Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔස්කාර් උළෙලින් දෛවය වෙනස් වුණු කෙන්යා නිර්මාණ ශිල්පිණිය

කෙන්යා ජාතික විලාසිතා නිර්මාණ ශිල්පිණියක් වන තෙන්යා වෙන්ඩ්වාට මෙවර ඔස්කාර් උළෙල සුවිශේෂ ය. ඒ ජීවිතයේ ප්‍රථමවරට ඔස්කාර් උළෙලකට සහභාගි වන ලෙස ලොස් ඇන්ජලීස් නුවරින් ඇයට ඇරියුමක් ලැබීමත් සමඟ ය. ඒ ඇරියුම තෙන්යාට ලැබෙන්නේ ඇගේ සුපිරි සුඛෝපභෝගි අත්බෑග් ඔස්කාර් උළෙලට ඉදිරිපත් කිරීම සඳහා ය.

සම්මාන උළෙලවලට සහභාගි වන රංගන ශිල්පීන්ට, හෝටල්වල දී නොමිලේ විවිධ නිෂ්පාදන හා අත්කම් තෝරාගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන තිළිණ කුටි (Gift suite) ඔස්කාර් වැනි සම්මාන උළෙලවල එක්තරා ප්‍රකට අංගයකි. එලෙස රංගන ශිල්පීන්ට භාණ්ඩ නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සැලසීම මඟින් සම්මාන උළෙලේ කළමනාකාරීත්වය බලාපොරොත්තු වන්නේ අදාළ රංගන ශිල්පියා තමා තෝරාගත් නිෂ්පාදනයට හොඳ රෙකමදාරුවක් ලබාදෙනු ඇති බව ය.

ඇතැම්විට එම නිෂ්පාදන රතු පලස මත ප්‍රදර්ශනය කිරීමට රංගන ශිල්පියා පෙලඹුණහොත්, ඉන් එකී නිෂ්පාදනයට හිමිවන ප්‍රසිද්ධිය හා ගෞරවය ඉමහත් ය.

ප්‍රථම වරට ඔස්කාර් උළෙලකට

තෙන්යා වෙන්ඩ්වාගේ නිර්මාණ මීට පෙර ද මෙවැනි සම්මාන උළෙලවලදී තිළිණ කුටි හරහා තෝරා ගැනීමට ලක්වුව ද, ඇයට මීට පෙර කිසිදා එවැනි සම්මාන උළෙලකට සහභාගි වීමට වරම් ලැබී නැත. හොලිවුඩයේ විසිතුරු ආටෝප සාටෝප ඇය මේ දකින්නේ ජීවිතයේ ප්‍රථමවරට ය.

තෙන්යාට ප්‍රථමවරට ඔස්කාර් සම්මාන උළෙලකට සිය නිර්මාණ ඉදිරිපත් කිරිමට අවස්ථාව සැලසෙන්නේ කෙන්යා රජය හා ඔස්කාර් තිළිණ කුටි සමාගමක් අතර ඉකුත් වසරේ දී ඇතිවූ එකඟතාවක ප්‍රතිඵලයක් ලෙස ය. මෙවර ඔස්කාර් උළෙලේ දී තමා නිර්මාණය කළ අත්බෑගයක් සම්මානලාභි අමෙරිකානු රංගන ශිල්පිණී වයෝලා ඩේවිස්ගේ තෝරාගැනීමට ලක්වීම තෙන්යා දකින්නේ තමාට හිමි වූ සුවිශේෂි වරප්‍රසාදයක් ලෙස ය.

වයෝලා ඩේවිස්, තෙන්යාගේ නිර්මාණයක් අතැති ව – www.bbc.com

වයෝලා ඩේවිස්ගේ එම තෝරා ගැනීම නිසා තෙන්යා වෙන්ඩ්වාගේ නිෂ්පාදන සඳහා එතෙක් තිබූ ඉල්ලුම ක්ෂණයකින් ඉහළ ගියේ කවුරුනුත් විස්මයට පත් කරමිනි.

කාටත් අවශ්‍ය වූයේ ඇගේ නිෂ්පාදනවලට සුපිරි මිලක් නියම වීමට ප්‍රථම එවැන්නක හිමිකරුවකු වීමට ය. තෙන්යා පවසන්නේ ඇගේ අත්බෑගයක් අමෙරිකා ඩොලර් 150ත් 420ත් දක්වා වූ මිල පරාසය යටතේ අලෙවි වන බව ය.

තෙන්යා අයිවරි කෝස්ට් හි ජනපති ආර්යාව සමඟ – www.conniealuoch.com

රෑ මැදියමේ අත් විඳි පුදුමය

කොවිඩ් වසංගතය නිසා යම්තාක් දුරකට හෝ අඩපණව තිබූ තෙන්යා වෙන්ඩ්වාගේ අත්බෑග් ව්‍යාපාරයට නව ජවයක් ලැබෙන්නේ ඒවාට ජාත්‍යන්තර තලයේ හිමි වූ මෙම පිළිගැනීම නිසා ය. අප්‍රිකා කලාපයේ වෙන්ඩ්වාගේ අත්බෑග් අලෙවිය පෙර නොවූ විරූ ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගියේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.  

“ එකපාරටම කෙන්යානුවන්ගේ අවධානය තෙන්යා වෙන්ඩ්වා කියන පුද්ගලයා වටා  කේන්ද්‍රගත වුණා. එයාලා මං දිහා බැලුවේ මම මෙච්චරකල් කොහේ හරි හැංගිලා හිටියා වගේ බැල්මකින්.“ තෙන්යා කියයි.

තෙන්යා නිර්මාණය කළ අතේ මැණික් කටුවේ පැළඳිය හැකි කුඩා ප්‍රමාණයේ අත්බෑගයක් ඉකුත් පෙබරවාරි මාසයේ පැවති ග්‍රැමී සම්මාන උළෙලේ තිළිණ කුටියක ප්‍රදර්ශනයට ලක්වීම ඇගේ ජීවිතය වෙනස් කළ අහඹුවක් විය. ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රෙය් නම ගිය තාරකා රැසක් සහභාගි වන සම්මාන උළෙලක් ලෙස ප්‍රකට ග්‍රැමීහී දී ඇගේ මෙම රතු පැහැති පසුම්බි බෑගය තෝරා ගැනීමට ලක්විය. ඒ තෝරා ගැනීම සිදු කළේ සුප්‍රකට අමෙරිකානු ගායන ශිල්පිණියක මෙන් ම ගීත රචිකාවියක ද වන බියන්කා ඇටර්බරි නොහොත් ‘බ්ලෂ්‘ ය.

“ ඒක රතු පාට, මත්ස්‍ය සමින් කරපු, අතේ මැණික් කටුවේ එල්ලාගෙන යන්න පුළුවන් පොඩි බෑග් එකක්. බෑග් එකක් කිව්වට ඇත්තටම ඒක පොඩි පසුම්බියක්. ඔයාගේ ලිප්ස්ටික් එකයි, ක්‍රෙඩිට් කාඩ් එකයි, ජංගම දුරකතනයයි විතරයි ඒකට දාන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසාම ඒක පහසුවෙන් අතේ ගෙනයන්න පුළුවන්. ඒක සරලයි. නමුත් ආකර්ශනීයයි” තෙන්යා කියයි.

“බ්ලෂ් වගේ කෙනෙක් මගේ නිර්මාණයක් තෝරා ගැනීම ඇත්තට ම මාව පුදුමයෙන් පුදුමයට පත්කළා. එයා ඒක රතු පලසටත් ගෙනිච්චා කියලා දැනගත්තහ ම මට පිස්සු හැදුණේ නැතිවා විතරයි.“

බ්ලෂ්ගේ තෝරා ගැනීමට ලක්වූ තෙන්යා නිර්මාණය කළ රතු පැහැති පසුම්බිය – www.bbc.com

බ්ලෂ් රතු පලස මත තෙන්යාගේ අත් පසුම්බිය සහිත ව පෙනී සිටින ඡායාරූප අන්තර්ජාලයේ පළවන විට තෙන්යා සිටියේ නයිරෝබි නුවර ඇගේ නිවසේ ය. ඇගේ ජංගම දුරකතනයට එක දිගට ම පණිවිඩ, සුබපැතුම් ගලා එන්නට විය. කෙන්යාවට ඒ වන විට ගෙවී යමින් තිබුණේ මැදියම් රැය ය. මේනිසා තෙන්යාට සිය සතුට බෙදාහදා ගන්නට හෝ සැමරීමට කිසිවකුත් සිටියේ නැත. ඇයට කළ හැකි එක ම දෙය වූයේ ඉහවහා ගිය සතුටින් යුතු ව යටිගිරියෙන් කෑ ගැසීම පමණි.

ග්‍රැමී සම්මාන උළෙලේදී හිමිවූ මෙම පිළිගැනීම ජාත්‍යන්තරය තුළ තෙන්යා වෙන්ඩ්වාගේ ‘The Label Saba’ සන්නාමය ඉහළට ම ඔසවා තැබීමට හේතු විය. තෙන්යා කියන්නේ සුප්‍රකට ගායන ශිල්පිණී බියෝන්සේගේ නියෝජිතයෙක් පවා තමා ඇමතු බව යි.

“ඇත්තට ම මිනිස්සු මගේ නිර්මාණවලින් මාව හඳුනා ගන්න එක ගැන මට කියා ගන්න බැරි සතුටක් දැනෙන්නේ” තෙන්යා කියයි.

ප්‍රකට රංගන ශිල්පී ස්ටිව් සාහාන් ද The Label Saba නිර්මාණවල රසිකයෙකි – www.bbc.com

මසායි අත්කම්වලටත් ජාත්‍යන්තර පිළිගැනීමක්

තෙන්යාගේ අත්බෑග්වල විශේෂත්වය වන්නේ ඒවා ඉවත දමන මත්ස්‍ය සම්, ගව සම් වැනි සරිසර හිතකාමී තිරසාර අමුද්‍රව්‍යයන්ගෙන් නිර්මිත වූ ඒවා වීම ය. මෙම අත්බෑග් සංකීර්ණ පබළු රටාවලින් අලංකාර ලෙස වැඩ දමා තිබීම ද ඒවායේ ආකර්ශනීයත්වය ඉහළ නැංවීමට හේතුවක්ව තිබේ. මෙබඳු පබළු රටා වැඩ දැමීමට තෙන්යා පෙලඹෙන්නේ මසායි ගෝත්‍රිකයකු වූ ඇගේ මවගෙන් ලත් ආභාසයෙනි.

තෙන්යාගේ මව අග්නිදිග කෙන්යාවේ කජියාඩෝ ප්‍රාන්තයේ උපන්නියකි. මසායි ගෝත්‍රයට ආවේණික පබළු රටාවලින් අත්බෑග් හැඩ කිරීමට තෙන්යා ලබා ගන්නේ ද කජියාඩෝ ප්‍රදේශයේ පදිංචි තරුණ මසායි ගෝත්‍රික කාන්තාවන්ගේ සහාය ය. තෙන්යා පවසන්නේ මසායි පබළු රටා අත්කම් හුදෙක් සංචාරකයන්ට අලෙවි කරන සුළු සුළු විසිතුරු භාණ්ඩවලින් ඔබ්බට ගිය, සම්ප්‍රදායානූකූල වටිනාකමකින් යුතු නිර්මාණයක් බවට පත්කිරීම තමාගේ අරමුණ බව ය. මසායි ගෝත්‍රයට අයත් විවිධ ප්‍රජාවන්ට ආවේණික වූ පබළු රටා ඇති බවත් ඇය වැඩිදුරටත් පවසයි.  

“ ටැන්සානියානුවන්ගේ පබළු රටා එන්නේ සුදු පාටින්. මගේ අම්මගේ ගමේ, ඒ කියන‍්නේ කජියාඩෝවල පබළු රටා ඊට වඩා වෙනස්. මට ඕනෑ කළේ මේ එක් එක් ජන කණ්ඩායම් එයාලගේ පබළු රටාවලින් කියන්න හදන කතන්දර සංරක්ෂණය කරලා අනාගත පරම්පාවලට දායාද කරන්න. පබළු අත්කම් නිර්මාණයක රටාව දිහා බලලා ඒක අයිති වෙන ජන කණ්ඩායම කියන්න පුළුවන් වීමත් එක්තරා දක්ෂතාවක්.“ තෙන්යා කියයි.

තෙන්යාගේ නිර්මාණ මසායි ගෝත්‍රයට ආවේණික රටාවලින් ආභාසය ලැබූවකි – blog.culturalelements.com

ජාත්‍යන්තරය ඉලක්ක කර ගත් නිර්මාණ

තෙන්යා වෙන්ඩ්වාගේ නිර්මාණ ජාත්‍යන්තරයේ නම ගිය ජනප්‍රිය පුද්ගලයන්ගේ තෝරා ගැනීමක් බවට පත්වීම ද ඇගේ අනාගත නිර්මාණවලට බලපෑම් කිරීමට සමත්ව තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළ අරමුණු කරගනිමින් නිර්මාණ සිදුකිරීමට දැන් ඇය පෙලඹී සිටින්නේ ඒ නිසා ය. ඉතාලියේ මිලාන් නුවර පිහිටි ‘ආර්සුටෝරියා‘ නමැති සම්මානනීය අත්බෑග් හා පාවහන් නිර්මාණ පාසලේ ආදී ශිෂ්‍යාවක වන තෙන්යා ඒ ගැන කියන්නේ මෙවැන්නකි.

“එක අත්බෑගයක් රතු පලසට ගියොත් මට හිතන්න වෙනවා මගේ ඊළඟ අත්බෑගය කොහොමද නිර්මාණය වෙන්න ඕනේ කියලා. මං නිර්මාණයක් දිහා බලන විදිහ වෙනස් කරන්න රතු පලස මට හේතුවක් වුණා.“

මෙවර ඔස්කාර් උළෙලට සහභාගි වන්නට ලැබීම සිහිනෙදු නොසිතු අහඹු වරප්‍රසාදයක් බව තෙන්යා විශ්වාස කරයි. ඒ සඳහා ඇයට ඇරියුම් කළ DPA Luxe gift suite සමාගම සමඟ සෘජුව ම වැඩ කිරීමේ අවස්ථාවද ඉන් ඇයට හිමි ව තිබේ. ඔස්කාර් උළෙලට සහභාගි වීමෙන් පසු තම නිෂ්පාදන තමන්ට ම ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් ලැබීම නිසා, ඉදිරියේදී වඩාත් දැවැන්ත අරමුණු කරා ළඟාවීමට හැකිවනු ඇති බව ඇය විශ්වාස කරන්නී ය. නිෂ්පාදන පාරිභෝගිකයාට නොමිලේ ලබාදීමට සිදුවීම ඇගේ ආදායම් බිඳවැටීමට හේතුවක් වුව ද, තෙන්යා කියන්නේ ඉන් තමාට මෙන් ම මේ නිෂ්පාදනයට දායක වන සියල්ලන්ට ම ලැබිය හැකි අනාගත ප්‍රතිලාභ ඉමහත් බව ය.

“ මගේ සංස්කෘතික උරුමය ජාත්‍යන්තරයට ගෙනයන්න මට ලැබුණු මේ අවස්ථාව ගැන මම අතිශයින්ම ස්තූතිවන්ත වෙනවා. අලංකාර අත්බෑග් හරහා අපේ ජන සංස්කෘතියට උරුම කතන්දර, ලෝකයත් සමඟ බෙදා හදා ගන්නට ලැබීම ඇත්තට ම වාසනාවක්.“

කවරයේ ඡායාරූපය - තෙන්යා වෙන්ඩ්වාට ලොස් ඇන්ජලීස් නුවරට යන්නට ලැබෙන්නේ ජිවිතයේ පළමුවරටය. www.bbc.com
මුලාශ්‍ර:
Nthenya Mwendwa: How the Oscars changed the life of a Kenyan designer - www.bbc.com
Nthenya Mwendwa is the founder, creative director and designer of luxury leather bag brand, THE.LABEL.SABA – www.pod.com

Related Articles