Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආහාරවලට රාජකීය නම් ලැබුණු හැටි

රාජකීය සහ වංශවත් උදවියගේ පෙළපත් නාම ඔවුන්ගේ දේශයට අයත් ප්‍රධාන ගොඩනැඟිලි, ගුවන් තොට, මහා මාර්ග සහ ප්‍රධාන වීදි හඳුන්වාදීම පිණිස යොදාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර – කොළඹ දක්නට ලැබෙන මලලසේකර සහ ඩී.එස් සේනානායක යන මාවත් ද්විත්වයත්, එක්සත් ජනපද නිව් යෝර්ක් නුවර දක්නට ලැබෙන මැල්කම් එක්ස් සහ ලින්කන් යන මාවත් ද්විත්වයත් මේ අතරට අයත් නිදසුන් ලෙස දක්වන්න පුළුවන්.  

සූපශාස්ත්‍ර නිර්මාණ කලාවට අයත් ප්‍රධාන ආහාර, අතුරු ආහාර, අතුරුපස සහ නානාවිධ පාන වර්ග හැඳින්වීමටත් රාජකීය පෙළපත් නාම බහුල ව භාවිත කළා. එලෙස සිදු කිරීමෙන් රජ පවුල්වලට යම්කිසි ගෞරවයක් අත්වේ යැයි බහුතර ජනයා විශ්වාස කළා. 

දෙවන එළිසබත් මහරැජනගේ සිට වෙලින්ටන් ආදිපාදවරයා දක්වා වූ රාජකීය ඇත්තන්ගේ පෙළපත් නාම සූපශාස්ත්‍රය හා බහුල ව සම්බන්ධ වූවා. ඈත අතීතයේ වාසය කළ සුප්‍රසිද්ධ රජුන් හා රැජනන්ගේ පෙළපත් නාම ප්‍රණීත ආහාර පානවලට යෙදුණු ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු.

මාගරිටා පීසා – Margherita Pizza

ඉතාලි රැජනක වූ මාගරිටා, බටහිර ඇල්ප්ස් හි පිහිටි සැවෝයි කලාප සංචාරයක නිරත ව සිටිය දී එයට සමගාමීව මාගරිටා පීසා නිපදවෙනවා. ඒ 1889 වසරේ දී නේපල්ස් හිදී යි. මාගරිටා රැජනගේ සංචාරයට ප්‍රථම ඇගේ පෞද්ගලික සූපවේදියා ලෙස ඉතාලි ජාතික රෆේල් එස්පොසිටෝ බඳවා ගැනීමට රජතුමා තීරණය කළා. 

මාගරිටා පීසා 1889 වසරේ නේපල්ස් හිදී නිපදවෙනවා – static.toiimg.com

තක්කාලි සෝස්, නැවුම් මොසරැල්ලා චීස් සහ බැසිල් කොළ වැනි ආහාර සුවඳ කාරකවලින් මෙම සම්භාව්‍ය ඉතාලි ආහාරය පරිපූර්ණ වනවා. මාගරිටා පීසා සරල ආහාරයක් ලෙස හැඳින්වුවත් බොහෝ පීසා ලෝලීන්ගේ මතයට අනුව ප්‍රණීත රස සංයෝජනයක් නිර්මාණය කිරීමට මෙම ආහාරය සමත් ව තිබෙනවා.  

වික්ටෝරියා ස්පොන්ජ් කේක් – Victoria Sponge Cake

වික්ටෝරියා කේක් එසේත් නැතිනම් වික්ටෝරියා සැන්ඩ්විච්, ජෑම්, විප් ක්‍රීම් සහ රසවත් ස්ට්‍රෝබෙරි ස්ථර දෙකකින් සමන්විත ප්‍රණීත අතුරුපසක්. ඇතැම් රටවල වික්ටෝරියා ස්පොන්ජ් කේක් සැන්ඩ්විච් වැනි කුඩා කැබලි ලෙසත් පිළිගන්වනවා. වික්ටෝරියා කේක්වල මූලාරම්භය 7 වන බෙඩ්ෆෝර්ඩ් ආදිපාදවරිය – ඈන් රසල් වාසය කළ කාලවකවානුව දක්වා දිව යනවා. 

රාත්‍රී භෝජනයට ප්‍රථම චාරිත්‍රානුකූල සන්ධ්‍යා තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමට සම්භාව්‍යය බ්‍රිතාන්‍ය වැසියන් එදවස උත්සුක වූවා. මෙකී සංග්‍රහයට නොවරදවා ම පැමිණි රසබර අමුත්තා වූයේ ද සම්ප්‍රදායානුකූල ස්පොන්ජ් කේක් අතුරුපසජයි. රසල් ආදිපාදවරියගේ සන්ධ්‍යා තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමට ඇයගේ ළබැඳි මිතුරියක වූ වික්ටෝරියා රැජනට ඇරියුම් පතක් ලබා දීමටත් ඕ අමතක නොකළා. 

ජෑම්, විප් ක්‍රීම් සහ රසවත් ස්ට්‍රෝබෙරි ස්ථර දෙකකින් සමන්විත ප්‍රණීත අතුරුපසකි වික්ටෝරියා කේක් – www.supervalu.co.uk

තේ පැන් සංග්‍රහයට සහභාගී වූ වික්ටෝරියා රැජනගේ වඩා සිත් ගත් ආහාර අයිතමය වූයේ එහි තිබූ ස්පොන්ජ් කේක් අතුරුපස යි. ස්පොන්ජ් කේක් වනාහි ක්‍රිස්තු වර්ෂ 1615 දී සූපශාස්ත්‍ර වට්ටෝරු පොතක සඳහන් ව තිබූ සරල අතුරුපසක් වූවා. වික්ටෝරියා රැජන මෙකී ස්පොන්ජ් කේක්වලට කෙතරම් ආලය පෑවා ද කිවහොත් මෙම සිදුවීමෙන් අනතුරු ව සාමාන්‍යය ස්පොන්ජ් කේක් ලෙස පැවති එම අතුරුපසය වික්ටෝරියා ස්පොන්ජ් කේක් බවට අනුවර්තනය වූවා. 

වික්ටෝරියා ස්පොන්ජ් කේක්, සම්ප්‍රදායික ස්පොන්ජ් කේක්වලට සාපේක්ෂව වෙනස් වීමට බේකිං පවුඩර් යන ප්‍රධාන සාධකය බෙහෙවින් බලපෑවා. ක්‍රිස්තු වර්ෂ 1843 දී පමණ සොයා ගත් බේකිං පවුඩර්, ආහාර ආකලනයක් ලෙස භාවිත කිරීමට සූපශාස්ත්‍ර කලාවේ නියැළියන් සියල්ල උත්සුක වූවා. වික්ටෝරියා ස්පොන්ජ් කේක් පිළියෙළ කිරීමට පිටි, බිත්තර, සීනි සහ බටර් යනාදිය මූලික අමුද්‍රව්‍ය ලෙස යොද ගෙන තිබුණා.  

මාරි බිස්කට් – Marie Biscuit

වික්ටෝරියා රැජනගේ දෙවැනි පුත් එඩින්බරෝ ආදිපාදවරයා සහ රුසියාවේ මහා ආදිපාදවරිය මාරියා ඇලෙක්සැන්ඩ්‍රොව්නාගේ විවාහ මංගල්‍යය සැමරීම වෙනුවෙන්  මාරි බිස්කට් බිහි වනවා. රස හදවත් පිනවන රසකැවිල්ලක ලෙසින් 1874 වසරේ ලන්ඩන් නුවර ආපනශාලාවක දී මාරි බිස්කට්ටුව නිපදවෙනවා. 
19 වන ශතවර්ෂ අගභාගය පමණ වන විට මෙම පැණිරසැති බිස්කට්ටුව කුඩා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියකින් අනතුරුව දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට ලන්ඩන් ආහාර නිපදවන සමාඟමක් තීරණය කළා. 

දීර්ඝ මුහුදු ගමන්වල නිරත වන නාවිකයන් උදෙසා පිළියෙළ කළ සරල සලාකයක් ලෙස බිස්කට්ටුව ප්‍රථමයෙන් බිහි වූවා. වාතය රහිත බිස්කට් බහාලුම් වැනි තාක්‍ෂණණික ගබඩා ක්‍රම සොයා ගැනීමත් සමඟ බිස්කට්ටුව යන කෙටි ආහාරයට ප්‍රවාහන හානියකින් තොර වැඩි දුර ප්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාව සැලසුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය දේශපාලනික වශයෙන් පුළුල් වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ මේ බිස්කට් ව්‍යාප්ත කිරීමට ඔවුන් දැඩිව උනන්දු වූවා.

වික්ටෝරියා රැජනගේ පුත් එඩින්බරෝ ආදිපාදවරයා සහ රුසියාවේ මහා ආදිපාදවරිය මාරියා ඇලෙක්සැන්ඩ්‍රොව්නාගේ විවාහ මංගල්‍යය සැමරීම පිණිස මාරි බිස්කට් බිහි වනවා – www.schaer.com

මාරියා ලෙස ප්‍රථමයෙන් හැඳින්වූ මාරි බිස්කට්,ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා මහද්වීපය පුරා ප්‍රචලිත වූයේ මෙයින් අනතුරුව යි. ස්පාඤ්ඤයේ පැවති සිවිල් යුද්ධයෙන් අනතුරු ව ආර්ථික ප්‍රකෘතිය වර්ධනය කළ සිහිවටනයක ලෙසත් මෙම මාරි බිස්කට්ටුව ජනප්‍රිය වූවා. 

ඉන්දියාවේ සිට මෙක්සිකෝව දක්වාත් මාරි බිස්කට්ටුව ප්‍රචලිත වූ අතර එහි තිබූ සරල බව හමුවේ ගෝලීය සාර්ථකත්වය අත්කර ගැනීමටත් මෙයට හැකියාවක් ලැබුණා. තේ හෝ කෝපි සමඟ අනුභව කළ හැකි පරිපූර්ණ අනුපූරකයක් ලෙසත් ජෑම් හෝ චීස් සමඟ රස විඳිය හැකි බහුකාර්යය රසකැවිල්ලක ලෙසත් මාරි බිස්කට්ටුව සලකනවා. අහාර හැඩගැන්වීමේ කලාවේ දී කේක් සහ පුඩිං සරසා ගැනීමටත් මාරි බිස්කට් සුලබව ම යොදා ගන්නවා.

බීෆ් වෙලින්ටන් – Beef Wellington

ක්‍රිස්තු වර්ෂ 1815 ජුනි මස 18 වන දින එවක ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට්ගේ හමුදාව සහ වෙලින්ටන් ආදිපාදවරයාගේ නායකත්වයෙන් යුත් හමුදාව අතර දැවැන්ත සටනක් ඇති වූවා. යුරෝපයේ ආධිපත්‍යය දැරීමට  ප්‍රංශය ගත් උත්සාහයන් සියල්ල අඩපණ කිරීමටත් නැපෝලියන් අධිරාජ්‍යයේ බලය සදහට ම විනාශ කිරීමටත් වෙලින්ටන් ආදිපාදවරයාට මෙහිදී හැකියාව ලැබුණා.

වෙලින්ටන් ආදිපාදවරයාට ගෞරවය පිණිස පෆ් පේස්ට්‍රියක් තුළ හරක් මස් ෆිලට් කැබැල්ලක් යෙදූ ආහාරයකට බීෆ් වෙලින්ටන් යන නාමය යොදා තිබෙනවා – www.foodandwine.com

වෙලින්ටන් ආදිපාදවරයා ජයග්‍රහණය කළ මෙම සටන වෝටර්ලූ යන නමින් ප්‍රසිද්ධියට පත් වූවා. මෙම ආදිපාදවරයාට ගෞරවය පිණිස පෆ් පේස්ට්‍රියක් තුළ හරක් මස් ෆිලට් කැබැල්ලක් බහා තිබෙන ආහාරයකට බීෆ් වෙලින්ටන් යන නාමය යොදා තිබෙනවා. සාමාන්‍යය හතු සෝස් සමඟ බීෆ් වෙලින්ටන් අනුභව කිරීම වඩා යෝග්‍ය බව සඳහන් වනවා.

අතුරුපස කලාවේ අද්විතීය ස්ථානයකට හිමිකම් කීමට ඇල්බට් කුමරුගේ මෙම පුඩිමට හැකියාව ලැබී තිබෙනවා – ascinatingspain.com

ඇල්බට් කුමර පුඩිම – Prince Albert Pudding

සරල සහ ප්‍රණීත අතුරුපසක් සොයන්නකුට ඇල්බට් කුමරුගේ පුඩිම ලෙහෙසියෙන් ම අමතක කළ නොහැකි යි. ඇල්බට් කුමරුට ගෞරව කිරීම පිණිස ඔහුගේ නමින් මෙම පුඩිම හඳුන්වා දී තිබෙනවා. අතුරුපස කලාවේ අද්විතීය ස්ථානයකට හිමිකම් කීමටත් ඇල්බට් කුමරුගේ මෙම පුඩිමට හැකියාව ලැබී තිබෙනවා.

චිකන් මරෙන්ගෝ – Chicken Marengo

ක්‍රිස්තු වර්ෂ 1800 පැවති සටනකින් නැපෝලියන් අධිරාජ්‍යයා ජයගැනීමත් සමඟ ම චිකන් මරෙන්ගෝ යන ආහාරය සූපශාස්ත්‍ර කලාවට විවර වූවා.

සටනකින් නැපෝලියන් අධිරාජ්‍යයා ජයගැනීමෙන් අනතුරුව රසවත් චිකන් මරෙන්ගෝ නිපදවෙනවා – www.foodandtable.com

නැපෝලියන් අධිරාජ්‍යයාගේ සූපවේදියකුට ඉක්මන් ආහාර වේලක් පිළියෙළ කිරීමට නියම වූ අවස්ථාවක කුකුළු මස්, තක්කාලි , සුදුළූණු සහ ඖෂධීය පැළෑටි අනුසාරයෙන් එම ආහාරය සකසා ගැනීමට හෙතෙම සූදානම් වූවා. පිසූ සහල් හෝ තම්බාගත් පැස්ටා සමඟ චිකන් මරෙන්ගෝ අනුභව කිරීම සාමාන්‍යය සම්ප්‍රදාය යි.

රාජාභිෂේකී කුකුළු මස් සලාදය – Coronation Chicken Salad

දෙවන එළිසබෙත් මහ රැජන බ්‍රිතාන්‍යයේ රජ වූයේ සිය පියා වූ ජෝර්ජ් රජුගේ හදිසි අභාවයෙන් අනතුරුව යි. ඇය රජ වී ගත කළ දෙවන අවුරුද්ද, එනම් 1953 වසර එළඹෙත්ම සූපශාස්ත්‍රමය අතින් යම්කිසි වැදගත් සංසිද්ධියක් සිදු වනවා. රාජාභිෂේකී කුකුළු මස් සලාදයේ උප්පත්තිය සිදු වීම එකී වැදගත් අවස්ථාවයි. 

ආහාර රුචිය ක්‍රමානුකූලව වර්ධනය කිරීමේ ගුණාංගයක් මෙම රාජාභිෂේකී කුකුළු මස් සලාදයට පවතින බව ආහාර විශේෂඥයන් බහුතරයක් පවසා සිටිනවා. දෙවන එළිසබෙත් මහ රැජනගේ රාජාභිෂේකය සැමරීම පිණිස ඇගේ නාමය මෙකී කුකුළු මස් සලාදයට යොදා තිබෙනවා. විදේශීය කුළුබඩු සාරය ද මෙම කුකුළු මස් සලාදය පිළියෙළ කිරීමට යොදා ගැනෙනවා.

රාජාභිෂේක කුකුළු මස් සලාද වට්ටෝරුව සකස් කිරීමට වයින්, ඇප්‍රිකොට්, ළූණු, මෙයොනීස් සෝස් සහ විප්ඩ් ක්‍රීම් යොදාගෙන තිබුණා – www.rspcaassured.org.uk

එනමුත් මීට ප්‍රථම 1935 වසරේ පැවැති පස්වන ජෝර්ජ් රජුගේ රිදී ජුබිලිය සනිටුහන් කිරීම උදෙසාත් ජුබිලි කුකුළා යන නමින් ආහාර වේලක් පිළියෙළ කළ බව ඇතැම් සූප ශාස්ත්‍ර ග්‍රන්ථවල සඳහන් වනවා. 

රාජාභිෂේකී කුකුළු මස් සලාදය සකස් කිරීමට වයින්, ඇප්‍රිකොට්, ළූණු, මෙයොනීස් සෝස් සහ විප්ඩ් ක්‍රීම් යොදාගෙන තිබුණා. වර්තමානය වන විට මෙයොනීස් සෝස්, ස්වභාවික කුළුබඩු, මුද්දරප්පලම් සහ ක්‍රෑන්බෙරි වැනි වියළි පලතුරුවලින් ද මෙකී කුකුළු මස් සලාද වට්ටෝරුව සමන්විත වනවා. 

ජෝර්ජ් රජුගේ ඉඟුරු පාන් – Classic Gingerbread Cake

ජෝර්ජ් රජුට ගෞරව කිරීම පිණිස ඔහුගේ නමින් මෙම අතුරුපස හඳුන්වා දී තිබෙනවා. මෙම සම්භාව්‍ය ඉඟුරු පාන් අනුභව කිරීම යමකු උණුසුම් සහ තෘප්තිමත් ව තබා ගැනීමට උපකාර වනවා. ජෝර්ජ් රජුගේ ඉඟුරු පාන් කුළුබඩු රසයකිනුත් සමන්විත යි. 

සම්භාව්‍ය අතුරුපසක් වන මෙය අනුභව කිරීමෙන් උණුසුම් සහ තෘප්තිමත් හැඟීමක් යමකුට දැනෙන බවත් සඳහන් වනවා -www.allrecipes.com

නැවුම් කුළුබඩු වලින් සමන්විත ජෝර්ජ් රජුගේ ඉඟුරු පාන්, සති අන්ත නිවාඩු දිනයන්හිදී සහ සුවිශේෂ සැමරුම් අවස්ථාවන්හිදී පමණක් පිළිගන්වන ප්‍රණීත අතුරුපසක්. ක්‍රි.ව 1784 දී ජෝර්ජ් වොෂින්ටන්ගේ මෑණියන් අතින් රචිත ආහාර වට්ටෝරු ග්‍රන්ථයකද මෙකී ඉඟුරු පාන් කේක් සකසන ආකාරය පිළිබඳව විස්තරාත්මකව සඳහන්ව තිබෙනවා.

බ්ලඩි මේරි – Bloody Mary

මධ්‍යසාර මිශ්‍රිත මෙම පානය මේරි ටියුඩර් රැජන නමින් හඳුන්වනවා. දැකුම්කලු රක්ත පැහැයකින් සමන්විත මෙම පානය මඟින් 16 වන සියවසේ එංගලන්තය පාලනය කළ මේරි රැජන සමයේ දැයට අහිමි වූ රෙපරමාදු භක්තික රුධිරය  නියෝජනය කරන බවට වූ මතයකුත් ජනප්‍රවාදයේ පවතිනවා.

මධ්‍යසාර මිශ්‍රිත මෙම පානය මේරි රැජන නමින් හඳුන්වනවා -anosseasoning.com

වොඩ්කා, තක්කාලි යුෂ, Worcestershire සෝස්, උණුසුම් සෝස්, සුදුළූණු, ඖෂධ පැළෑටි,සැල්දිරි, ඔලිව්, එළවළු අච්චාරු, ලුණු, කළු ගම්මිරිස්, ලෙමන් යුෂ, දෙහි යුෂ, සැල්දිරි සහ ලුණු ඇතුළු අනෙකුත් කුළුබඩු මෙම කොක්ටේල් පානය සකස් කිරීමට යොදා ගැනෙනවා. 

චාලට් රුස් – Charlotte Russe Cake

මහා බ්‍රිතාන්‍යය රජකු ව සිටි තුන්වන ජෝර්ජ් රජුගේ රැජන – චාලට් යන නමින් මෙම අතුරුපස නම් කොට තිබෙනවා. චාලට් රුස් ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ ලේඩිෆින්ගර් නැමති ස්පොන්ජ් බිස්කට් වලිනු යි. මීට අමතර ව විප් ක්‍රීම්වලින් සැදුම් ලත් මූස් පිරවුමක් ලේඩිෆින්ගර් බිස්කට් සමූහය වටකොට පවතිනවා. 

ස්ට්‍රෝබෙරි,චෙරි හෝ බෙරි වැනි පලතුරු, චොකලට් සහ කෝපි කුඩු චාලට් රුස් මතට ඉසින්නේ ඉන් අනතුරුව යි. 

මෙම අතුරුපස අලංකාර විලාසිතාවකින් සමන්විත නිසා ආහාර ලෝලී ජනයාගේ බහුතර මනාපයට නිරායාසයෙන් ම චාලට් රුස් පත් වූවා. රුසියානු සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල් වෙනුවෙන් සේවය කළ ප්‍රංශ සූපවේදී මාරි ඇන්ටොයින් කෙරීම්, චාලට් රුස් අතුරුපස සොයා ගත් බවත් සඳහන් වනවා. 

මහා බ්‍රිතාන්‍යයේ රජකු ව සිටි තුන්වන ජෝර්ජ් රජුගේ රැජන – චාලට් යන නමින් මෙම අතුරුපස නම් කොට තිබෙනවා – cdn.tasteatlas.com

චාලට් රුස්හි මූලාරම්භය නිශ්චිතව ම සිදුවූයේ කිනම් රාජකීය තැනැත්තාගේ පාලන කාලය තු ළද යන වග මේ වන විටත් සනාථ වී නැහැ. ඇතැම් ආහාර ලෝලීන්ට අනුව පළමුවන ඇලෙක්සැන්ඩර් සාර් රජුගේ සහෝදරියක වූ චාලට් රැජනගේ නාමය, චාලට් රූස් එම නමින් හැඳින්වීමට හේතු වූ බවට විශ්වාසයක් පවතිනවා.

මව් රැජනගේ කේක් කැබැල්ල – Queen Mothers Cake

චොක්ලට් කේක්වල මූලාරම්භ ක්‍රියාවලිය ක්‍රිස්තු වර්ෂ 1764 දක්වා දිව යනවා. ඇඹරුම් ගල් දෙකක් අතර කොකෝවා ඇට කිහිපයක් තබා ඒවා අඹරා ගැනීමෙන් චොකලට් නිපදවීමට හැකි බව ඒ වන විට සොයා ගෙන තිබුණා. සුප්‍රසිද්ධ පෝලන්ත පියානෝ වාදකයකු ව සිටි ජෑන් ස්මෙටරිලින්, යෝර්ක්හි ආදිපාදවරිය ලෙස හැඳින් වූ එලිසබෙත් මව් රැජන වෙත මෙකී චොක්ලට් කේක් හඳුන්වා දීමෙන් අනතුරුව මව් රැජනගේ කේක් කැබැල්ල යන නාමය එයට ලැබී ඇතැයි සඳහන් වනවා.

පියානෝ වාදක ස්මෙටරිලින් නිවසට එලිසබෙත් මව් රැජන පැමිණි අවස්ථාවක ඇයට මෙම කේක් කැබැල්ල ගෞරවයකින් යුතුව පිරිනැමුවා. ස්මෙටරිලින් නැමති සංගීත ශිල්පියා ඔස්ට්‍රියාවේ සංචාරයක නිරත ව සිටිය දී මෙකී අතුරුපස වට්ටෝරුව ලබා ගන්නට ඇතැයි ඉතිහාසයේ සඳහන් වනවා. 

මව් රැජනගේ කේක් කැබැල්ල ඔස්ට්‍රියාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය අතුරුපසක් බවට පත්ව තිබෙනවා –
thebakingwizard.com

මව් රැජන මෙම කේක් කැබැල්ලට කෙතරම් ප්‍රිය කළා ද කිවහොත් එහි වට්ටෝරුව ස්මෙටර්ලින්ගෙන් ඉල්ලා සිටි අතර ඉන්පසු එය ඇගේ අමුත්තන්ගේ කෑම මේසයටත් නොවරදවාම පිළිගැන්වූ අතුරුපසක් ව තිබුණා. වර්තමානය වන විට මව් රැජනගේ කේක් කැබැල්ල ඔස්ට්‍රියාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය අතුරුපසක් බවට පත්ව තිබෙනවා.

කවරයේ ඡායාරූපය: සූපශාස්ත්‍ර නිර්මාණ කලාවට අයත් ප්‍රධාන ආහාර, අතුරු ආහාර, අතුරුපස සහ නානාවිධ පාන වර්ග හැඳින්වීමටත් රාජකීය පෙළපත් නාම බහුල ව භාවිත කළා - static.toiimg.com
මූලාශ්‍ර :
www.tastingtable.com
ecipes.timesofindia.com
www.mashed.com
Nam.ac.uk
www.kingarthurbaking.com

Related Articles