Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාර්ථක කාන්තාවක් නොවරදවා සිදුකරන දේවල් 8ක්

පරිපූර්ණ චරිතයක් බවට පත්වෙන එක අපි බොහෝ දෙනෙක්ගේ හීනයක්. සිහින සැබෑවන්නේ කැපවීමෙනි කියලා ජනප්‍රිය පිරුළක් තිබෙනවා. අපේ ක්‍රියාවන් තමයි අපිව නිර්වචනය කරන්නේ. අපි කවුද කියන එක හොඳටම පිළිඹිබු වෙන්නේ අපේ ක්‍රියාවන්ගෙන්. අපි අද සාකච්ඡා කරන ගතිගුණ ඔබේ චරිතයටත් ආදේශ කරගත්තොතින්, ඒකාන්තයෙන්ම ඔබටත් සාර්ථක පරිපූර්ණ චරිතයක් බවට පත්වෙන්න පුළුවනි.

1. උදෑසනින් අවදි වෙන්න

huffingtonpost.com

ඔබට පාන්දර 4ට විතර අවදි වෙන්න පුළුවන් නම් හුඟක් හොඳයි. නමුත් 70/80 හෝ ඊට පස්සේ දශකවල ඉපදුන අපි බොහෝ දෙනෙක් සෑමදාම ඒ විදියට හිමිදිරි පාන්දරින්ම අවදි වෙන්න කැමති අය නම් නෙමේ. ප්‍රායෝගික ලෝකේ ඇත්තම කතාව ඒකයි. අද දවසේ ඔබ විසින් සිදුකරලා අවසන් කළයුතු වැඩ කටයුතු බොහෝ ප්‍රමාණයක් තියෙනව නම්, දවස පටන් ගන්න සුදුසුම වෙලාව ගැන අවබෝධයෙන් යුතුව උදෑසන අවදි වෙන වෙලාව තීරණය කිරීම ඉතාම වැදගත්. සාර්ථක කාන්තාවක්ගේ ප්‍රධාන චරිත ලක්ෂණයක් තමයි අනිත් අයට කළින් වැඩ කරන්න පටන් ගන්න එක. උදෑසනින් අවදි වීම ඒ වෙනුවෙන් සිදුකරන්න පුළුවන් හොඳ ආයෝජනයක්.

උදෑසනින් අවදි වීමේ යහපත් ආනිශංශ බොහොමයි. ඔබට පුළුවනි ගෙදර දොරේ සාමාන්‍ය වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරන්න. ඔබේ යහපත් ශරීර සෞඛ්‍ය වෙනුවෙන් ව්‍යායාම කරන්න. මානසික සෞඛ්‍ය වෙනුවෙන් කෙටි භාවනාවක යෙදෙන්න. පෝෂ්‍ය සම්පන්න ආහාරයක් සකස් කරගන්න. මේ වගේ පොඩි දේවල් සාර්ථකත්වය ගෙන එන්න විශාල වැඩ කොටසක් සිදුකරන බව අමතක කරන්න එපා.

2. පෝෂ්‍යදායක දෙයක් උදෑසන ආහාරය විදියට අරගන්න

realfood.tesco.com

දවස ගෙවන්න අවශ්‍ය ජවය සහ ශක්තිය ඔබට ලැබෙන්නේ උදෑසන ආහාරයෙන්. මේ නිසාමයි දවසේ වැදගත්ම ආහාරවේල විදියට සැළකෙන්නේත්. උදෑසනින් අවදිවුන නිසාම, අධික තෙල් හෝ පිටි අන්තර්ගත නැති, පෝෂ්‍යදායක ආහාරයක් සකස්කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. කාර්යබහුලත්වය හෝ කම්මැලිකම වගේ හේතු නිසා බොහෝදෙනෙක්ට මගහැරෙන උදෑසන ආහාරය, බොහෝ පෝෂ්‍යදායක සහ අඩුපාඩුවක් නැති විදියට ලබාගන්න එක සාර්ථක කාන්තාවක් අනිවාර්යෙන්ම සිදුකරනා දෙයක්.

3. තමන්ගේ අඩුපාඩු හඳුනාගන්න, ඒවා නිවැරදි කරගන්න

ඔබ සාර්ථක කාන්තාවක් වුනත්, ඔබ තුළ නොයෙක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු හඳුනාගන්න. ඒ වගේම තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න ක්‍රියා කරන්න. ඒ වගේම ඔබට වෙනස් කරන්න බැරි ආකාරයේ තවත් අඩුපාඩු තියෙන්න පුළුවනි. උදාහරණයක් විදියට ඔබ උසින් අඩු කෙනෙක් නම්, එය ඔබට වෙනස් කරගන්න අමාරුයි. ඒ වගේ දේවල් ගැන කල්පනාකරන්නේ නැතිව ඉන්න. සාර්ථක කාන්තාවක් කියන්නේ කිසිම අඩුපාඩුවක් නැති කාන්තාවක් නෙමෙයි. ඇය තුළත් අඩුපාඩු තිබෙන්න පුළුවන්. නමුත් සාර්ථක කාන්තාව නිරන්තරයෙන් තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරගනිමින් ජීවිතයට මුහුණ දෙනවා.

4. ආගන්තුක පුද්ගලයන්ට ප්‍රසන්න විදියට සළකන්න

Peace Begins with Smile කියන පිරුළ ඔබත් අහලා ඇති. දන්න නොදන්න ඕනෙම කෙනෙක්ට ප්‍රසන්න සිනහවකින් සංග්‍රහ කරන්න දෙපාරක් හිතන්න එපා. සාර්ථක කාන්තාවක් තමන්ට පුළුවන් හැම වෙලාවකදීම නොදන්නා අයටත් ප්‍රසන්න සිනහවකින් සංග්‍රහ කරනවා.

එහෙම කටයුතු කරන එකේ වැදගත්කම මොකක්ද? තමන් නොදන්න කෙනෙක්ට ප්‍රසන්න ලෙස සළකන එක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඔබ ඒ ආකාරයට ඔවුන්ට ප්‍රසන්න ආකාරයට සැළකුවාම, ඔබටත් ඒ ගැන විශාල ප්‍රසන්න හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රසන්න හැඟීම සාර්ථකත්වයට ගමන් කරන ගමනට අවශ්‍ය ම දෙයක්.

5. ආගන්තුකයෙක්ගේ සිත සුවපත් වෙන ක්‍රියාවක් සිදුකරන්න

miccacampbell.com

ඔබට කිසිම ප්‍රතිලාභයක් හිමි නොවී, ඔබ කිසිසේත්ම නොදන්නා කෙනෙක්ගේ දවස යහපත් කරන්න ඔබ ක්‍රියා කරලා තියෙනවද? සාර්ථක කාන්තාවක් අනිවාර්යෙන් දවසකට එක වරක්වත් ඒ වෙනුවෙන් තමන්ගේ කාලය මිඩංගු කරනවා. ඒ ක්‍රියාව සෑමවිටම විශාල වියදමක් දරලා සිදුකරන හෝ විශාල මහන්සියක් කැපවීමක් දරන්නට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ සිදු කරන ක්‍රියාව පොදු ප්‍රවාහන සේවයකදී අමාරුවෙන් හිටගෙන යන කෙනෙක්ට ඔබ වාඩිවෙලා ඉන්න ආසනය දෙන එක වෙන්න පුළුවන්, කැළිකසළ එකතු කරන නගර සභාවේ සේවක මහතාට තේ එකක් හදලා දෙන එක වෙන්න පුළුවන්, වීථි දරුවෙක්ට කුඩා සෙල්ලම් බඩුවක් දෙන එක වෙන්න පුළුවන්. හිතලා බලන්න, මේ කිසිම දෙයක් චෙනුවෙන් විශාල වියදමක් දරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය එකම දේ ඒ ක්‍රියාව සිදුකරන්න අවශ්‍ය සිතුවිලි ඇතිකරගන්න එක විතරයි. සාර්ථක කාන්තාවක් සෑමවිටම ඒ ආකාරයේ සිතුවිලිවලින් පොහොසත්. ඒ වගේම ඇය ඒ සිතුවිලි ක්‍රියාත්මක කරනවා.

6. ශරීරය වෙහෙසවන ක්‍රියාකාරකමක යෙදෙන්න

standard.co.uk

සාර්ථක කාන්තාවක් සෑමවිටම තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන වගේම ශරීරයේ හැඩය ගැනත් කල්පනාකාරී වෙනවා. තමන්ගේ ශරීරය ආකර්ශනීය විදියට පවත්වාගැනීම සාර්ථක කාන්තාවක් අනිවාර්යෙන්ම සිදුකරන දෙයක්. මේ නිසා ඇය සෑම දිනයකදීම ශාරීරික අභ්‍යාස, කායවර්ධනය, යෝග ව්‍යායාම වැනි ක්‍රියාකාරකමක යෙදීම අනිවාර්යෙන්ම සිදුකරනවාමයි. මේ නිසා කාලය ගෙවී ගියත් ඇයගේ ශරීරය හැමදාම එකම පෙනුමට තියෙනවා.

7. අන් අයගේ ජයග්‍රහණයකදී ඔවුන් සමඟ සතුටුවෙන්න

මේ ලෝකයේ ජීවත්වෙන බොහෝ මිනිසුන්, වෙන කෙනෙකුගේ ජයග්‍රහණයකදී අවංකවම සතුටුවෙන අවස්ථාවන් ඉතාම අල්පයි. විශේෂයෙන්ම අදාළ තරඟය තුළ තමනුත් සිටිනවා නම්, කිසි දවසක වෙන කෙනෙක් ජයග්‍රහණය ලැබීම පිළිබඳව බොහෝ දෙනා සතුටු වෙන්නේ නැහැ. නමුත් සාර්ථක කාන්තාවන්, තමන් අදාළ තරඟය තුළ සිටියත් නැතත් වෙන කෙනෙකුගේ ජයග්‍රහණයකදී අවංකවම සතුටු වෙනවා.

8. නිරන්තරයෙන් කියවීම සිදුකරන්න

psdmockups.com

තමන්ගේ ජීවිතය තුළ ඇති අඩුපාඩු සකස් කරගත හැක්කේත්, අලුත් දෙයක් ඉගෙනීමට හැකියාව ලැබෙන්නේත්, සාර්ථකත්වය සඳහා මගපෙන්වීමක් ලබාගත හැක්කේත් කියවීම තුළින් බව සාර්ථක කාන්තාව ඉතා හොඳින් දන්නවා. ඒ නිසා ඇය සෑම දිනකදීම තමන්ගේ ජීවිතයට යමක් එකතුකරගැනීම පිණිසම කියවීම සිදුකරනවා. බොහෝවිට රාත්‍රී නින්දට පෙර විනාඩි 20ක් පමණ ඒ වෙනුවෙන් ඇය ගතකරනවා.

මේ ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙක් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක අය නෙමේ. සාර්ථක කාන්තාව මේ ගැන ඉතාම හොඳින් දන්නවා. තමන්ගේ සාර්ථකත්වය තවත් වර්ධනය කරගන්න නම් ඒ වෙනුවෙන් හැදෑරීම අත්‍යවශ්‍ය බව ඇය අවබෝධ කරගෙන සිටින නිසාම ඒ වෙනුවෙන් දවසේ නිශ්චිත වෙලාවක් ඇය ආයෝජනය කරනවා.

සාර්ථක කාන්තාවක් වෙනවා කියන්නේ රූපයෙන් අගතැන්පත් වීමවත්, ආර්ථිකව බොහෝ ස්ථාවර වීමවත්, අධ්‍යාපන සුදුසුකම්වලින් ඉතා ඉහළ ස්ථරයකට ළඟාවීම වත්, සමාජයේ අතිශය කැපීපෙනෙන හෝ සමාජ ආකර්ශනය හිමිවීමවත් කියන මේ තනි තනි කාරණා නෙමේ. මේ හැම දෙයක්ම සාර්ථකත්වයේ යම් යම් නිර්ණායක පමණයි. අපි ඉහතින් දැක්වූ ගුණාංගයන් තමන්ගේ ජීවිතයට එකතු කරගැනීමෙන් ඔබටත් පුළුවනි සාර්ථක කාන්තාවක් වෙන්න. වර්ථමානයේ අපේ සමාජයට වැඩියෙන්ම අවශ්‍යවෙලා තියෙන්නෙත් සාර්ථක කාන්තාවන්ම තමයි.

Related Articles