ලෝකයේ බොහෝ දේවල් කාලයේ වැලි තලාවෙන් වැසී යයි. සැඟව ගිය එවන් බොහෝ දේ පසු කාලයේදී නිර්මාණාත්මක අන්දමින් ලෝකයා හමුවට එන අතර එවන් ඵෙතිහාසික දේවල් වටිනාකමින් ඉතා ඉහළ ය.

බියංකා කුමරියට ද ඉතිහාසය තුල හිමිව තිබෙන්නේ එවැනි නිර්මාණාත්මක වටිනාකමකි. සියවස් පහක් තිස්සේ අනාවරණය නොවී තිබුණු චිත‍්‍රයක් පසුගිය කාලයේ ලෝකයා හමුවට ආවේ ය. මෙම සැඟවුණු කුමරියගේ චිත‍්‍රය ලෝකයා හමුවට පැමිණීම පසුපස ඇත්තේ අපූර්ව සිත්ගන්නා සුළු කතන්දරයකි.

නිව්යෝර්ක් නගරය හා කි‍්‍රස්ටිගේ සිතුවම් වෙන්දේසිය

බියංකා සිතුවම (nationalgeographic.com)

සුරූපී යුවතියකගේ අලංකාර උඩුකය සිතුවමක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි කි‍්‍රස්ටීස්ගේ සිතුවම් වෙන්දේසි ශාලාවක ප‍්‍රදර්ශනයට තැබුණේ 1998 ජනවාරි 30 වැනිදා ය. එහෙත් එම චිත‍්‍රයේ සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව හෝ එය කාගේ නිර්මාණයක්ද යන්න පිළිබඳව කිසිවකුත් දැන සිටියේ නැත. මෙම චිත‍්‍රයේ ඉහළ කලාත්මකභාවයක් දක්නට ලැබුණු අතර චිත‍්‍ර ශිල්පීන් එම සිතුවම සම්බන්ධයෙන් විවිධ මත පළ කරන්නට විය. සිතුවම පිළිබඳව විස්තර කෙරුණේ එය වසු පැටවෙකුගේ තුනී සමක් මත හුණු කූරු හා තීන්ත භාවිතයෙන් දහනම වැනි ශත වර්ෂයේ ජර්මනියේ දී අතීත පුනරුද සමයේ සම්ප‍්‍රදායන්ට අනුව අඳින ලද්දක්ය යනුවෙනි.

මෙම චිත‍්‍රයට ඇළුම් කළ තවත් චිත‍්‍ර ශිල්පිනියක වන කේට් ගාන්ස් වෙන්දේසි පොළෙන් මෙම චිත‍්‍රය මිලදී ගත්තේ ඩොලර් 21,850 කටය. වසර දහයක් තිස්සේ අලෙවි නොවී කේට් ළඟ තිබූ මෙම සිතුවම ගැන උනන්දුවක් දැක්වූ කැනේඩියානු ජාතික චිත‍්‍ර එකතු කරන්නකු වූ පීටර් සිල්වර්මන් අවසානයේදී එය මිලට ගත්තේය. සිතුවම දුටු සැණින් ඔහු සිතුවම පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණියේය. ඔහුගේ නිගමනය වූයේ මෙය දහනව වැනි සියවසේ අඳින ලද්දක් නොව ඊටත් වඩා ඉපැරණි උරුමයක් රැුගත් එකක් බවය.

ලියනාඩෝගේ සිතුවමක් ද?

ලෝකප‍්‍රකට චිත‍්‍ර ශිල්පී ලියනාඩෝ ඩා වින්චි (thinglink.com)

මෙම චිත‍්‍රය ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලදැයි තමාට හැඟී යන බව සිය සමීපතමයින්ට පීටර් කිහිප වරක්ම පවසා තිබිණි. දිගින් දිගටම ඔහුගේ මනසේ රැව් පිළිරැව් දෙන්නට වූයේ මෙය අග‍්‍රගන්‍ය සුප‍්‍රකට චිත‍්‍ර ශිල්පියෙකු වන ලියනාඩෝ ඩාවින්චි ගේ සිතුවමක් විය හැකි බවයි. ඒ වන විට සිතුවම තැන්පත් කර තිබුණේ බැංකුවක ආරක්ෂිත කුටියකය.

පීටර් තමා මිලට ගත් සිතුවමේ ඡායාරූපයක් ඊමේල් මාර්ගයෙන් සිය මිතුරකු වූ කෙම්ප් වෙත යැව්වේය.  සිතුවම යවන්නට හේතු වූයේ ඔහුා ඔක්ස්ෆර්ඞ් සරසවියේ කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක් මෙන්ම ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ පිළිබඳ ප‍්‍රාමාණික දැනුමක් ඇත්තෙකු වීම ය. මෙවැනි ඓතිහාසික සිතුවම් පිළිබඳව කෙම්ප්ට නිතිපතා ලැබෙන විමසුම් ගණන බොහෝය. එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුත් නිර්මාණයක් නොවන බව වැටහුන විට එම සිතුවම ඉවත දමයි.

පීටර් විසින් එවන ලද මෙම ඡායාරූපය දුටු වහා තමන්ට අමුත්තක් දැනුණු බව කෙම්ප් පසුව ප‍්‍රකාශ කර ඇත. චිත‍්‍රයේ දැක්වෙන රූමත් තරුණියගේ මුහුණ වඩාත් හොඳින් දැක බලා ගන්නට සිතූ කෙම්ප් ගුවනින් සූරිච් බලා පිටත්ව ගියේය. අඟල් 13 X 9 ප‍්‍රමාණයට ඇද තිබූ සිතුවම පහසුවෙන් ඉවත දැමිය නොහැකි අග‍්‍රගණ්‍ය කලා නිර්මාණයක් බව කෙම්ප්ට අවබෝධ විය.

මහාචාර්ය කෙම්ප්ගේ අධ්‍යයනය

බියංකා සිතුවමේ සමීප සේයාරුවක් (fineartamerica.com)

කෙම්ප් සිතුවම අධ්‍යයනය කිරීමේ කටයුතු ඇරැඹූ අතර එය එහි තිබූ පින්සල් පහරවල් ඩාවින්චිගේ බව ඔහුට වැටහී යන්නට විය. රේඛා වර්ණ සම්මිශ‍්‍රණය ආදිය ද සමාන වූයේ ඩා වින්චිගේ අනෙකුත් නිර්මාණ වල රේඛා වර්ණ මිශ‍්‍රණයන්ට ය. එහෙත් සිතුවමේ සාධක පමණක් ලියනාඩෝ ඩාවින්චිගේ චිත‍්‍රයක් යන්න ඔප්පු කර පෙන්වීමට ප‍්‍රමාණවත් නොවූ අතර ලියනාඩෝ ඩා වින්චි ජීවත්ව සිටි සමයේ නිර්මාණය කළ එකක් බවට සනාථ කර ගැනීමද සිදු කළ යුතුව තිබුණි. එනම් මෙම සිතුවම 1452- 1519 අතර කාලයේ නිමැවෙන්නට ඇති බව විද්‍යාත්මකව තහවුරු කරගත යුතු  විය.

සිතුවම දෙස බලන සමහර අවස්ථාවලදී ඇය කලබල වන අතර, අසතුට හා සතුරු බව පෙන්වයි. නමුත් වෙනත් අවස්ථාවලදී ඇය වඩාත් සන්තෝෂයෙන් හා සතුටින් පිරී පෙනේ. මෙම ආලේපන විවිධාකාර මට්ටම් සහිතව පෙනෙන විට ඒ හා සමාන බලපෑමක් දක්නට ලැබෙන බව කෙම්ප්ට පෙනී ගියේය. ඩා වින්චිගේ මොනාලිසා සිතුවම තුළ ද භාවයන් කිහිපයක් එකවර පෙන්වන්නට ඔහු සමත් වී ඇති බැව් පෙනේ.

ඓතිහාසික ඇඳුම් පැළඳුම් පිළිබඳව විද්වත් දැනුම ඇත්තන්ගේ සහාය ලබා ගත් මහාචාර්යවරයා පුනරුද යුගයේ භාවිත වූ ඇඳුම් පැළඳුම් විලාසිතාවන්ගෙන් චිත‍්‍රයේ දැක්වෙන කුමරිය සැරසී සිටින්නේද යන්න වැඩිදුරටත් සොයා බැලූවේය. එම විද්වතුන්ගේ අදහස වූයේ විශේෂයෙන් ම ඇගේ හිසකේ සැරසිල්ල 1990 දශකයේ මිලන් රාජකීය කාන්තාවන් අතර ජනප‍්‍රිය සැරසිල්ලක් වූ බවය.

ලියනාඩෝ ඩාවින්චි එම කාල වකවාණුව තුළ වාසය කර තිබුණේ ඉතාලියේ නගරයේ වන අතර එහිදී ඔහු වැඩිපුර යෙදී සිට ඇත්තේ ද රාජකීයයන්ගේ උඩුකය නිර්මාණය කිරීමේ බව පසුව තහවුරු විය. වැඩිදුරටත් සිතුවම පරීක්ෂා කළ හෙයින් එහි එක් කෙළවරක වූ මැහුම් පාරවල් දකිමින් අනුමාන කළේ එය එකල කිසියම් පොතකට ඇඳි පසු කලෙක එම පොතෙන් ගලවා ඉවත් කරගත් සිතුවමක් බවය.

‘රූමත් කුමරිය’

තවදුරටත් තොරතුරු සෙවූ කෙම් පැහැදිලි කර ගත්තේ එය මිලාන් හි ආදිපාදවරයා ගේ නීත්‍යානුකූල විවාහයෙන් බාහිරව ඔහුට දාව උපන් දියණියක වන බියන්කා ස්ෆොර්සාගේ උඩුකය සිතුවමක් බවය. බියන්කා කුමරිය 1996දී විවාහ වී තිබුණේ මිලන් හමුදා බලඇණියේ අණදෙන නිලධාරියා වූ ගැලියෙසෝ සැන්සෙවෙරිනෝ සමගිනි. එම උඩුකය චිත‍්‍රය අඳින කාලයේ ලංකාවේ වයස අවුරුදු දහතුනක් දාහතරත් අතර වන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙම චිත‍්‍රය ද මාස කිහිපයකට පසු ඇය මියගොස් තිබුණේ එකල ලාබාල වියේදී විවාහ වූ බොහෝ යුවතියන්ට අත්විඳින්නට සිදුවූ ගර්භාෂයෙන් පිටත දරු පිළිසිඳ ගැනීමක් නිසා ය.

කෙම්ප් මෙම සිතුවමට ‘රූමත් කුමරිය’ යන නම තැබුවේය. වසු පැටවකුගෙන් ලබාගත් සමග ඇඳ තිබූ එම සිතුවම සම්බන්ධයෙන් කළ කාබන් පරීක්ෂාවෙන් සනාථ කෙරුණේ එය 1440 – 1650 ත් අතර කාලයකට අයත් සිතුවමක් බවය.

බියංකා හා මොනාලිසා යන සිතුවම්වල සමාන ලක්‍ෂණ සංසන්දනය කර බැලීම (atlasofscience.org)

සිතුවමේ උපත පිළිබඳව සොයා යන ගමනේ දී ඊට හොඳම හෝඩුවාව ලැබුනේ දකුණු ෆ්ලොරීඩා සරසවියේ චිත‍්‍ර කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්ය එඞ්වඞ් රයිට්ගෙනි. මහාචාර්යවරුන් දෙදෙනා දැන හඳුනාගෙන සිටි අය නොවූහ. එහෙත් කෙම්ප්ගේ අනාවරණයන් අගය කළ  මහාචාර්ය එඞ්වඞ් රයිට් ලියා එව්වේ සිතුවමේ උපත පිළිබඳ සාධක පෝලන්තයේ වෝර්සෝ නගරයේ ජාතික පුස්තකාලයේ සිය නැමති පොතෙන් සොයා ගන්නට පුළුවන කියාය. රූප චිත‍්‍ර නිදර්ශන ඇතුළත් පොතක් වූ එමගින් විස්තර කෙරුණේ බියංකා ස්ෆොර්සාගේ විවාහ මංගල්‍යය පිළිබඳව ය.

නැෂනල් ජියෝග‍්‍රැෆික් සමාජයේ මූල්‍ය ආධාර ලබමින් මහාචාර්ය කෙම්ප් වෝර්සෝ වෙත ගියේය. එහිදී ඔහු වටහා ගත්තේ ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම එම පොතට ඇතුළත්ව තිබී ඇති බවය. එම චිත‍්‍රය ගලවා ඉවත් කර ගත් තැන සොයා යන්නට ද ඔහුට අපහසු වූයේ නැත.

මහාචාර්ය රයිට්ගේ මතයට අනුව ස්ෆෝර්සියඞ් ග‍්‍රන්ථය පෝලන්තයට ලැබී ඇත්තේ 1500 මුල් භාගයේදී ස්ෆෝර්සා සහ පවුලේ කිසිවෙකු පෝලන්ත රාජකීයයකු හා විවාහ වූ අවස්ථාවේය. එය දාහත්වන හෝ 18 වන සියවසේ නැවත පොත බඳිද්දී එම චිත‍්‍රය එය තිබූ තැනින් ඉවත් කර ඇති බවට අනුමාන කෙරිණි. එතැනින් පසු බියංකාගේ සිතුවම නිව්යෝර්ක් නගරයේ වෙන්දේසි පොළක් දක්වා ගමන් කළ ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂි ලැබී නැත.

සිතුවම බියංකා කුමරියගේ ද?

කෙසේ වෙතත් වසර පන්සියයක් ලෝකයෙන් වසන් ව සිටි බියංකා යළි ලෝ වැසියන් අතරට පැමිණියාය. ඒ අන්දමින් ලියනාඩෝ ඩාවින්චි නම් අග‍්‍රගණ්‍ය චිත‍්‍ර ශිල්පියා පොත්වලටද චිත‍්‍ර නිර්මාණය කළ බව බියංකාගේ උඩුකය සිතුවමෙන් සනාථ කර අවසන්ය. කෙසේ වුවත් මෙම සියලූ‍ සොයාගැනීම පිළිබඳ තොරතුරු මම ලොව සෑම විද්වතෙකු වෙනුවෙන්ම විවෘත කර තබනවා යැයි මහාචාර්ය කෙම්ප් පවසයි.

මෙම චිත‍්‍රය පිළිබඳව පරස්පර අදහස්ද තිබේ. මහාචාර්ය කෙම්ප් තමා සොයා ගන්නා ලද තොරතුරු 2010 වර්ෂයේ දී පොතක් වශයෙන් පළ කළේය. ලියනාඩෝ ඩා වින්චි පිිළිබඳ ප‍්‍රාමාණික උගත්තු බොහෝ දෙනෙක් කෙම්ප්ගේ මතයට එක`ග නොවූහ. තවත් සමහර අය ඊට විරුද්ධත්වය පළ කළහ. එය ඩාවින්චිගේ සිතුවමක් නොවේ යැයි පවසන අයගේ අදහස වූයේ ඩා වින්චි කිසිවිටෙකත් පොත් සඳහා චිත‍්‍ර ඇන්දේ නැති බවය. මෙම සිතුවමේ උපත කොතැනද යන ප‍්‍ර‍්‍රශ්නය ද ඔවුහු මතු කළහ.

බි‍්‍රතාන්‍යයේ අතිශයින්ම කැපී පෙනෙන චිත‍්‍ර ශිල්පියෙකු වන ෂෝන් ග්රින්හැල්ග්ගේ නව ග‍්‍රන්ථයක 1970 ගණන්වල දී මැන්චෙස්ටර්හි පිහිටි ඔහුගේ දෙමව්පියන්ගේ මන්ත‍්‍රණ සභාවේ නිවසක පින්තූරයක් අඳිනු ලැබූ බවත් ඔහු සුපිරි වෙළඳසැලක සේවය කළ දේවානුභාවය ලත් ගැහැනු ළමයෙකු චිත‍්‍රයට නැඟූ බවත් සඳහන් වී තිබේ. බියංකාගේ යැයි විශ්වාස කෙරෙන චිත‍්‍රය මෙම චිත‍්‍රය බවටත් මතයක් පවතී. එම චිත‍්‍රය තමන් අඳින ලද චිත‍්‍රයක් බව 2015දී ෂෝන් විසින් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබේ.

එහෙත් රූමත් කුමරිය පිළිබඳ අබිරහස තවමත් විසඳී නොමැත.

Cover Page (thinglink.com)

මූලාශ‍්‍ර

ngm.nationalgeographic.com

atlasofscience.org