Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩෙනිම් – විලාසිතා ලෝකයේ මැකී නොයන සංකල්පය

කාන්තාවන් වන අපට අද ඩෙනිම් කියන්නේ නැතිවම බැරි අැඳුමක්. සමාජ මට්ටම, වයස් මට්ටම, අවස්ථාව කුමක් වුණක් ඩෙනිම් පාවිච්චිය නම් කා අතරත් හුඟක් ජනප්‍රියයි. ඉස්සර පිරිමි අයට පමණක් සීමා වෙලා තිබුණත් කල් පැවැත්ම, භාවිතයේ පහසුව, හිත් පැහැරගන්නා විලාසිතා, සරල බව වගේ කාරණා නිසා අද කාලයේ ඩෙනිම් අඳින්නේ නැති ගැහැණු ළමයෙක් නැති තරම්. එදිනෙදා ගමන් බිමන්වලට, ක්ලාස් යන්න, ලෙක්චර්ස් යන්න අපි දෙපාරක් නොහිතා තෝරා ගන්න ඩෙනිම් නිර්මාණය වුණේ කොහොමද කියලා දැනගන්න ඔබත් කැමති ඇති.

සමාජ මට්ටම, වයස් පරතරය වගේම ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව කා අතරත් හුඟක් ජනප්‍රිය ඇඳුමක් තමයි ඩෙනිම. කල් පැවැත්ම, භාවිතයේ පහසුව, හිත් පැහැරගන්නා විලාසිතා, සරල බව වගේ කාරණා නිසා අද ඩෙනිමක් පාවිච්චි නොකරන කෙනෙක් නැති තරම්. එදිනෙදා ගමන් බිමන් වලදි අංක එකට අපි හැමෝම වගේ තෝරා ගන්න ඩෙනිම කොහොමද නිර්මාණය වුණේ කියලා දැනගන්න ඔබ කැමති ඇති.

නම හැදුණු හැටි

ඩෙනිම ප්‍රංශයේ නෙම්ස් නගරයේ සර්ජ් නම් රළු රෙදි වර්ගයකින් නිමැවුණු නිසා සර්ජ් ඩි නෙම්ස් (serge de Nimes) නමින් ආරම්භයේදි හැඳින්වුණා. කාලයත් එක්ක මේ නම “ඩෙනිම්” ලෙස වෙනස් වුණා. කපු නූල් වලින් හරස් රේඛා වියමනක් විදියට නිර්මාණය වෙන ඩෙනිම් රෙදි සාපේක්ෂව රළුයි. හිරි වියමන ලෙස හඳුන්වන මේ සඳහා වර්ණ දෙකක නූල් යොදා ගන්නවා. මෙහිදී හැමවිටම එකිනෙකට වෙනස් වර්ණ සහිත නූල් ‍යොදා ගන්න නිසා එක් වර්ණයක් ප්‍රබලව ඉස්මතු වෙනවා. ඩෙනිම් රළු සහ ශක්තිමත් වීමට බලපාන්නෙත් මේ සුවිශේෂ වියමනයි.

හිරි වියමන – Twill weave (www.pinterest.com)

මුල් භාවිතය

ඩෙනිම් මුලින්ම පාවිච්චි කළේ කම්කරුවන් විසින්. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි මේ රෙදි වර්ගයේ කල් පැවැත්ම නිසාමයි. රළු, ශක්තිමත් ඩෙනිම ඔවුන්ගේ කර්කශ වැඩ පිරුණු ජීවිතයට හොඳින්ම ගැලපුණා. මුල් කාලයේදි ඩෙනිම් නිර්මාණය වුණේ පිරිමි පාර්ශවය සඳහා වුණාට ගොවිපොළවල වැඩ කළ කාන්තාවන්ද ක්‍රමයෙන් මේ ඇඳුමට හුරු  වුණා. අද වෙනකොට පිරිමි අය තරමටම කාන්තා අපිත් ඩෙනිම් පාවිච්චියට හුරු වෙලා.

මුලින්ම ඩෙනිම භාවිතා කළේ කම්කරුවන් විසින්. (www.pinterest.com)

ඇයි අපි ඩෙනිම් අඳින්නෙ?

කම්කරුවන්ගෙ ඇඳුමක් ඇත්තටම ඇයි අපි අඳින්නෙ? ඩෙනිමෙ අතීත කතාව සම්පූර්ණයෙන් දැනගන්නකම් ඒ ප්‍රශ්නෙට උත්තර හොයා ගන්න අමාරුයි. ඩෙනිම් විලාසිතා ලෝකයේ ඉහළම තැනක් හිමිකරගෙන, මිනිස්සු අතර මේ තරම් ජනප්‍රිය, ප්‍රසිද්ධ ඇඳුමක් වුණේ කොහොමද කියලා දැන් අපි බලමු.

1880 දී ඇමරිකාවේ රන් ආකර වල සේවය කළ කම්කරුවන්ට ලේසියෙන් ඉරෙන්නෙ නැති ශක්තිමත් රෙදි වර්ගයක් අවශ්‍ය වුණා. මේ බව දැනගත්ත ලියොබ් ස්ට්‍රවුස් නැමැත්තා ඩෙනිම් රෙදි ගෙනැත් තොග වෙළඳාමක් ආරම්භ කළා. ඉන් පස්සෙ කැලිෆෝනියාවේ නෙවාඩා ප්‍රදේශයේ හිටපු ඇඳුම් මහන්නෙක් එක්ක එකතු වෙලා ස්ට්‍රවුස් ඇඳුමක් නිර්මාණය කරනවා. කම්කරුවන්ට ඔවුන්ගෙ කටයුතු අපහසුවකින් තොරව කරගෙන යන්න පුළුවන් විදියට නිමැවුණු මේ ඇඳුම තමයි අද හැමදෙනා අතරම ජනප්‍රිය වෙලා තියෙන ඩෙනිම් කලිසම.

ඉන්පස්සෙ ස්ට්‍රවුස් තමන්ගෙ “ලියොබ්” කියන නම “ලීවයි” (LEVI) ලෙස වෙනස් කරගන්නවා. අදටත් වෙළඳ ලෝකයේ අති සාර්ථක “ලීවයි ස්ට්‍රවුස්” වෙළඳ නාමය නිර්මාණය වෙන්නෙ එහෙමයි.

ලියොබ් ස්ට්‍රවුස් (www.wikitree.com)

ස්ට්‍රවුස් ඩෙනිම් වර්ණ ගන්වන්න යොදා ගත්තෙ ඉන්ඩිගෝ වර්ණකය. කෘත්‍රිම ඉන්ඩිගෝ වර්ණකය 1826 දී සොයා ගත් අතර 1876දී මෙය සුලබ වර්ණකයක් බවට පත් වෙලා තිබුණා. ඉන්ඩිගෝ වර්ණකය ඩෙනිම් සඳහා කල් පවතින තද නිල් පැහැයක් ලබා දෙනවා.

ඩෙනිම් වර්ණ ගැන්වීම (papasemar.com)

ජනප්‍රියත්වයේ හිණිපෙත්තට!

1930 තිරගත වුණු චිත්‍රපටවල සිටි කව්බෝයිලා නිතරම ඩෙනිම් කලිසම ඇඳගෙන ඉන්න දර්ශන තිබුණා. ඩෙනිම මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න මේක හුඟක් බලපෑවා. බොහෝ දෙනාට ඩෙනිම් කලිසම් ඇඳීමේ ආශාව ඇති වුණේ මේ කාලයේදියි. 1940 දශකයේ දෙවන ලෝක යුද්ධය තිබුණු කාලයෙදි සොල්දාදුවන් සඳහා ඩෙනිම් කලිසම් නිර්මාණය වුණා. නමුත් ඔවුන් රාජකාරියෙන් නිදහස් වුණු වෙලාවට හැර මේ ඇඳුම ඇන්දෙ නැහැ.

කම්කරුවන් ඩෙනිම රළු කාර්යයන්වලදි පාවිච්චි කළාට සොල්දාදුවන්ට නම් එය විවේකය සංකේතවත් කරන පහසු ඇඳුමක් වුණා. යුද්ධය අවසන් වුණාට පස්සෙ ස්ට්‍රවුස් නාමය එක්ක තරඟ කරන්න ලී සහ රැන්ගල් නමින් තවත් වෙළඳ නාම දෙකක් බිහි වෙනවා.

ඩෙනිම් නිෂ්පාදනය (www.tenuedenimes.com)

1950දි ඇමරිකාවේ තරුණ පරපුර අතර ඩෙනිම් හුඟක් ජනප්‍රිය වෙනවා. රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට වලින් සිදු වුණු බලපෑමත් එක්ක තාරුණ්‍යයේ සංකේතය බවට පත් වෙන ඩෙනිම් කලිසම පාසල් කාලය තුළ ඇඳීම තහනම් කිරීමට සිදු වෙන මට්ටමටම මේ උන්මාදය පැතිරෙනවා. අතීත ඇමරිකාවේ ගැමි සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තිබුණු නිල් පැහැ ඩෙනිම 1970න් පස්සෙ ලොව පුරාම පැතිරුණා. ව්‍යාපාර ක්ෂේත්‍රයේ, රජයේ රැකියාවල, කාර්යාලවල, අධ්‍යාපන ආයතනවල සහ ප්‍රසිද්ධ ස්ථානවල ඩෙනිම් ඇඳුමකින් සැරසුණු පිරිස් දැකගන්න ලැබීම බොහොම සාමාන්‍ය දෙයක් වුණා.

1961දී තිරගත වුණු West Side Story චිත්‍රපටයේ අවස්ථාවක් (www.ralphlauren.com)

1983දී තිරගත වුණු The Outsiders චිත්‍රපටයේ අවස්ථාවක් (www.ralphlauren.com)

නව හඳුන්වාදීම්

1960 සහ 1970 දශකවලදී ඩෙනිම් නිෂ්පාදකයින් වර්ණවත් සහ එම්බ්‍රොයිඩර් කරන ලද වෙනස් ආරයේ විලාසිතා හඳුන්වා දෙනවා. මෙය විලාසිතා ලෝකයේ සහ එවකට පැවති සංස්කෘතියේ විශාල වෙනසක් කරන්න සමත් වුණා. විලාසිතා කර්මාන්තයට “ඩෙනිම” කියන සංකල්පය තදින්ම මුල්බැස ගත්තෙ 1980 දශකයෙදි යි. ගුචි (Gucci) වැනි ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවන්ද ඩෙනිම් කලිසම් නිර්මාණය ආරම්භ කළා. ඩෙනිම කම්කරුවන්ගේ ඇඳුමක් ලෙස තිබූ සමාජ සම්මතය මේ එක්කම නැති වෙලා ගියා.

විවිධ වර්ගයේ නව විලාසිතා රැසකින් ආකර්ෂණීය ඩෙනිම් නිර්මාණය වීමත් සමඟම හැම දෙනාටම මේ නව විලාසිතා ආර අනුගමනය කිරීමේ ආශාව ඇති වුණා. ඇඟේ ප්‍රමාණයටම මැසූ ඩෙනිම්, අම්ල යොදා සුදු පැහැ කළ ඩෙනිම් සහ ඩෙනිම් ජැකට් මේ කාලයේ ජනප්‍රියම විලාසිතා වුණා.

(www.elle.com)

1990දි මේ තත්ත්වය ටිකක් වෙනස් වුණා. 1980 දශකයේ තරම් තරුණ පරපුර අතර ඩෙනිම් ගැන උන්මාදයක් තිබුණෙ නැහැ. සරලවම කිව්වොත් ඔවුන්ට එය නැවුම් අත්දැකීමක් වුණේ නැහැ. ඔවුන්ගේ දෙමව්පියන් ඒ වන විටත් ඩෙනිම් විලාසිතා අනුගමනය කිරීම මේකට ප්‍රධානම හේතුව වුණා. සාමාන්‍යයෙන් තරුණ පිරිස් ඔවුන්ගේ දෙමව්පියන් අනුගමනය කරන විලාසිතාම තෝරා ගන්න කැමැත්තක් දක්වන්නෙ නැහැ. ඒ නිසා ඔවුන් ඩෙනිම් වලින් එහාට ගිහින් කාගෝ (cargo) කලිසම්, කාකි ඇඳුම් සහ ක්‍රීඩා ඇඳුම් අඳින්න වැඩි නැඹුරුතාවක් දක්වනවා. මේ නිසා 80 දශකයේ තරම් 90 දශකයේදි ඩෙනිම් ජනප්‍රිය විලාසිතාවක් වුණේ නැහැ.

(www.ralphlauren.com)

නොමියෙන විලාසිතාවක්

ඩෙනිම තවමත් විලාසිතා ලෝකයේ නොනැසී පවතින විලාසිතාවක් නමුත් එහි නිමාවේ වෙනස්කම් දකින්න පුළුවන්. අළුත් පන්නයේ හැඩ සහ කැපුම් හෝ ඉරුම් සහිතව නිමැවුණු (Ripped) ඩෙනිම් විලාසිතා අද වෙළඳපළේ දැකගන්න පුළුවන්. මේ අතර පාවිච්චි කළ ඩෙනිම් අලෙවි කරන ස්ථානත් තියෙනවා. මේවා අඩු මිලකට ලබා ගන්න පුළුවන්. ඒත් ඩෙනිම් සඳහා තිබූ ඉල්ලුම අඩු වීමත් එක්කම අංක එකේ ඩෙනිම් නිෂ්පාදකයා වුණු ලීවයි ස්ට්‍රවුස් සමාගමට ඔවුන්ගේ කර්මාන්තශාලා 11ක් වසා දමන්නත් සිදු වුණා.

ඩෙනිම් විලාසිතාවේ දැවැන්තයා – ස්ට්‍රවුස් (4hdwallpapers.com)

2000 වර්ෂයේ ඉඳන් අද වෙනකම් ඩෙනිම්වල වෙනස්කම් රැසක් සිදු වුණා. විලාසිතා ලෝකයේ දැවැන්තයන් වන ෂැනල්, ඩියෝර්, ක්ලෝයි සහ වර්සාචේ වැනි සමාගම් ඩෙනිම් එයාලාගේ විලාසිතා ප්‍රදර්ශනවලට යොදා ගැනීම ආරම්භ කරනවා. ආයෙමත් ඩෙනිම් ජනප්‍රිය විලාසිතාවක් වෙන්නෙ එයින් පසුවයි. අද වන විට ඩෙනිම් කලිසම වැඩිපුරම අඳින ඇඳුමක් වුණේ ඒ විදියට.

ෂැනල් සහ ඩියෝර් සමාගම් විතරක් නෙවෙයි ඩෙනිම් විලාසිතා මවන තවත් සමාගම් රැසක් පසු කාලීනව බිහි වෙනවා. Diesel, Rock & Republic, 7 For All Mankind, True Religion, Nudie, Paige Premium, J Brand සහ Current/Elliot මේවාට හොඳම උදාහරණ.

(www.ralphlauren.com)

100%ක් කපු යොදාගෙන නිර්මිත රළු ඩෙනිම්, ඉලාස්ටින් මිශ්‍ර ඇදෙන සුළු ඩෙනිම්, ශරීරය පිටතට පෙනෙන පරිදි කැපුම් හෝ ඉරුම් යෙදූ ඩෙනිම්, මුද්‍රිත ඩෙනිම්, විශාල මැසුම්, ලොකු බොත්තම් හා ලෝහ කොටස් එක් කළ ඩෙනිම් වගේ නිමක් නැති අපූරු විලාසිතා ගණනාවක් වෙළඳපොළේ ඔබ ඕනෑතරම් දැකලා ඇති. මෑත කාලීනව කෙටි ටී ෂර්ට් හෝ ක්‍රොප් ටොප් (crop top) සමඟ ඉදිරිපස බොත්තම් කිහිපයක් අැති, නාභිය අසලටම උස් වූ ඩෙනිම් අැඳීම තරුණියන් අතර ඉතාම ජනප්‍රිය වී තිබෙනවා.

ඩෙනිම් කලිසම් හා ජීන්ස්වලට අමතරව ගවුම්, කමිස, සාය, ජැකට් හා ලෙගින් වගේම සපත්තු හා බෑග් පවා ඩෙනිම් රෙදි යොදාගෙන නිර්මාණය කරනවා. ඩෙනිම් කියන සංකල්පය කොයිතරම් දුරකට මිනිස්සු අතරත්, විලාසිතා කර්මාන්තයේත් මුල් බැසගෙන තියෙනවාද කිව්වොත් කවදාවත් මේ ඩෙනිම් විලාසිතා නම් මැකිලා යාවි කියලා හිතන්න බැහැ. ඒ තරමටම මේවා අපේ ජීවිතවල අංගයක් වෙලා අවසන්.

කවරයේ පින්තුරය: Esquire

මූලාශ්‍ර:  www.fashionintime.org, www.ckua.com, www.chatelaine.com, www.historyofjeans.com

www.denimblog.com

Related Articles