රෙජිනා වලව්ව: බිරිය වෙනුවෙන් තැනූ ප්‍රේමයේ දුක්බර සිහිවටනය

කොළඹ තුම්මුල්ල හන්දියට නුදුරු, විශ්වවිද්‍යාල පෙදෙසේ ගහකොළවලින් පිරි සෙවණැති වටපිටාවේ පිහිටි පැරණි මන්දිරයක් වන රෙජිනා වලව්ව අද අයිති වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට යි. මේ ඉපැරණි ප්‍රතාපවත් මැදුර තුළ සැඟවුණු අතීත කතාව පවසන්නේ ප්‍රේමය පිළිබඳ දුක්බර පුවතක්. මේ එම කතාව සොයාගිය චාරිකාවක්.

සිත්තරකු දුටු රෙජිනා වලව්ව – fos.cmb.ac.lk

 

පිහිටීම

කොළඹ තුම්මුල්ල හන්දියෙන් ආරම්භ වන කුමාරතුංග මුනිදාස මාවත ( පැරණි තර්ස්ටන් පාර) දෙපස ම පිහිටා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ගොඩනැඟිලි යි. එම නූතන මහල් ගොඩනැඟිලි අතර පිහිටි ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරවන කැපී පෙනෙන අලංකාර දෙමහල් මන්දිරය රෙජිනා වලව්ව යි. එයට ඉංග්‍රීසි පාලන කාලේ ලැබුණු නම වන ‘කොලේජ් හවුස්’ ලෙසින් තමයි අද එය හඳුන්වන්නේ.

 

සුන්දර වලව්ව සහ ඉදිරිපස උයන – phototakenwith.com

වලව්වේ හැඩ

ඉදිරිපසින් ගහකොළින් යුක්ත විශාල අලංකාර මිදුලකින් සමන්විත මේ වලව්වේ ආකර්ශනීය හැඩය නිසා එය දකින කාටත් අමතක වන්නේ නැහැ. දෙපසින් විහිදුණු තෙමහල් සේ පෙනෙන ඕවලාකාර ගොඩනැඟිලි දෙකත්, ඒවා මැදින් ඉදි කෙරුණු මහල් තුනක් ලෙස දිස්වන උස් කුලුනක් වැනි ගොඩනැඟිල්ලත් නිසා රෙජිනා වලව්ව ගම්භීර බවක් උසුලනවා. මහල් තුනක් සේ පිටතට පෙනුණ ද මෙම ගොඩනැඟිල්ල දෙමහල් එකක්.

පියස්සේ සිව්රැස් හැඩය ද මෙහි අලංකාරත්වය ඉහළ නැංවීමට හේතු වෙනවා. ඉදිරිපස ඇති පෝටිකෝව මන්දිරයේ පෙනුමට ආකර්ශනීයත්වයක් එක් කරනවා. බිත්තිවල ඇති කැටයම් පෝටිකෝවේ ආකර්ශනීයත්වය ඉහළ නැංවීමට හේතුවක්. පෝටිකෝවේ පියස්ස දරා සිටින අඳුරු පැහැ කුලුනුවලින් එයට ලැබෙන්නේ කදිම සුන්දරත්වයක්. ආරුක්කු ආකාර කැටයම් සහිත ජනේල, සියුම් ලෝහ කැටයමින් යුත් සඳලු තල, වහලේ බාල්කවල කැටයම් ද මෙම ගොඩනැඟිල්ලේ පෞරාණිකත්වය සිහිපත් කරනවා.

වික්ටෝරියානු සහ ඉතාලියානු ගෘහ නිර්මාණ ශිල්පය

වික්ටෝරියානු සහ ඉතාලියානු ගෘහ නිර්මාණ ශිල්පය එකට මිශ්‍ර කර රෙජිනා වලව්ව ඉදිකළ බව යි පැවසෙන්නේ. එයට එම කාලයේත් විශාල මුදලක් වැයවන්නට ඇති බව එහි සියුම් ලියකම් ආදියෙන් පෙනෙනවා. පෝටිකෝව පසුකරමින් කොලේජ් හවුසියට ඇතුළු වනවිට ම මුණගැසෙන්නේ දැව තරප්පු පේළියක්. මුළු උඩු මහල ම වසා සිටින්නේ තේක්ක ලීයෙන් නිමවුණු ගෙබිම යි.

 චාල්ස් හෙන්රි ද සොයිසා සහ ඔහුගේ විවාහ සේයාරුව-wismakarma.com

සොයිසා පවුලේ මතක

රෙජිනා වලව්ව ඉදි කළේ ලංකාවේ සිටි ධනවත් ම පුද්ගලයා ලෙස සැලකුණු චාල්ස් හෙන්රි ද සොයිසාගේ සිව්වන පුතා තෝමස් හෙන්රි ආතර් ද සොයිසා යි. චාල්ස් හෙන්රි ද සිල්වාට එකල ඉඩම් අක්කර හතළිස් දහසක් (40,000ක්) අයිති ව තිබූ බව පැවසෙනවා. දානපතියෙක් ලෙසත් ප්‍රකට චාල්ස් හෙන්රි ජීවත් වුණු කොල්ලුපිටිය බගතලේ වලව්වත් විශාල මන්දිරයක්. චාල්ස් හෙන්රි ද සොයිසාගේ සමයේ දී රෙජිනා වලව්වේ සිට ඇල්ෆ්‍රඩ් හවුස් හරහා බම්බලපිටිය මැජෙස්ටික් සිටි දක්වා ඉඩම් සියල්ල ද සොයිසා පවුලට හිමි ව තිබුණා.

රෙජිනා වලව්වට නුදුරින් පිහිටා ඇති තවත් පැරණි මන්දිරයක් වන ලක්ෂ්මී ගිරියේ හිමිකරු වූයේ තෝමස් හෙන්රි ද සොයිසාගේ වැඩිමල් සහෝදරයා වුණු ඇල්ෆ්‍රඩ් ජෝෂප් රිචඩ් ද සොයිසා යි. මේ විශාල මන්දිරවලින් එකල ඔවුන්ගේ ධනවත්කම ප්‍රකට කළා.

තෝමස් හෙන්රි උපත ලබා ඇත්තේ 1874 දි යි. ඔහු මොරටුව වේල්ස් කුමර විදුහලෙන්, ශාන්ත තෝමස් විදුහලෙන් සහ කොළඹ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. අධ්‍යාපනයෙන් පසු පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටි තෝමස් වතු වගාව සහ මිනිරන් පතල් ව්‍යාපාරය ඉදිරියට කරගෙන ගියා. එම ව්‍යාපාර කටයුතුවලින් විශාල ධනයක් ද ඔහු ඉපයූවා.

තෝමස් ආතර් සහ රෙජිනා යුවළ – sundaytimes.com

 

දකුණේ රෙජිනා

සයිමන් පෙරේරා අබේවර්ධන දකුණේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් ලෙස කිරුළු දරා සිටියා. ඔහු ගාල්ල ප්‍රදේශයේ බෞද්ධ බළ කණුවක් ලෙසත් ප්‍රසිද්ධ චරිතයක්. අබේවර්ධන, චාල්ස් හෙන්රි ද සිල්වාගේ හොඳ මිතුරෙක්. සයිමන් අබේවර්ධනගේ දියණිය වුණේ රෙජිනා පෙරේරා අබේවර්ධන ළමාතැනී යි. මේ පවුල් දෙක නිතර හමු වන නිසා තරුණ වයසේ පසුවූ චාල්ස් හෙන්රිගේ පුත් තෝමස් සහ රෙජිනා අතර පෙම් සබඳතාවක් ඇති වුණා. අබේවර්ධන පවුල බෞද්ධයන් වුණත් සොයිසා පවුල ඉතා බැතිමත් කිතුණුවන්. නමුත් ඔවුන්ගේ දරුවන්ගේ විවාහයට ආගම බාධාවක් වුණේ නැහැ.

ආතර්- රෙජිනා විවාහය සිදුවුණේ 1899 මාර්තු 2 වැනි දා, ගාල්ල සියලු ශාන්තුවරයන්ගේ දෙව්මැදුරෙදි යි. එම විවා මඟුල එකල ලංකාවේ කවුරුත් අතර කතාබහට ලක් වුණ පමණක් නොව ලන්ඩනයේ පවා ප්‍රවෘත්තියක් බවට පත් වුණා. 1899 වසරේ මාර්තු 02 වැනි දා ලන්ඩනයේ ඩේලි ග්‍රැෆික් පුවත්පත ද මෙම සරණ මංගල්‍යය වාර්තා කර තිබුණා.

එම පුවත්පත් වාර්තාවේ සඳහන් වන්නේ තෝමස් ආතර් ද සොයිසාගේත් රෙජිනා පෙරේරා අබේවර්ධන ළමාතැනීගේත් සරණ මංගල්‍යය වෙනුවෙන් දින හතක් පුරා උත්සව පැවති බව යි. සොයිසා පවුලේ මුල් බිම වන මොරටුවේ හිතවතුන් සහ ඥාතින් ඇතුළු අති විශාල පිරිසක් මංගල්ලයට සහභාගි වී තිබෙනවා. ඒ අමුත්තන් කිසිවකුගෙන් මංගල යුවල ත්‍යාග ලබා ගෙන නැති බවත් සඳහන් වෙන කරුණක්. ගාල්ලේ දී විවාහ වුණු නව යුවළ මුලින් ම පදිංචි වී ඇත්තේ ආතර් ද සිල්වාට අයත් බ්‍රොඩි නම් නිවසේ. කලක් ගත වන විට ආතර්- රෙජිනා යුවළට දියණියන් පස් දෙනෙක් ලැබුණා.

 රෙජිනා වලව්ව- dailynews.lk

 

රෙජිනා වලව්ව

තම බිරියට දැඩි සේ ආදරය කළ තෝමස් ආතර් ඇය වෙනුවෙන් තමන්ට පියා ගෙන් හිමිවුණු ඉඩමක අලංකාර මන්දිරයක් ඉදිකිරීම ආරම්භ කළේ මේ අතර යි. ඒ 1912 ආසන්න කාලයේදි යි. එය නම් කළේ රෙජිනා වලව්ව කියන නමින්. ප්‍රධාන දොරටුවෙන් සාලයට ඇතුළු වූ විට කාමර ගණනාවක් දිස්වන ලෙස එය සැලසුම් කර තිබුණා. මන්දිරයට ඇතුළු වන විට ම උඩු මහලට පිවිසෙන අලංකාර කැටයම් සහිත පියගැට පෙළ ද දිස්වෙනවා. අලංකාර සිවිලිම, කැටයමින් යුත් දොර ජනෙල් ආදිය ද මන්දිරයේ ඇතුළත පෙනුම ඉහළ නංවනවා. රෙජිනාට එහි පය තැබීමටවත් වාසනාවක් ලැබුණේ නැහැ. වලව්වේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතිද්දී ඇය හදිසියේ ම මිය යාම එයට හේතුව යි.
රෙජිනා වලව්වේ වැඩ කටයුතු නිමවූයේ කිනම් වර්ෂයකදී ද යන්න ගැන නිශ්චිත සාධක හමුවන්නේ නැහැ. 1920ට ආසන්න කාලයක එය නිම වූ බව සිතිය හැකි යි.  රෙජිනාගේ මරණයෙන් වසර හයකට පසු වැඩිමහල් දියණිය වූ වයලට්ගේ විවාහය සිදු කර ඇත්තේ රෙජිනා වලව්ව ඉදිරිපස තැනූ මඟුල් මඩු ආකෘතියක් සහිත ගොඩනැඟිල්ලක යි.

 කොලේජ් හවුස් පෝටිකෝව – cmb.ac.lk

කොලේජ් හවුස්

ආණ්ඩුකාර හෙන්රි මැනිංගේ අනුග්‍රාහකත්වය යටතේ ලංකාවට විශ්වවිද්‍යාල කොලීජියක් ඇති කිරීමට පිඹුරුපත් සැකසුණා. මෙම කොළඹ විශ්වවිද්‍යාල කොලීජිය ආරම්භ කිරීමට නව ගොඩනැඟිල්ලක් අවශ්‍ය වුණා. මේ අතර රෙජිනා වලව්ව විකිණීමට ආතර් ද සොයිසා තීරණය කර තිබුණා. ඒ වනවිට ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වෙමින් පැවති බව ද පැවසෙනවා.

විශ්වවිද්‍යාල කොලිජියේ පන්ති සඳහා ගොඩනැඟිල්ලක් ලෙස ශ්‍රීමත් එඩ්වඩ් ඩෙනම්ගේ නිර්දේශය යටතේ 1920 දී එවක ආණ්ඩුව රෙජිනා වලව්ව මිල දී ගත්තා. ඉන් පසුව එහි නම කොලේජ් හවුස් බවට පත් වුණා. ඒ සමඟ ම වලව්වට යාබද ව පිහිටි රාජකීය විදුහලට අයත් ව තිබූ විශාල ගොඩනැඟිල්ලක් ද අලුතින් අරඹන්නට යන විශ්ව විද්‍යාල කොලිජියට පවරා ගැනුණා.

 ගොඩනැගිල්ලේ අලංකරණ -fos media facebook page

එවකට ආණ්ඩුකාරයා ව සිටි විලියම් මැනිං විශ්වවිද්‍යාල කොලීජියේ ආරම්භය සටහන් කළේ කොලේජ් හවුස් ගොඩනැඟිල්ලේ පැවති උත්සවයකින්. මෙම වලව්ව අදටත් කොළඹ විශ්වවිද්‍යාලයයේ පරිපාලන ගොඩනැඟිල්ල ලෙස පවත්වාගෙන යනවා. මුල් කාලයේ විශ්වවිද්‍යාල කොලිජියේ කලා හා විද්‍යා උපාධිවල මූලික දේශන පැවැත්වූයේ එම මන්දිරයේ ශාලාවල යි. 1942 දී විශ්වවිද්‍යාල කොලිජිය කොළඹ විශ්වවිද්‍යාලය බවට පත්වීමෙන් අනතුරුව එහි උපකුලපති සර් අයිවර් ජෙනිංස් සිය කාර්යාලය පිහිටුවා ගත්තේත් මේ ගොඩනැඟිල්ලේ යි. කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය මුලින් ම පටන් ගත්තේ ද කොලේජ් හවුස් තුළ යි.

සොල්බරි ව්‍යවස්ථාව කෙටුම්පත්  කිරීම

උප කුලපතිවරයාගේ කාර්යාලයත්, ලේඛකාධිකාරිවරයාගේ කාර්යාලයත් සෙනට් ශාලාවත් එහි පිහිටා තිබෙනවා.  සර් අයිවෝ ජෙනිංග්ස් සොල්බරි ව්‍යවස්ථාව කෙටුම්පත් කළේ ද අද මෙහි උපකුලපති කාමරයේ සිට බව සඳහන් වෙනවා. උප කුලපතිවරයකු වූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 88-89 භීෂණ සමයේ දී ඝාතනය කෙරුණේ ද මෙහි උපකුලපති කාර්යාලය තුළදී යි.

රෙජිනා වලව්ව අසලින් තර්ස්ටන් පාරේ සිට ගාලු පාර දෙසට ඇති අතුරු පාර අතීතයේ හැඳින්වුණේ රෙජිනා පාර කියලයි. පසුව කොළඹ නගර සභාව එම පාර රැජන පාර ලෙස නම් කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය- රෙජිනා වලව්වේ ඉදිරිපස පෝටිකෝව - blog.colombobeacon.com 

මූලාශ්‍ර:
serendib.btoptions.lk
lankadeepa.lk
sundaytimes.lk 

Related Articles