විශේෂාංග

විනාඩි 2 ක කියවීමක්

සාමාන්‍ය දරු ප්‍රසූතිය පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු – පළමු කොටස

Published

විනාඩි 2 ක කියවීමක් to read

Facebook Twitter GPlus

දරුවෙකු පිළිසිඳ ගැනීම, ගැබ තුළ වර්ධනය සහ ප්‍රසූත කිරීම කියන්නේ ඉතාමත්ම ස්වභාවික, එමෙන්ම ඉතාමත්ම විශ්මිත ක්‍රියාවලියක්. නමුත් දරුවෙකු බලාපොරොත්තු වන බොහොමයක් කාන්තාවන්ට ප්‍රසූතිය කියන්නේ තරමක් බිය දනවන සුළු, එමෙන්ම කලබලකාරී සිදුවීමක්. එනිසා ලංකාවේ රජයේ රෝහලක සාමාන්‍ය ප්‍රසූතියක් සිදුවන අයුරු පිළිබඳව සරලව විස්තරයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප සිතුවා. ඔබ දරුවෙකු බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත්, නැතත්, ඔබේ දැනුමට මෙම කරුණු ප්‍රයෝජනවත් වේවි.

මොකද්ද මේ “සාමාන්‍ය ප්‍රසූතිය”?

අපි සරලම තැනින් පටන්ගමු. කටවහරේදි “නෝමල් ඩිලිවරි”, එහෙමත් නැත්නම් “සාමාන්‍ය ප්‍රසූතිය” කියලා හඳුන්වන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමෙන් පසු නියමිත කාලය සම්පූර්ණ වී (දළ වශයෙන් දින 280ක්) නිවැරදි ආකාරයට හිස පහළට පිහිටන දරුවා ස්වභාවික ක්‍රියාවලියකින් යෝනි මාර්ගය හරහා ගර්භාෂයෙන් පිටතට පැමිණීමයි. දැනට සිදුවන බොහොමයක් උපත් සිදුවන්නේ මේ ආකාරයෙනුයි.

සාමාන්‍ය දරු ප්‍රසූතිය (clickitupanotch.com)

නමුත් දරුවා අඩු කාලයකින් හෝ නියමිත දිනය පසු වී බිහිවුණොත් (සති 37ට පෙර හෝ සති 42ට පසු), දරුවාගේ හිස නොව තට්ටම් හෝ උරහිසක් හෝ පහළට සිටින සේ පිහිටියොත්, ප්‍රසූතිය සෙමින් සිදුවුණහොත් හෝ සිරවීමක් සිදුවුණහොත්, එසේත් නැත්නම් සිසේරියන් සැත්කමක් හෝ උපකරණ භාවිතයෙන් ප්‍රසූතිය සිදුවුණහොත් එය “අසාමාන්‍ය ප්‍රසූතියක්” ලෙස හැඳින්වෙනවා. මේ කතාකරන්නේ ඒ අසාමාන්‍ය ප්‍රසූති අවස්ථා ගැන නොව, අප ඉහත සඳහන් කළ සාමාන්‍ය ප්‍රසූතිය ගැනයි.

සාමාන්‍ය ප්‍රසූතිය ආරම්භ වීමේ පෙර ලකුණු මොනවා ද?

මුළු ගර්භණී සමයම සාමාන්‍යයෙන් විවිධාකාරයේ වේදනාවන්, අපහසුකම් ‍රැසක් සිරුරට දැනෙනා සමයක්. එනිසා ප්‍රසූති වේදනාව මේ වේදනාවන්ගෙන් වෙන්කොට හඳුනාගැනීමේ විශේෂ ලක්ෂණ ඔබ දැනසිටීම වැදගත්.

අන් වේදනා මෙන් නොවෙයි, ප්‍රසූති වේදනාව වරින් වර දැනෙන ඒකාකාරී වේදනාවක් ලෙසයි මුලින් මතුවන්නේ. සාමාන්‍යයෙන් නම් මිනිත්තු 10කට මෙවැනි කැක්කුම් වාර දෙකක් දැනෙනවා. මදින් මද මේ වේදනාවේ තීව්‍රතාවය වැඩි වීම, වඩාත් ළඟ ළඟ වේදනාවන් දැනීම සහ වේදනාව පවතින කාලය වැඩි වීම ප්‍රසූතිය ආරම්භ වීමේ ලක්ෂණයන්.

එමෙන්ම යෝනිය හරහා ජලය වැනි හෝ රෝස පැහැති ශ්‍රාවයන් නිකුත් වීමත් ප්‍රසූතිය ආරම්භ වීමේ ලක්ෂණයි.

මෙවැනි ලක්ෂණ පහළ වුවහොත් ඉක්මණින් රෝහලකට යෑම නුවණට හුරුයි. එහිදී දරුවා බිහිවීමට අවශ්‍ය තරමින් ගැබ්ගෙල, එනම් ගර්භාෂයේ සිට යෝනි මාර්ගයට ඇති විවරය, විවෘත වී ඇතිදැයි වෛද්‍යවරයා විසින් පරීක්ෂා කරනු ලබනවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරයා තම ඇඟිලි දෙකකින් පරීක්ෂා කර, සෙන්ටිමීටර ගණනක් වශයෙන් මේ විවරයේ ඈත්වීම ප්‍රකාශ කරනවා.

ගැබ්ගෙල විස්තාරණය (CheckPregnancy)

ප්‍රසූතියක අදියර

ප්‍රසූතියක් අදියර තුනකට බෙදෙනවා. ඒ, පළමු, දෙවන, හා තෙවන අදියර වශයෙන්.

පළමු අදියර

මේ ප්‍රසූති ලක්ෂණ පහළ වීමේ සිට ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම, එනම් සෙන්ටිමීටර 10ක් දක්වා, විවර වීම වන තෙක් අදියරයි. මේ අදියර අවධි දෙකකට බෙදෙනවා.

එයින් පළමු අවධිය “උදාසීන අවධිය”, එනම් ප්‍රසූතිය ඇරඹී සෙන්ටිමීටර 4 දක්වා අවධිය ලෙසත්, දෙවන අවධිය “ක්‍රියාකාරී අවධිය”, එනම් ගැබ්ගෙල විවරය සෙන්ටිමීටර 4 සිට 10 දක්වා වන අවස්ථාව ලෙසත් අර්ථ දක්වනවා.

දෙවන අදියර

මේ, ගැබ්ගෙල සෙන්ටිමීටර 10 දක්වා විවර වීමේ සිට දරුවා බිහිකිරීම දක්වා වන කාලයයි. මෙයත්, මවට තෙරපුම් දැනීම නොදැනීම මත උදාසීන සහ ක්‍රියාකාරී ලෙස කොටස් දෙකකට වෙන්කරනු ලබනවා.

තෙවන අදියර

මේ දරුවා බිහිවීමේ සිට වැදෑමහ පිටතට පැමිණීම දක්වා අවස්ථාවයි.

මේ එක් එක් අදියර අනුව රෝහලක දී ප්‍රසූතිය කළමණාකරණය කරන ආකාරය වෙනස්. සාමාන්‍ය ප්‍රසූතියේ විද්‍යාත්මක හෝ සෞඛ්‍යමය කාරණාවලට වඩා, මේ ප්‍රසූතිය කළමණාකරණය කරන ආකාරය පිළිබඳව මින් පසු සඳහන් කෙරෙනවා.

දරු ප්‍රසූතියේ අදියර තුනකි. (Pinterest)

ගැබ්ගෙල විවෘත වීම සහ පළමු අදියර

ඉහත කෙටි විස්තරය කියවූ ඔබ දැන් දන්නවා පළමු අදියර කියන්නෙ මොකද්ද කියලා. රජයේ රෝහලක දී පළමු අදියරේ උදාසීන අවධියේදී ගැබිණි කාන්තාව වාට්‍ටුවක තබායි පරීක්ෂා කරන්නේ. ප්‍රසූත වේදනාව දැනුණු පමණින් ප්‍රසූතිකාගාරයට (“ලේබර් රූම්”) ඇතුළත් කෙරෙන්නේ නැහැ.

මෙහිදී වාට්‍ටුවේ තබාගෙන පැය හතරකට පමණ වරක් ගැබ්ගෙල සහ දරුවාගේ හෘද ස්පන්දනය ආදිය පරීක්ෂා කරනු ලබනවා. සාමාන්‍යයෙන් පළමු වරට දරුවෙකු බිහිකරන්නියකගේ ගැබ්ගෙල සෙ.මී. 4ක් විවෘත වීමට පැය 12ක් පමණත්, ඉන් පෙර දරුවෙකු බිහිකර ඇති තැනැත්තියකට පැය 8ක් පමණත් ගතවෙනවා.

එනිසා, “අමාරු වෙලා හොස්පිටල් ආවට තවමත් ලේබර් රූම් දැම්මෙ නෑ” කියලා කලබල වීම අනවශ්‍යයි.

සාමාන්‍යයෙන් ප්‍රසූතිකාගාරයට ඇතුළත් කිරීමට පෙර ගැබිණි කාන්තාවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සූදානම් කිරීම සහ වස්ති කිරීම සිදු කරනවා. වස්ති කරන්නේ දරු ප්‍රසූතිය අතරතුරදී නොදැනී මළපහ වීම වැළැක්වීමටයි. නොදැන මළපහ වුණොත් ඒවා දරුවාගේ සහ යෝනි මාර්ගය අවට තැවරී ගැටළු මතුවීමට හැකි නිසායි ඒ. එමෙන්ම වාට්‍ටුවේ සිටින කාලය පුරාවට වෙනත් සංකූලතා නැති නම්, දියර වර්ග සහ සැහැල්ලු ආහාර ගැනීමට මවට ඉඩකඩ ලැබෙනවා.

මේ ලිපියෙන් කියැවෙන්නේ සාමාන්‍ය ප්‍රසූතියක දී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රසූතිකාගාරයට ඇතුළත් කිරීම දක්වා වන තොරතුරු පමණයි. ප්‍රසූතිකාගාරයට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී ප්‍රසූතිය සිදුවන සහ එම කටයුතු කළමණාකරණය කෙරෙන අයුරු පිළිබඳ තොරතුරු මෙම ලිපියේම දිගුවක් ලෙස මීළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා.

වෛද්‍ය හසින්ද උදලාගම මහත්මියගේ සහයෙන් සැකසිණි.

මූලාශ්‍ර:

  1. National Guidelines For Maternal Care – Volume I

කවරයේ රූපය: (Ravishly)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්