ඉපැරණි සමාජයේ පැවති සම්ප‍්‍රදායන් එලෙසින්ම නොවුණත් වෙනස් ආකාරයෙන් වර්තමානයෙහිද ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබේ. එම සම්ප‍්‍රදායයන් පසුකාලයේදී නීතිගත වෙමින් කාන්තාවගේ අයිතිවාසිකම් නෛතික වශයෙන් මර්දනය කරන්නට හෝ එසේත් නැතිනම් පිරිමින්ගෙන් වෙනස්කොට සැලකීමට හෝ යොදාගෙන ඇති බවට සාධක ගණනාවක් තිබේ. ලංකාවේ ඉඩම් එසේත් නැතිනම් දේපළ සම්බන්ධයෙන් කාන්තාවගේ අයිතිය අයත් වන්නේද මෙම විග‍්‍රහයටය.

වෙනස්කොට සැලකීමේ ඉතිහාසය

හින්දු සමාජය තුළ කාන්තාවන්ට අයිතිවාසිකම් බොහොමයක් අහිමිව ගොස් තිබූ අතර කුඩා කල පියා යටතේත් පසුව සහෝදරයන් සහ විවාහ වීමෙන් පසුව සැමියා සහ පුතුන් යටතේත් ජීවත් වන්නට කාන්තාවට සිදු වීම නිසා ස්වාධීන තීරණ ගැනීමේ සහ තමාට අවශ්‍ය අන්දමින් ජීවිතය ගොඩන`ගා ගැනීමේ අයිතියක් කාන්තාවට තිබුණේ නැත. කොටු වූ සමාජ රාමුවක් තුළ වින්දිතයින් වී ජීවත් වන්නට සිදු වීම හින්දු සමාජය තුළ කාන්තාව සම්බන්ධයෙන් ඉතා සරළ කාරණයක් ලෙස සළකා බැහැර කර තිබුණි.

ශී‍්‍ර ලංකාවේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ගත් කළ කාන්තාවට පිරිමින් හා සමාන අයිතීන් ලැබී නොමැති අතර  කාන්තාව පීඩාවට පත් වීමට සහ පවුල්වල අභ්‍යන්තර අර්බුද නිර්මාණය වීමටත් එය හේතුවක් වී ඇත. තමන්ට  හිමිව තිබෙන දේපළ අයිතිය පිළිබඳව දැනුවත්ව සිටීම අනාගත ආරවුල්වලින් මිදීමට යම් තරමක හෝ හේතුවක් විය හැකි නිසා ඒ සම්බන්ධයෙන් මඳක් විමසා බලමු.

ඉඩම් නීතිය කාන්තාවට බලපාන අයුරු

බි‍්‍රතාන්‍යයන් විසින් 1935 දී ස්ථාපිත කරන ලද ශී‍්‍ර ලංකාවේ ඉඩම් සංවර්ධන ආඥා පනත මෙරට ඉඩම් අයිතිය සම්බන්ධයෙන් පවතින මූලික නීතියයි. මෙම නීතිය අනුව ඉඩමක හිමිකරු අභාවයට යන විට එහි උරුමය ලැබීමේ ප‍්‍රමුඛතාවය හිමි කර දී තිබෙන්නේ පිරිමියාටය. ආඥා පනතේ අනුප‍්‍රාප්තික අයිතිය පහත පරිදි වේ.

  1. පුතා
  2. දියණියන්
  3. මුණුබුරන්

ඉඩම් ප‍්‍රඥප්තියේ මෙම පක්‍ෂග‍්‍රාහී ප‍්‍රතිඵලය නිසා ඉඩමේ සැබෑ හිමිකරු මියගිය විටදී පිරිමි සහෝදරයන් නිසා ඇයගේ හිමිකම අහිමි කෙරේ. පුරුෂයෙකු සිය බිරිඳගෙන් වෙන්ව වෙනත් විවාහයක් කරගත් විට දෙදෙනා විසින් එක්ව වගා කර ඇති ඉඩමක හිමිකම පළමු බිරිඳට නොලැබී යයි. මෙය ස්තී‍්‍ර පුරුෂභාවය මත ස්ති‍්‍රයට අසමානව සැලකීමේ නෛතික ප‍්‍රතිපාදනයක් වශයෙන් හැඳින්විය හැක.

නීතිඥ ජගත් ලියනාරච්චි මහතා සඳහන් කරන්නේ ලංකාවේ ඉඩම් නීතිය තුළ කාන්තාව අසාධාරණයට ලක් වන බවයි.

‘‘ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ රජයේ ඉඩම්වල අයිතිය ලබා ගැනීමේදී දෙමාපියන් විසින් දේපළ පැවරීමකින් තොරව මිය ගියොත් දේ්පළ අයිතියේ ප‍්‍රමුඛතාව හිමි වන්නේ පිරිමි අයටයි. පිරිමි අය නැතිනම් තමයි කාන්තාවන්ට හිමිකම ලැබෙන්නෙ. ඛෘධ ඉඩම් ස්වර්ණභූමි වැනි තෑගි ඔප්පු සහිත ඉඩම් දියණියට පැවරීමකින් තොරව මිය ගියහොත් ඉඩම් හිමිකාරීත්වය හිමි වන්නේ සහෝදරයින්ට.මෙහිදී ගැටලුව තියෙන්නෙ අයිතිය සම්බන්ධයෙන් නෙවෙයි අනුප‍්‍රාප්තිය සම්බන්ධයෙනුයි.’’

ලංකාවේ සිවිල් නීතියේද ලිංගික අසමානතාවය සම්බන්ධයෙන් වඩා සංකීර්ණවූත් සංවිධානාත්මක ප‍්‍රතිපාදන දක්නට ලැබේ. කාන්තාවන්ට අසමානත්වයෙන් සැලකීමේ මට්ටම්වල ද විවිධ වෙනස්කම් තිබෙන අතර කාන්තාවක් සිංහල උඩරට, දෙමළ, මුස්ලිම් යන සාධක මතද අසමානව සැලකීම සිදු වේ. ඉඩම් සංවර්ධන ආඥා පනතටත් වඩා නෛතික වශයෙන් ස්තී‍්‍රයගේ ඉඩම් අයිතියට බලපාන නීතීන් ලෙස උඩරට නීතිය, තේසවලාමේ නීතිය සහ මුස්ලිම් නීතිය හඳුන්වා දිය හැකිය.

දශක දෙකක් පුරා ඉඩම් නීතිය වෙනස් නොකිරීම

සියලූම වාර්ගික කණ්ඩායම් සඳහා එක් නීතියක් ඇති බැවින් උරුමයන් සම්බන්ධ ස්තී‍්‍ර පුරුෂ අසමානතාවය අහෝසි කිරීමට ඉඩම් සංවර්ධන ආඥා පනතට සංශෝධනයක් ගෙන ඒම කඩිනමින් සිදු විය යුත්තක් බව කාන්තා කි‍්‍රයාකාරිනියන් පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තා කි‍්‍රයාකාරිනියක වන ආචාර්ය සේපාළි කෝට්ටේගොඩ මහත්මිය සඳහන් කළේ දශක දෙකක් පුරා කාන්තාවට සමාන අයිතිවාසිකම් ලැබෙන පරිදි ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කර ගැනීමට කාන්තා සංවිධාන උත්සාහ දරමින් සිටියද තවමත් එය සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වී සිටින බවයි.

ඉඩමට අයිතිවාසිකම් කීමට කාන්තාවට සම අයිතියක් තිබිය යුතු බවත් මෙවැනි නීතියක් තිබීම නව ව්‍යවස්ථාවක් යටතේ වුවද පටහැනි බව ඇය ප‍්‍රකාශ කළාය.

සම්ප‍්‍රදායද? මානව හිමිකම් ද?

නීතිය හරහා සංස්කෘතිය ආරක්‍ෂා කරන්නේ ද, නීතිය හරහා මානව හිමිකම් ආරක්‍ෂා කරන්නේ ද යන්න සමාජය විසින් කතාබහ කර තේරුම් බේරුම් කර ගත යුතු වන්නකි. සංස්කෘතියකට අනුව යම් නීතියක් සකස් වන්නේ අදාළ කාලයට අනුරූප වන ආකාරයටය.  නීති සැකසිය යුත්තේ සංස්කෘතියට අනුව ද පවතින තත්ත්වයන්ට අනුවද යන්න මිනිසුන් විසින් තීන්දු කළ යුතුය. සෑම නීතියක්ම පාර්ලිමේන්තුව හරහා වෙනස් විය යුතු වුවත් ප‍්‍රශ්නය වන්නේ එලෙස නීති වෙනස් කර ගැනීමට තරම් සමාජ අවශ්‍යතාවක් සහ තෙරැපුමක් තිබෙන්නේද යන්නය.

නීතීන් හරහා සිදු වී තිබෙන්නේ සම්ප‍්‍රදාය නීතිගත කිරීමක් බවත් අදාළ කාල වකවාණුව අනුව සම්ප‍්‍රදායයන් නීතිගත නොකෙරුණා නම් එය විශාල ප‍්‍රශ්නයක් විය හැකිව තිබුණු බවද ලියනාරච්චි මහතා පෙන්වා දෙයි. සම්ප‍්‍රදායයන් සහ සංස්කෘතීන්වලට අනුරූපව පැන වූ නීති එදාට අදාළ වුවද අදට ගැළපෙන්නේ නැත. ඉඩම් සංවර්ධන ආඥා පනත ස්ථාපනය වන්නේ මීට වසර 82කට පෙරය. වත්මන් දියුණු ලෝකය එදා පැවති සමාජ තත්ත්වයට හාත්පසින්ම වෙනස් ස්වභාවයක් දරයි.

සමහර සම්ප‍්‍රදායන් දැඩි ලෙස සමාජයට අගතිගාමී වන විට සමාජය ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීම හෝ එම සංස්කෘතියෙන් ඉවත් වීම සිදු වේ. උඩරට විවාහ ආඥා පනත යටතේ විවාහ වීම වෛවාහක අයිතිවාසිකම් සම්බන්ධයෙන් කාන්තාවට අවාසිදායකය. එම සම්ප‍්‍රදාය සැකසී ඇත්තේ ද පිරිමියාට වාසි සහගත වන ආකාරයටය. උඩරට විවාහ ආඥා පනත යටතේ විවාහ නොවී සමාන්‍ය නීතිය යටතේ විවාහ වීම මගින් මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට කාන්තාවට හැකි බව ද ලියනාරච්චි මහතා පෙන්වා දෙයි.

ජන කණ්ඩායම් සම්ප‍්‍රදායන් නීතිගත කරමින් ගොඩනැගුණු නීති පද්ධතීන් අනුව ලිංගික අසමානත්වය ගොඩනැගී ඇති අන්දම පිළිබඳව වැඩි දුර උදාහරණයන් සලකා බලන්නේ නම්,

තේසවලාමේ නීතිය

විවාහක ස්වාමි පුරුෂයාගේ ලිඛිත අවසරයකින් තොරව විවාහක කාන්තාවකට තම නිශ්චල දේපළ පැවරීම හෝ නිශ්චල දේපළ සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම කළ නොහැක.

උඩරට නීතිය

ස්ති‍්‍රයක් විවාහ වීමෙන් පසුව ජීවත් වන්නේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ පවුලේ අයගේ නිවසේද (දීග විවාහ*) ස්වාමි පුරුෂයා ජීවත් වන්නේ බිරිඳ සහ බිරිඳගේ පවුලේ අයගේ නිවසේද (බින්න*) යන්න මත පිය උරුමය සීමා කරනු ලැබේ. මෙහිදී බින්න විවාහයක් ලබා ඇති කාන්තාවය නිශ්චල දේපළවල අයිතිය නොලැබෙන අතර ඇඳන් අල්මාරි ආදී ගෘහ භාණ්ඩ හෙවත් චංචල දේපළවලට පමණක් හිමිකම ලැබේ.

පියා හෝ ස්වාමි පුරුෂයා මියගිය හොත් දියණියට හෝ බිරිඳට හිමි වන්නේ ජීවිත භුක්තියේ හිමිකම පමණි. දරුවන් සිටියහොත් අයිතිය හිමි වන අතර දරුවන් නොසිටියහොත් අයිතිය ලැබෙන්නේ සැමියාගේ දෙමාපින් ට හෝ සහෝදරයින්ට පමණි. බිරිඳට හිමිකම ලැබෙන්නට තිබෙන ඉඩකඩ ඉතා අවමය.

මුස්ලිම් නීතිය

අන්තිම කැමති පත‍්‍රයක් නොමැතිව මුස්ලිම් පවුලේ ගෘහ මූලිකයෙකු මිය ගිය විට ගැහැණුන්ට ලැබෙන උරුමකම් පිරිමින්ට උරුමකම්වලට වඩා අඩුය.

මේ අනුව බලන විට  ඕනෑම කාන්තාවක් පෞද්ගලික නීති මගින් පාලනය වන විට විවාහයකට ඇතුල් වීමට අවශ්‍ය වන්නේ නම් දේපල බෙදා හැරීම හා දේපල අයිතිය සම්බන්ධයෙන් ඇති සීමාවන් ගැන හොඳින් දැනුවත්ව සිටීම වඩා වැදගත්ය.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයට අනුව ස්තී‍්‍රන් සහ පුරුෂයින් සම්බන්ධයෙන් වන නූතන ලෝකයේ නීති මූලධර්ම සමාන වන නමුත් කාන්තාවන්ට තම ස්වාමි පුරුෂයින් හෝ පුරුෂයින්ගෙන් ස්වාධීනව ඉඩම් අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා නීතියක් නොමැති අතර දේපලවලට සම අයිතිවාසිකම් සඳහා කාන්තාවන්ට අයිතියක් ලැබී නැත.

1948 දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශය නිර්මාණය කිරීමේ පෙරමුණේ සිටි නායකයින් අතර සිටි එකම කාන්තාව වන්නේ එලීනා රූස්වෙල්ට්ය. ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය අපේ රටින් බිහි වුවද අවාසනාවකට 21 වැනි සියවස ද අප ගත කරමින් සිටිනුයේ පුරාණ නීති සමඟ ය.

ඉඩම් අයිතියට අදාළ නීති:

1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත (ශී‍්‍ර ලංකා* සහ පසු සංශෝධන)

1947 අංක 58 දරණ ශී‍්‍ර ලංකා විවාහය හා උරුමය (යාපනය* ආඥා පනත සහ සංශෝධන)

1995 සහ 2001 දී සංශෝධනය කරන ලද 1907 අංක 19 දරණ විවාහ ලියාපදිංචි ආඥා පනත (ශී‍්‍ර ලංකා*)

1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (ශී‍්‍ර ලංකා*)

විවාහ නීතිය සහ උරුමය පිළිබඳ ආඥා පනත 1876 (ශී‍්‍ර ලංකා*)

1999 අංක 37 දරන නඩත්තු පනත (ශී‍්‍ර ලංකා*)

1941 අංක 24 දරන ශී‍්‍ර ලංකා ළමයින්ගේ ආඥා පනත සංශෝධනය කිරීම සහ සංශෝධන සිවිල් නඩු විධාන සංග‍්‍රහය 1889

Cover Picture – http://rightsandresources.org/j