Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ ප්‍රසූතිකාධාර නිවාඩු සම්බන්ධ නීතිය

වර්තමාන ලංකාවේ බොහොමයක් කාන්තාවන් ද පුරුෂයන් හා සමානවම විවිධ සේවාවන්හි නිරත වෙනවා. සේවාවන්හි නියුතු කාන්තාවන්ට දරු ප්‍රසූතියකදී ලබා දිය යුතු ප්‍රතිලාභ පිළිබඳ කතාබහ වැඩි වී තිබෙන්නේ ඒ නිසයි.

ප්‍රසූතිකාධාර නිවාඩු

techrepublic.com

සේවයේ යෙදෙන කාන්තාවක් දරුවකු බිහිකළ විට ඇයට ප්‍රසූතිකාධාර නිවාඩු ලබා ගැනීමට ඇති අයිතිවාසිකම නීතිය මඟින්ම තහවුරු කර තිබෙනවා. යම් සේවිකාවක් දරුවකු බිහි කළ විට ප්‍රසූතිය සිදු වූ  දිනය සහ ඒ වන විට ඇයට සිටින දරුවන් ගණන සතියක් ඇතුළත තම සේවායෝජකයාට දැනුම්දිය යුතුයි. මෙයින් අදහස් වන්නේ යම් සේවිකාවක් මෙසේ දැනුම් නොදුන්නහොත් ඇයට ප්‍රසුතිකාධාර නිවාඩු සහ ගෙවීම් අහිමිවන බව නම් නොවෙයි. එහෙත් එය කල්තියා දැන්වූ විට අවශ්‍ය ගෙවීම් අප්‍රමාදව කිරීමට සේවා යෝජකයාට කටයුතු කල හැකියි.

1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත අනුව, ප්‍රසූතිකාධාර නිවාඩු ලැබීමට නම්, ප්‍රසූතිකාධාර නිවාඩු අයදුම් කරනු ලබන සේවා යෝජකයා යටතේ දින 150ක්  වත් සේවය කර තිබිය යුතුයි. නමුත් 1985 අංක 43 දරණ පනත මඟින් සිදු කරන ලද සංශෝධනයෙන් පසු මෙම පනතින් ආවරණය වන සේවිකාවන් සේවයට බැඳී සේවය කර තිබුණේ එක දිනක් පමණක් වුවත්, ප්‍රසුතිකාධාර  නිවාඩු ලැබීමට සුදුසුකම් ලබනවා. මේ සම්බන්ධයෙන් 1984 සාප්පු හා කාර්යාල සේවක පනත ද වැදගත්.

පනත යටතේ ලැබෙන ආරක්ෂාව

ශ්‍රී ලංකාව තුළ සේවාවන් හි නියුක්ත කාන්තාවන්ට දරු ප්‍රසූතියකදී මූල්‍යමය ආධාර වශයෙන් ප්‍රතිලාභ සහ නිවාඩු පහසුකම් ආදිය ලබාදීම සම්බන්ධයෙන් වැදගත් වන්නේ 1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනතයි. ශ්‍රී ලංකාවේ දෙවන සමාජ සංරක්ෂණ නීතිය වන්නේද මෙයයි. තේ, පොල්, රබර් ආදී වැවිලි කර්මාන්තයන් හි යෙදෙන්නා වූ කාන්තාවෝ ද ආවරණය වන්නේ මෙම ආඥා පනත යටතේයි.

මෙම පනතින් ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ,

  • සේවිකාවන්ට දරු ප්‍රසූතිය වෙනුවෙන් මුදල් ආධාර හා නිවාඩු ලබා දීම, සහ
  • දරු ප්‍රසූතියට පෙර හා පසුව සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සේවිකාවටත්, ඇගේ දරුවන්ටත් ආරක්ෂාව සැපයීම යි.

සේවායෝජකයින්ට තම සේවිකාවන් සම්බන්ධයෙන් හිතුමනාපයට තීරණ ගැනීමේ හැකියාව ප්‍රසුතිකාධාර ආඥා පනත සහ සාප්පු හා කාර්යාල සේවක පනත යන දෙකෙන්ම අවම කර තිබෙනවා.

ඒ අනුව සේවිකාවක් දරු ප්‍රසූතියක් සම්බන්ධව තම සේවායෝජකයා වෙත දැන්වූ විට, දරු ප්‍රසූතියකට මාස 3 කට පෙර ඇයට හෝ ඇයගේ දරුවාට හානි සිදු විය හැකි ආකාරයේ කිසිදු ක්‍රියාවක ඇයව යෙදවීම තහනම් වන අතර දරු ප්‍රසුතියෙන් මාස 3ක් ගත වන තෙක් ඇයව හානිදායක කාර්යයක යෙදවීම ද කල නොහැකියි. ගර්භනීභාවය හේතුකොටගෙන ලබා ගන්නා ප්‍රසූතිකාධාර නිවාඩු මත සිටින කාලය තුලදී සේවයට නොපැමිණීම හෝ වෙනත් කිසිදු කරුණක් මත සේවයෙන් පහ කිරීමේ නිවේදනයක් සේවායෝජකයා විසින් එම සේවිකාවට භාර දීම ද කල නොහැකියි.

පළමු හා දෙවන සජීවී දරු උපත් දෙක සඳහා ප්‍රසූතිකාධාර නිවාඩු

livelaw.in

මෙහිදී එක් දරු උපතකට වැඩ කරන දින 84 ‍බැගින් ප්‍රසූතිකාධාර නිවාඩු හිමි වෙයි. මෙසේ දින ගණනය කිරීමේදී පහත සඳහන් දිනයන් වැඩ නොකරන දිනයන් ලෙස සැලකිල්ලට ගත යුතුයි.

  • දින 1 ½ සතියේ නිවාඩුව
  • සියලුම පෝය දිනයන්
  • සාප්පු හා කාර්යාල පනත මඟින් නම් කොට ඇති සියලුම ව්‍යවස්ථාපිත නිවාඩු දිනයන් (එය නිවාඩු දින 9 කි.)

මෙහිදී දරු ප්‍රසූතිය සිදු වන දිනය දන්නේ නම්, එම දිනය ඇතුළුව එදින තෙක් දින 14 ක් දරු ප්‍රසූතියට පෙර ලබා ගත හැකියි. එවිට ඉතුරු දින 70 දරු ප්‍රසූතියට පසු ලබා ගත යුතුයි. කෙසේ වෙතත්, දරු ප්‍රසූතියට පෙර, දින 14 ක නිවාඩුවක් අනුමත කරගෙන සිටින අතරතුරේ, එම දින 14 නිම වීමට පෙර දරු ප්‍රසූතිය සිදුවුවහොත්, ඉන් භාවිතා නොකොට ඉතුරුව ඇති දින ගණන, දරු ප්‍රසුතියට පසුව ලැබෙන ඉතුරු දින 70 ට එකතු කළ යුතුයි.

දරු ප්‍රසූතිය සිදු වන දිනය නොදන්නේ නම්, දරු ප්‍රසූතියට පසුව සම්පුර්ණ දින 84 ම නිවාඩු ලෙස ලබාගත හැකියි.

තුන් වන හා ඉන් පසුව සිදු වන දරු උපත් සඳහා ප්‍රසූතිකාධාර නිවාඩු

මෙහිදී ප්‍රසූතිකාධාර නිවාඩු වශයෙන් හිමි වන්නේ සේවය කරන දින 42ක් බැගින්. දරු ප්‍රසූතියට පෙර දින 14ක් ද, දරු ප්‍රසූතියෙන් පසු ඉතුරු දින 28ද ලබා ගැනීමට එම සේවිකාවට අයිතියක් ඇත. මෙම දින 42 ගණනය කිරීමේදී ඉහතින් සඳහන් කළ,

  • දින 1 ½ සතියේ නිවාඩුව,
  • සියලුම පෝය දිනයන්,
  • සාප්පු හා කාර්යාල පනත මඟින් නම් කොට ඇති සියලුම ව්‍යවස්ථාපිත නිවාඩු දිනයන්,

ඉවත් කළ යුතුයි. කෙසේ වුවත් තුන් වන දරු ප්‍රසූතිය සිදු වන අවස්ථාව වන විටත්  සජීවී දරු උපත් දෙකක් සිදු වී නොමැති නම් දින 42 ක් නොව, දින 84 ම හිමි වෙයි.

පළමු උපතේදී නිවුන් දරුවන් බිහි වූ විට තත්ත්වය

pinterest

මෙවැනි අවස්ථාවකදී ද දින 84 ක නිවාඩුවක් හිමි  වන නමුත් ඇයට දෙවන දරු ප්‍රසූතියට හිමි වන දින 84 ක නිවාඩුව ලබා ගැනීමේ අවස්ථාව මෙහිදී ගිලිහී යයි. එනම් පළමු දරු ප්‍රසුතියේදී නිවුන් දරුවන් ලැබීම නිසා දින 84 ක නිවාඩුවක් ලබාගත් විට දෙවන දරු ප්‍රසූතියේදී ඇයට හිමි වන්නේ දින 42ක ප්‍රසූතිකාධාර නිවාඩුවක් පමණක් වන බවයි. එයට හේතුව වන්නේ දෙවන දරු ප්‍රසූතිය සිදුවන විට ඇයට දරුවන් දෙදෙනෙකු සිටීමයි.

අජීවී දරුවෙකු බිහි වූ විට

මෙබඳු දරු ප්‍රසූතියක් සිදුවන අවස්ථාව වන විට දරුවන් නොසිටියත්, ඇයට හිමි වන්නේ දින 42ක ප්‍රසූතිකාධාර නිවාඩුවක් පමණයි. මෙම කාලය ද ගණනය කරන්නේ ඉහත ‍සඳහන් දින 84 ගණනය කල පරිද්දෙන් සියලුම නිවාඩු දිනයන් ඉවත්වන  ලෙසයි.

කළල රූපයක් බිහි වූ විට

sciencesamhita.com

කාන්තාවක් කළලයක් ප්‍රසූත කරන අවස්ථා ද කලාතුරකින් සිදු වේ. මෙහිදී කළලයක් යනුවෙන් ගැනෙන්නේ යම් ස්ත්‍රියක්  සති 28ක් ගර්භනීව සිට බිහි කරන අජීවී රුවක්.

වැනි විටෙකදී සේවිකාවකට ප්‍රසූතිකාධාර නිවාඩු වශයෙන් හිමි වන්නේ දින 42ක් පමණයි. කෙසේ වෙතත් උපත කළල රූපයක් ලෙස පිළිගැනීමට නම් කළල රූපයට සති 28ක් කල් පිරි තිබිය යුතුයි. එම කාලය පිළිබඳව සැක සහිත තත්ත්වයක් තිබේ නම් පහත සඳහන් කොන්දේසි දෙක ඉටු වී තිබිය යුතුයි.

  • කළල රූපයේ දිග අවම වශයෙන් අඟල් 12ක් වත් විය යුතුයි.
  • නැතහොත් එම කළල රූපයේ බර අවම වශයෙන් රාත්තල් 2ක් විය යුතුයි.

ඉහතින් සඳහන් කළ දින 84 හෝ දින 42 හෝ යන අවස්ථා දෙකෙහිදීම, එම මුළු සති සංඛ්‍යාවෙන් සති 2ක් දරු ප්‍රසූතියට පෙර ද ඉතිරිය දරු ප්‍රසූතියට පසු ද ලබා ගත හැකියි. නමුත් යම් හෙයකින් දරු ප්‍රසූතියට පෙර ලබා ගත් සති 2 ඉකුත් වීමට පෙර දරු ප්‍රසූතිය සිදුවුව හොත් එම දින ගණනින් භාවිතයට නොගෙන ඉතුරු වුණු දින ගණන දරු ප්‍රසූතියෙන් පසු හිමි වන දින ගණනට එකතු කරගත හැකියි. එහිදී ඇයට කිසිදු අවාසියකින්, අසාධාරණයකින් තොරව තම නිවාඩුව සම්පුර්ණයෙන් ලබා ගත හැකියි.

කවරයේ පින්තූරය – bindmans.com

ආශ්‍රිත ග්‍රන්ථ-

1939 අංක 32 දරණ ප්‍රසුතිකාධාර ආඥා පනත

1985 අංක 43 දරණ (සංශෝධන) පනත

1984 සාප්පු හා කාර්යාල සේවක පනත

salary.lk

babyspace.lk

employers.lk

Related Articles