Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා ලලනාවන් ලස්සන වන්නේ මෙහෙමයි

ජාතිය, ආගම, කුලය කුමක් වුවත්, කුමන රටක ජීවත් වුවත්, ලස්සන වෙන්න, තමන්ගේ රූ සපුව වඩව ගන්න නම් කොයි කාන්තාවත් කැමතියි. රූ සපුව ගැන හිතද්දී අවට රටවල කාන්තාවන්  මෙතරම් ලස්සන වී ඇත්තේ කොහොමද කියල ඔබට නිරන්තරයෙන් සිතී තිබෙන්නට පුළුවන්. ඔවුන්ගේ සමේ පැහැය, හිසකෙස් ආදිය විවිධත්වයෙන් යුතු සුන්දරත්වයක් ගැනීමට ජානමය බලපෑමක් තිබෙන බව සත්‍යයි. නමුත් ඊට අමතරව එදිනෙදා කරන සරල රූපලාවන්‍ය සත්කාර මඟින් ඔවුන් තව තවත් ඔවුන්ගේ රූ සපුව ලස්සන කරගන්නා බව ඔබ දැනටමත් දන්නවාත් ඇති. විවිධ රට වලට ආවේණික වූ ස්වාභාවික රූපලාවන්‍ය සත්කාර ක්‍රම කිහිපයක් මෙයින් සළකා බලමු.

ඉන්දීය ලලනාවන්ගේ සුන්දරත්වයේ රහස් මුළුතැන්ගෙයින්

jbcnews.net

ඉන්දීය ලලනාවන්ගේ සුන්දරත්වයේ රහස ඇත්තේ මුළුතැන්ගෙයි බව ඔබ දැන සිටියාද? එදිනෙදා ආහාර පිසිමට මුළුතැන්ගෙයි භාවිතා කරන පොල්තෙල්, කහ, ලෙමන් යුෂ, කොත්තමල්ලි, සූදුරු, මී පැණි ආදිය ම  ඔවුන්ගේ සුන්දරත්වයට බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. ඉන්දීය මනාලියන් තම මංගල දිනයට පෙර දින පවත්වන ‘හල්දී’ උත්සවයේදී යෝගට්, කහ, මී පැණි එක්කොට තනාගන්නා මිශ්‍රණය මුළු සිරුරේම ආලේප කරනවා. මී පැණි වෙනුවට ඕට්ස් යොදාගැනීමේ හැකියාව ද පවතිනවා. ඕට්ස් සමේ මැරුණු සෛල ඉවත් කර සම මනාව පිරිසිදු කරන්න උපකාරී වෙනවා. කෙසේ වෙතත් මෙම මිශ්‍රණය ආලේප කිරීමෙන් ඔවුන්ගේ සම තව තවත් කාන්තිමත් වන බවයි ඔවුන් පවසන්නේ.

පොල්තෙල් ද ඉන්දීය ලලනාවන් ලස්සන කිරීමට නිරන්තරයෙන් උදව් දෙන්නක්. පොල් තෙල් වියළි හිස් කෙස් වලට නිරෝගී දිදුලන පෙනුමක් ලබාදීමට උදව් වන කන්ඩිෂනර් එකක් ලෙසයි ඔවුන් භාවිතා කරන්නේ. පෝෂණයෙන් අනූන පොල් තෙල් සමේ වියළි බව අවම කරගැනිමට සමේ ගල්වා සම්බාහනය කිරීමත් ඔවුන් නිතර කරන සත්කාරයක්.

රුසියානු සහ බ්‍රසීල කාන්තාවන් ලස්සන කරන ඕට්ස් ධාන්‍ය

pinterest.com

ඕට්ස් සතු විශ්මිත ප්‍රතිඵල දන්නා රුසියානු කාන්තාවන් තමන්ගේ රුව ලස්සන කර ගැනීමට ඕට්ස් භාවිතා කරනවා. ඕට්ස්, ඔලිව් තෙල්, සහ ලෙමන් යුෂ සමඟ මිශ්‍ර කොට ‘‍‍ෆෙෂල් මාස්ක්’ එකක් ලෙස ඔවුන් මුහුණේ ආලේප කරන්නේ ඒ නිසයි. මෙය ලොව ඇති පහසුම සහ වඩාත් ප්‍රතිඵලදායි ආලේපයක් ලෙසයි සාමාන්‍යයෙන් පිළිගන්නේ.

පෝෂණයෙන් අනූන ඕට්ස් ධාන්‍ය  සමේ පැහැය වර්ධනය කිරීමට මහත් සේ උපකාරී වෙනවා. ඒ බව අත්දැකීමෙන්ම දන්නා බ්‍රසීල කාන්තාවන් ද හිරු එළිය වැදීම නිසා ඇති වන පිළිස්සුම් සහ සමේ අවපැහැ ගැන්වීම් සුව කර ගැනීමට ඕට්ස් යොදාගන්නවා. ඕට්ස් අඩංගු කුඩා රෙදි පොදියක් නාන බේසමේ කරාමය යටින් ගැටගසා, එම නාන බේසමට රැස්වන ඕට්ස් වලින් පෙරී එන ජලයෙනුයි ඔවුන් ස්නානය කරන්නේ. හිරු එළියෙන් ඇති වුනු පිළිස්සුම් වලට එය ක්ෂණික සහනයක්.

ග්‍රීසියේ ළඳුන්ගේ රුව වඩන ඔලිව් තෙල්

ග්‍රීසිය ලොව ලස්සනම කාන්තාවන්ගේ නිජබිම ලෙසයි පෙර අපර දෙදිග කව්රුත් සළකන්නේ. ග්‍රීසියේ ළඳුන්ගේ රුව පිලිබඳ දැන සිටියත්, දුටුවන් නෙත් වශී කරන ඔවුන්ගේ සුන්දරත්වයේ රහස ඔලිව් තෙල් බව ඔබ දැන සිටියේ නැහැ නේද? විටමින් සහ ප්‍රතිඔක්සිකාරක  බහුලව අඩංගු ඔලිව් තෙල් ඔවුන්ගේ ආහාර වේලේ ප්‍රධාන අංගයක්. එමෙන්ම යෝගට් සමඟ මිශ්‍ර කොට හිස ගල්වන කන්ඩිෂනර් එකක් ලෙසත් ඔවුන් ඔලිව් තෙල් භාවිතා කරනවා.

ඔලිව් තෙල් වලට අමතරව රෝස්මරි ශාකයේ සාරය ඔවුන් හිස සේදීමට යෝදාගන්නවා. රෝස්මරි ශාකය පෙගෙන්නට හැර එම ජලයේ මිශ්‍ර වී ඇති එහි සාරය ඇපල් සයිඩර් විනාකිරි සමඟ මිශ්‍ර කොට හිසකෙස් සේදීමට ඔවුන් යෝදාගන්නේ තවත් ස්වාභාවික සත්කාර ක්‍රමයක් ලෙසින්.

ඊට අමතරව ලෙමන් යුෂ හෝ විනාකිරි හිසේ ගල්වන ඔවුන් එළිමහනේ අව්වට නිරාවරණය වන ලෙස සක්මන් කරමින් සිටින්නේ හිරු එළිය ලෙමන් යුෂ ගැලවූ හිසකෙස් මත පතිත වී ප්‍රතික්‍රියා කිරීම මත දිදුලන කෙස් කළඹක් ඔවුන්ට හිමිකර දෙන නිසයි. සම පැහැපත් කරගැනීමට ලෙමන් හා විනාකිරි මිශ්‍රිත ජලයෙන් ස්නානය කිරීම ද ඔවුන් අතර ජනප්‍රියයි.

ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගේ සුන්දරත්වයේ රහස්

දුටුවන් මන බඳින කෙළිලොල් ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගේ සුන්දරත්වයේ රහස ස්වාභාවික පැළෑටි වල සාරය බව ඔබ දන්නවාද? යැරෝ පැළෑටියේ මුලින් ලබා ගන්නා සාරය සමේ තෙතමනය පවත්වා  ගැනිමට ඔවුන් යොදාගන්න සාර්ථක ප්‍රතිකර්මයක්. කල් ගත වූ තුවාල කැළැල් සහ කාලයක් තිස්සේ ඇති නොමැකෙන කැළැල් (Stretch Marks) ඉවත් කරගැනීමටත් ඔවුන් යැරෝ පැළෑටියේ මුලින් ලබා ගන්නා සාරය කැළැල් මත ආලේප කරනවා.

හිසකෙස් සම්බන්ධ ගැටළු වලට ඔවුන් භාවිතා කරන්නේ ටී පැළෑටියේ තෙල්. හිස්සොරි ක්ෂණිකව ඉවත් කර හිස්කබලේ තෙතමනය ආරක්ෂා කර පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීමට ටී තෙල් බින්දු කිහිපයක් ෂැම්පු  සමඟ මිශ්‍ර කර හිසේ ගල්වා සෝදා හැරීමයි ඔවුන් කරන්නේ.

ඊජිප්තු කාන්තාවන් ලස්සන කරන එළු කිරි සහ මී පැණි

ඊජිප්තු කාන්තාවන්ගේ සුන්දරත්වය පිළිබඳ කතා කිරීමේ දී පළමුවෙන්ම ඔබේ මතකයට නැඟෙන්නේ ක්ලියෝපැට්‍රා අධිරාජිණිය බව නම් නිසැකයි. පෙර කාලයේ එවැනි සුරූපිනියන් භාවිතා කල රූපලාවන්‍ය රහස් අදටත් ඊජිප්තු යුවතියන් අතර ජනප්‍රිය බව ඔබ නොදැන සිටියා වන්නට ඇත. මී පැණි සමඟ මිශ්‍ර කළ එළු කිරෙන් ස්නානය කිරීම ඒ අතරින් ඉතාමත් ප්‍රතිඵලදායක රූපලාවන්‍ය ක්‍රමයක්.

මඩ නෑම ද ඔවුන්ගේ ජනප්‍රිය රූපලාවන්‍ය සත්කාරයක්. ඛනිජ ලවන බහුල ‍නොගැඹුරු මළ මුහුදේ ඇති මඩ සිරුර පුරා තවරා ගන්නා ඔවුන් ඉන්පසු මළ මුහුදේ ලුණු ජලයේ ගිලී සිටින්නේ නිරෝගී පැහැපත් සිරුරක් හිමිකර ගැනීමේ අරමුණෙන්.

ලතින් ඇමෙරිකානු කාන්තාවන් ලස්සන කරන අලිගැටපේර

glamvevue.com

කාන්තා රුව ගැන කතා කිරීමේදී කෙස් කළඹට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. දිදුලන පිරිපුන් කෙස් කළඹක් ලතින් ඇමෙරිකානු කාන්තාවන්ට හිමිව තිබෙන්නේ අලිගැට පෙර, ඉදුණු කෙසෙල් හා ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කොට කෙස් කළඹේ ගල්වා සම්බාහනය කිරීමෙන් බවයි පැවසෙන්නේ.

පැහැපත් සමක් සඳහා අලිගැටපේර, මී පැණි සමඟ මිශ්‍ර කර මුහුණේ සම මත ආලේප කිරීමත් ඔවුන් අතර ජනප්‍රියයි.

ජපන් කාන්තාවන්ගේ සකේ නෑම

සහල් වලින් සාදාගන්නා සැර මද්‍යසාරයක් වන “සකේ” ජපානයේ ජනප්‍රිය පානයක්. එසේ සාදාගන්නා සකේ වීදුරු කිහිපයක් ස්නානය කිරීමට පෙර ස්නානය කිරීමට යෝදාගන්නා ජලයේ මිශ්‍ර කිරීමෙන් සමේ ගැඹුරට කාවැදුණු කුණු දුහුවිලි ඉවත් කොට සමේ වියපත් බව අවම කර තරුණ පෙනුම ළඟා කරගැනීමට උපකාරී වෙනවා. ඒ අනුව ජපන් කාන්තාවන්ගේ රූපලාවන්‍ය රහස් අතර පළමු තැන හිමි වී ඇත්තේ සකේ වලටයි.

ජපන් සංස්කෘතියේ ශුද්ධ සම්ප්‍රදායක් වන හරිත තේ පානය ද ජපන් ලලනාවන් අතර ජනප්‍රියයි. එයට හේතුව එය සංස්කෘතික අංගයක් වනවා සේම ශරීරයේ අනවශ්‍ය මේධ කොටස් ඉවත් කර සිහින් සිරුරක් ලබා දීමට ඔවුන්ට උපකාරී වන නිසයි. එය ටොනර් එකක් ලෙස සකසාගෙන ආලේප කිරීමත් ජපන් කාන්තාවන් අතර දකින්නට පුළුවන්.

බල්ගේරියාවේ රෝස වතුර

teluguone.com

ලෝක වෙළඳ පොලට මුදාහරින රෝස තෙල් වලින් 85% ක්ම නිෂ්පාදනය කරන ලෝ පතල “රෝස නිම්නය” පවතින්නේ බල්ගේරියාවෙයි. ඒ අනුව බල්ගේරියානු කාන්තාවන්ගේ අංක එකේ රූපලාවන්‍ය ක්‍රමය බවට රෝස පත්ව තිබීම පුදුමයක් නොවේ. සමේ තෙතමනය රඳවා ගනිමින් පිරිසිදු නිකැළැල් සමක් පවත්වා ගැනීමට රෝස වතුර සහ රෝස තෙල් වලට ඇති අසමසම හැකියාව  හඳුනාගෙන ඇති ඔවුන් සම පිරිසිදු කරගැනීමට වැඩි වශයෙන් භාවිතා කරන්නේ රෝස නිෂ්පාදනයි.

ස්වීඩන් කාන්තාවන් සුන්දර කරන හරිත තේ

සුපැහැදිලි කාන්තිමත් සමක උරුමක්කාරියක් වීමට හරිත තේ කදිම විසඳුමක් බව විශ්වාස කරන ස්වීඩන් සුරූපිනියන් ශීත කොට අයිස් කැට බවට පත් කරගන්නා හරිත තේ ටෝනර් එකක් ලෙස භාවිතා කරනවා. එම හරිත තේ කැට සම මත ඇතිල්ලීමෙන් ටෝනර් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයම ලැබෙන බවයි ඔවුන්ගේ විශ්වාසය.

ඊට අමතරව ඔලිව් තෙල්, යුකලිප්ටස් තෙල් සහ පාෂාණමය ලුණු එක්කර සිරුරේ ආලේප කිරීමෙන් මුළු සිරුරම එකම පැහැයකින් බැබළවීමට හැකියාව පවතින බව විශ්වාසයෙන්ම දන්නා ඔවුන් ඒවා එක්කොට තනාගත් මිශ්‍රණය මුළු සිරුරේම ආලේප කිරීම තුළින් සමේ නිරෝගී බව රැකගැනීමට උත්සහ කරනවා. ඇත්තෙන්ම එය ද රුව වඩවා ගැනීමට උදව් වන සාර්ථක සත්කාර ක්‍රමයක්.

කවරයේ කතාව- pinterest.com

Sources

beautyandtips.com

brit.co

diybeautytutorials.com

indianbeauty.tips

naturalinstinct.com.au

stylecraze.com

Related Articles