ජයන්ති කුරු-උතුම්පාල කියන්නේ කවුද කියන එක කාන්තා ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලාංකික කාන්තාවන්ට ජය ගත නොහැකි දෙයක් නැති බව තහවුරු කරමින් එදා මෙදා තුර එවරස්ට් කඳු තරණය සාර්ථකව නිම කළ මුල්ම ශ්‍රී ලාංකිකයා වූයේ ඇයයි. මීට මාස 18 කට පෙර ඇය සිතු කළ වික්‍රමයෙන් පසුව ජයන්ති ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල පැවැත්වුණු සම්මුඛ සාකච්ඡා 50 කට විතර සහභාගී වෙලා තියෙනවා.

ඉතින් Roar Media කණ්ඩායම ඇය සමග තවත් එකම විදිහේ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමකින් එහා ගිහින් ඇයගේ අනාගත වැඩකටයුතු ගැන සම්පූර්ණ අවධානය යොමු කරන්න තීරණය කළා. එවරස්ට් තරණය කිරීම ගැන ඇය ඇති තරම් විස්තර දැනටමත් බොහෝ දෙනෙක්ට ප්‍රකාශ කරලා තියෙන නිසා ඒ ගැන වැඩිපුර කතා කරන්නේ නෑ කියලා පොරොන්දු වෙලයි අපි මේ වටිනා අවස්ථාව ලබා ගත්තේ.

ඉතාම වටිනා කාරණා බොහොමයක් අඩංගු මේ සම්මුඛ සාකච්ඡාව Roar ආර්යා පාඨක ඔබ වෙනුවෙන් පරිවර්තනය කෙරෙන්නේ එහි පවතින වැදගත් කම නිසාමයි.

ඇත්තටම අපි ඒ ගැන ඇයට සඳහන් කළේත් එකම වරක් පමණයි…

එවරස්ට් තරණය කර ආපසු ඒමට අදාළව ඔබව වඩාත්ම පුදුමයට පත් කළ කාරණාව මොකක්ද?

මම කවදාවත් හිතුවේ නැහැ මම වෙළඳ දැන්වීමක ඉඳීවි කියලා. [නවසීලන්ත කිරි නිෂ්පාදක ඇන්කර් සමාගමේ බොහොම ජනප්‍රිය රූපවාහිනී වෙළඳ දැන්වීමක දැකලා ජයන්ති පෙනී සිටිනවා, එය ඔබ බොහෝ විට දැකලත් ඇති]

මට තේරුණු විදිහට ඔවුන්ට උවමනා වුණේ කාන්තාවක් මොන වගේ විය යුතුද කියලා හැදිලා තියෙන ආකල්පයේ වෙනසක් ඇති කරන්නයි. හැමදාම දකින විදිහේ කාන්තාවක් කුස්සියට වෙලා ඉඳගෙන පාසල් යන්න සූදානම් වෙන පුතාට කිරි එකක් හදලා දෙන මොඩලයේ දැන්වීමක් කරන්න ඔවුන්ගේ අදහසක් තිබුණේ නැහැ. ඔවුන් මට මම සාමාන්‍යයෙන් පුහුණු වීම් කරන වෙලාවට ඇඳගෙන ඉන්න ඇඳුමෙන් කන්දක් දිගේ ඉහළට දුවන දර්ශනයක පෙනී ඉන්න කියලයි කිව්වේ. ඇත්තටම මම එහිදී ඇන්ද ඇඳුම් සේරම මගේ. මම පුහුණු වීම්වලට අඳින ෂෝට් එක, ටී ෂර්ට් එක සහ සපත්තු දාගෙන තමයි මම රූගත කිරීම්වලට එක් වුණේ. ඒ දැන්වීමේ ගැබ් වෙලා තිබුණු ප්‍රධාන අර්ථය වුණේ හැම කාන්තාවකටම සහ ගැහැණු දරුවෙකුටම මෙවැනි දෙයක් කරන්න පුළුවන් කියන දේයි.

–කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න සක්‍රීයව පෙනී සිටින කාන්තාවක් වන ඔබ සමාජ ජාලවල දකින්න ලැබුණු #MeToo හෑෂ්ටැග් කැම්පේන් එකට එක් වුණාද?

නෑ, ඒ ගැන මම පෞද්ගලිකව කිසිම දෙයක් පළ කරලා නැහැ. එයට මගේ දායකත්වය ලැබෙනවා, නමුත් ඒ විදිහේ දෙයක් මම මේ වන තුරු පළ කරලා නැහැ. #MeToo කැම්පේන් එක මේ වෙනකොට කාන්තාවන්ට අඩන්තේට්ටම් කරන පිරිමි අයව නිරාවරණය කිරීමේ වැඩසටහනක් බවට පත් වෙලා තියෙන්නේ, නමුත් ඇත්තටම එය ඒ වගේ සරල දෙයක් නෙවෙයි. බොහෝ කාන්තාවන්ට ඇත්තම කියනවා නම් තමන්ගේ රැකියාවේ ප්‍රධානියා හරි පවුලේම කෙනෙක් හරි නම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මෙතන එයට වඩා බොහොම විශාල ප්‍රමාණයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තියෙනවා.

ජයන්ති ක්‍රියාවෙන්ම ආදර්ශයක් සපයමින්. රූපය : Dayan Sameera

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටළු මොනවාද?

[ආසන්න වශයෙන්] කාන්තාවන්ගෙන් 99% ක්ම යම් “අත්දැකීමක්” ලබපු අය. මේක රැකියා ස්ථානයේ, මගතොටේ, නිවසේ හෝ වෙනත් ඕනෑම තැනක වෙන්න පුළුවන්. මම රෑ 7.30 න් පස්සේ කොළඹ අවට වැඩිය ඇවිදින්න යන්නේ නැහැ, මොකද පාරේ කොහේ හරි කොණකට වෙලා මිනිස්සු පිරිසක් මොනවා හරි කිය කියා ඉන්න පුළුවන්. මොනවා වෙයිද කියලා කවුද දන්නේ?

නමුත් කාන්තාවන් ප්‍රශ්නවලට මුහුණ දෙන්න හේතු වන ව්‍යුහයේ ගැටළුත් තියෙනවා. දැන් ශ්‍රී ලංකාවේ පහළ මට්ටමේ රජයේ රැකියාවල කාන්තාවන් 25%ක් වත් සිටිය යුතුයි කියලා කෝටා එකක් තිබුණත් ඉහළ මට්ටමේ එහෙම දෙයක් නැහැ. දන්නවාද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කාන්තාවන් ඉන්නේ 12 ක් විතරක් බව? ඕනෑම කෙනෙකුට රටේ ප්‍රධානම සමාගම්වල [අධ්‍යක්ෂක] මණ්ඩල ගැන හොයලා බලන්න පුළුවන්. මමම එක වරක් අන්තර්ජාලයේ හොයලා බලලා තියෙනවා: ඒවායේ කාන්තාවන් ඉන්නේ අතේ ඇඟිලි ගණනට විතරයි. මේකෙන් පෙනෙන්නේ සමාජය ගැන තීන්දු තීරණ ගන්නා මට්ටමේ අය අතර කාන්තාවන් ඉන්නේ කිහිප දෙනෙක් විතරක් කියන එක.

ඉතින් කොහොමද කාන්තා අයිතිවාසිකම්වල ඉදිරි ගමනක් ඇති කරන්නේ?

අපි මෙය ආරම්භ කරන්නේ පහළම මට්ටමෙන්, ඒ කියන්නේ පෙර පාසල් අවධියේ ඉඳලයි. මම දැන් යෙදවිලා ඉන්නෙත් එවැනි කටයුත්තක: ඒ තමයි Think Equal. මේක ගෝලීය මට්ටමෙන්ම අලුතෙන් සිදු කෙරෙන, පෙර පාසලේ ඉඳලාම සමානාත්මතාවය උගන්වන වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව තමයි මේ වැඩපිළිවෙල ලෝක මට්ටමෙන් ආරම්භ කිරීමේ මූලිකයා වෙන්නේ! 2018 ජනවාරිවල සිට පෙර පාසල් 19,000ක් පුරා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න නියමිතයි.

ස්නායු විශේෂඥයන්ට අනුව කුඩා දරුවන්ගේ උපරිම මස්තිෂ්ක නම්‍යතාව, එහෙමත් නැතිනම් brain elasticity එක තියෙන්නේ වයස අවුරුදු 0 ත් 5 ත් අතර කාලයේදීයි. මේ සමයේ තමයි හැසිරීම් රටා, ආකල්ප සහ සාරධර්ම වර්ධනය සිදු වෙන්නේ. මේ නිසා Think Equal වැඩපිළිවෙලේ විෂය නිර්දේශය විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ අවුරුදු 3-5 අතර දරුවන් වෙනුවෙන්.

ගණිතය සහ අක්ෂර ඥාණය වගේ දේවල් බොහොම වැදගත් විෂයන් බව ඇත්ත, නමුත් අපි අපේ දරුවන්ට මිනිසුන් වෙන හැටිත් උගන්වන්න අවශ්‍යයි. සාමකාමීව ගැටළු නිරාකරණය කර ගැනීම, ස්‌වයංපාලනය වගේ කුසලතා එක්කම දයාව සහ සහනුභූතිය වගේ හැඟීම් ඇතුළු ජීවන කුසලතාත් ඔවුන්ට කියා දිය යුතුයි.

ඔබ පෞද්ගලිකව මේ Think Equal වැඩපිළිවෙලට සම්මාදම් වෙන්නේ කොහොමද?

මේ වැඩසටහන ආරම්භ කරේ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට නිර්මාණකාරිණියක් සහ සක්‍රීයව මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක් වන ලෙස්ලී උඩ්වින් විසින්. ඇය තමයි දිල්ලියේ බස් රථයක් තුළ සිදු වූ සමූහ දූෂණය පාදක කරගෙන ප්‍රබල සමාජ පණිවිඩයක් ලබා දෙන ඉන්දියාවේ දියණිය වාර්තා වැඩසටහන අධ්‍යක්ෂණය කළේ. ඇය ඒ වෙනුවෙන් මේ අපරාධයට සහභාගී වූ පුද්ගලයන් එක්ක සම්මුඛ සාකච්ඡාවල යෙදෙද්දී තමන් කළ දේ ගැන ඔවුන් තුළ පසුතැවීමක් නැති බව දැන ගත් වෙලාවේ ලොකු කම්පනයකට පත් වෙලා. ලෝකයේ අධ්‍යාපන ක්‍රමය තුළ විශාල වැරැද්දක් තියෙනවා කියන එක එදා ලෙස්ලීට තේරුම් ගියාලු. ඒ අනුව යමින් තමයි ඇය Think Equal වැඩපිළිවෙල නිර්මාණය කළේ.

මම හිතන්නේ Think Equal වැඩපිළිවෙල එක්ක මම සම්මාදම් වෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන සිදු වෙන හිංසාවන් ගැන මගේ තියෙන පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන්. අවුරුදු ගණනකට කලින් මම බස් රථයේ ගමන් බිමන් යනකොට හැම දවසක් ගාණෙම ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වෙලා තියෙනවා. සරම් ඇඳ ගත්ත මිනිස්සු වෙනත් කිසිම උවමනාවක් නැතිව කාන්තාවන්ට අඩන්තේට්ටම් කරන්නම බලාගෙන සෙනග පිරුණු බස්වල යනවා. ඒ වගේ අවස්ථාවක කාන්තාවක් ඒකට එරෙහිව මොනවා හරි කිව්වොත් කොන්දොස්තර හරි වෙන කෙනෙක් හරි “බස් එකේ යන විදිහට ඉන්න බැරි නම් බෙන්ස් කාර් එකක් අරගෙන ඒකෙ යන්න” කියලා කියන්නේ හරියට මේකේ හැටි මෙහෙමම තමයි කියනවා වගේ. ප්‍රමාණවත් වැටුපක් ලබා ගත්තු ගමන් මම කළේ මෝපෙඩ් එකක් ගත්ත එක!

ජයන්තිගේ එවරස්ට් ගමන පාදක කරගෙන Think Equal විෂය නිර්දේශය වෙනුවෙන්ම ළමා පොතකුත් පළ වෙලා තියෙනවා.

ලිංගිකභාවයන්ට අදාළව ශ්‍රී ලංකාවේ කෙරීගෙන යන වෙනත් වැඩකටයුතු මොනවාද?

ලොවේම කාන්තාවන් (Women Of the World – WOW) සැණකෙළිය තියෙනවා. එය දෙසැම්බර් 2 සහ 3 යන දිනවල කොළඹටත් එනවා.

මම එහි භාරකාර සාමාජිකයන් හත් දෙනාගෙන් කෙනෙක්, වැඩිමනත්ම ලිංගිකභාවයන් ගැන විශේෂඥවරියක විදිහටයි මම සහභාගී වෙන්නේ. [ජයන්තිට එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන ලිංගිකභාවයන් අධ්‍යයනය පිළිබඳ විශාරද උපාධියක් හිමියි. (MA in Gender Studies, University of Sussex, UK – 2009)] මේ සැණකෙළියේදී කාන්තාවන් ලබා ගෙන ඇති ජයග්‍රහණ සැමරෙනවා. එමගින් කාන්තාවන්ට තමන්ට මුහුණ පෑමට සිදු වෙලා තියෙන ගැටළු සහ අසමානත්වය ගැන කතා බහ කරන්න සුරක්ෂිත ඉඩකඩකුත් ලබා දෙනවා. වඩාත්ම වැදගත් දේ වෙන්නේ ඒ වගේ ගැටළුවලට විසඳුම් සොයන්න එක් ක්‍රමයක් විදිහට ඒ ගැන කතාබහ කිරීම ප්‍රවර්ධනය කෙරෙන එක.

විවිධ ක්‍රියාකාරකම්වලට (ටැප් රගර්වල ඉඳන් යෝගා දක්වා) සහභාගී වෙන්න, මණ්ඩල සාකච්ඡාවලට එකතු වෙන්න වගේම දක්ෂ කථිකයන්ගේ කතාවන්ට සවන් දෙන්නත් කාන්තාවන්ට අවස්ථාව ලැබෙනවා. මට දැනට ඒ ගැන සියලුම විස්තර හෙළි කරන්න බැහැ…

බොහොම ස්තූතියි. ඉතින් අවසාන වශයෙන් ඔබට කියන්න යමක් තියෙනවාද?

ඔව්! මමත් ඇතුළත්ව නිල නොවන විදිහට ශ්‍රී ලාංකීය කඳු නගින්නන් පිරිසකගේ එකතුවෙන් “ශ්‍රී ලංකා හිමාලයානු පදනමක්” (The Himalayan Foundation – Sri Lanka) ආරම්භ කරලා තියෙනවා. මේ පදනමේ ප්‍රධානම අරමුණ වෙන්නේ හිමාලය ඇතුළු අනෙක් උස් කඳු මුදුන් තරණය කරන්න අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම ලබා දෙන එකයි.

එවරස්ට් කන්ද තරණය කළ මුල්ම ශ්‍රී ලාංකිකයා වීම තුළින් පැහැදිළිවම පෙනී යන දෙයක් තමයි ලිංගිකභාවයන් වැදගත් වෙන්නේ නැහැ කියන එක. වඩාත් වැදගත් වෙන්නේ අපි කාටත් සම අවස්ථා හිමි වෙන එක සහ සමානව සැළකීම් ලබන එකයි.

ඉතින් මම ශ්‍රී ලංකාවේ තියෙන සියලුම කාන්තා පාසල්වලට විවෘත ආරාධනාවක් කරනවා තමන්ගේ පාසලෙන් සිසුවියන් කණ්ඩායමකට [එවරස්ට්වල] බේස් කෑම්ප් එකට යන්න දිරිමත් කරන්න කියලා. දැනටමත් පිරිමි පාසල් බොහොමයක් සිසුන් කණ්ඩායම් ඒ වෙත යවා තිබෙනවා. නමුත් මේ වන තුරුත් ශ්‍රී ලංකාවේ කිසිම කාන්තා පාසැලකින් ඒ දේ කරලා නැහැ…

ජයන්තිගේ වැඩකටයුතු ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් ඇය සමග සහ ශ්‍රී ලංකා හිමාලයානු පදනම එක්ක ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා සම්බන්ධ වෙන්න පුළුවන්.

රූපය : ශ්‍රී ලංකා හිමාලයානු පදනම

Roar Life හි පළවුණු, ක්‍රේග් රයිඩර් ගේ මුල් ලිපියේ පරිවර්තනයකි.

වරයේ රූපය : Sachini Gamage