Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ දරුවාගේ වර්ධනය පිළිබඳ ඔබ සැළකිලිමත් ද?

දෙමාපියන්ගේ වටිනාම වස්තුව වන්නේ දරුවන්. තම දරුවා නිරෝගිමත්ව වැඩෙනු දැකීමයි සෑම මවකගේම, සෑම පියෙකුගේම ප්‍රාර්ථනාව. ඉඳින්, දවසින් දවස පියවරෙන් පියවර ලොකු මහත් වන ඔබේ දරුවාගේ වර්ධනයේ අනුස්මරණීය සිද්ධීන් දෙමාපියන් වන ඔබ දැනුවත්ව සිටීම වැදගත්.

වයස මාස 1 දී ඔබේ දරුවා

whattoexpect.com

වයස මාසයක් වූ ඔබේ බිළිඳාට මෙසේ කළ හැකි විය යුතුයි.

  • දරුවාගේ නිකට හෝ මුහුණ හෝ අතගාන විට එදෙසට හිස හැරවිය හැකි විය යුතුයි.
  • තම අත් දෙකම තම මුව දෙසට ගෙන ඒමට හැකියාව තිබිය යුතුයි.
  • හුරුපුරුදු හඬක් හෝ ශබ්දයක් ඇසෙන දෙසට හිස හැරවිය හැකි විය යුතුයි.
  • කිරි උරද්දී ඒ දෙසට තම අත ගෙන ඒමට සහ පියයුරු ස්පර්ශ කළ හැකි විය යුතුයි.

අලුත උපන් මසක් වියැති ඔබේ දරුවා රැකබලා ගැනීමේදී පහත උපදෙස් පිළිපැදීම වැදගත්.

  • ඉපදී පැයක් ඇතුළත මවු කිරි දීම ආරම්භ කරන්න.
  • නිරතුරුව එනම්, පැය 4ට වරක්වත් දරුවාට මවු කිරි ලබා දෙන්න.
  • දරුවා නිරතුරුව පිරිමදින්න. ස්පර්ශ කරන්න. සුරතල් කරන්න.
  • දරුවා වඩාගෙන සිටින්නේ උඩ අතට නම්, දරුවාගේ හිසට ආධාරකයක් සපයන්න.
  • දරුවා සමඟ හැකි පමණ කතා කරන්න. ඔහුට/ ඇයට ඇසෙන සේ ගී ගයන්න.
  • සෑම විටම දරුවා මෘදු ලෙස අල්ලන්න.
  • දරුවාට සති 6ක් පිරුණු පසු ලඟම ඇති වෛද්‍ය සායනයට දරුවාව ගෙන යන්න.

මෙම වයසේ ඔබේ දරුවාගේ පහත හැසිරීම් කෙරෙහි ඔබ සැළකිලිමත් විය යුතුයි. වයස මාසයක් වූ ඔබේ දරුවා පහත හැසිරීම් පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

  • කිරි උරා බීම ප්‍රතික්ෂේප කිරීම.
  • අත් පා චලන සුළු වශයෙන් පමණක් සිදු කිරීම.
  • අධික ශබ්ද වලට සහ දීප්තිමත් ආලෝකයට දක්වන ප්‍රතිචාරය අවම වීම.
  • දැකගත හැකි හේතුවකින් තොරව දීර්ඝ වෙලාවක් හැඩීම.
  • අධික ලෙස පාචනය හෝ වමනය.

වයස මාස 6 දී ඔබේ දරුවා

contohxsurat.co

වයස මාස 6ක් වන ඔබේ දරුවාට පහත ක්‍රියාකාරකම් කළ හැකි විය යුතුයි.

  • දරුවාගේ උදරය යටට සිටින ලෙස දිගාවී හිස හා පපුව ඉහළට එසවීමේ හැකියාව.
  • අතට හසුවන යම් ද්‍රව්‍යයක් අල්ලා ගැනීමට සහ සෙලවීමට ඇති හැකියාව.
  • පෘෂ්ඨයක් මත දෙපැත්තට පෙරලීමට ඇති හැකියාව.
  • ආධාරයක් සහිතව හිඳගැනීම.
  • අත් හා මුව උපයෝගී කරගෙන යම් යම් දේ ගවේෂණය කිරීමේ හැකියාව.
  • සෙලවෙන ද්‍රව්‍ය දෙසට නෙත් හා සිරුර යොමු කිරීම.
  • හුරු පුරුදු ශබ්ද හා රූප හඳුනා ගැනීම හා ප්‍රතිචාර දැක්වීම.

වයස මාස 6ක්  වන ඔබේ දරුවා මඳක් දඟකාරයි. අවට පරිසරය නිරන්තරයෙන් ගවේෂණය කරයි. ඔබව හඳුනා ගැනීමට උත්සහ කරයි. සමසක් පිරුණු ඔබේ ඒ දඟකාර සුරතල් දරුවා රැකබලා ගැනීමේදී පහත උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍යයි.

  • දරුවාට නිදහසේ චලනය වීමට හැකි වන පරිදි දරුවා පිරිසිදු, පැතලි හා ආරක්ෂාකාරී පෘෂ්ඨයක් මත තබන්න.
  • දරුවා ඔසවා ගන්නා විටෙක දරුවාට අවට පරිසරය නිරීක්ෂණය කල හැකි ආකාරයට වඩා ගන්න.
  • අවශ්‍යතාවට සරිලන සේ දිවා රෑ දරුවාට මවුකිරි ලබා දෙන්න.
  • හැකි සෑම විටෙකම දරුවා සමඟ කතාබහ කළ යුතු අතර ඔහුට/ ඇයට ඇසෙන සේ ගීත ගයන්න.

මෙම වයසේ ඔබේ දරුවාගේ පහත හැසිරීම් කෙරෙහි ඔබ සැළකිලිමත් විය යුතුයි. වයස මාස 6ක් වූ ඔබේ දරුවා පහත හැසිරීම් පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍යවරයෙක් වෙත යාම අවශ්‍යයි.

  • නිතර හිස සෙලවීම.

දරුවා මෙසේ කරන්නේ කනේ ආබාධයක් නිසා විය හැකියි. නිසි ප්‍රතිකාර නොලදහොත් බිහිරි බව ඇති විය හැකියි.

  • අත් පා චලනය කිරීමට අපහසු වීම.
  • දිගින් දිගටම කිරි ඉරීම හෝ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම.
  • ශබ්ද වලට සහ හුරුපුරුදු රූප වලට ප්‍රතිචාර නොදැක්වීම.

වයස මාස 12 ක් වූ ඔබේ දරුවා

babycentre.com

වයස අවුරුද්දක් සම්පුර්ණ වූ ඔබේ දරුවාගෙන් පහත හැසිරීම් දැකිය හැකි වේ.

  • ආධාරකයකින් තොරව හිඳගැනීම.
  • අත් සහ දණහිස ආධාරයෙන් නැගිටීමට තැත් කිරීම සහ පා තැබීමට උත්සහ කිරීම.
  • ඇසෙන වචන සහ ශබ්ද අනුකරණය කිරීම හෝ එසේ කිරීමට උත්සහ කිරීම.
  • තමා වෙත අන් අයගේ අවධානය ලබා ගැනීම සඳහා ශබ්ද නැගීම.
  • හැඳි, කෝප්ප ආදිය අල්ලාගෙන සිටීම හා තනිව ආහාර ගැනීමට උත්සහ කිරීම.
  • අත්පොලසන් ගැසීම හෝ එසේ කිරීමට උත්සහ කිරීමෙන් විනෝද වීම.

දොළොස් මසක් වයසැති ඔබේ දරුවා රැකබලා ගැනීමේදී පහත උපදෙස් පිළිපැදිය යුතුයි. දරුවාගේ නිසි පෝෂණයට සහ කායික හා මානසික වර්ධනයට එය වැදගත් වේවි.

  • දරුවා එකම ඉරියව්වකින් එක දිගට නොතබන්න.
  • දරුවා සමඟ නිරතුරුව කතා කරමින් සෙල්ලම් කරන්න.
  • පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ සම්බන්ධතා ඇති කරවීමට උත්සහ ගන්න.
  • දරුවා අත්හදා බැලීම් වල නිරත වීමට උත්සහ දරන නිසා අනතුරු වලින් දරුවා ආරක්ෂා කරගැනීමට ආරක්ෂකයන් යොදන්න.
  • දරුවාට මවු කිරි මෙන්ම ප්‍රමාණවත් ලෙස විවිධතත්වයෙන් යුතු ආහාර ලබා දෙන්න.
  • දරුවාට තනිව ආහාර ගැනීමට ඉඩදෙන්න.
  • දරුවාගේ වර්ධනය හෙමින් සිදු වන බවක් පෙනී යන්නේ නම් වැඩි වශයෙන් ක්‍රියාකාරකම් වල යෙදිමට උත්තේජනය ලබා දෙන්න.

babycenter.com

වයස මාස 12ක් වූ ඔබේ දරුවා පහත හැසිරීම් පෙන්නුම් කරන්නේ නම් වහාම ඒ පිළිබඳ සැළකිලිමත් වීම අවශ්‍යයි.

  • දරුවා නිරන්තර කලබලයෙන් සිටීම සහ ළඟින් සිටින අයට ප්‍රතිචාර නොදැක්වීම
  • ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම

වයස අවුරුදු 2ක් වූ ඔබේ දරුවා

alibaba.com

වයස අවුරුදු 2ක් වන ඔබේ නිරෝගී දරුවාට මෙසේ කළ හැකි විය යුතුයි.

  • ඇවිදින්න, උඩ නඟින්න, දුවන්න.
  • ශරීර ඉන්ද්‍රියන්, පින්තූර, ද්‍රව්‍ය හඳුනා ගැනීමට.
  • වචන කිහිපයක් උච්ඡාරණය කිරීමට (මාස 15ක් පමණ වයස් වන විට).
  • අනෙක් පුද්ගලයන් අනුකරණය කරන්නට.
  • පැන්සලකින් හෝ පෑනකින් ඉරි ඇඳීමට.
  • තමන් තනියෙන් ආහාර ගැනීමට.

වයස අවුරුදු 2ක් වන දරුවෙක් රැකබලා ගැනීම නම් පහසු කාර්යයක් නොවන බවයි බොහෝ දෙනාගේ අදහස. එම වයසේ දරුවන් විවිධ දේ අත්හදා බැලීමට උත්සහා කිරීමයි ඔවුන් එසේ සිතන්නට හේතුව. එනිසා එම වයසේ දරුවන් සමඟ කටයුතු කිරීමේදී අප වඩාත් ප්‍රවේසම් සහගත සහ කල්පනාකාරී විය යුතුයි. ඔවුන් හට නිසි පෝෂණයක් ලබා ‍දීමට කටයුතු කිරීමත් වැදගත්. එවැනි වයසේ දරුවෙක් රැකබලා ගැනීමේදී පහත උපදෙස් පිළිපැදීම වටී.

  • දරුවා සමඟ ගී ගයන්න. පොත පත කියවන්න.
  • ජලයෙන් ගින්නෙන් වැනි අන්තරාදායක දේ වලින් ආරක්ෂා වීමට දරුවාට උගන්වන්න.
  • මවු කිරි දීම නොනවත්වා කරගෙන යන්න. පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන්න.
  • ආහාර ගැනීමට දරුවාව උනන්දු කළත් ඒ සඳහා බල කිරීමෙන් වලකින්න.
  • දරුවාව සෑම විටෙකම ප්‍රශංසා කරන්න.

මෙම වයසේ ඔබේ දරුවාගේ පහත හැසිරීම් කෙරෙහි ඔබ සැළකිලිමත් විය යුතුයි. වයස අවුරුදු 2ක් වූ ඔබේ දරුවා පහත හැසිරීම් පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

  • අන් අය  කෙරෙහි දරුවා ප්‍රතිචාර නොදක්වන්නේ නම්
  • සමතුලිත බව රැකගෙන ඇවිද යාමට නොහැකි නම්

වයස අවුරුදු 3ක් වූ ඔබේ දරුවා

usa.playtoys.com

වයස අවුරුදු 3ක් වන ඔබේ දරුවා පහත ලෙසින් හැසිරේ නම් ඔබ දරුවාගේ කායික මානසික වර්ධනය පිළිබඳ කිසිසේත්ම බිය වීමක් අවශ්‍ය වන්නේ නැහැ.

  • පහසුවෙන් ඇවිදීම, දිවීම, උඩ පැනීම
  • පින්තූර, ද්‍රව්‍ය පහසුවෙන් හඳුනා ගැනීම
  • වචන දෙක තුනකින් යුතු වාක්‍ය තැනීම, තම නම වයස පැවසීම
  • පාට, අංක හඳුනා ගැනීම
  • සෙනෙහස දැක්වීම

වයස අවුරුදු 3ක් වන ඔබේ කෙළිලොල් දරුවා රැක බලාගැනීමේදී පහත උපදෙස් පිළිපැදීම වැදගත්.

  • දරුවා සමඟ පොත් කියවීම, කතා කිරීම, දරුවාට කතාන්දර කියා දීම.
  • දරුවාට කෑම දීමේදී ඔහුට/ ඇයට අයත් භාජන වලට ලබා දීම.
  • ඇඳුම් ඇඳීම, වැසිකිලි යාම, දෑත් සේදීම ආදියට හුරු කිරීම.

මෙම වයසේ ඔබේ දරුවාගේ පහත හැසිරීම් කෙරෙහි ඔබ සැළකිලිමත් විය යුතුයි. වයස අවුරුදු 3ක් වූ පසුව ද ඔබේ දරුවා පහත හැසිරීම් පෙන්නුම් කරන්නේ නම්, පමා නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

  • සෙල්ලම් කිරීමට ඇති උනන්දුව අඩු වීම.
  • සමබරතාව අඩු වී නිතර වැටීම.
  • සරල පණිවුඩ තේරුම් ගැනීම අපහසු වීම.
  • වචන කිහිපයක් ගළපා කතා කිරීමට අපහසු වීම.
  • ආහාර ගැනීමට කිසිදු උනන්දුවක් නොදැක්වීම.

වයස අවුරුදු 5ක් වූ ඔබේ දරුවා

වයස අවුරුදු 5ක් වන ඔබේ දරුවා විකසනය වෙමින් පවතින මනසක් සහ කායික ශක්තියක් ඇති  ජීවියෙක්. එම වයසේ ඔබේ දරුවාට පහත ආකාරයෙන් හැසිරීමේ හැකියාව තිබිය යුතුයි.

  • විවිධ වචන භාවිතා කරමින් නිසි ලෙස කතා කිරිමට
  • සම වයස් දරුවන් සමඟ එක් වී සෙල්ලම් කිරීමට
  • අන් අයගේ සහයක් නොමැතිව ඇඳුම් ඇඳගැනීමට
  • සරල ප්‍රශ්න වලට පිළිතුරු දිමට

teensafe.com

අවුරුදු 5ක් වයසැති ඔබේ දරුවා රැක බලාගන්නා ඔබ පහත උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත්.

  • දරුවාට සවන් දෙන්න.
  • දරුවා සමඟ නිරතුරු යහපත් සම්බන්ධතා පවත්වාගන්න.
  • සෙල්ලම් කිරීමට උනන්දු කරවන්න.
  • තවමත් ගොත ගසමින් කතා කරන්නේ නම් පියවරෙන් පියවර කතා කිරීමට හුරු කරන්න.

මෙම වයසේ ඔබේ දරුවා අධික ලෙස බියසුලු නම්,  හෝ අනවශ්‍ය ලෙස කේන්තියෙන් කටයුතු කරන්නේ නම් එය චිත්තවේගී ගැටළු හෝ අපයෝජන ලක්ෂණ පෙන්නුම් කිරීමක්. ඔබේ දරුවාගේ මෙවැනි හැසිරීම් කෙරෙහි ද ඔබ සැළකිලිමත් විය යුතුයි.

 

Cover Image – bodybellybaby.com

 

Sources

“ස්වේච්ඡා” සෞඛ්‍ය සාර සංග්‍රහය, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය.

cfyb2-5years.pdf

bounty.com

education.vic.gov.au

Related Articles