Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෑතෙහි සුන්දරත්වය වැඩි කරන මෙහෙන්දි රටා

ඉස්සර කාලේ ඉඳලම කාන්තාවන් තම සුන්දරත්වය ඔප් නංවා ගැනීමට විවිධ ක්‍රම භාවිතා කළා. ඒ අතර නිය ආලේපන, කොණ්ඩා මෝස්‌තර, හිසකෙස් වර්ණ ගැන්වීම්, විවිධ ආකාරයේ කරාබු පැළඳීම් වගේ දේවල් ප්‍රසිද්ධයි. අද අපි කතා කරන්නේ වර්තමානයේ විශාල නැඹුරුතාවයක් තියෙන, සුන්දරත්වය වැඩි කරන කාරණාවක් ගැනයි. මෙහෙන්දි කිවුවම කවුද ඒ ගැන නොදන්නේ? මේ ඒ සම්බන්ධයෙන් Roar අාර්යා වෙතින් ගෙන එන විවරණයක්.

මොනවාද මේ මෙහෙන්දි?

හෙනා ගසේ මල් (floraofqatar.com)

හින්දි භාෂාවෙන් ‘මෙහෙන්දි’ ලෙසත්, සිංහල භාෂාවේ මරතොණ්‌ඩි ලෙසත්, අරාබි ජනවහරේ ‘හෙන්නා’ ලෙසත්, ඉංග්‍රීසි භාෂාවේ ‘හෙනා’  ලෙසත් හැදින්වෙන මෙහෙන්දි පාවිච්චියට ජාති ආගම් භේදයක් නම් නැහැ.

මෙහෙන්දි හදන්නේ මරතොණ්ඩි කියන ගසින් ලබා ගන්නා කොළ කුඩු කර, එයට වතුර මිශ්‍ර කර, එයට දෙහි එක්කර පල්පයක් ලෙස සාදා ගැනීම මගින්. එ් විදියට සාදා ගත්තු පල්පය කාන්තාවන්ගේ වගේම පිරිමි අයගේත් ශරීරවල මෝස්තර අඳින්න යොදා ගන්නවා. බොහෝ විට මෙය යොදා ගැනෙන්නේ අත් පාවල මෝස්‌තර අැඳීමටයි.

මුල් කාලයේ මේවායේ පවතින සිසිලස හේතුවෙන් අඹරා අත් පා වල ගැල්වූ අතර පසුව තිත් මල් මෝස්‌තර දමන්නට වුණා. වර්තමානයේ කුඩු කොට විලාසිතා කරන්නට භාවිත කරනවා.

මෙහෙන්දි යන වචනය ගැන අවධානය යොමු කිරීමේදී මෙය සංස්කෘත  වචනයෙන් ව්‍යුත්පන්න වූ වචනයක් ලෙස සඳහන් වනවා. එමෙන්ම මෙම මෙහෙන්දි හා කහ භාවිතය සම්බන්ධයෙන් පොත් පත් වල විස්තර කරනු ලබනවා. ඒ අතර මුල් කාලීන හින්දු වෛදික චාරිත්‍ර පොත්පත් වලට ලැබෙන්නේ ප්‍රමුඛතාවයක්. ඒ අනුව මෙම මෙහෙන්දි කාන්තාවන්ගේ අත්වල මෝස්‌තර ලෙස යොදා ගැනීම ආරම්භයේදීම දැක ගත හැකි වුණා. නමුත් පොත් පත්වල විස්තර කරන ආකාරයට ඉන් අනතුරුව පුරුෂ පාර්ශවයේ ද මෙම මෙහෙන්දි රටා දැක ගැනීමේ අවස්ථාව උදා වුණා. එමෙන්ම වෛදික පොදු චාරිත්‍රයට අනුව මෙම මෝස්තර හැදින්වෙන්නේ “අභ්‍යන්තර ආලෝකයෙහි පිබිදීමක්” ලෙසයි.

මෙහෙන්දි වල ගුණාත්මක පදනම

මෙහෙන්දි සාදනු ලබන්නේ මරතොන්ඩ් ශාකයෙන් කියල මුලිනුත් සදහන් කළා. මෙම මරතොන්ඩ් ශාකය ඉතාමත් ගුණාත්මක ශාකයක්. එම නිසා මෙහෙන්දි ගැල්වීම මගින් දෑත්වලට අලංකාරයක් ලැබෙනවා වගේම, සිසිල් බවත්, ශරීර උෂ්ණත්වය අවම කරන්නත් හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙය සාර්ථක විෂ බීජ නාශකයක්. මෙහෙන්දි තෙල් සාත්තුවෙන් ඉස්‌හොරි ඉවත් වන බව දැක්වෙන අතර කෙස්‌ කළඹ හොඳින් වර්ධනය වීමක්‌ද සිදු වනවා. මෙහෙන්දි තෙල්වලට බීට්‌ රූට්‌ යුෂ හෝ කෝපි කුඩු එකතු කර පැය දොළහක්‌ පමණ තිබෙන්නට හැර හිසේ ගල් වන්නේ නම් හිස කෙස්‌ අමුතුම පැහැයකින් යුක්ත වන බව සඳහන් වෙනවා.

මෙහෙන්දිවල ඉතිහාසය

මෙහෙන්දි වල සම්භවය කොහේද යන්න සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර පවතිනවා. එහිදී මූලික වශයෙන් දැක්වෙන්නේ ඊජිප්තු මමීවල ශරීර ආවරණයක් ලෙසද භාවිත කර ඇති බවයි. එමෙන්ම එම මමීවල හිසකෙස් හා නියවල ලා රතු හා දුඹුරු මිශ්‍ර පාටින් තැවරූ හෙනා දැක ගැනීමේ හැකියාවක් තිබෙන බවද කියවෙනවා.

උද්භිද විද්‍යාඥයන්ට අනුව හෙනා ශාකය නැතිනම් මරතොන්ඩ් ඊජිප්තු සම්භවයකින් ආරම්භ වී කාන්තාවන්ගේ අත්ල සහ පා මෝස්තර කිරීම සඳහා ඉන්දියාවට රැගෙන අා ශාකයක්. එමෙන්ම මෙය ඖෂධීය ගුණයෙන් ඉතාමත් ඉහළ බවද දැක්වෙනවා. අශ්වයන් හා වෙනත් සතුන්ගේ ලොම් වර්ණ කිරීමට, රෙදි සහ සම් මෙන්ම හිසකෙස් සඳහා ඩයි ලෙසද මෙහෙන්දි භාවිත කරන බව සඳහන් වෙනවා.

වැඩි දියුණු වූ මෙහෙන්දි

(pinterest.com)

පොත් පත්වල සඳහන් ආකාරයට උතුරු ඉන්දියාව, අරාබිය හා පාකිස්තානය මෙහෙන්දි මෝස්තර සම්බන්ධයෙන් ඉහළ ප්‍රසිද්ධියක් උසුලනවා. එමෙන්ම ඒ වකවානුවේ කාන්තාවන් රැකියාවල නිරත නොවූ අතර, විවේකි කාන්තාවන් එක් රැස් වී එකිනෙකාගේ මෙහෙන්දි මෝස්‌තර රටා දා ගත බවත් පැවසෙනවා.

නමුත් ඒ වකවානුවල මෙහෙන්දි මෝස්‌තරවල තරමක ඒකාකාරී බාවයක් දක්නට ලැබුණා. එවායේ වැඩි විචිත්‍ර භාවයක් තිබිලා නැහැ. නමුත් වර්තමානයේදී දක්ෂ මෙහෙන්දි රටා අඳින්නන් බිහි වී තිබෙනවා.

මෙහෙන්දි මිශ්‍රණයට වර්තමානය වන විට මරතොණ්ඩි කොළවලට අමතරව කරාබුනැටි, දෙහි සහ විවිධ වර්ණක යොදා ගන්නවා. මරතොණ්ඩිවල සාමාන්‍ය පැහැය වන්නේ තැඹිලි පාට වුවත් දැන් ආලේප කරන මෙහෙන්දි වල තද රතු පැහැයක් නැතිනම් මෙරුන් පැහැයට හුරු බවක් දක්නට තිබෙනවා.

එමෙන්ම වර්තමානයේ කාන්තාවන් අඳින පළඳින ඇඳුම්-පැළඳුම්වලට ගැළපෙන අයුරින් උරහිස්‌වල, පිට ආදී ප්‍රදේශවලත් මෙහෙන්දි මෝස්‌තර අඳිනු ලැබනවා.

මෙහෙන්දි රටා වර්ග

මෙහෙන්දි රටා විවිධ අාකාරවලින් වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ අතර, අරාබි මෙහෙන්දි මෝස්තර, ඉන්දියානු මෙහෙන්දි මෝස්‌තර හා පකිස්ථානු මෙහෙන්දි මෝස්‌තර ප්‍රධානයි.

අරාබි මෙහෙන්දි රටාවල බොහෝ විට තිත් සමග මල් රටා මෝස්‌තර අඳිනු ලැබනවා. සමහර මල් රටා වක්‍රාකාර හැඩයක් ගන්නවා. එමෙන්ම අරාබි මෙහෙන්දි මෝස්තර බොහෝ විට දෑත්වල දෙපැත්තේම මෝස්‌තර ලෙස යොදා ගනු ලබනවා. ලොව පුරා අරාබි මනමාලියන් විවිධ මෙහෙන්දි මෝස්‌තර රටා භාවිත කරනවා. එමෙන්ම මෙම අරාබි මෝස්‌තරවල පැහැදිලි හා නිදහස් බවක් ද දක්නට ලැබිම විශේෂත්වයක්.

ඉන්දියන් මෙහෙන්දි මෝස්‌තර (sarashenna.com)

ඉන්දියාව තුළ ඉන්දියානු මෙහෙන්දි මෝස්‌තර බහුලව දැකගත හැකි අතර පකිස්ථානය, ලංකාව හා බංගලාදේශය වැනි අසල්වැසි රටවලද මෙම කලාව දැක ගත හැකියි. ඉන්දියාවේ මෙහෙන්දි කලාවේ පුංචි පුංචි මල්, දේව රූප සහ සත්ව රූප ද දැක ගන්නට පුළුවන්. ඉන්දියාව හා පකිස්ථානය යන රටවල මනමාලියට මෙහෙන්දි ගැල්වීම අනිවාර්ය කරුණක් වන අතර සාමාන්‍යයෙන් සමහර කාන්තාවන් අත් වලත් තවත් සමහර අය පාදයේත් මෙහෙන්දි ගැල්වීමට කැමැත්තක් දක්වනවා. මීට අමතරව ඉන්දීය සිනමා සහ විනෝදාස්වාද කර්මාන්ත තුළද මෙහෙන්දි බහුලව භාවිතා කරනවා.

මෙහෙන්දි භාවිත කරන අවස්ථා

නත්තල් සමයේ මෙහෙන්දි මෝස්‌තර (sarashenna.com)

මෙහෙන්දි මෝස්තර වැඩිපුර භාවිත කරනු ලබන්නේ මංගල උත්සව, උත්සව අවස්ථා, දැරියන් මල්වරවීමේ උත්සව, විවාහ ගිවිස ගැනීම්, ආගමික උත්සව හා සාම්ප්‍රදායික උත්සව වැනි අවස්ථාවන් සඳහායි. මෙහෙන්දි ගැල්වීමේ දිනය ලෙස විවාහයට පෙර උත්සව ශ්‍රීයෙන් සමරනවා. නමුත් වර්තමානයේ යම් උත්සව අවස්ථාවක් නැතත් විලාසිතාවක් ලෙස මෙහෙන්දි මෝස්‌තර රටා අැඳීම දැක ගත හැකියි. නත්තල් උත්සවවලට මෙහෙන්දි මෝස්‌තර අැඳ සහභාගි වීම මෑත කාලීන විලාසිතාවක්.

මෙහෙන්දි රටා දැමීමෙන් ශරීරයට අහිතකර තත්ත්වයක් දක්නට නොලැබෙන අතර, මෙය වයස් භේදයකින් තොරව භාවිතා කළ හැකි සුන්දර විලාසිතාවක්.

කවරයේ පින්තුරය: exquisevents.com

මුලාශ්‍ර:

Wikipedia.org, www.dinamina.lk, www.divaina.com

Related Articles