවක් විය. කන්‍යා සොයුරියක වීමේ බලාපොරොත්තුවෙන් දේවස්ථානයක ජීවත් වූ එමිලි හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් වයස අවුරුදු 20 දී, මිය ගියා ය. උසස් අධ්‍යාපනය අවසන් කළ ඉවෝන් පුස්තකාලයාධිපතිනියක් ලෙස සේවය කළා ය.

1970 වන විට මහල් නිවාසයක ජීවත් වූ මේරි පිළිබඳ ව දින ගණනාවකින් තොරතුරක් නොවූ බැවින් කනගාටු වූ ඇගේ සොහොයුරියෝ වෛද්‍යවරයෙක් සමඟ ඇය ජීවත් වූ නිවසට ගියහ. එහිදී දින ගණනාවකට පෙර මිය ගිය ඇගේ සිරුර ඇඳ මත තිබී හමු විය. මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ මොළයේ සිර වූ ලේ කැටියක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව යි. 1990 දශකයේ දී ඇනට් සහ සිසිලි ඔවුන්ගේ සැමියන්ගෙන් දික්කසාද වූහ. එමිලි සහ මේරි ගේ අභාවයෙන් පසු ජීවතුන් අතර සිටි සොහොයුරියන් තිදෙනා වූ ඉවෝන්, ඇනට් සහ සිසිලි එකට ජීවත් වූ අතර ඉවෝන් 2001 දී මිය ගියා ය. ඇනට් සහ සිසිලි තවමත් ජීවතුන් අතර සිටී.

ඉවෝන්, ඇනට් සහ සිසිලි – www.wikipedia.org

අරමුදල අවභාවිත කිරීමක්?

පස් නිවුන් දරුවන්ගේ සුබසාධනය උදෙසා පිහිටවූ අරමුදලේ මුදල් අවභාවිත වී ඇති බව සහ ඔවුන් කුඩා කාලයේ ඉමහත් මානසික පීඩාවන්ට ලක්ව ඇති බව පසුකාලීනව අනාවරණය විය. ළමා වියේ දී ඔවුන්ගේ ඡායාරූප ලබාගත් පුවත්පත් සහ තවත් ආයතන ගණනාවක් මෙම අරමුදලට ඩොලර් දහස් ගණන් පරිත්‍යාග කර තිබිණි. ඔවුන් ළමා වියේ බෝනික්කන් පිළිබඳ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටි අතර එම බෝනික්කන් නිෂ්පාදනය කළ සමාගම බෝනික්කන් විකුණා උපයාගත් මුදලින් 5%ක්, එනම් ඩොලර් 25,000ක් පමණ මෙම අරමුදලට පරිත්‍යාග කළේ ය.

විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු පරිත්‍යාග සමග ඔවුන්ගේ දෙවැනි උපන් දිනය වන විට එම අරමුදලේ ඩොලර් 250,000ක මුදලක් තිබූ බව කියැවේ. පසුකාලීනව ඔවුන්ගේ විවාහ, දරුවන්ගේ කටයුතු, නිවාස ඉදිකිරීම සහ දික්කසාද වැනි කටයුතු සඳහා මුදල් වැය කිරීම හේතුවෙන් එම අරමුදලේ තිබූ මුදල් ඉක්මනින් අවසන් වී ඇත. ඔවුන් කුඩා කල පෙනී සිටි වෙළෙඳ දැන්වීම් සහ චිත්‍රපට වෙනුවෙන් අදාළ සමාගම් එම අරමුදලට බැර කළ මුදලට සාපේක්ෂව, රජය දරුවන්ට අරමුදල භාරදෙන අවස්ථාවේ පැවැති මුදල් බොහෝ සෙයින් අඩු බව පසුකාලීනව අනාවරණය විය.

මයික් හැරිස් – www.bbc.com

රජයට එරෙහි ව නඩු මගට

1990 දශකය වන විට ජීවතුන් අතර සිටි සොහොයුරියන් තිදෙනා වන ඉවෝන්, ඇනට් සහ සිසිලි ඔවුන් කුඩා කල මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව පොතක් එළිදැක්වීමත් සමඟ ඔන්ටාරියෝ රජයට එරෙහිව ජනතා විරෝධයක් එල්ල විය. ඉවෝන්, ඇනට් සහ සිසිලි රජයේ ක්‍රියාකාරකම් නිසා ඔවුන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම්වලට වන්දියක් වශයෙන් ඩොලර් මිලියන දහයක මුදලක් ඉල්ලා සිටි නමුත් ඊට රජයෙන් ප්‍රතිචාරයක් නොවීය.

මේ අතරතුර ඔවුන් කුඩා කල රඳවා සිටි ස්ථානයේ දී පිළිස්සීම්වලට ලක් වී ඇති බව සඳහන් වන ලියවිලි කිහිපයක් සිසිලිගේ පුත්‍රයා මාධ්‍ය වෙත නිකුත් කළේ ය. එම අනාවරණයෙන් පසු ඒ වන විට ජීවතුන් අතර සිටි සහෝදරියන් තිදෙනාට මාසිකව ඩොලර් 2,000ක දීමනාවක් ගෙවීමට එවකට ඔන්ටාරියෝ අග්‍රාමාත්‍ය මයික් හැරිස් එකඟ විය.

එය තමන්ට සිදු කළ අවමානයක් ලෙස සැලකු සොහොයුරියන් තිදෙනා එම මුදල ප්‍රතික්ෂේප කළහ. ඔවුන් පැවැසුවේ ඔවුන්ට අවශ්‍ය ඔවුන් වෙනුවෙන් පිහිටවූ අරමුදලෙන් අවභාවිත වී ඇති මුදල බව යි. ඔවුන් දිගින් දිගටම මාධ්‍ය හමුවේ සිදු කළ අනාවරණයන් හමුවේ රජය ඔවුන්ට ඩොලර් මිලියන දෙකක් සහ තුනක් ගෙවීමට අවස්ථා දෙකක දී එකඟ වූ නමුත් ඔවුහු ඒ දීමනා දෙක ම ප්‍රතික්ෂේප කළහ. අවසානයේ ඔවුන්ට ඩොලර් මිලියන හතරක මුදලක් ගෙවීමටත් ඔවුන්ගේ අරමුදලට අදාළ ගිණුම් වාර්තා සකස් කර ඔවුන්ට භාරදීමටත් රජය එකඟ විය. සොහොයුරියන් තිදෙනා එම යෝජනාවට එකඟ වූහ. අග්‍රාමාත්‍ය හැරිස් ඔවුන්ගේ නිවෙස්වලට පැමිණ රජය වෙනුවෙන් ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටියේ ය.

ඇනට් සහ සිසිලි – www.cbc.ca

කවරයේ ඡායාරූපය - පස් නිවුන් දරුවන් පිළිබඳ ජනතාව විශාල අවධානයක් දක්වන බව වටහා ගත් භාරකාර මණ්ඩලය දිගින් දිගට ම ව්‍යාපාරික අරමුණු සඳහා දරුවන් යොදා ගත්තේ ය - www.ap.com
මූලාශ්‍ර :
www.britannica.com
www.cbc.ca
www.thecanadianencyclopedia.ca
www.amusingplanet.com

Related Articles